තානාපතිවරුන්ට නුවරඑළියේ සැප


සජබ භික්ෂු උපදේශන සභාව පිහිටෙව් හැටි

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ “විනය ගරුක සමාජයක් උදෙසා” යන්න තේමා කරගනිමින් බිහි කළ “භික්ෂු උපදේශන සභාව” නාවල, සෝලීස් උත්සව ශාලාවේ දී පැවැත්වුණේ පසුගිය සෙනසුරාදා ය.

භික්ෂු උපදේශන සභාව පිහිටුවීම පිළිබඳව වූ අදහස සජිත් ප්‍රේමදාස මහතා විසින් අවධාරණය කළේ මීට කලකට පෙරය.
එහි වගකීම සජිත් විසින් බාර දුන්නේ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට, ජාතික සංවිධායක තිස්ස අත්තනායකට සහ ගයන්ත කරුණාතිලකටය.
ඔවුන් තිදෙනාම මේ කාර්යය වෙනුවෙන් අප්‍රමාණව  කැපවුණු අතර බොහෝ විහාරස්ථානවලට පෞද්ගලිකවම කතා කිරීමට ද අමතක  නොකළහ. මේ වෙනුවෙන් රංජිත්, තිස්ස සහ ගයන්ත යන තිදෙනාම විශේෂ පරිශ්‍රමයක් දරනු ලැබීය.

 

එම අවස්ථාව සඳහා 700නමක් පමණ වූ නමස්කාර පූර්වක මහා සංඝරත්නය වැඩමවා වදාළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින් රැසක්ද එක්ව සිටියහ.


ඊට විශාල සහයෝගයක් ලබා දුන්නේ පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියන් ය.
“අපේ අරමුණ වන්නේ දස රාජ ධර්මය මුල් කරගත්ත පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම විනයගරුක සමාජයක් හදන්න ඕනෑ. එවිට මෙවන් සංඝ උපදේශක සභාවක් ආරම්භ කරන එක වටිනවා”‍ සජිත් මීට මාස කිහිපයකට පෙර උපදෙස් දුන්නේ එහෙමය.

සෝලිස් උත්සව ශාලාවේදී භික්ෂු උපදේශන සභාවේ ආරම්භක උත්සවය පවත්වා දානමය පුණ්‍යකර්මය සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට සංවිධානය කොට තිබුණි.


සති දෙකකට අධික කාලයක් මේ කටයුත්ත වෙනුවෙන් සංවිධායක කමිටුව බලවත් වෙහෙසක් ගනු ලැබීය. විශේෂයෙන්ම මේ වනවිට සමගි ජන බලවේගය රටපුරා භික්ෂු සංවිධාන පිහිටුවා ඇති නිසා අතිවිශාල පිරිසක් ගරුතර මහා සංඝරත්නය ඒ වටා ගොනු වී සිටියහ. එබැවින් සීමාසහිත ඉඩකඩක් ඇති සෝලිස් උත්සව ශාලාවට වැඩම කරවා ගැනීමටද හැකි වූයේ සීමිත පිරිසකටය.


“ලංකාව පුරා දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ලොකුම ගැටලු‍ව තමයි අපි කොහොමද මේ හැමෝම වැඩම කරවා ගන්නෙ කියන එක”‍ තිස්ස අත්තනායක කීවේය. ඔහු සඳහම් යාත්‍රා වැඩසටහන හරහා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධ වීය.
”‍එහෙම නම් අපි පන්සිය නමකට ආරාධනා කරලා, ඊට පස්සේ භික්ෂු දේශන සභාව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය පවත්වමු”‍ මේ යෝජනාව ගෙන ආවේ ගයන්ත කරුණාතිලකය.
“අන්න හරි, ගයන්තගේ යෝජනාව හොඳයි. එතකොට අපිට අපිත් එක්ක සම්බන්ධ සියලු‍ම ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරන්න පුළුවන්.”‍ සජිත් කීවේය.
ඒ අනුව මහ ලේකම් රංජිත් ඇතුළු කණ්ඩායම භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට ආරාධනා කිරීමේ කටයුත්ත ආරම්භ කළහ.

“කමක් නෑ අපි එහෙම ආරාධනා කරමු”‍ අවසානයේදී පිරිස එහෙම තීන්දුවක් ගත්හ.


