ජනපති ඉතිහාසය උගන්වයි


 

ජනපති සතිය

ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිටියේ මහනුවරය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක මෙන්ම ජනපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද එහි ගොස් සිටියේ ජනපතිගේ ඉදිරි වැඩසටහන් ගැන සමාලෝචනයක් කිරීමටය. ඔවුන් අතරට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස් සමරතුංග ද එහි පැමිණ සිටියහ.

අනාගතයේ කළ යුතු කෙටිකාලීන වැඩසටහන්, මධ්‍ය කාලීන වැඩසටහන් හා දීර්ඝ කාලීන වැඩසටහන් ගැන මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය. සිකුරාදා සවස් භාගයේ සිට ඉරුදින දිවා ආහාරය තෙක් මෙම සාකච්ඡාව ඇදී ගිය අතර අවසානයේ ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ සියල්ලෝ එකඟතාවකට පැමිණියහ.


සඳුදා සුපුරුදු පරිදි කැබිනට් හමුව පැවැති අතර ඉන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ හමුව පැවැත්විණි. ඊට කිහිප දෙනෙකු පැමිණ නොසිටි අතර තවත් පිරිසක් විදේශගතව සිටීම නිසා පැමිණිය නොහැකි බව දැනුම් දී තිබුණි.


අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගියේ ආරක්ෂක කවුන්සිලය මුණ ගැසී සාකච්ඡා කිරීමටය. ඉදිරි ආරක්ෂක වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමෙන් පසු ජනපති ආරක්ෂක ප්‍රධානීන්ගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් ටෙලිකොම් ආයතනය ගැන ඉදිරිපත් කර ඇති වාර්තාවක් පිළිබඳවය.

“ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් දීලා තියෙනවා ටෙලිකොම් ආයතනයේ 49% ක කොටස් පැවරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. එහෙම තොරතුරු ඔයාලට ලැබිලා තියෙනවා ද?” ජනපති සෘජුව විමසා සිටියේ ආරක්ෂක ප්‍රධානීන්ගෙනි.

“අපිට නම් එහෙම තොරතුරක් ලැබිලා නෑ. ලංකාවේ දත්ත තොරතුරු දැන් ටෙලිකොම් එකේ නෑ. ඒවා තියෙන්නේ වෙන වෙන තැන්වල.” ආරක්ෂක ප්‍රධානීන්  ජනපතිට කීවේ එවැන්නකි.
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව පැවැති අතර ඊට පෙර ජනපති මුණගැසීමට පැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගට ජනපති දන්වා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් විසින් අසත්‍ය වාර්තාවක් සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවා ද යන්න ගැන සොයා බලන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථාව ගැන කළමනාකරණ මණ්ඩලයේ දී සාකච්ඡා කළ අතර මහලේකම් රංගේ බණ්ඩාර විසින් ඔහුගේ ජපන් සංචාරයේ විස්තර ද මේ අතරවාරයේ ජනපති හමුවේ තැබීමට වගබලා ගත්තේය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්න  එරටට යැවීමට අදාළ ව්‍යාපෘතියක් ගැන ද ඔහු ජනපති දැනුම්වත් කළේය. 
මහලේකම් රංගේ විසින් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දළ ආකෘතියක් ඉදිරිපත් කළ අතර ජනපතිගේ යුරෝපා සංචාරයෙන් පසු පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අවසන් කිරීමට තීන්දු කළේය. 
අලු‍ත් ව්‍යවස්ථාවෙන් සාම්ප්‍රදායික තනතුරු වෙනුවට අලු‍ත් පරම්පරාවට පක්ෂය තුළට පැමිණීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලෙස ජනපති රනිල් පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන වෙත උපදෙස් දෙනු ලැබීය. 

ජනපති රනිල් බදාදා පෙරවරුවේ පාසල් අධ්‍යාපනයේ කළ යුතු වෙනස්කම් ගැන වාර්තාවක් සකස් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව මුණ ගැසිණි. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය කළ යුත්තේ කෙසේදැයි නිර්දේශ ඉදිරිපත් කරන්නැයි ඔහු විද්වත් කමිටුව වෙත උපදෙස් දුන්නේය.

