ජනපතිට දුක කී පොහොට්ටු මන්ත්‍රීවරු


දිගින් දිගටම කල් යමින් තිබූ රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම ගිය බ්‍රහස්පතින්දා සිදුවිය. කලින් සිටි කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුට ද මෙවර රාජ්‍ය ඇමැති ධුර හිමිවී ඇති අතර, රාජ්‍ය ඇමැති ධුර ලැබුණු වැඩිදෙනා හිටපු රාජ්‍ය ඇමතිවරුය. දිලු‍ම් අමුණුගම, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන් සේමසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍ය ධුර ලැබුණු හිටපු කැබිනට් ඇමතිවරු වෙති. රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් එදින දිවුරුම් දුන්හ. හම්බන්තොට ඩී චානක මන්ත්‍රීවරයා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම්දී උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවී වෙනත් විෂයක් ඉල්ලා සිටියේ කෘෂිකර්ම කැබිනට් ඇමැතිවරයා ලෙස හම්බන්තොට මහින්ද අමරවීර කටයුතු කරන නිසාය. ඔහු කීවේ කැබිනට් ඇමැතිවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිසා දෙදෙනාටම එකම අමාත්‍යාංශයේ කටයුතු කිරීම ගැටලු‍කාරී බව ය. ඒ අනුව ජනාධිපතිවරයා චානකගේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ විෂය පථය වෙනස් කර, ඔහුට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය දුන්නේය. ඉන්දික අනුරුද්ධ ද විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් නිසා එම අමාත්‍යංශයට රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු පත් කර ඇත.


ඇමැතිවරුන් පත්කිරීමේ අනෙක් විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙකුටද රාජ්‍ය ඇමැති ධුර හිමි වීම ය. රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, ආචාර්ය සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමැති ධුර හිමි වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ය. ඒ පිරිස ආණ්ඩුවට සම්බන්ධ වන බවට කල්තියාම ඉඟි පළ වෙමින් තිබිණි. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර පක්ෂයේ ප්‍රතිපත්තියට පිටින් ගොස් කැබිනට් ඇමතිධුර ගත්තා සේ, මෙම පිරිස ද පක්ෂයේ තීරණයට පරිබාහිර ව ඇමැති ධුර ගත් පිරිසක් වෙති. දැනගන්නට ඇති පරිදි ඉදිරි සතියේ සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට ද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීමට නියමිතව ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර දිගින් දිගට සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීමට දිනට කලින් දිනයේ හැන්දෑවේ ද ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වුණේ මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙනි. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන තිහකට පමණ සීමා කිරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටි නමුත්, පොහොට්ටුවෙන් ඉදිරිපත් කර ඇති සියලු‍ දෙනාට ඒ සඳහා අවස්ථාව ලැබිය යුතු බව හිටපු අගමැතිවරයා ගේ අදහස විය. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනකු පත් කරන්නට තීරණය විය. ඒ අතර දැන ගන්නට ඇත්තේ රත්නපුරේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට ද රාජ්‍ය ඇමති ධූරයක් හිමි වනු ඇති බවය. දැනගන්නට ඇති පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුගේ ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා තිබුණේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනාට සහ අනූප පැස්කුවල් මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම සිදු වූයේ ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව බව පැවසේ.


දැන් ඉතිරිව ඇත්තේ ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීම ය. දැනට පත්කර සිටින ඇමතිවරුන් 18 දෙනාගේ ගණන නව කැබිනට් සංශෝධනය සමග තිහක් දක්වා වැඩි වනු ඇත. නව කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ සිදුවීමට නියමිතව ඇති අතර, ඒ අනුව අලු‍තින් දොළොස් දෙනකු කැබිනට් මණ්ඩලයට එකතු වනු ඇත. එම දොළොස් දෙනාගෙන් දහදෙනකු පොහොට්ටුවෙන් යෝජනා කර ඇති බව වාර්තා වේ. රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ජීවන් තොණ්ඩමන්, එල්.එම්. අතාවුල්ලා, සරත් වීරසේකර, විමලවීර දිසානායක ඇතුළු පිරිසක් ඊට ඇතුළත් වනු ඇත. මේ අතර හිටපු තවත් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකගේ නම් ද ඊට ඇතුළත්ව ඇති බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් යම් විරෝධයක් තිබෙන බවත් දැනගන්නට ඇත.