පෙරවරු 8:30 ට වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර අටයි කාල පමණ වන විට ශාලාව පිරී ඉතිරී යන තරමට මහා සංඝරත්නය වැඩම කොට සිටියහ. නියමිත වේලාව වන විට මුළු ශාලාවම කහ පැහැයෙන් බබලන්නට විය.


පූජ්‍යපාද උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ ගරුතර මහා සංඝරත්නයට අසුන් පැනවීමේ කටයුත්තට සම්බන්ධ වූහ.
වැඩසටහන් නියමිත වේලාවට අවසන් කිරීම පිණිස කෙටි න්‍යාය පත්‍රයක් සකස් කොට තිබූ අතර වැඩමවා වදාළ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට අනුශාසනා සඳහා කාලය වෙන් කොට තිබුණි.

 

“මේ වැඩේට හොඳම තුන් දෙනා තෝරාගෙන තියෙන්නෙ. තුන්දෙනාටම විහාරස්ථාන එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා”‍ අශෝක අබේසිංහ කීවේ භික්ෂු උපදේශන සභාව ගොඩනැංවීමට සජිත් විසින් මහ ලේකම් රංජිත්, ජාතික සංවිධායක තිස්ස සහ ගයන්ත තෝරා ගැනීම සම්බන්ධයෙනි.


අනුශාසනා වාරය ආරම්භ කළේ පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ ය.
“සමගි ජන බලවේගය මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා තබා ගනිමින්, පිරිහී තිබෙන සමාජය සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන්න විවිධ ක්‍රියාමාර්ග වැඩසටහන් පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ, දේශපාලනයේ, අධ්‍යාපනයේ විනය පිරිහිලා. දේශපාලන පක්ෂයට රාජ්‍ය බලය ලබා ගැනීමේ දී පූර්ව සූදානම් තිබීම අවශ්‍යයි. ඒ ගැන සමගි ජන බලවේගය කල්පනා කරලා තමයි රට පුරා සිටින මහා සංඝරත්නය එකට එකතු කළේ. මේ මහා සංඝරත්නය ආවේ සමගි ජන බලවේගයේ නායකයා ප්‍රමුඛ පිරිස රට බේරා ගනීවි, රට වර්තමානයේ පත්ව ඇති තත්ත්වයෙන් මුදවා ගන්න විසඳුම් තිබේවි කියන විශ්වාසය මත. ඉතාම නිවැරදි දර්ශනයක් මත පිහිටා මුලින්ම පක්ෂය තුළ විනය සකස් කර එය සමාජයට පෙන්වා සමාජය තුළ විනයගරුක පක්ෂයක් ලෙස රාජ්‍ය බලය ලබා ගන්න.


රට ගොඩ ගැනීමේ අභියෝගය ජය ගන්න අපි ඕනෑම අවස්ථාවක උදව් කරනවා.”‍ උන්වහන්සේ එසේ පැවසූහ.

 

”‍මහලේකම්තුමා, හැම ආසනයක්ම නියෝජනය වෙන විදිහට භික්ෂූන් වහන්සේලා තුන් නම ගානේ වැඩම කරවන්න කීවත් හත්සියනමකට ආසන්න පිරිසක් ඉන්නවා.”‍ එහෙම කීවේ ගයන්තය.

එහිදී නුගේගොඩ නාලන්දාරාමධිපති පූජ්‍යපාද තිනියාවල පාලිත හිමියන් එසේ පැවසූහ.
“බොහෝ දේශනාවල, මහා සංඝරත්නය සැකයක් මතු කළ අවස්ථාවල, විපක්ෂයේ සිටින විට මහා සංඝරත්නයට සවන් දෙනවා. බලයට ආවිට ඒ ප්‍රතිපත්තියට අනුකූලව නොව ඊට පරස්සපරව වැඩ කරනවා කියන එක. ඇත්ත වශයෙන්ම පහුගිය කාල වකවානුව තුළ 75 වසරක ඉතිහාසය තුළ ඉදිරිපත් කළ දේශනාවල බොහෝ සත්‍යය තිබෙනවා. ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස, අප උත්සාහ දරන්නේ ඒ ආපු පිළිවෙතේ පැහැදිලි සංශෝධනයක් කරන්න. අපි අනුගමනය කරන්නේ දානය, පරිත්‍යාගය, ශීලය, තපස, අහිංසාව, අක්‍රෝධය, ඍජු බව, මෘදු බව, ඉවසීම, අවිරෝධය යන දශරාජ ධර්මය. ඒ අනුව අපේ ගමන ඉදිරියට ක්‍රියාත්මක කරනවා.”‍ විපක්ෂ නායක සජිත් සිය කතාවේදී එහෙම කීවේය. ඔහුගේ කතාවට ධම්මපදයෙන් ගාථා පමණක් අටක් අන්තර්ගත කරගෙන තිබුණි.

