ජනාධිපතිවරණය ගැන කතා ගොඩක්


සජිත් අපේ කාලය ගන්නවා

සඳුදා කැබිනට් හමුව අවසන් වී ජනපති රනිල් පිටතට එද්දී ජනපති පාර්ලිමේන්තු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සමඟ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රැඳී සිටියේ ජනපති හා අගමැති දෙදෙනාම මුණගැසීමටය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ හා ජගත් සමරවික්‍රම ඒ අතර වූහ.
“සර් මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ පැමිණිල්ලක් කරන්න.” මහාචාර්ය ආශු කීවේ ජනපති හා අගමැති දෙස බලමිනි.
“විපක්ෂ නායකතුමයි එයාගේ කට්ටියයි උදේට තියෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පැය විනාශ කරනවා.” දොලවත්ත මන්ත්‍රීවරයා කීය.

“විපක්ෂය කරන වැඩේ හින්දා අපිට විවාදයේ කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒනිසා මෙතන වැඩිම අසාධාරණයක් වෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට. අපිට කතාවට විනාඩි 15 ක් වෙන් වුණත් විපක්ෂ නායකගේ මේ කෝලම නිසා අන්තිමට අපිට විවාදයේදී ලැබෙන්නේ විනාඩි 4 ක විතර කාලයක්. මේක හරිම අසාධාරණයක්.” මන්ත්‍රී ජගත් සමරවික්‍රම ද කීවේ එවැන්නකි.

“පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නට දිනකට ලක්ෂ 40 ට වඩා වියදම් වෙනවා. විපක්ෂ නායකතුමා අවශ්‍ය දේයි අනවශ්‍ය දේයි දෙකම කතා කරන හින්දා මහජන මුදල් නාස්තියක් වෙන්නේ.” මධුර විතානගේ ද කතාවට එක්වූයේ එලෙසිනි.


“මේ කතාව අපි අනන්තවත් පක්ෂ නායක රැස්වීම්වලදී කතා වෙනවා. එතනදී කාලය කළමනාකරණය කරගන්න එකඟ වෙලා සභාවට ආවට පස්සේ ඒක වෙනස් කරනවා. වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පැයක් වෙන් කරලා තිබුණත් ඒක පැය දෙක තුනක් මේ අය ඇදගෙන යනවා.” එතනට පැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග ද මන්ත්‍රීවරුන්ගේ කතාව අනුමත කළේය.


“අපි මේ ගැන කතානායකතුමා එක්ක කතා කරන්නම්” ජනපති රනිල් කීවේ අගමැති දිනේෂ් දෙස බලමිනි.

77 යි 56 යි අවුලක් 

එක්සත් ජාතික පක්ෂ සංවත්සර කමිටු නිලධාරීහු, මහලේකම් රංගේ බණ්ඩාරගේ කැඳවීමෙන් පක්ෂ සම්මේලනය ගැන සාකච්ඡා කළහ.   නියෝජ්‍ය නායක රුවන්, උපනායක අකිල, සභාපති වජිර හා ජාතික සංවිධායක සාගල ඇතුළු පිරිස එයට එක්වූවෝය. සංවත්සර සම්මේලනයේ වගකීම් පිරිසට පැවරුවේ මහලේකම් විසිනි. මෙහිදී මතුව ආ පැනය වූයේ සම්මේලනයේ වර්ෂයේ වැරැද්දක් ඇති බව කියමිනි. මහලේකම් රංගේ යැවූ ලිපිවල 56 වැනි සම්මේලනය ලෙස සටහන්ව තිබීම ගැන රවි කරුණානායක ප්‍රශ්න කළේය. අවුරුදු හැත්තෑ ගණනක් සම්මේලන පැවැත්වූ පක්ෂයක මෙලෙස 56 කියා පළ කිරීමෙන් පාක්ෂිකයා අවුල්වන බව ඔහු පෙන්වා දුන්නේය.


මහලේකම් රංගේගේ ප්‍රතිචාරය වූයේ සම්මේලනය හා සංවත්සරය පටලවාගෙන ඇති බවය. පක්ෂය විසින් අනාදිමත් කාලයක් තිස්සේ සංවත්සර හා සම්මේලන පවත්වා ඇති බවත්, විශේෂ සම්මේලන පවා පවත්වා තිබෙන බවත් ඔහු කීවේය.