එදින සවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියේය. අගමැතිද ඇතුළුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 8 ක නායකයෝ මීට එක්ව සිටියහ.
එහිදී පක්ෂ නායකයන්ට පවතින ගැටලු ගැන මෙන්ම පැහැදිලි කරගත යුතු කාරණා රාශියක් ද පැහැදිලි කර ගනු ලැබීමට අවස්ථාව උදාවිය. 
එසේම පාර්ලිමේන්තුව මෙම මස අවසන් සතියේ කැඳවීමට ද තීන්දු කෙරුණු අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියම කෙරිණි. බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි මුදල් අමාත්‍යංශය වෙත පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. එදින සවස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ජනපති ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 ක් ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වීමටය.

 

සෙනසුරාදා අලුයම ඔහු ඇතුළු කණ්ඩායම ලන්ඩනය හා ප්‍රංශය බලා පිටත්ව ගියේ සාකච්ඡා රැසකට එක්වීම උදෙසාය. ප්‍රංශ ජනපතිගේ ආරාධනයකට අනුව ඔහු ප්‍රංශය බලා පිටත්ව ගියේය.

 

 

ජනපතිගේ ඉතිහාස පාඩම


මෙරට සමාජය යළිත් මානවම්ම රජතුමා ගැන කතා කරන්නට වූවේ ජනපති රනිල් වික්‍රමසිංහ පූරා විද්‍යා කොමසාරිස් ජනරාල්ට ඉගැන් වූ ඉතිහාස පාඩමත් සමඟය. රනිල් වික්‍රමසිංහ මැතිවරණ පරාජයෙන් පසු නිවසට වී සිටි කාල වකවානුවේ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදිනියක නැගූ පැනයක් සමඟ මානවම්ම රජු ගැන කවුරු කවුරුත් සොයන්නට වූහ.

ජනපති රනිල් මෙවර මානවම්ම රජු ගැන කීවේ මුලතිව් කුරුන්දි විහාරයට අයත් පූරා විද්‍යා ඉඩම් ගැන ඇතිවූ කතා බහේදී ය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු මතු කළ ඉඩම් ගැටලුවත් සමඟ මේ කාරණය ඇදී ආවේය. පොත්තුක නම් දෙමළ ඇමතියෙකු ගැන ද ජනපති කතා කළේය.
ජනපති හා පූරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතර ඇතිවූ කතා බහ මාධ්‍ය ඔස්සේ පැතිර යද්දී දේශපාලන කරළියේ ද එය මාතෘකාවක් වූවේ නිතැතිනි. ඉකුත් සතියේ බදාදා ජනපති මුණ ගැසුණු මැති ඇමතිවරු ද මේ ගැන විමසන්නට වූහ.


“අපි මුලතිව් කුරුන්දි විහාරය වගේම ත්‍රිකුණාමලේ තිරියාය විහාරයත් සංරක්ෂණය කරනවා. නමුත් මෙතන ප්‍රශ්නය මේ තැන් දෙකේම අක්කර 5000 ක් පුරාවිද්‍යාවට අයිතියි කියන එකයි. මේ කියන ප්‍රමාණයෙන් වැඩි කොටසක් අයිති වන සංරක්ෂණයට වගේම වනජීවියට.” ජනපති පැහැදිලි කළේ එලෙසිනි.
“මේ ප්‍රශ්නය ඇතිවුණේ හිටපු ජනාධිපතිතුමා පත් කරපු පුරාවිද්‍යා කාර්ය සාධක බලකාය නිසයි. ඔවුන් තමන්ට හිතෙන හිතෙන තැන මායිම් ගල් හිටවලා ඒවා පුරාවිද්‍යාව මගින් කැණිම් කළ යුතුයි කිව්වා.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේය.