 

“අදට අවුරුදු 35කට පෙර එතුමා මම හඳුනා ගත්තා. ඒ වගේම ‘‘හුස්ම’’ සහ ‘‘සක්වල’’ වැඩසටහන් රට පුරා ගෙන යමින් රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ පරිත්‍යාග කළා. පාසල් 72කට බස් දුන්නා. ලක්ෂ 3442ක් ගියා ඒකට. ලක්ෂ 269ක පරිගණක උපකරණ පාසල්වලට දුන්නා. ඒ වගේම චෛත්‍ය 12ක් ඉදි කරලා තිබෙනවා. ජනතාවට කප්පරක් වැඩ කරන ලෝකයේ ඉන්න එකම විපක්ෂ නායකවරයා ලෙස වාර්තා පිට වාර්තා තබලා තිබෙනවා. ලංකාවේ සතර දිග්භාගයේ සිදු කළ මෙහෙවර අනන්තයි අප්‍රමාණයි.

“ඔබතුමාට ධම්මපදයම කටපාඩම් වගේ”‍ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සජිත් සමග එහෙම කීහ.


“දහම් පාසල් යන දවස්වල ඉඳලම ධම්මපදය කටපාඩම්. ඒ දවස්වල ගුටි කකා අපි ධම්මපදය කටපාඩම් කරලා තියෙනවා”‍ සජිත් කීවේය.
“ධම්ම පදය විතරක් නෙවේ, මෙතුමා දසරාජ ධර්ම, දස සක්විතිවත් වගේ බොහෝ කාරණා ගැන කතා කරනවා අපි අහල තියෙනවා”‍ භික්ෂූන් වහන්සේ නමක් පැවැසූහ.
“රාජ්‍ය පාලනය සම්බන්ධව බුදු දහමේ තරම් කරුණු කාරණා වෙනත් තැනක ඉදිරිපත් වෙලා තියෙනවා මම දැක්කේ නැහැ. බුදු දහමේ තියෙන කරුණු කාරණාවලට අනුව රටක් පාලනය කරනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ”‍ සජිත් කීවේය.

 

වැඩසටහනෙන් අනතුරුව දහවල් දානමය පුණ්‍යකර්මය සිදුකෙරුණේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ දී ය. සෝලිස් උත්සව ශාලාවේ සිට සමගි ජන බලවේගය දාන කාර්යාලය වෙත මහා සංඝරත්නය පාගමනින් වැඩම කළ අතර එය අසිරිමත් දර්ශනයක් විය. එහිදී දානය පිළිගැන්වීමේ කටයුත්තට සජිත්, සරත් ෆොන්සේකා, රංජිත්, මද්දුම බණ්ඩාර ඇතුළු සමගි ජනබලවේගයේ නායකයින් එක්ව සිටියහ. සජිත් භික්ෂූන් වහන්සේලා සියලු‍ දෙනා වෙත ගොස්  කතාබස් කිරීමට ද අමතක නොකළේය.


“මේ භික්ෂු උපදේශන සභාව සාර්ථක කරගන්න මහලේකම්තුමා, ජාතික සංවිධායක තුමා, වගේම ගයන්ත කරුණාතිලක මැතිතුමා ගත්තත් අප්‍රමාණ වෙහෙසට අපේ ප්‍රණාමය පුද කරන්න ඕනැ. මේ වැඩේ කරන්න සුදුසුම කණ්ඩායමට අපි ඒ වැඩේ බාර දුන්නා. ඒ වැඩේ හරියටම එතුමලා කළා”‍ සජිත් අවසානයේදී පැවසීය.

 


ආශුට කියූ කතාවක්

ආශු මුණගැසීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැමිණියේය. 


“මට උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා හොඳ කතාවක් කිව්වා. ඒ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට කන්න දීලා ඉතිරි වුනොත් තමයි තමන් කන්නේ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා නම් එහෙම නොවෙයි. එතුමා කාලය කාලා ඉතිරි වුනොත් අපි වගේ සුළු පක්ෂ දරුවන්ට කතා කරන්න කාලය දෙන්නේ කියලා.” චාල්ස් මන්ත්‍රීවරයා ආශුට කීවේ සිනාසෙමිනි.