මෙවර පවත්වන්නේ පක්ෂයේ 77 වැනි සංවත්සරය බව කී රංගේ එය පවත්වනුයේ පක්ෂය පිහිටුවූ දිනය සිහි කිරීමට බව කියා සිටියේය. පක්ෂ සම්මේලන පැවැත්වූවේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම් ආදී විශේෂ අවස්ථාවලදී බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මෙවර පවත්වන්නේ පක්ෂයේ 56 වැනි සම්මේලනය බව මහලේකම් රංගේ කියා සිටියේය.
අවසානයේ සිරිකොත පාලන අංශයේ පැරණිම සාමාජිකාව වූ ඉවෝන්ට කතා කොට සම්මේලන පොත ගෙන්වා ප්‍රශ්නය නිරාකරණය කර ගත්හ. නමුත් පිරිස කියන්නට වූයේ 77 නමින් යා යුතු බවටය. එහෙත් මහලේකම් කීවේ ආරාධනා පත්‍ර හා පෝස්ටර් යන දෙකෙහිම 56 හා 77 දෙකම සටහන් වන බැවින් මෙය වෙනස් කරන්නට ගියහොත් අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය.


නැවත ආරාධනා පත්‍ර මුද්‍රණය කිරීමට තීන්දු කෙරුණු අතර, නීති අංශයේ දයා පැල්පොල හා රොනල්ඩ් පෙරේරා කියා සිටියේ මහලේකම් රංගේ ආවාට ගියාට දෙයක් කියන්නේ නැති බවය. 56 ඉවත් කොට ආරාධනා පත්‍ර සහ පෝස්ටර් මුද්‍රණය කිරීමට තීන්දු කෙරුණු අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන එම ගැටලුව විසඳා දීමට ඉදිරිපත් වූයේය.
ඉන් පසුව සංවත්සර සම්මේලනය පැවැත්වෙන ස්ථානය පරීක්ෂා කිරීමට මහලේකම් රංගේ, ශමල් සෙනරත් හා ලසන්ත ගුණවර්ධන ගියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟය. රැස්වීම පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කළ පිරිස පසුව යළිත් සවස ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ ජනපති සමඟ පැවැත්වෙන පක්ෂයේ කළමනාකරණ කමිටුවට සහභාගි වීමටය.

විශ්වාසභංගයට ලෑස්තියි 

බාල බෙහෙත් මාෆියාව හේතුකොටගෙන රට පුරා බලවත් ව්‍යසනයක් ඉස්මතු ව ඇති බව මේ වන විට රහසක් නොවේ.
මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව සමගි ජනබලවේගයේ විශ්වාසයයි.


එනිසාම විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය කටයුතු කොට තිබේ. අදාල විශ්වාසභංගය ලබන සතියේ ගෙන ඒමට නියමිතය.


“මොකද ඔබතුමන්ලාගේ විශ්වාසභංගයේ තත්ත්වය?”‍
ආණ්ඩුවේ ඇමතිවරයෙක් මරික්කාර් ගෙන් ඇසුවේය.

“නිසි කලට නිසි වේලාවට සේරම එයි. බාල බෙහෙත් මාෆියාව සමග එක්ව ජනතාවට මැරෙන්න අත උස්සන්නේ කව්ද, ජනතාව බේරගන්න අත උස්සන්නේ කව්ද කියලා එදාට රටේ ජනතාවට දැක බලාගන්න පුළුවන්”‍ මරික්කාර් කීවේය.

 

“ආණ්ඩුව හිතන් ඉන්නවා අපි විශ්වාසභංගය අතෑරලා කියලා. එන සතියේ බලමුකො වෙන දේ”‍   එහෙම කීවේ හර්ෂණ ය.
“විශ්වාසභංගය විතරක් නෙවේ, අපි නඩුත් දානවා”‍  කාවින්ද ජයවර්ධන කීවේය.
කීවා වගේම ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සහ මතුව ඇති සෞඛ්‍ය අර්බූදය මුල් කරගෙන සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ක‌ළේය.


දොස්තර කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.