යුනිසෙෆ් වාර්තාවට ආණ්ඩුවේ විරෝධය.


ශ්‍රී ලංකාව මන්දපෝෂණයෙන් ලොව හය වැනි ස්ථානයට පත්ව ඇතැයි පසුගිය සතියේ මාධ්‍යවල පළ වූයේ යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පදනම් කරගනිමිනි. එම ප්‍රවෘත්තිය පළවීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ නිවැරදි තොරතුරු මත පදනම් වූ වාර්තාවක් නොවන බව ය. ගිය සතියේ පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වුණේ ද දරුවන්ගේ හා ගැබිනි මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙනි. ඒ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරන්නට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද කැඳවනු ලැබ සිටියහ. මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වෙනි තැනට පත් ව සිටිනවා යන්න සත්‍යයක් දැයි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර, සෞඛ්‍ය ලේකම්වරයා කීවේ එය වැරදි බවය. ඒක වැරදි නම් මාධ්‍යවලට ගියේ කොහොමදැයි ජනාධිපතිවරයා විමසා සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කිව්වේ මාධ්‍ය හමුවක් කැඳවා ඒ ගැන පැහැදිලි කිරීමක් කළ බවය. නමුත් මාධ්‍යවලින් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු කීවේය. ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ මේ ගැන විවාදයේ දී කරුණු දක්වන්න කියාය.


මේ අතර, යූ.කේ. සුමිත් මන්ත්‍රීවරයා කීවේ වයඹ ආණ්ඩුකාරවරයා සමග කටයුතු කළ නොහැකි බවය. ඔහු හමුදාවේ කටයුතු කළ ආකාරයෙන් කටයුතු කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. ආණ්ඩුකාරවරයාගේ බලතල මන්ත්‍රීවරුන්ට පවරන්න පුළුවන් ද කියා සොයා බලන්න ඕනෑ ජනාධිපතිවරයා කීවේය. පළාත් සභා ක්‍රියාත්මක නොවුණත් එහි බලතල සභාපතිවරයාට තිබෙන බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කීවේය. එහිදී මන්ත්‍රීවරුන් කියා සිටියේ බුදු අම්මෝ ඒක නම් කරන්න එපා යනුවෙනි. මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග පැහැදිලි කළේය. ඔහු කිව්වේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් හානිපූර්ණ වන්දි ලබා ගන්න අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් තිස්දෙනකු පමණක් බවය. සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කීවේ ප්‍රාදේශීය ලේකම්වරයා ද ෆෝම් එකක් එවා ඇති බවය. ප්‍රසන්න කිව්වෙ ප්‍රාදේශීය ලේකම්වරයාට දිය යුත්තේ දිවුරුම් ප්‍රකාශයක් බව ය. මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව තමන් ඇතුළු කිහිප දෙනකු විජයදාස රාජපක්ෂ ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ බව ප්‍රසන්න කීවේය.


මේ කතාබහ වෙනතකට යොමු වූයේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු කලක් නිහඬව සිට පසුව කරළියට පැමිණි කෙනෙකි. ‘අපි ප්‍රශ්නයක් කිව්වම හිටපු ජනාධිපතිතුමා ගණන් ගත්තෙ නෑ. ඒකෙන් වුණේ මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් කලකිරිලා ආණ්ඩුව කඩාගෙන ගිය එකයි. අන්තිමට ගෝඨාභය මහත්තයටත් ගෙදර යන්න වුණා’ යැයි ඔහු කීවේය. ඒ සමගම ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ප්‍රශස්තියක් ගායනා කළේය. ‘‘අද අපේ ජනාධිපතිතුමා ඔබයි. ඔබතුමාගේ වැඩපිළිවෙළ අපි අගය කරනවා. අපේ ජීවිත බේරලා අපට අභයදානය දීපු එක ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා’’ යැයි කුට්ටිආරච්චි කීවේය.


