ජනපති සහ විපක්ෂනායකගේ ’ධර්ම සාකච්ඡාව ’


සාදයට සහභාගිවූ බදුල්ලේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැමිණ සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කලකට ඉහත දී ගත් ඡායාරූපයක් ද රැගෙනය. ඔහු එය එතැන සිටි මැති ඇමැතිවරුන්ට ද පෙන්වමින් කීවේ මෙය තමා එජාපයේ සිටියදී ගත් ඡායාරූපයක් බවය. කුට්ටිආරච්චි දේශපාලනය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔහු මැතිවරණ කිහිපයකටද එජාපයෙන් තරග කළේය. ඔහු රනිල් සමග ඉන්න පින්තූරය පෙන්වමින් කීවේ මේක තමයි මම ඊළඟ ඡන්දයට පාවිච්චි කරන ෆොටෝ එක ‘‘යනුවෙනි. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා කුට්ටිට විහිළුවක් කරමින් කිව්වේ ‘‘අයියෝ කුට්ටි ඕක කලින්නෙ පෙන්නන්න තිබුණේ. දැන් ළඟදි රාජ්‍ය ඇමැතිකමක්වත් දෙන්නෙ නෑනේ”‍ යනුවෙනි. දැන් වුණත් රාජ්‍ය ඇමැති කමක් දුන්නොත් මම එපා කියන්නේ නැහැනේ’’ යැයි කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද කීවේ ඇඟට පතට නොදැනීම ය.

 

ජනපති මුරුංගා අත්තේ තැබූ මහින්දානන්ද

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සූදානම් කරන ලද සාදයක් අරලියගහ මන්දිරයේ දී බදාදා රාත්‍රියේ පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුද, ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැසක් ද ඊට සහභාගි වූහ. සාදය සඳහා පවුලේ සාමාජිකයන්ද සමග පැමිණෙන්නැයි ආරාධනා කර තිබුණද බිරින්දෑවරුන් කැඳවාගෙන පැමිණ සිටියේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණි. තවත් විශේෂත්වයක් වූයේ මැති ඇමැතිවරුන් සඳහා අරලියගහ මන්දිරය තුළ මත්පැන් ආදිය සූදානම් කර නොතිබීම ය. ඒ සම්බන්ධයෙන් නම් මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු සිටියේ අසතුටිනි. එයින් නොසැලු‍ණු මැති ඇමැතිවරු අරලිය ගහමන්දිරයෙන් පිට ස්ථානයක් ඒ සඳහා හදිසියේම සූදානම් කරගෙන සප්පායම් වන්නට යුහුසුලු වූහ.
රාත්‍රි හතට 7 ට පමණ ආරම්භ වූ සාදය මැදියම් රැය ද ඉක්මවා යමින් පැවැත්වූණේ ගීත ගායනා, අතීත රස කතා මෙන්ම ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ආදිය ගැන ද කතා බහ කරමිනි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මැති ඇමැතිවරුන් වටකරගෙන දේශපාලන කතා ආදිය සාකච්ඡා කරමින් සිටියහ.”‍ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි මේ අර්බුදයෙන් රට බේරගන්න පුළුවන්. අපි ඔක්කොම එතුමාට උපරිම සහයෝගය දෙන්න ඕන යැයි මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා කීවේ ජනාධිපතිවරයා ගැන ප්‍රශස්තියක් ගයමිනි.
මේ කතාබහ අතරේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට උපදෙසක් දෙමින් කීවේ සැබෑ සතුරා එන්නේ ඉස්සරහින් නොව පිටුපස්සෙන් බවය. ඒ නිසා සැලකිල්ලෙන් වැඩ කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය

 