 ජනපතිවරණය තුන්කොන්  සටනක් වන ලකුණු

ආණ්ඩුවත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් මේ වන විට සිටින්නේ ජනාධිපතිවරණ සූදානමකය. එළියට නොපෙන්නුවද ආණ්ඩුව ද ඒ සඳහා  සූදානම් වන බව පැහැදිලිය. ස්ථිර වශයෙන්ම ලබන වසරේ අගෝස්තු අග වන විට  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඒ අනුව බලන විට ජනාධිපතිවරණයට ඇත්තේ තවත් වසරක කාලයකි.
ආණ්ඩුවේත් විපක්ෂයේත් සූදානම ජනාධිපතිවරණය වෙනුවෙනි. දැනට තිබෙන සන්ධානවලට අමතරව, ඉදිරියේ දී ද අලු‍ත් සන්ධාන ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඩනැගෙනු ඇත. කෙසේ වුවද දැනට තිබෙන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත්තේ ජනාධිපතිවරණය තුන් කොන් සටනක් වනු ඇති බවය. එම තුන්කොන් සටන නිර්මාණය වනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන තිදෙනා අතරය. ඒ වෙනුවෙන් හැදෙන සන්ධාන පිළිබඳ කතාබහ අහුමුළුවල දැනටමත් සිදුවෙමින් පවතී.

උඩින් කැපිලි ගැන දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද  එළියට නොපෙන්වුවද අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ පක්ෂයේ සිටින සහ ආණ්ඩුවට එක් වූ පිරිස අතර ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ද වන දයාසිරි ජයසේකර නියෝජනය කරන හෙට්ටිපොළ ප්‍රදේශයේ පක්ෂයේ සංවත්සර සමුළුව පවත්වන්නට කලින් ගත් තීරණය අවලංගු කර එය කොළඹට ගැනීම සම්බන්ධයෙන් දයාසිරි සිටින්නේ  තරමක කේන්තියකිනි.

එය කොළඹට ගැනීමට මූලික වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  ආණ්ඩුවට එක් වූ පිරිස බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද  අමරවීර ඇතුළු කණ්ඩායම සිටින්නේ සන්තෝෂයෙනි. ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ  පැවැත්වෙන පක්ෂයේ 72 සංවත්සරය වෙනුවෙන් ශාලාව වෙන් කරන්නට මුදල් දී ඇත්තේද  මහින්ද අමරවීර බව දැනගන්නට ඇත.

 

සංවත්සරය සම්බන්ධයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා උදේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට පක්ෂයේ සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමේ  අවශ්‍යතාවක් සභාපතිවරයාට තිබුණද, ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී  පිරිස එම මාධ්‍ය හමුවට ඒම ගැන දයාසිරි ජයසේකර තුළ එතරම් ප්‍රසාදයක් නොවීය. අවසානයේ ඊට සහභාගි වූයේ හිටපු  ජනාධිපතිවරයා, දයාසිරි ජයසේකර, ෂාන්  විජයලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන  සිව් දෙනා පමණි. මේ මාධ්‍ය හමුවේ දී කිසිවක් කථා නොකරන බව දයාසිරි මුලින්ම කීවේය. අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා ද කතා නොකළ අතර හිටපු ජනාධිපතිවරයාට පමණක් එහිදී කතා කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. මාධ්‍ය හමුවේ දී කිසිවක් නොකියූ දයාසිරි එළියට එද්දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට උත්තර දුන්නේය. “ඔබතුමාට පක්ෂයේ යටින් කැපිලි නේදැයි මාධ්‍යවේදියකු ඇසූ විට  දයාසිරි හිනා වෙමින් කීවේ යටින් නෙවෙයි ඒවා උඩින් එන කැපිලි කියාය. එහෙත් උඩින් එන කැපිල්ල කාගෙන්දැයි ඔහු කියන්නට ඉක්මන් නොවී ය.


මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව අවසන් වනවාත් සමගම  තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පැමිණ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින්  තවත් මාධ්‍යය හමුවක් පැවැත්වීය. ඊට සහභාගි වූයේ තිලංග පමණි.


මේ අතර, පක්ෂයේ සංවත්සර සමුළුව ගැන සාකච්ඡා කිරීමේ කමිටුවේ අවසන් රැස්වීම එදින පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට දයාසිරි ජයසේකර, ෂාන්  විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් මෙන්ම ආණ්ඩුවට එක්ව ඇමතිකම් ගත් මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන දෙදෙනාද  සහභාගි වූහ.