“ඔව්, මටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කිව්වා, එයාලා කතා කරන්න කැමති විෂයන් ගැන කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ, මොකද විපක්ෂ නායකතුමා මේ හැම විෂයක් ගැනම කතා කරන නිසා කියලා.” මහාචාර්ය ආශු ද පිළිතුරු බැන්දේය.

චානකගේ මඟුල් ගෙදර

රට හදන මෙහෙයුම්

ජනපති රනිල් බදාදා සවස රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ විවාහ මංගලෝත්සවයට සහභාගීවීමට ගියේ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකටය. හිටපු 

ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අසලම අසුනක් ජනපති වෙනුවෙන් වෙන් කර තිබුණේය. එම මේසයේම අගමැති දිනේෂ් මෙන්ම චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ද අසුන්ගෙන සිටියහ.


ජනපති සතිය

පසුගිය සති අන්තයේ නුවරඑළියේ සිටි ජනාධිපතිවරයා සඳුදා කතරගම පැමිණියේ වාර්ෂික කතරගම පෙරහර නැරඹීමටය. අතිවිශාල ජනකායක් පෙරහර නැරඹීමට පැමිණ සිටි අතර ජනපති රනිල් තමන් පැමිණෙන මග දෙපස සිටින ජනතාවට ආචාර කිරීමට ද අමතක නොකළේය. කිරිවෙහෙර විහාරාධිපති හිමියන්, තායිලන්ත තානාපති, රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ හා සාගල රත්නායක යන පිරිස සමඟ එක්ව ජනපති පෙරහර නැරඹුවේ ය.

 

ජනපති එදින පෙරවරුවේ හම්බන්තොට ගියේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ දේශපාලන ගමන් මගට වසර 35 ක් සපිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමටය. ජනපති රනිල් එහිදී විපක්ෂ නායක ඇතුළු විපක්ෂයට ආරාධනා කරනු ලැබුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එකතු වෙන ලෙසටය.

මහින්ද අමරවීර අමාත්‍යවරයාට සුබපැතීමට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම සාමාජිකයන් පිරිසක් ජනපති අසලට පැමිණ අස්වැසුම යෝජනා ක්‍රමය ගැන විමසීමක් කළ අතර ජනපති කීවේ ඒ සියල්ල ජනතා හිතවාදී ලෙස නිවැරදී කරන බවය.

හිටපු පොලිස්පතිවරයා ද නුවරඑළියේ සහ කතරගම පැමිණ සිටීම ගැන ද මෙතැනදී හා හූවක් ගියේය. පාර්ලිමේන්තු කටයුතු ගැන ජනපති විමසා සිටියේ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් හා මහාචාර්ය ආශූ මාරසිංහගෙන් ය. ඔවුන් සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන විස්තරයක් කළේ ඒ අනුවය.

 

අඟහරුවාදා කොළඹ පැමිණි ජනපති රනිල්, පෙරදින පොහොය නිවාඩු දිනය වූ බැවින් පැවැත්වීමට නොහැකි වූ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වූවේය. නව පොලිස්පති පත් කිරීම ගැන මෙහිදී ඇමැතිවරු කිහිපදෙනෙක් විමසද්දී ජනපති සුපුරුදු ලෙස එම පැනය මග හැර ගියේය.


ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට පණිවුඩයක් නිකුත් කරමින් ජනපති කීවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණ විභවයන් උපරිමයෙන් භාවිත කරනා බවය. නව ගුවන් හමුදාපති ලෙස පත්වූ උදේනි රාජපක්ෂ ජනපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සේම ජනාධිපති ලේකම් සාම්ප්‍රදායිකව මුණගැසීමට පැමිණියේ ඉකුත් බදාදාය.

 

එදින දහවල් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පැමිණියේ ජනපතිගේ ඉන්දියන් සංචාරයේ පූර්ව කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. 


තානාපතිවරුන්ට නුවරඑළියේ සැප 

සුන්දර නුවරඑළියට, සුන්දර දුම්රිය ගමනක් මෙරට සිටින තානාපතිවරුන් වෙනුවෙන් සංවිධානය වූයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙසිනි. තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිරිසක් මෑත ඉතිහාසයේ මෙවැනි සංචාරයකට රැගෙන ගිය පළමු අවස්ථාව එය වූයේය.