රනිල් ගේ පින්තූරයක් අරන් කුට්ටිආරච්චි ජනපති හමුවෙයි

සාදයට සහභාගිවූ බදුල්ලේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැමිණ සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කලකට ඉහත දී ගත් ඡායාරූපයක් ද රැගෙනය. ඔහු එය එතැන සිටි මැති ඇමැතිවරුන්ට ද පෙන්වමින් කීවේ මෙය තමා එජාපයේ සිටියදී ගත් ඡායාරූපයක් බවය. කුට්ටිආරච්චි දේශපාලනය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔහු මැතිවරණ කිහිපයකටද එජාපයෙන් තරග කළේය. ඔහු රනිල් සමග ඉන්න පින්තූරය පෙන්වමින් කීවේ මේක තමයි මම ඊළඟ ඡන්දයට පාවිච්චි කරන ෆොටෝ එක ‘‘යනුවෙනි. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා කුට්ටිට විහිළුවක් කරමින් කිව්වේ ‘‘අයියෝ කුට්ටි ඕක කලින්නෙ පෙන්නන්න තිබුණේ. දැන් ළඟදි රාජ්‍ය ඇමැතිකමක්වත් දෙන්නෙ නෑනේ”‍ යනුවෙනි. දැන් වුණත් රාජ්‍ය ඇමැති කමක් දුන්නොත් මම එපා කියන්නේ නැහැනේ’’ යැයි කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද කීවේ ඇඟට පතට නොදැනීම ය.

පොහොට්ටුව නග්ගන්න රනිල්ගෙන් උපදෙස්

මේ කතාබහ අතරේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ මැති ඇමතීන්ට කීවේ දැන් ඔයාලා ගමට යන්න. ගමට ගිහිල්ලා ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න. රටේ ආර්ථිකය, දේශපාලනය ගැන ගමේ මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය කියලා දෙන්න ”‍යනුවෙනි
මේ අතරේ, මන්ත්‍රීවරයකු කීවේ “සර් විපක්ෂය ඡන්දයක් ඉල්ලනවා කියාය.”‍ ඒ ගැන ඔයාලා කලබල වෙන්න ඕනෑ නෑ”‍ ජනාධිපතිවරයා කීවේ එපමණකි.
‘‘සාමාන්‍යයෙන් අලු‍ත් ජනාධිපති කෙනෙක් ආවම අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙනස් කරනවා. ඒත් මම එහෙම වෙනස් කරන්න ගියෙ නෑ. ආණ්ඩුවේ වේගයට දුවන්න බැරි නම් මට එයාල ගැන තීන්දුවක් ගන්න වෙනවා ”‍ ජනපති කීවේය. මේ අතර එක් මන්ත්‍රීවරයකු කීවේ සමහර රාජ්‍ය ආයතනවල ලොක්කන් අපි කියන දේවල් අහන්නේ නෑ කියාය. අයවැයෙන් පස්සේ අපි ඒවා ඔක්කොම ක්ලියර් කරගෙන අලු‍ත් ගමනක් යමු’’ යැයි ජනාධිපතිවරයා කීවේය.

කාන්තා ප්‍රචණ්ඩත්වයට ලක් වූ ප්‍රසන්න

කාන්තා කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගත් ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට සහභාගි වූ මැති ඇමැතිවරුන්ට රබර් අත් පලඳනාවක් පැළඳවීම සිදු විය. පාර්ලිමේන්තු පිවිසුමේදී එය පලඳවනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් පිරිසක් විසිනි. එහි සඳහන් වූයේ ‘‘කාන්තා හිංසනයට එරෙහි වෙමු’’ යන්නයි. විදුර වික්‍රමනායක ඇමැතිවරයාගේ අතේද බෑන්ඩ් එක බඳිනු ලැබූ අතර, එය පලඳවනු ලැබුවේ සේවකයකු විසිනි. ‘‘කාන්තා හිංසනයට එරෙහි වෙමු කියලා බෑන්ඩ් එක අතට දාන්නෙ පිරිමියෙක්නෙ’’ විදුර කීවේ හයියෙන් හිනා වෙමිනි


මේ අතර, ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා එතැනින් යන්නට ආවේය. ඔහුගේ අතේ ද බෑන්ඩ් එකක් පලඳවනු ලැබූ අතර, ඔහු කීවේ මම කාන්තා හිංසනයට කොහොමත් විරුද්ධයි නේ කියාය. කාන්තා හිංසනයට එරෙහිව නම් ගොඩක් අය පෙනී ඉන්නවා. හැබැයි කාන්තාවන්ගෙන් අපිට වෙන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී ඉන්නෙ කවුද? ඒකයි මට තියෙන ගැටලු‍ව’’ ප්‍රසන්න කීවේ අවට සිටි මැති ඇමැතිවරුන් ද හිනස්සමිනි.