“දෙමළ මන්ත්‍රීවරු කියන්නේ පූරා විද්‍යාවට අයිති නැති ඉඩම් දෙමළ ජනතාවට වගා කරන්න දෙන්න කියලා. මොකද ඒ පළාතේ මිනිස්සු කාලයක් තිස්සේ මේ ඉඩම්වල වගා කරපු අය. රජයේ ඉඩම් ටික පුරා විද්‍යාවෙන් කියලා අල්ල ගත්තම මිනිස්සු වගා කරන්නේ කොහෙද?” මහාචාර්ය ආශු ද කතාවට එකතු විය.
“අක්කර 5000 ක භූමියක් ඉල්ලන්නේ ඇයි කියලා හොයලා බලන්න මම කමිටුවක් පත් කරනවා. මොකද සීගිරිය හා මහා විහාරයවත් මෙච්චර ප්‍රමාණයක් ඉල්ලන්නේ නෑ.” ජනපති යළි කතා කළේය.

“පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වීම ගැන වගේම පුරා විද්‍යා ස්මාරක ඇති තැන් ජනතාවට බෙදා දෙනවා කියන කාරණයටත් තමයි විරෝධයක් මතු කරලා තියෙන්නේ.” මන්ත්‍රී මධූර කීවේය.

“එතුමා අස්වුණේ ඇයි කියලා මම දන්නේ නෑ. හැබැයි මම ප්‍රශ්න කළේ කැබිනට් තීන්දු හා රජය ගන්නා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළේ ඇයි කියලා විතරයි.” ජනපති දුන්නේ එවන් පිළිතුරකි.


“මානවම්ම රජතුමා ගැනයි පොත්තුක කියන ඇමැති ගැනයි මහාවිහාරය ගැනයි ආයෙත් කතා බහක් ඇති වෙලා.” ඇමැති ප්‍රසන්න රණතුංග ද කතාවට එක් වූවේ සිනා සෙමිනි.
කට කොනකට සිනාවක් නගාගත් ජනපති රනිල් ඊට ඉතිහාස කතාවකින් පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.


“මානවම්ම කියන්නේ දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගේ පුතෙක්. එදා අනුරාධපුර රාජ්‍යයේ පැවැති අවුල් සහගත තත්ත්වය නිසා මානවම්ම කුමාරයට ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට පලා යන්න සිද්ධ වෙනවා. කාලෙකට පස්සේ පල්ලව රාජ්‍ය හා චාලු‍ක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති වුණා. මානවම්ම දක්ෂ රණකාමියෙක් නිසා පල්ලව රාජ්‍යයේ රජු වූ නරසිංහ වර්මන්ගේ සේනාවේ සෙන්පති බවට පත් වෙලා මේ යුද්ධයේ දී පල්ලව රජුගේ ජයග්‍රහණය තහවුරු කරනවා. පල්ලව රාජ්‍ය පළවෙනි ද්‍රවිඩ රාජ්‍ය බවට පත් වෙන්නේ මේ යුද්ධයෙන් පසුවයි. 

යුද්දෙන් පස්සේ ඔහු ඉන්දියාවෙන් විශාල සේනාවක් අරගෙන ලංකාවට එනවා ඔහුට හිමි රාජ්‍යයත්වය ගන්න. ඒ කාලේ ලංකාව පාලනය කළ දාඨෝප තිස්ස රුහුණට පලා ගියත් නරසිංහ වර්මන් රජු අසනීපවීම නිසා ඉන්දියාවේ සේනාව යළි පිටත්ව යනවා. ඒ නිසා ඔහුට යුද්ධය කරගන්න බැරුව නැවත ඉන්දියාවට යනවා. පල්ලව රජවරු දෙදෙනෙකු යටතේ සේවය කරන මානවම්ම යළිත් ලංකාවට පැමිණෙන විට දෙමළ අංගම්පොඩි සේනාවේ නායකයන් තමයි බලය අල්ලගෙන හිටියේ. රූකඩ රජෙකු ලෙස හත්ථදාඨ හිටියා.