ඔහු දිගටම කතා කළේ ය. දැන් තැන්තැන්වල ආපහු කුටු කුටු ගානවා. කැබිනට් ඇමැතිවරුන්ගෙන් ඇහුවම මොකද වෙන්නේ කියලා ඒගොල්ලො කියන්නේ අනේ වැඩක් නෑ බං කියලයි. මොකද වෙන්නේ කියලා අපිට තේරෙන්නෙත් නෑ’’ යැයි කී කුට්ටිආරච්චි කීවේ ‘ඔය ඇමැතිකම් දීලා වැඩේ ඉවර කරගෙන සාමූහිකත්වය ආරක්ෂා කරගන්න කියා’ ය. ‘නැතුව මෙහෙම ගියොත් මේකත් හෝදගෙන යාවි’ ඔහු කීවේය.
ඒ සමගම ඔහු දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ‘‘අද මට එන්න වාහනයක් තිබුණේ නෑ. හිතවතෙක්ගෙ වාහනයක ආවේ. ඇමැතිකම් දෙන අයට ඒවා දීලා, අපිටත් එහෙට මෙහෙට යන්න ටිකක්වත් දෙන්න’. ඔහු කීවේය. කුට්ටිආරච්චිගේ අදහස් දැක්වීමට තවත් මන්ත්‍රීවරු පිරිසක් අත්පොළසන් දෙමින් එය අනුමත කළහ. ‘සමහරුන්ට ඇමතිකම් දෙන්න එපා කියලා තවත් අය කියනවලු‍’ කුට්ටිආරච්චි කීවේය. නිමල් ලන්සා කිව්වේ හෙට අනිද්දට ඇමැතිකම් ලැබෙන ඇමැතිවරුය. මේ මන්ත්‍රීවරුන් ගැනත් බලන්න ඕන කියාය. රාජ්‍ය ඇමැතිකම් ලැබෙන අය අඩුම තරමින් මන්ත්‍රීවරුන් දෙන්නෙක්වත් බලාගන්න. එතකොට මෙහෙම ප්‍රශ්න එන එකක් නැහැ නිමල් ලන්සා කීවේය


අලු‍ත් පක්ෂයක් ගැන අමරවීරගෙන් ඉඟියක්


ශ්‍රී ලංකා නිදහස් ඒකාධිපති පක්ෂයෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදනවා යැයි පක්ෂ නායක රැස්වීම අවසන් වී එළියට එද්දි මහින්ද අමරවීර කීවේය. ඒ අසල සිටි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය නිමල් සිරිපාල දෙසට හැරෙමින් කීවේ සර් ඔහොම අඬන්නේ මොකටද. මගේ පක්ෂය සජබය මම නේ අඬන්න ඕනෑ යනුවෙනි. ඔය පොඩි පක්ෂවලට එළියට බැහැලා ඡන්දයක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලු‍වොත් වෙන දේ බලාගන්න පුළුවන්නේ ඩයනා කියද්දි නිමල් ද එය අනුමත කළේය.


අර්බුද මැද සම්මත වූ ශ්‍රීලනිප ව්‍යවස්ථාව


ඉකුත් සතියේ සිකුරාදා මහරගම පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 සංවත්සරය දී පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. මේ සංශෝධන වළක්වන්නට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමක් දැඩි වෙහෙසක් ගත්තේය. ඊට පෙර දින පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ද නිමල්, අමරවීර ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කළ අතර පසුදා ඔවුන්ගේ මෙහෙයවීම මත තහනම් නියෝගයක් ගැනීමේ අධිකරණ ක්‍රියා මාර්ගයකටද යොමු වී තිබිණි. පක්ෂ සංවත්සර සමුළුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවති අතර නිමල් සිරිපාල, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරු ද ඊට සහභාගි වූහ. සංවත්සර සමුළුවට පෙර පැවති සමස්ත ලංකා කාරක සභාවේ දී පක්ෂයෙහි ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් විය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම වගකිවයුතු තනතුරු දරන නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු පිරිසට ද වෙනදා සංවත්සරයේ දී සභාව අමතන්නට කතා වෙන්වන නමුත් මෙවර එවැන්නක් දක්නට නොලැබිණි. ඒ වෙනුවට ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම පැවරුණේ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරටය. ඔහු යෝජනා ඉදිරිපත් කළේය. දේශපාලන යෝජනා ඉදිරිපත් කිරීම පැවරුණේ පක්ෂයේ උපසභාපතිවරයකු වන ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට ය. ඔහුට ඒ සඳහා කලින්ම දැනුම් දී තිබුණද යෝජනාව ලැබුණේ අන්තිම මොහොතේ ය. එතෙක් යෝජනාව තිබුණේ මෛත්‍රි අතේය. සංවත්සර සමුළුව ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර මෛත්‍රී එය ෂාන්ට දුන්නේ ය.