අර්බුද මැද සන්ධාන විධායක සභාව රැස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඉකුත් බදාදා හැන්දෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව කැඳවීමට හිටපු ජනාධිපතිවරයාට බලයක් නැතැයි හිටපු මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා දිගින් දිගටම කියා සිටියේ ය. ඔහු කීවේ එවැනි රැස්වීමක් කැඳවීම නීති විරෝධී බවය. ඔහු ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලටද යොමු වී තිබිණි. එසේ වුවද මෛත්‍රී සන්ධානයේ විධායක සභාව කැඳවීය. ඔහු ඒ සඳහා උපක්‍රමයක් ද භාවිත කර තිබිණි.
අත්‍යවශ්‍ය කාරණයක් සඳහා සන්ධානයේ විධායක සභාව කැඳවන්නැයි සන්ධානයේ විධායක සභාවේ තුනෙන් එකකට නොඅඩු පිරිසකගෙන් සභාපතිවරයාට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එදා එක් සභා රැස්වීමක් කැඳවීමේ බලය සභාපතිවරයාට හිමිවන බවට සන්ධාන ව්‍යවස්ථාවේ වගන්ති ඉස්සරහට දමමින් මෛත්‍රී මේ රැස්වීම කැඳවා තිබිණි.
සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජිකයෝ ඊට සහභාගි නොවූහ. එහෙත් මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ ඊට සහභාගී වී සිටියහ. සන්ධානයේ ව්‍යවස්ථාව අනුව සන්ධානයේ සභාපති ධුරය, ලේකම් ධුරය සහ භාණ්ඩාගාරික ධුරය හිමිවිය යුත්තේ ශ්‍රීලනිපයට ය. ඊට අමතරව විධායක සභාවේ සියයට පනස් එකක් හිමිවන්නේද ශ්‍රීලනිපයට ය. රැස්වීම කැඳවා තිබුණේ ප්‍රධාන කාරණයක් වෙනුවෙනි. ඒ අලු‍තෙන් සන්ධාන මහලේකම් ධුරයට පත්වූ තිලංග සුමතිපාල මහතාගේ පත්වීම විධායක සභාවෙන් අනුමත කර ගැනීමය. තිලංග සුමතිපාලගේ පත්වීම අනුමත කර ගැනීමේ යෝජනාව විධායක සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසිනි. එය විධායක සභාව විසින් අනුමත කරනු ලැබීය.
එහි විධායක සභාව නියෝජනය කළ නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු 19 දෙනකු ඉන් ඉවත් කළ අතර, ඒ වෙනුවට දාහත් දෙනෙක් පත්කරගනු ලැබූහ. අනතුරුව කතා කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය. විධායක සභාව කැඳවන එක වලක්වන්න අමරවීර මහත්තයා අද උදෙත් උසාවි ගියා. නමුත් හරි ගියේ නෑ. ඔයිට වැඩිය ලොකු අයත් එක්කත් මම හැප්පිලා ගෙදර යවලා තියෙනවා. වස්ථානුකූලවයි මම මේක කළේ. ඕන කෙනෙක් එක්ක හැප්පෙන්න මමත් ලෑස්තියි”‍ මෛත්‍රී කීවේය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බොහෝ කාලයක් සක්‍රීය තත්ත්වයක නොතිබුණු බවය. අලු‍තින් ලේකම්වරයෙකු පත් කර මේ සූදානම් වන්නේ සන්ධානය ශක්තිමත් කිරීමට බව ඔහු කීවේය. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා ද කතා කළේය. ඔහු කීවේ පක්ෂ සභාපතිවරයා ලෙස සන්ධානය ශක්තිමත් කරමින් ඉටු කළේ කාලීන අවශ්‍යතාවක් බව ය. පක්ෂ කණ්ඩායම් තනි තනිව දේශපාලනය කළත්, මැතිවරණයකදී සියලු‍ දෙනා එකට එක්වීම වැදගත් බව ඔහු කීවේය.
මේ අතර බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික් නායකයන් ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කරන්නට බදුල්ලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන නියෝජිතයන් ද පක්ෂ මූලස්ථානයට කැඳවීය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමට දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරු ද සහභාගි වූහ. බදුල්ලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් කිව්වේ ඔවුන් දිගටම වැඩ කළේ නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන දෙදෙනාගේ නායකත්වය යටතේ බවය. එබැවින් ඔවුන් නැවත පක්ෂයට සම්බන්ධ කර ගන්නැයි ඔවුහු මෛත්‍රීගෙන් ඉල්ලීමක් කළහ. මෛත්‍රී කීවේ ඔවුන් ඉවත් කළේ පක්ෂයේ තීරණවලට පටහැනිව ගොස් තනතුරු ගත් නිසා බවය. එම තනතුරු අත්හැර එන්නේ නම් නැවතත් ඔවුන් ගැන සලකා බැලීමට සූදානම් බව මෛත්‍රී කීවේය. ඔය කාරණේ අපිත් එක්ක කතා කළා වගේ ඒගොල්ලො එක්කත් කතා කරන්න මෛත්‍රී ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.