ජනපති රනිල් ගෙවුණු සති අන්තයේ නුවරඑළි ගියේ මේ පිරිස වෙනුවෙනි. මහනුවරට ගොස් නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දස දෙනෙකුට අක්තපත්‍ර පිළිගැන්වූ ජනපති නුවරඑළියට ගියේ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගේ මෙම චාරිකාවට එක්වීමටය.


කොළඹ සිට තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් නානුඔය දක්වා පැමිණියේ දුම්රියෙනි. එම ගමනට පේරාදෙණියෙන් නව අක්තපත්‍ර ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ද එක්වූ අතර ඔවුන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද සම්බන්ධ වූයේය.


ඔවුන් නටමින් ගයමින් විනෝද වෙමින් නානුඔය දක්වා පැමිණියේ පැරණි වයිස්රොයිස් දුම්රියකිනි. නුවරඑළිය ජනපති මැදුරේ ඔවුන් වෙනුවෙන් සූදානම් කළ රාත්‍රී භෝජන සංග්‍රයට ජනපති රනිල් මොවුනට ආරාධනා කර තිබුණි. ජනාධිපති මැදුරට සපැමිණි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයින් පිළිගනු ලැබුවේ ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ විසිනි.


ඇමෙරිකානු තානාපතිනි ජූලි චැන්ග්, ජනපති මැදුරට පැමිණ ඉංග්‍රීසි පාලකයින් ඉදිකළ එම ඉපැරණි මැදුරේ සිරි නරඹද්දී ඇය යම් දෙයක් දැක ඒ අසල නතරවූවාය. ඒ සුදු ජාතිකයන් විසින් එහි සවි කරන ලද ඉපැරණි දුරකතනයක් අසලය. පේළියට දුරකතන අංක සවි කළ විශාල පුවරුවකින් ද ඉහළට ඇදිය යුතු බොත්තම් රැසකින් ද සමන්විත එය අපූරු ඉපැරණි නිර්මාණයක් වූයේය.


“මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්” ලෙස සටහන් වූ එම දුරකතනයේ විස්තර ඇය විමසද්දී ඒ අසලට පැමිණියේ ජනපති රනිල්ය. ඔහු ඇයට අතීත විස්තරයක් ද කියා දී එම දුරකතනයෙන් ඇමතුමක් ගන්නා ආකාරය ද පැහැදිලි කර දුන්නේ සැවොම මවිත කරවමිනි. සුළු මොහොතකට ජනපති, රනිල් ජුලී චැන්ග් තානාපතිනියගේ දුරකතන ක්‍රියාකරු වූයේ ඉපැරණි ක්‍රමයට දුරකතන ඇමතුමක් ගන්නා ආකාරය පැහැදිලි කරන්නට ගිය නිසාවෙනි.


“සර් කොහොම හරි ඇමරිකාවට පණිවුඩයක් දුන්නා නේදැ’’යි නිලධාරියෙකු විමසද්දී ජනපති රනිල් කීවේ තානාපතිවරුන්ගේ මේ ගමණින් ලංකාව ගැන ලෝකයටම පණිවුඩයක් දුන් බවය.


නුවරඑළියේ සිසිල් සුළඟ කපා හැරීමට ජනපති මැදුරේ ගෙමිදුලේ ගිනි මැලයක් දල්වා තිබුණේ අතීතය සිහිගන්වමිනි. සරල සිංහල ආහාර වේලක රස විඳීමට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මෙහිදී අවස්ථාව උදාවූයේය. පසුදින ඔවුන් නානුඔය සිට දෙමෝදර දක්වා දුම්රිය ගමනක නිතර වූ අතර අතරමඟ ස්ථාන කිහිපයකදීම ඔවුන් නතරවූයේ පරිසර සුන්දරත්වය විඳගැනීමටය.


පට්ටිපොල හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථානවල දී ඔවුන් දුම්රියෙන් බැස අවට සිරි නැරඹූවෝය. දෙමෝදර ආරුක්කු 09 පාලම අසලදී දුම්රියෙන් බැසගත් ඔවුන් එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයින් සමඟ ද කතා බහ කළෝය. දෙමෝදර රේල් ගැටය (Loop) ද බලා ගත් මේ පිරිස අනතුරුව කොළඹ බලා පැමිණියේය.