මෙවර සංවත්සර උළෙලේ සංවිධාන කටයුතු වෙනුවෙන් ෂාන්ට ලොකු කාර්යභාරයක් පැවරී තිබූ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාය. ඒ නිසා ඔහුට සුබපැතීමට පමණක් අවස්ථාව ලැබිණි. දයාසිරි යෝජනාව ඉදිරිපත් කළ පසු වේදිකාවට ගොඩ වූ මෛත්‍රී මේ සම්බන්ධයෙන් විරෝධතා තිබේ දැයි විමසීය. නමුත් කිසිවෙක් විරෝධය පළ කරන්නට ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට නිමල් අමරවීර ඇතුළු මන්ත්‍රීවරු හත්දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අවසානයේ මෛත්‍රී කීවේ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ බවය.


ඩලස්ලා ගේ කණ්ඩායම දළදා වඳින්න මහනුවරට


ඩලස්, ජීඑල් ඇතුළු කණ්ඩායම දැන් හඳුන්වන්නේ නිදහස් ජනතා සභාව යනුවෙනි. ඔවුන්ගේ කාර්යාලය ගිය සතියේ නාවල දී විවෘත විය. උත්සවයට කොළඹ ප්‍රසිද්ධ නීතිඥවරියෝ දෙනෙක් කේක් ද රැගෙන පැමිණ සිටියහ. විවෘත කිරීමෙන් අනතුරුව ඩලස්ලාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු දහ තුන් දෙනා එක්ව කේක් කැපූහ. කේක් කපා පිරිසට සංග්‍රහ කිරීම බාර ගත්තේ හැමදාම සෙල්ලක්කාර වැඩ කරන ඩිලාන් පෙරේරා ය. හැමෝගෙම අත්පොළසන් මැද ඩිලාන් කේක් කපා පළමු කේක් කෑල්ල ජී.එල්. පීරිස්ටත්, ඊළඟට ඩලස්ටත් කැව්වේය.


පිරිස මේ සති අන්තයේ ඉන්නේ මහනුවර ය. ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගැනීමත් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ඔවුන්ගේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමත් අරමුණු කරගෙන පිරිස සිකුරාදා හැන්දෑවේ බස් රථයකින් නුවර බලා පිටත්ව ගියහ.


උත්තර ලංකා සභාගය ජනගත වූ හැටි


ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් පසුගිය 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය’ ජනගත කෙරිණි.


මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ’’ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව ඇති බව නිවේදකවරයා සමුළුවට ප්‍රකාශයට පත් කළේය.


උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍ඳු කුමාරතුංග යන මහත්වරුන් ද පත්ව ඇති බව ප්‍රකාශයට පත් කෙරිණි.


මෙම අවස්ථාවට සුබපැතුම් රැගෙන ‘නිදහස’ ජනතා සභාව නියෝජනය කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි උපසභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් ‘‘ද එක්ව සිටි අතර එය කාගේත් කතාබහට ලක් විය.