 

ජේ.ආර්ගේ පිළිරුවක් හැදූ ජපන් පවුල ලංකාවේ

ජපානයේ ආයෝජකයෝ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉකුත්දා පැමිණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ පිළිරුවක් ජපානයේ ඉදිකළ ජපන් ජාතික පවුලේ පිරිසක් ද ඔවුන් අතර වූහ. ජේ.ආර්. ගැන ජපන් බසින් ලියූ පොතක් ද ඔවුන් විසින් අගමැතිවරයාට පිළිගන්වනු ලැබීය. ඔවුන් සමග කතා කළ දිනේෂ්, ජේ.ආර්ගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධනට දුරකතන ඇමතුමක් ගත්තේය. ජේ.ආර්ගේ පිළිරුව හදපු ජපන් ජාතික පවුලේ අය මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. අගමැතිවරයා කීවිට ප්‍රදීප් ජයවර්ධන කීවේ ඒ ගැන ඉතාම සතුටු වන බව ය. ඔවුන් හමුවීමට තමා කැමැත්තෙන් සිටින බව ප්‍රදීප් ජයවර්ධන කීවේය. ඒ අනුව ඔවුන් නැවතී සිටින හෝටලය ගැන ද විමසූ ප්‍රදීප් කීවේ එදින රාත්‍රි 7ට හිල්ටන් හෝටලයට පැමිණ ඔවුන් මුණගැසීමට තමා සූදානමින් සිටින බව ය.
ඒ අනුව අගමැතිවරයා ජපන් ජාතික පවුලටද ප්‍රදීප්ගේ පණිවිඩය දැනුම් දුන්නේය.

ජනපති සහ විපක්ෂ නායක අතර සාකච්ඡාව

සමගි ජන බලවේගය මේ දිනවල සූදානම් වන්නේ සිය සංවත්සර කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් ය.
විධිමත් ආකර්ෂණය සහ ඉදිරි දැක්මක් සහිත සම්මේලනයක් පැවැත්වීමට ඔවුන් වෙහෙසමින් සිටී.


සම්මේලනය කැම්බල් පිටියේ ලබන 11 පැවැත්වේ.


‘සමහරු දැනටම බය වෙලා. සම්මේලනය කරන හැටි බලමුකෝ කියලා ආණ්ඩුවේ හෙංචයියෝ කියනවා”‍  එහෙම කීවේ මරික්කාර් ය.
‘‘පොහොට්ටුව සීසීකඩ කැඩිලා. එක්සත් ජාතික පක්ෂය කියලා එකක් නෑ. ඒ දෙකම එකයි. ශ්‍රී ලංකා එකෙත් සෑහෙන්න ප්‍රශ්න. මේ වෙනකොට රටේ තියෙන දැවැන්තම දේශපාලන ප්‍රවාහය තමයි සමගි ජන බලවේගය. ඒ නිසා සම්මේලනය සාර්ථකව කරන්න ඕනැ”‍ මහ ලේකම් රංජිත් උපදෙස් දුන්නේය.
‘‘මේක අපේ පක්ෂ සම්මේලනය. එ් වගේම ඊළඟට බලය ලබාගන්නේ ඉන්න පක්ෂයේ සම්මේලනය. ඒ නිසා හැම අතින්ම සාර්ථක වෙන්න ඕනැ. ඒ වගේම රටේ ජනතාවට මේ හරහා විශාල පණිවිඩයක් යන්න ඕන”  සජිත් කීවේය.