ඒ කාලයේ රජු වෙනුවෙන් සටන් කළ ඉන්දියානු සේනා දෙකක් තිබුණා. එයින් එක් සේනාධිපතියෙක් තමයි පොත්තුක කියන්නේ. නමුත් මානවම්මගේ සේනාවට මුහුණ දෙන්න බැරුව ඔහු පළා යනවා. 


ලම්බකර්ණ රාජවංශය පටන් ගන්නේ මානවම්මගේ රාජ්‍යයත්වයෙන් පසුවයි. ඒ රාජවංශය දිගටම යනවා. මේ රාජවංශය අවසන් වෙන්නේ පස්වන මිහිඳු රජතුමාගේ රාජ්‍යත්වයත් සමඟයි. ඔහු බීලා බීලා අසිහියෙන් හිටියේ. අන්තිමේදී ඉන්දියාවෙන් ගෙනවිත් සිටි කුලී හේවායන්ට පවා පඩි ගෙවා ගන්න මෙයාට සල්ලි තිබුණේ නෑ. එතනින් අනුරාධපුර රාජධානිය අවසන් වුණා.” ජනපති කළ දීර්ඝ විග්‍රහය මැති ඇමතිවරු අසා සිටියේ ඇස් ඉහළට දල්වාගෙනය.
මේ කතාව අසා සිටි සැමදෙනා ජනපතිගේ ඉතිහාස දැනුම ගැන මවිත වී සිටි බව පෙනුනි. ඉන් පසු සිංහල ජනාවාසය ආරම්භ වූ මල්වතු ඔය භූමිය ගැනත්, තිරියාය විහාරය අසල තිබූ වරාය ගැනත් ඔහු අදහස් දැක්වීය. එම ස්ථාන දෙක ගැන ද සොයා බැලිය යුතු බව කී ජනපති රනිල් එදා පැවැති තිරියාය නාගරික ජනාවාස භූමිය ගැන මෙන්ම තිරියායේ සිට හොරොව්පතාන දක්වා පැවැති ජල හා භූමි මාර්ගය ගැනත් සොයා බැලිය යුතු බව කීවේ පැමිණ සිටි අයට ඉතිහාස පාඩමක් උගන්වමිනි.

පොහොට්ටු නායකයන් ගැන

මම දන්නෙ නෑ

මාධ්‍ය මගින් සඳුදා පොහොට්ටු නායක හමුවට දිස්ත්‍රික් නායකයන් නොපැමිණිම ගැන ප්‍රචාරයක් ලබාදීමත් සමඟ ඒ ගැන ජනපතිගෙන් කිහිප දෙනෙකු විමසා සිටියේ දුරකතනයෙනි.
“මගෙන් හමුවෙන්න අවශ්‍ය බව කිව්වා. මම වෙලාව දුන්නා. පිරිසක් ආවා. පිරිසක් ආවේ නෑ. තවත් කොටසක් එන්න විදියක් නැති බව කිව්වා. එතනින් එහාට මම දන්නේ නෑ.” විමසූවන්ට ජනපති දුන් පිළිතුර එය විය.

රුවන්ට වැඩ වැඩිවෙයි 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඉකුත් සතියේ ඔස්ට්‍රියා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයකු වූ යැනෙව් සෙඩ්ඩි හමු වූයේය. මෙරට දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ රජයට ලබාදිය හැකි සහාය උපරිමයෙන් ලබාදෙන බවට ද තරුණ මන්ත්‍රීවරයා රුවන්ට පොරොන්දු වූයේය.
ලංකාවේ ක්‍රියාත්මක වන දේශගුණ විපර්යාසවලට මුහුණදීමේ සැලසුම් පිළිබඳව ඔහු විමසූ අතර රුවන් විජයවර්ධන මෙරට දේශගුණ විපර්යාස පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් ඔහුට දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය.


සති අන්තයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් කිහිපයකට සහභාගී වූ රුවන් විජයවර්ධනට පාක්ෂිකයන්ගෙන් ඉහළ පිළි ගැනීමක් ලැබිණ.
බියගම, කටාන, මීරිගම සහ මැද කොළඹ  කේන්ද්‍ර කරගනිමින් මෙම බල බලමණ්ඩල පැවති අතර සමගි ජන බලවේගය සමග එක්ව සිටි ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් විශාල  සංඛ්‍යාවක් එහි දී  නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූයේ පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට සහාය පළ කරමිනි.
එහිදී නිදහස් ජනතා සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් කිහිප දෙනකු ද ජනාධිපතිට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් විය.