 


ජනාධිපතිවරුන් තිදෙනා රට ගොඩනගන අනාගත දේශපාලන සැලසුම් ගැන කතා කර තිබුණි. ජනාධිපතිවරුන් රට හදන සැලසුම් කතා කරද්දී මහාචාර්ය ආශූ එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සමග රට හදන මාධ්‍ය සැලසුම ගැන කතා බහ කළේය

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ආර්ථික සැලසුම් ගැන කතා බහ කරන්නටය. මෙහිදී බැංකු පොලී හා ස්ථාවර තැන්පතු පොලී අඩුවීම ගැන ජනපති නිලධාරීන් හා සකච්ඡා කළේය

විපක්ෂයේ කතා ගැන සේමසිංහ කියූ දේ

බ්‍රහස්පතින්දා සවස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සමග කතාවට වැටුණේය. 


“ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන ජනතාව විශ්වාස කළා. විපක්ෂය බැංකු කඩා වැටෙනවා කිව්වට කවුරුත් ඒ කතාව විශ්වාස කළේ නෑ.” ඇමති සේමසිංහ කීවේ එවැන්නකි.


“විපක්ෂය දේශපාලනය කරන්න නොදන්නා බව පසුගිය කාලේ හැසිරීමෙන් පෙනී ගියා. ජනාධිපතිතුමා හම්බන්තොටදී ආරාධනා කළා වගේ විපක්ෂයට මේ මල් වට්ටියට අත ගහගන්න බැරිවුනා. විපක්ෂ නායකතුමා ඉන්නේ වැරදි ගණන් බැලීමක.” වජිර කීවේ ජනපති දෙස බලමිනි.


“පොලිස්පතිතුමා පත් කරන්නේ කවදාද?” ඇමැති සියඹලාපිටිය විමසද්දී ජනපති සුපුරුදු සිනහව පාමින් “හොඳ කෙනෙක් ඉක්මනට පත් කරන්නම්” කීවේ ඇඟට පතට නොදැනීය.
“සර් ජනාධිපති වෙලා අවුරුද්දක් වෙනවා. මට මතක් වෙන්නේ එදා වැඩබලන ජනාධිපති ලෙස කැඳවපු ආණ්ඩු පක්ෂ රැස්වීම. එදා ඉතින් හකීම්, සුමන්තිරන් මන්ත්‍රීතුමන්ලා වගේම ජනරාල් ශවේන්ද්‍රත් කිව්වානේ ඔබතුමාට අයින් වෙන්න කියලා.” ආශු කීවේය.


“එදා එයාලා කියපු දේ පිළිගත්තේ නැති නිසා අද ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවට ජනාධිපතිතුමා පත් වෙලා තියෙනවා. ජනප්‍රිය නායකයා නොවුනාට ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවට ජනාධිපතිතුමා පත් වෙලා ඉන්නවා.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කියද්දී රැස්ව සිටි නිලධාරීන් කීවේ “ඔයා හොඳ ස්ලෝගන් එකක්නේ දුන්නේ.” කියාය.


“තමන්ගේ ගේ ගිනි අරන් විනාශ වෙලා තියෙද්දී ඒ කිසිවක් නොසිතමින් රට ගැන සිතා ජනාධිපතිකම බාරගත් නිසා ගිනිගනිමින් තිබූ රට අළු මතින් ගොඩ නගන්න හැකියාව ලැබුණා.” ඇමති ශෙහාන් කතාව අවසන් කළේ එසේ කියමිනි.

එජාපය මොනරාගල 

එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් මේ වෙන විට රට පුරා පැවැත්වෙන අතර නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, මහලේකම් රංගේ ඇතුළු පක්ෂ නායකයින් පාක්ෂිකයන් දිරිමත් කරමින් ඊට සහභාගී වෙමින් සිටිති.


බල මණ්ඩලයට මොනරාගල ගිය නියෝජ්‍ය නායක රුවන්ට ජනතාවගෙන් ලැබුණේ අස්වැසුම ප්‍රශ්නය හා ඉඩම් ප්‍රශ්නයන් ය. ඒවා ජනපති සමඟ සාකච්ඡා කොට විසඳා දෙන බවට ඔහු පොරොන්දු වූයේය.  චීන ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිස නියෝජ්‍ය නායක රුවන් මුණගැසී මෙරට දේශපාලනයේ යෙදෙන තරුණ තරුණියන් පුහුණු කිරීම ගැන කතා බහ කළේය.