“ජනාධිපති දැන් පාර්ලිමේන්තු එන්නේ ‘මං පොර’ නාට්‍ය රඟපාන්න. එතුමා හැසිරෙන්නේ දේපළ වෙළෙඳාම් සමාගමක අයිතිකාරයා වගේ. එතුමා හිතනවා රටේ තියෙන දේවල් ටික සේරම වික්කම - සිංහයෙක් වෙන්න පුළුවන් කියලා.”  නලින් බණ්ඩාර කීවේය.
‘‘තමන්ගේ කැත අරමුණ ඉටුකරගන්න එතුමා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ නමත් ඇදගන්නවා. එතුමා කියනවා පෞද්ගලිකරණය පටන් ගත්තෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු‍. එතුමට කවදාවත් රටේ සම්පත් වික්කම සිංහයෙක් වෙන්න ඕනකමක් තිබුණේ නැහැ. අදටත් මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනක් රස්සා කරන, මේ රටට අදටත් විදේශ විනිමය ගේන ඇඟලු‍ම් කම්හල් ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා.”‍ එහෙම කීවේ අශෝක් අබේසිංහ ය.


”‍ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කීවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මහින්ද රාජපක්ෂ ගේ මතය නියෝජනය කරනවා කියලා”‍ මුජිබර් කීවේය.
“රාජපක්ෂලාව ආරක්ෂා කරන යතුර අතේ තියාගෙන ජනාධිපති කියනවා මේ සජිත් ප්‍රේමදාසත් මහින්ද රාජපක්ෂ ගේ මතය නියෝජනය කරනවා කියලා. රාජපක්ෂලාගේ මතය නියෝජනය කරන්නේ කවුද කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලු‍වනම් හරි”‍ චමින්ද විජේසිරි එහෙම කීවේය.
‘‘වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණෙත් රාජපක්ෂලා වෙනුවෙන්. එතුමා ජනාධිපති වෙලා වැඩ කරන්නෙත් රාජපක්ෂලා වෙනුවෙන්. එතුමා ඡන්ද කල් දාන්නෙත් රාජපක්ෂලා වෙනුවෙන්. එතුමා වැල් පාලමෙන් ගමන් කරන්නෙත් රාජපක්ෂලා වෙනුවෙන්.”‍ හෙක්ටර් අප්පුහාමි සිනාසෙමින් කීවේය.
පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක සජිත් සහ ජනාධිපති රනිල් අතර විටින් විට සංවාදයක් ඇතිවිය.
එය ආරම්භ වූයේ භික්ෂුන් ඉලක්ක කොට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයක් හේතුකොටගෙන ය.


ඒ අනුව සජිත් කියා සිටියේ ජනාධිපතිවරයා වහාම පරාභව සූත්‍රයේ සහ වසල සූත්‍රය කියවිය යුතු බවය.


”‍සංඝ සමාජය නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායට අනුව. එදා රට කළ රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නය. දැන් පාලකයෝ මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරත්නයට ඒ අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා.
‘‘සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජ කුමරුවා සමගත් සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුය. සෙල්ලමට නොයා යුතුය”‍ කියලා කතාවක් තිබෙනවා. සජිත් පාර්ලිමේන්තුවේදී කීවේ ය.


ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පසුදින පවසා සිටියේ පරාභව සූත්‍රයේ කොතනකවත් භික්ෂූන් සම්බන්ධයෙන් කිසිවක් නැති බවය.
ඔහු පවසා සිටියේ අංගුලිමාල සිවුරේ සිටිමින් බුදුන් වහන්සේට විරුද්ධ ව කටයුතු කළ බව ය.
මේ කාරණා දෙකටම වහාම උත්තර දීමට සජිත් කටයුතු කළේය.
‘‘ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ උරග වර්ගයෙ ඇතුළත් පරාභව සූත්‍රයේ මෙහෙම තියෙනවා. අසන්තස්ස පියා හොන්ති - සන්තේ න කුරුතේ පියං අසතං ධම්මං රෝචේති - තං පරාභවතෝ මුඛං


බුද්ධාදී මහසඟරුවන සහ සත්පුරුෂයන් ප්‍රිය නොකෙරෙත් ද, මිථ්‍යාදෘෂ්ටිය ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙත් ද, එය පිරිහීමේ දොරටුවයි.
ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් පොත පත කියවන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයිනෙ.