මැතිවරණයක් ගැන සජබ කතාවක් 

පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ දී හර්ෂ, ඉරාන් සහ කබීර් එකට හමුවිය.
‘‘ජනාධිපතිවරයා මේ යන්නේ දේශපාලන වශයෙන් සියදිවි නසාගන්න ගමනක්. පොහොට්ටුවත් එක්ක ගිහිල්ලා මේ රට ගොඩනගන්න බැහැ”‍ කබීර් කීවේය.
‘‘ඔව් කරන්න තියෙන එකම දේ තමා වහාම මැතිවරණයක් තියලා ජනමතය විමසන එක. ඊට පස්සේ මේ රට කරගෙන යන්න පුළුවන්”‍ හර්ෂ කීවේය.
‘‘ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා, ජනතාවගේ නිදහසට මුඛවාඩම් බැඳලා රටක් ඉස්සරහට ගෙනි යන්නේ කොහොමද?”‍ එහෙම කිව්වේ ඉරාන් ය.

 

‘‘2022 වසරේ පළමු කාර්තුව හා සසදා බැලීමේ දී, මේ වසරේ පළමු කාර්තුව තුළ, දළ දේශීය නිෂ්පාදිතයේ වර්දනය 11.5% ක සෘණාත්මක අගයක් ගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා. ඉතින් කොහෙද ගොඩ ගිහින් තියෙන්නෙ”‍ අසල සිටි අශෝක අබේසිංහ සංඛ්‍යාලේඛන එක්කම කීවේය.

 

ආණ්ඩුවට එරෙහිව

සජබෙන් නඩු හතළිහක්!


පසුගිය වකවානුව තුළ ආණ්ඩුවට එරෙහිව සහ ආණ්ඩුවේ කටයුතුවලට එරෙහිව සමගි ජන බලවේගය හතළිහකට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. එය වාර්තාගත තත්ත්වයකි.

“රටේ ජනතාවට ප්‍රශ්න මතු වෙන හැම වෙලාවකම ඒ තත්ත්වයෙන් ජනතාව බේරගන්න සමගි ජන බලවේගය ඉස්සරහට ආවා. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය එක්ක සෙල්ලම් කරද්දී අනෙක් හැමෝම නිහඬව ඉන්නකොට සමගි ජන බලවේගය තමයි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ.”‍ මුජිබර්' එහෙම කීවේය.

 

“සමහර කයියෝ ස්ටේජ්වල දෙදරන්න කෑ ගැහුවට එයාලගේ තියෙන්නෙ සද්දෙයි ගඳයි විතරයි. හැබැයි අපි සද්දෙ වෙනුවට වැඩ පෙන්නල තියෙනවා.”‍නලීන් බණ්ඩාර සිනාසෙමින් කීවේය.

ජනපතිගේ කතාවට සජිත්ගෙ උත්තරය!

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට මැතිවරණයක අවශ්‍යතාවක් නොමැති බවටත්, ඔවුන් තුළ මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව සමගි ජන බලවේගය සිය විශේෂ අවධානය යොමු කරනු ලැබීය.
නීතිඥවරු ගෙන්වා, ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වා ඉන් අනතුරුව මැතිවරණ අනවශ්‍ය බවට ඔවුන්ට දේශන පැවැත්වීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කළ සජිත් මෙහෙම කීවේය.