‘‘‍නියම බඩු තුනක්”‍ බලන්න ගිය රාජ්‍ය ඇමැතිලා

ණය ප්‍රතිව්‍යුහගත  කිරීමට අදාළ යෝජනාව විවාදයට ගත් බැවින් ඉකුත් සති අන්තයේ පාර්ලිමේන්තුව රැස් විය. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව, රටේම බරපතළ කතාබහට ලක් වූවක් බැවින් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මැති ඇමැතිවරු  සියලු‍ දෙනාම පාහේ පාර්ලිමේන්තුවේ  රැඳී සිටියහ. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම රාත්‍රි හතයි තිහට පමණ ගැනීමට තිබූ බැවින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන්  දෙදෙනෙකු කතා කර ගත්තේ එදින බොරැල්ල පුංචි තියටර් හි පැවති ‘‘නියම බඩු තුනක් ’’නාට්‍ය බලන්න යන්නටය. සවස තුනයි තිහේ දර්ශනය බලන්නට ගියහොත්  ඡන්දය විමසන අවස්ථාවට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බව ඔවුන්ගේ අදහස විය. රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන  දෙදෙනා පාර්ලිමේන්තු ඇඳුම් මාරු කරගෙන නියම බඩු තුනක් නාට්‍ය  බලන්නට පුංචි තියටර් වෙත ගියේ මාස්ක් ද පැලඳ මුහුණු වසාගෙනය. කවුරුන් හෝ  හඳුනාගනීවිය යන  සැකයෙන් එසේ මුහුණු වසාගෙන  ගියද ඔවුන් දෙදෙනා හඳුනා ගන්නට බොහෝ දෙනෙකුට හැකිවීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

කතානායකට එරෙහිව විපක්ෂය ජාත්‍යන්තරයට

ණය ප්‍රශස්ත කරන යෝජනාව පිළිබඳ විවාදයේදී විපක්ෂයට වෙලාව නොදී පක්ෂග්‍රාහීව කටයුතු කළැයි කියමින් කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ  පක්ෂ නායකයෝ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයාට ගිය සතියේ පැමිණිල්ලක් කළහ. විපනායක සජිත් ප්‍රේමදාස, මහාචාර්ය ජී.එල්. පීරිස්, රවුෆ් හකීම් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගේ අත්සනින් යුත් එම ලිපිය පසුගිය බදාදා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයාට යොමුකර තිබිණි. එහි සඳහන් කර තිබුණේ, කථානායකවරයාගේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් විපක්ෂයට බරපතළ අසාධාරණයක් සිදු වූ බවය.

කොමියුනිස්ට් පක්ෂයට අසූවයි

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම ඉකුත් අඟහරුවාදා  මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණේ දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි. චීනය, ඉන්දියාව, නේපාලය, වියට්නාමය ඇතුළු රටවල් ගණනාවක කොමියුනිස්ට්  පක්ෂ නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, අතුරුලියේ රතන හිමි ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයෝ පැමිණ  සිටියහ.


විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සංවත්සර උළෙල පක්ෂයේ මෑතදී පවත්වන ලද සාර්ථකම සංවත්සර සැමරුම විය හැකිය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහය. ‘‘ඉදිරියෙන් ඉදිරියට’’ නමින් විකල්ප සංවර්ධන වැඩපිළිවෙළක් ද එහිදී  එළිදක්වනු ලැබුවේ පොදු වැඩපිළිවෙළක් මත පදනම් වූ සාකච්ඡාවකට මුල පුරමිනි. විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබිණි .


සංවත්සර සමුළුවට සහභාගි වූ දෙස් විදෙස් ආරාධිතයන් සඳහා සුහද හමුවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊට පසු දින පැවැත්විණි. විපක්ෂයේ පක්ෂවල නායකයන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. එජාපයේ වජිර අබේවර්ධන, ඩග්ලස්, දේවානන්ද, සිද්ධාර්ථන්, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, විජිත හේරත්, හරිනි අමරසූරිය, මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් ද   එක්ව සිටියහ. මේ හමුවට සහභාගි වූ ෆවුසි මන්ත්‍රීවරයා එහිදී  වීරසිංහගෙන් ඇසුවේ කවුද දැන් ඔයාලගේ කැන්ඩිඩේට් කියාය. පොඩ්ඩක් ඉන්න වෙලාවට එයි. අපි පොදු වැඩපිළිවෙළක් හදාගෙන යමු ඔහු කීවේය.

 

■ ගජබා