ජනාධිපතිතුමා කියනවා, සිවුරු ඇඳගෙන අංගුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළා කියලා.
ඒ ප්‍රකාශය හැන්සාඩ් ගතවෙලාත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අහල තියෙන්නෙ බුදු සසුනෙ පැවිදිවෙලා බුදුන්වහන්සේට විරුද්ධව වැඩ කළේ දේවදත්ත කියලා. හැබැයි පැවිදිවුණාට පස්සේ අංගුලිමාල රහත් වූ බවත් උන්වහන්සේ අසූ මහා ශ්‍රාවකයන්ගෙන් එක් අයෙකු බවත් අපි අහල තියෙනවා.
අපි දැනගන්න කැමතියි බුදු සසුනේ පැවිදි වෙච්ච මොන අංගුලිමාල ද බුදුන්ට එරෙහිව කටයුතු කළේ කියලා. ඉතින් මේ ප්‍රකාශය වැරදි නිසා මම ඉල්ලනවා ජනාධිපතිතුමාට උදව්වක් හැටියට මේ ප්‍රකාශය හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා.”‍


සජිත් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සහ සජිත් අතර ”‍බණ සංවාදය”‍ එහෙම අවසන් විය.
‘‘බලාගෙන ගිහාම විපක්ෂ නායකතුමාත් සෑහෙන්න කියවනවනෙ.”‍
භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම සජිත්ට කතා කළහ.
”‍මාත් ඉස්සර ගංගාරාමේ දහම් පාසල් ගියා. ධම්මපදය සිඟාලෝවාද සූත්‍රය එහෙම මට පාඩම්. වෙලාව තියෙනකොට පොතපත මාත් කියවනවා.”‍ සජිත් කීවේය.
”‍ඔබතුමාට ලයිබ්‍රරියක් තියෙනවා ද?”‍


විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඊට සහභාගි වී සිටි ගුරුවරයෙක් විපක්ෂ නායකතුමාගෙන් ඇසුවේය.
”‍පොත් එකතුවක් තියෙනවා. ඒ වගේම මේකත් ලයිබ්‍රි එකක් තමා”‍
සජිත් සිය ජංගම දුරකථනය පෙන්නුවේය.
විවිධ විෂයයන් අළලා ලියැවුණු ඊබුක් විශාල ප්‍රමාණයක් ඔහුගේ ජංගම දුරකථනයේ තිබේ.

 

ජවිපෙ වෘත්තීයවේදීන් එකතු කරයි

වෘත්තීයවේදීන් කොටස් වශයෙන් හමුවී සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය පියවර ගෙන ඇත. ඒ යටතේ පළමු පියවර වශයෙන් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල වෛද්‍යවරුන් හමුවීමේ වැඩ පිළිවෙළක් පසුගිය සතියේදී ක්‍රියාත්මක විය.


වෛද්‍ය නලින්ද ජයතිස්ස හා මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ යන මහත්වරුද මේ අවස්ථාවලට සහභාගී වූහ.


රටපුරා, වෛද්‍යවරුන් හමුවීමේ මෙම වැඩ පිළිවෙළ යටතේ ගම්පහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්ද හමුවී තිබෙන අතර එම අවස්ථාවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද සහභාගි වූහ.


ඉදිරි සති කීපය තුළ  අනුරාධපුර හා බදුල්ල රෝහල්වල වෛද්‍යවරුන් හමුවීමටද තීරණය කර ඇත. රටේ පවතින ප්‍රශ්න හමුවේ වෛද්‍යවරුන් වශයෙන් දැක්විය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. මීට අමතරව රෝහල්වල පවතින ඖෂධ ප්‍රශ්නය ඇතුළු අනෙකුත් පොදු ප්‍රශ්න පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිඥයන් දිස්ත්‍රික්ක මට්ටමෙන් නීතිඥවරුන් හමුවීමට පියවර ගෙන ඇත. එහි පළමු වැන්න ගම්පහින් ආරම්භ විය. මේ ආකාරයට වෘත්තීය මට්ටමේ නිලධාරීන් වෙන් වෙන් වශයෙන් හමුවී රටේ ප්‍රශ්න විසඳීමට ඔවුන්ගෙන් ගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.


ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පසුගිය 1 වැනිදා පැවැති හමුවට සමාන්තරව දිස්ත්‍රික්ක මට්ටමින් එවැනි සමුළු පැවැත්වීමට ද ජාතික ජන බලවේගය තීරණය කර ඇත.
ජාතික ජන බලවේගයේ විධායක සභාව ඉකුත් සතියේ දී රැස්වූ අවස්ථාවේ පළාත් පාලන ඡන්දය පිළිබඳව සාකච්ඡා විය. එහිදී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ඡන්දය කල් දැමීමේ සූදානමක් ඇති බැව් පෙන්නුම් කරන බවයි. දිස්ත්‍රික්ක හා කොට්ඨාස මට්ටමින් රජය ඒ සඳහා සූදානමක් ඇති බවත් පෙන්නුම් නොකරන බවද ඔහු කියා සිටියේය.
අකමැත්තෙන් වුවත් රජය ඡන්දය පැවැත්වීමට සූදානම් වුවහොත් පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටිය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී ඇත. ඒ සඳහා කොට්ඨාස සභා පිහිටුවීම හා ඒවා ශක්තිමත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය.


රජය පළාත් පාලන මැතිවරණය කල් දැම්මොත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන ලෙසටද මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.

මල්වතු මහානායක හිමියන් කරු කැඳවා කීවේ කුමක් ද?

සම්බුද්ධ ශාසනයේ අනාගත යහපැවැත්ම ගැන අද වනවිට රට තුළ බරපතළ සාකච්ඡාවක් ඇතිවී තිබේ. ඊට හේතු ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින කිහිප දෙනෙකුගේ නොමනා හැසිරීම්, දුර්භාෂණය හා ශාසන විරෝධී ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් මතුව ඇති තත්වයන්ය. හිටපු බුද්ධ ශාසන අමාත්‍යවරයෙකු ලෙස කරු ජයසූරිය මේ ගැන කල් තියාම දුටු අයෙකි. ඔහුගේ කාලයේදී ථෙරවාදී නිකාය කතිකාවත පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරගන්නට උත්සාහ දරන ලද්දේ ඒ නිසාය.


අද වනවිට එම කතිකාව නැවත කරළියට පැමිණ තිබේ. අද ඒ සඳහා පෙරමුණ ගනිමින් සිටින්නේ ද භික්ෂූන් වහන්සේලා වීම විශේෂත්වයකි. පසුගිය සතියේ මහනුවර මල්වතු මහා විහාරයේ දී පැවැති කීඹියේ ඥාණරතන හිමියන් වෙත හිනිදුම් පත්තුවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී ද ඒ ගැන හඬක් මතුවිය. ඒ ගාලු‍ පළාතෙන් වැඩමකර සිටි වැලිවිටියේ සුමන අධිකරණ සංඝනායක හිමියන් වෙතිනි. මල්වතු මහා නායක හිමියන් හා කාරක සංඝ සභාව හමුවේ උන්වහන්සේ අවධාරණය කළේ ශාසන විලෝපනයට හේතුවන ආකාරයෙන් ක්‍රියාකරන ඇතැම් භික්ෂුන් වහන්සේලා පිළිබදව මහානායක හිමිවරුන් ප්‍රධාන ඒ ඒ නිකායන්හි අධිකාරීන් වහන්සේලා විසින් නිසි පියවර නොගතහොත් ලාංකේය සම්බුද්ධ ශාසනයේ විනාශයට එයම හේතුවක් වන බවය. එදා එම උත්සවයේ ප්‍රධාන ගිහි ආරාධිතයා වූයේ කරු ය. එහිදී කරු කළ කතාවෙන් ද එම අදහස තවදුරටත් මතුවිය. සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අවසන් කර මල්වතු මහා නාහිමියන් පිටතට වැඩම කරද්දී කරු වෙත දැනුම් දුන්නේ තමන් වහන්සේ හමුවට පැමිණෙන ලෙසට ය. ඒ අනුව කරු මහා නාහිමියන්ගේ නිලආරාමයට ගොස් පැයකට අධික කාලයක් පුරා සාකච්ඡාවක නිරත විය.


එම සාකච්ඡාවේදී මතු වූ කරුණු ගැන කරු පසුවදාම ජනාධිපතිවරයා හා බුද්ධ ශාසන අමාත්‍යවරයා දැනුවත් කළේය.

 

ගජබා