ලන්සලාගේ සන්ධානයේ  නායකත්වය අනුර යාපාට

මල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී රැස් විය. ඊට අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, පියංකර ජයරත්න ඇතුළු  පිරිසක් සහභාගි වූහ. අලු‍තින් හදන සන්ධානයේ නායකත්වයට අනුර ප්‍රියදර්ශන යාපා පත්කරන්න නිමල් ලන්සාත්, සුසිල් ප්‍රේමජයන්තත්  යෝජනා කළ අතර, ඊට සියලු‍ දෙනාගේ එකඟතාව පළ විය.


එම නව සන්ධානය සඳහා  වෙනත් පක්ෂ හා  සංවිධාන එකතු කර ගැනීමේ වගකීමද අනුර ප්‍රියදර්ශන යාපාට පවරන්නට තීරණය විය. නව සන්ධානයේ නායකත්වයත් වයඹට ගියා නේදැයි නලින් ප්‍රනාන්දු විහිළු කරද්දී  ප්‍රියංකර ජයරත්න කීවේ බොහෝ දෙනා මතුකරන්න හදන්නේ අපි රාජපක්ෂ කඳවුරේ කියලා හංවඩු ගහන්න කියාය. ඊට උත්තර දුන්නේ අනුර යාපාය. අනුර යාපා කිව්වේ මේක රාජපක්ෂ විරෝධී කඳවුරක් කියාය.

නාමල් ගමට බහී

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ගම්බිම්වලට ගොස් ප්‍රචාරක කටයුතු කිරීමට තීරණය කර ඇත. 

පොහොට්ටුව දැනට ආසන මට්ටමින් බලමණ්ඩල කැඳවමින් පාක්ෂිකයන් දිරිගන්වමින් සිටින්නේ ඉදිරි මැතිවරණය වෙනුවෙනි. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ හමුවක් ඉකුත් දා පැවැති අතර, එහිදී කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කීවේ දැන් පොඩි සිංහයා හිට් වේගෙන එනවා කියාය. නාමල් රාජපක්ෂ කීවේ ඔව් ඔව් පොඩි මයිනා දැන් පොඩි සිංහයා බවට උසස් වෙලා නේ කියාය. ඊට සියලු‍ දෙනාම හයියෙන් හිනා වන්නට වූහ.

කෙහෙළිය ගොඩදාන්න ප්‍රසන්න ඡන්ද එකතු කරයි

‍සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 6,7,8 යන දින තුනේ පැවැත්වෙන බැවින්, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු‍ දෙනාට  ලබන සතියේ  පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නැයි, දැනුම් දී ඇත. ඒ පිළිබඳ ඡන්දය විමසීම  සිදුවන්නේ අට වැනිදා හවස පහට ය. මේ නිසා සියලු‍ මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති අතර, මැති ඇමැතීන්ට පිටරට යාමද  තහනම් කර ඇත. එපමණක් නොව ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් රැස්වීමේ දී ද කීවේ රට ගොස් සිටින මැති ඇමැතිවරුන්ද වහා ගෙන්වාගන්නා ලෙසය. ඒ අනුව ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සියලු‍ මැති ඇමැතිවරුන්ට දුරකතන ඇමතුම් දෙමින් ලබන සතියේ පාර්ලිමේන්තුවේ  රැඳී සිටින්නැයි  දැනුම් දී ඇත.

ඉන්දීය ආරක්ෂක ඇමැති එයි

ෂියාන් 6 පර්‌‌යේෂණ නෞකාව කොළඹ වරායේ හා හම්බන්තොට නැංගුරම් ලා තැබීමට චීනය අවසර ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සිටින්නේ තරමක්  කලබල වෙලාය. මේ අතර ඉන්දීය ආරක්ෂක ඇමැති  සිං ඊයේ (02) දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. දෙදින  සංචාරයක් සඳහා පැමිණෙන ඔහු අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇත. රාජ්නාත් සිං, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන තිදෙනා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, නැගෙනහිර සහ නුවරඑළියේ ද සංචාරය කිරීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ඔහු වෙනුවෙන්  ත්‍රිකුණාමලයේ දී භෝජන සංග්‍රහයක් ද සූදානම් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

■ ගජබා​