විමල්ගේ කෙළින් කතාවට තානාපතිවරුන්ගේ ප්‍රසාදය


චීන තානාපති Qi Zhenhong, කියුබානු තානාපති Andrés Marcelo Garrido, ජපාන නියෝජ්‍ය තානාපති Kotaro Katsuki, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් Vinod K. Jacob යන මහත්වරුන් ඇතුළු ඉරාන, වියට්නාම තානාපති කාර්යාලයන්හි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් ද සුබපැතුම් රැගෙන මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඔවුන් ලංකාවේ දේශපාලන කරළියට එක්වන නව සභාගයේ නායකයන්ගේ කතාවලට සාවධානව ඇහුම්කන් දුන්නේ භාෂා පරිවර්තක කට්ටල මගිනි. එහිදී ඒ සියලු‍දෙනා නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳව පහත සඳහන් අයුරින් විමල් වීරවංශ මහතා අපූරු විග්‍රහයක යෙදෙන විට ඊට ප්‍රසාදය පළ කළේ අත්පොළසන් දෙමිනි.


‘‘පරිණාමවාදයේ පියා’ චාල්ස් ඩාවින් කියා පුංචි පුතාලට කියලා දෙනවා. ‘හේතුඵලවාදයේ’ පියා කවුරුත් හඳුන්වා දී තිබෙනවාද? ‘හේතුඵලවාදයේ’ පියා බුදුන්වහන්සේ කියා කවුරුත් අපට කියා දෙන්නේ නැහැනේ. මේ තමයි පෙරදිගට තිබෙන ගැරහීම, නොසැලකිල්ල. අපරදිග දැනුම අතේ තියාගෙන, පෙරදිග දැනුම කොල්ලකමින් අපරදිග දැනුම පමණයි අපේ ඔළුවලට අද පටවමින් ඉන්නේ. නමුත් මේ සියලු‍දෙනාම තේරුම් ගන්න මේ උත්තර ලංකා සභාගය හැදෙන්නේ රට ඇතුළේ පරිවර්තනීය යුගයක් වගේම, ලෝකය ඇතුළෙත් පරිවර්තන යුගයක, යුරෝපය අතේ තිබෙන බලය ආසියාවට පරිවර්තනය වෙමින් තිබෙන යුගයක. අන්න ඒ බව දැකලා ඒ ආසියානු බලයත් එක්ක හිටගන්න, ප්‍රධාන බලවේගය තමයි උත්තර ලංකා සභාගය. අපි ඉන්නේ ආසියානු බලයත් එක්ක.”‍
මංගල සමුළුව සඳහා නිර්මාණය වූ ගීතය ‘සිත් තුළ පිපෙන සජ්ජන පියුම’ ගීතය ද ජනගත කිරීම ද මෙහිදී සිදු විය.


දමිතා වෙනුවෙන් සජිත් පෙරට එයි


දමිතා අබේරත්න කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව සැලවීමත් සමගම විපක්ෂ නායක සජිත් ඒ පිළිබඳව සොයා බැලු‍වේය. ඇයට පොලීසියට එන්නටයැයි කැඳවා තිබුණේ නව වෙනිදා වුවත් දියත උයන පරිශ්‍රයේ පැවති විරෝධතාවයකට එක් වූ අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
සජිත් පෙරවරුවේම ඇයගේ සුවදුක් බැලීමට කොටුව පොලීසිය වෙත ගියේය.
‘‘ආණ්ඩුවට තරුණයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන් පේන්න බැහැ. එයාලා දුටුතැන අල්ලන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. මේක තමයි ආණ්ඩුව දීලා තියන ප්‍රජාතන්ත්‍රවාදය”‍ සජිත් කීවේය.
පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන් දඩයම් කරමින් සිටින බව ද පැවසීය.


මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව ද පැවසීය.
ඉන් අනතුරුව, සජිත් පාර්ලිමේන්තුවේදී ද දමිතා වෙනුවෙන් හඬ නැගුවේය.
විපක්ෂනායකවරයා දමිතා අබේරත්න සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අමාත්‍ය ප්‍රසන්න රණතුංගත්, මන්ත්‍රී නාමල් රාජපක්ෂත් ඊට බාධා කිරීමට පියවර ගෙන තිබිණ.


ඒ අවස්ථාවේ වහා නැගී සිටි නාමල් රාජපක්ෂ, වරදක් සිදු සිදු කොට ඇත්නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකතුමා එවැනි අය වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවත් පැවසීය. ප්‍රචණ්ඩත්වය උදෙසා කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු පැවසීය.
එහිදී විපක්ෂ නායක සජිත් පවසා සිටියේ ”‍ප්‍රචණ්ඩත්වය හඳුන්වා දුන්නේ කවුද කියා මුළු රටත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් දන්නා බවත් තමන් පෙනී සිටිය යුත්තේ කවුරු වෙනුවෙන්ද යන්න පිළිබඳව රාජපක්ෂලාගෙන් උපදෙස් අනවශ්‍ය බවත් ය.


නව නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ දිවුරුම් දීමත් සමඟම ආණ්ඩුවට එරෙහිව රට පුරා විශාල විරෝධයක් මතු වෙමින් තිබිණි. රටම බංකොලොත් වී සිටින මොහොතක තවත් බරක් එක් කරමින් ඇමැතිවරුන් විශාල පිරිසක් පත් කිරීම සම්බන්ධව සමගි ජන බලවේගය ද සිය විරෝධය පළ කළේය.
‘‘අරගලයට ගහපු සනත් නිශාන්ත අද ඇමැති! අසූචි නැව ගෙන්නපු ශෂීන්ද්‍ර අද ඇමැති! පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු ප්‍රසන්න අද ඇමැති! ගංජා ප්‍රමෝට් කරපු ඩයනාත් අද ඇමැති! අරන්තලාවේ හාමුදුරුවරු මැරුවා කියපු පිල්ලෙයානුත් අද ඇමැති! හැබැයි අරගලය කරලා ‌රටේ වෙනසක් ඉල්ලපු දමිතලා අද ඇතුළේ!”‍
මරික්කාර් කීවේය. ‘‘ඒ විතරක් නෙවේ, අරගලයට මුවා වෙලා තමයි රනිල් ජනාධිපති වුණේ. දැන් ගුටිකන්න වෙලා තියෙන්නෙ රාජපක්ෂලාට නෙවේ. අරගලකරුවන්ට”‍
අශෝක් අබේසිංහ කීවේය.


සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණේ බ්‍රහස්පතින්දා හවස ය.
“මේ වෙලාවේ රට බරපතළ විදිහට කඩාගෙන වැටිල තියෙන්නෙ. ජීවන වියදම නැඟලා තියෙන්නෙ, රටේ ජනතාවට ඔලු‍ව උස්සන්න බැරි තරමට. එහෙම වෙලාවක ආණ්ඩුව අලු‍තෙන් නියෝජ්‍ය ඇමැතිවරු තිස්හතක් පත්කරනවා. මේක මොන තරම් පිළිකුල්සහගත ද”‍සජිත් කීවේය.
‘‘ඒ නියෝජ්‍ය ඇමැතිවරු දිහා බැලු‍වම ආණ්ඩුව රට තල්ලු‍ කරගෙන යන්නේ කොහෙට ද කියන එක ගැන පැහැදිලියි.” හර්ෂණ රාජකරුණා කීවේය.


“අපි පක්ෂයක් හැටියට මේකට විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මේකට විරුද්ධව අපි යෝජනාවක් සම්මත කර ගන්නත් ඕන.”‍මහලේකම් රංජිත් කීවේය.
ඒ අනුව සමගි ජන බලවේගය, ආණ්ඩුව විසින් අලු‍තෙන් පත් කරගත් දැවැන්ත ඇමති මණ්ඩලයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්තේය.


මීට අමතරව පක්ෂ විනය නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ මන්ත්‍රීවරුන් සම්බන්ධව වහාම තීන්දුවක් ගත යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අදහසක් ඉදිරිපත් විය. ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා ඔවුන් පිළිබඳව තීන්දුවක් ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීන්දු විය.
‘‘පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන්න කලින් සම්මුඛ පරීක්ෂණ තියන්න ඕනෑ. මේ වෙනකොටත් දුරකථන ඇමතුම් රැසක් අපිට එනවා. පක්ෂ විපක්ෂ භේදයක් නැතිව අපේක්ෂකත්වය අපෙන් ඉල්ලන සිය දහස් ගණනක් ඉන්නවා.”‍ මහ ලේකම් කීවේය.


‘‘විශේෂයෙන්ම මෙතැනදී මේ අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක දුක් විඳගෙන කට්ටකාපු අය ගැන විශේෂයෙන් බලන්න ඕන.”‍ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා කීවේය.


‘‘අපිත් එක්ක අලු‍තෙන් සම්බන්ධ වෙන දක්ෂ, හැකියාව කුසලතාවය තියෙන පිරිසිදු චරිතවලටත් ඉඩ දෙන්න ඕන”‍මහලේකම් රංජිත් කීවේය.


‘‘ඔව් ඒ දෙගොල්ලටම ප්‍රමුඛතාව දීලා ඉතාම හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරමු. පළාත් පාලන මැතිවරණය ඉහළින්ම දිනලා අපේ ජයග්‍රහණයේ වෙඩිමුරය තියන්න ඕන”‍ සජිත් සිය කණ්ඩායමට කීවේය.
මේ දිනවල රට පුරා සමුපකාර ඡන්ද පැවැත්වෙමින් තිබේ. ඒවායේ ප්‍රතිඵලය ආණ්ඩුවට කිසිසේත් සුබදායක නොවන අතර සුබදායක වී ඇත්තේ සමගි ජන බලවේගයටය. මෙතෙක් පැවැති සමුපකාර ඡන්දවලින් 95%කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජන බලවේගයය. විශේෂයෙන්ම පොහොට්ටුවේ බලකොටු ලෙස සැලකෙන බොහෝ කොට්ඨාසවල බලය ඉතා පහසුවෙන් සමගි ජන බලවේගය නතුකරගෙන ඇත.
දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ කොට්ඨාස නිලවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කළේ දැවැන්ත පරතරයකිනි. ඡන්දය පැවැති කොට්ඨාස 12ම බලය හිමිකරගැනීමට සමගි ජන බලවේග කණ්ඩායම් සමත් විය.


දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර කොට්ඨාස පහළොවක් ඇති අතර එයින් පැවතියේ කොට්ඨාස 12ක නිලවරණයයි.


ඒ අනුව එම කොට්ඨාස දොළහේම බලය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි. ඇතැම් කොට්ඨාසවල බලය නිතරගයෙන්ම සමගි ජන බලවේග කණ්ඩායමට හිමිව ඇත.
නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැති ඡන්ද විමසීමේදී ප්‍රදේශික 38න් 26ක ජයග්‍රහණය ලබාගැනීමට සමගි ජන බලවේගයට හැකි විය.


‘‘අපි මේ ජයග්‍රහණ සියල්ල ශක්තියක් කරගෙන ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න ඕන. ඒකට ගම් මට්ටමෙන් ශක්තිමත්ව වැඩ කරන එක අපි හැමෝගෙම වගකීමක්. ඉදිරියේදී අපිට මුහුණ දෙන්න වෙන්නේ පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයයි එකට එකතු වෙච්ච අශුද්ධ හවුලකට එරෙහිව. ඒ නිසා අපි ළඟ ශුද්ධ වැඩපිළිවෙළක් තියෙන්න ඕන”‍ සජිත් කීවේය.


එජාපයේ 76 වැනි  සංවත්සර සමුළුව


එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බෙහෙවින් කාර්ය බහුල වී සිටියේය. සංවත්සරය අමතා ඔහු කළ කතාව පාක්ෂිකයන්ගේ ප්‍රීතියට හේතුවී තිබිණි.


වසර 76 ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ ජීවනාලිය වූ පාක්ෂිකයන්ට ඔහු එහිදී දෑත් එකතුකර ආචාර කළේය. රට ගොඩගැනීමට එකතුවන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
සංවත්සරය අවසානයේ හිටපු අැමැතිනී අමරා පියසීලී රත්නායක මහත්මිය පැමිණ රුවන් විජයවර්ධන මහතාගේ දෑතින් අල්ලාගෙන ඔහු කළ කතාව ගැන ප්‍රශංසා කළේය.
සංවත්සරය අවසාන වූයේ ප.ව. 6.00 වුවත් රුවන්ට සුගතදාස ක්‍රීඩාංගනයෙන් එළියට ඒමට හැකි වූයේ 7.00ට පමණය. පැමිණ සිට තරුණ පිරිස් ඔහු වටකර ගෙන සෙල්ෆි ඡායාරූප ගැනීමත් කතාබහ කිරීමත් නිසා පැයක පමණ කාලක් රැඳී සිටීමට ඔහුට සිදුවිය.


ජවිපෙ ගමින් ගමට යයි


‘විකුණන කතාවේ සැඟවුනු ඇත්ත’ යන තේමාව මත ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය පසුගිය සතියේ දී තීරණය කළේය.


මේ මස කොළඹ පදනම් ආයතනයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට තීරණය කෙරිණි. ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබීය.
එහිදී හර්ෂණ නානායක්කාර මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු බව ප්‍රකාශ කරමින් විකුණා දැමීමට සැළසුම් කරන බවය. මෙම ආයතන පාඩු ලැබීමට හේතු වූ කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව රටේ ඇතිවී තිබෙන ආර්ථික තත්ත්වයට හේතුවූ දේශපාලනඥයන් එයට වගකිව යුතුව ඇති බවද අනුර කුමාර දිසානායක මහතා කීය.
මීට අමතරව ජාතික ජන බලවේගයේ ආසන සමුළු පැවැත්වීමේ මූලික පියවර මේ මස 25 වැනිදා අකුරැස්සෙන් ආරම්භ කිරීමට ද තීරණය කරනු ලැබීය.


නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කර සිටියේ නීතිඥ සංගම්වලට ජාතික ජන බලවේගය හමුවීමේ අවස්ථාවක් ඇති බවයි. එයට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කළ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිඥ සුනිල් වටගල මහතාට උපදෙස් දුන්නේය.
මේ අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා කළහ. පවතින මර්දනයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නා බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල දැනුම් දුන්නේය.


කරුගෙන් දමිතාට ඇමතුමක්


අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිණියක් වූ සිනමා නිළි දමිතා අබේරත්න පසුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ අරගලකරුවන්ට පොලිසිය නගන චෝදනා කිහිපයක් ඉදිරිපත් කරමිනි. 


එම සිදුවීම සැලවීමත් සමඟ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ඒ ගැන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුටම කතාකර තම අප්‍රසාදය පළකැර තිබේ. එපමණක්ද නොව දමිතාගේ ස්වාමි පුරුෂයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තොරතුරු විමසා තිබේ. ඒ වනවිටත් දමිතා සිටියේ පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමිනි. කෙසේ හෝ කරුගෙන් ඇමතුම ආ දුරකථනය දමිතාට දෙන්නට ඇගේ සැමියාට හැකිවිය. කරු එහිදී දමිතාට ප්‍රකාශ කර ඇත්තේ මේ සිදුවන ක්‍රියාදාමය ගැන තමන් සිටින්නේ බලවත් කනස්සල්ලෙන් වන බවය.


සියඹලාපිටිය සරලව වැඩ අරඹයි


මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිකුරාදා රාජකාරී කටයුතු ආරම්භ කළේය. කිසිදු උත්සවයකින් තොරව අමාත්‍යංශයට පැමිණි අමාත්‍යවරයා රාජකාරි කටයුතු ආරම්භ කළේ ලේකම්වරයා ලබාදුන් ලියවිල්ලකට අත්සන් තබමිනි.


‘‘අවුරුදු දහයකට පස්සේ නැවතත් මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරන්න ලැබීම හරි සතුටක්. පසුගිය වතාවේ රාජකාරි කටයුතු කරන කොටත් දැවැන්ත අභියෝගයක් තිබුණා. අදත් එවැනි ම බරපතළ ආර්ථික අභියෝගයක් තියෙනවා. ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම්’’ අමාත්‍යවරයා මෙසේ කීවේ එම අවස්ථාවට පැමිණ සිටි අමාත්‍යංශ නිලධාරීන් සමග කතාබහකට එක් වෙමිනි.

 

ගජබා