“මේ රටේ අභිමානවත් දේශපාලන පක්ෂයක් මහපොළොවටම සමතලා කරලා, කිසිම මන්ත්‍රීවරයෙක් ඡන්දයකින් පත්කරගන්නට බැරිව, ජාතික ලැයිස්තුවෙන් පත්වුණු මන්ත්‍රීකමට පින් සිද්ධ වෙන්න, එකම එක මන්ත්‍රීකමකට ඒ අභිමානවත් පක්ෂය සීමා කරපු නායකයා, රටේ ජනතාවට මැතිවරණ ගැන විශ්වාසයක්, කැමැත්තක් නැහැ කියලා කියද්දී මම පුදුම වෙන්නේ නැහැ. ඇත්තටම ඔහුට අකැමැත්තක් තියෙන්න පුළුවන් මැතිවරණයක් පැවැත්වීම ගැන. මොකද ඔහු දන්නවා මැතිවරණයක් පැවැත්වුවොත් ඔහුට අත්පත් වෙන ඉරණම.
ඔහු පුදුමාකාර ලෙස කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂවලට රටෙන් 50%ක් වත් නැහැ කියලා. කොහොමද ජනාධිපතිවරයා එහෙම කියන්නේ ? මම කියනවා ජනාධිපතිවරයට 50%ක් තියෙනවද? නැද්ද? කියලා බලාගන්න කැමැති නම්, ලබන වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය, මේ වසරේ අගභාගයේ පවත්වන්න කියලා. ඒ සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ලබාගන්න සමගි ජන බලවේගයේ අපි සහයෝගය ලබාදෙනවා. පුළුවන් නම් ජනාධිපතිවරණයක් තියලා බලාගන්න 50% තියෙන්නේ කාටද?, 50%ට වඩා අඩු වෙන්නේ කාටද කියලා.”‍

 

 

 

මෛත්‍රී වික්‍රසිංහ වෙනුවෙන් සජිත්

පසුගියදා සජිත් මොනරාගල සහ අම්පාර පාසල්වලට සක්වල වැඩසටහන රැගෙන ගියේය.


අම්පාර බණ්ඩාරනායක විදුහලට ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කළ සජිත්, මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහ විදුහලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කළේය. ඊට මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද සහභාගී විය.

වෙනත් පක්ෂයක පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉලක්ක කොට කරන ලද ප්‍රකාශයක් දුරකථනයෙන් සජිත්ට පෙන්වීමට මහලේකම් රංජිත් කටයුතු කළේය. එම ප්‍රකාශය පුරාම තිබුණේ දැඩි පිළිකුල් සහගත අපහාසයකි.

“එතුමිය කිසිම දවසක දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. ඒ නැතත් කාන්තාවෝ ඉලක්ක කරගෙන මේ වගේ අපහාස කරන එක මහ අපරාධයක්.”‍
සජිත් ප්‍රතිචාර දැක්වූයේ එහෙමය.

 

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් මගහැරි ජනපතිගේ රැස්වීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් ඇමැතිවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා  හැන්දෑවේ, කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ දීම  හමුවිය. එම රැස්වීමට සහභාගී නොවීමට ඇමතිකම් නොදරන පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් තීරණය කර තිබුණි. ඔවුන් කිහිප දෙනෙකු හමු වී සහ අනෙක් පිරිස දුරකථනවලින් සම්බන්ධ කර ගනිමින්  කීවේ මෙය පොහොට්ටු පක්ෂයේ  දැනුවත් වීමකින් තොරව සිදුවන  නිසා ඊට සහභාගි නොවිය යුතු බවය.
එම මන්ත්‍රීවරුන්ට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු කලින් ආරාධනය කර තිබූ අවස්ථාවේ ද, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණේ පක්ෂයේ මට්ටමින් දැනුවත් නොකර කෙරෙන මෙවැනි සාකච්ඡාවලට තම පක්ෂයේ අය සහභාගී නොවන බවය. 


ඒ අනුව පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් එදින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට සහභාගි නොවූ අතර, සහභාගී වූයේ ඇමැතිවරුන්ට අමතරව, මහින්දානන් ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා පමණි .ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන, දිස්ත්‍රික් නායකයන්  එම රැස්වීමට සහභාගි නොවූයේ ඇත්තටම පක්ෂය දැනුවත් නොකිරීමටත් වඩා, ඔවුන්ට ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන කලකිරීම හේතුවෙනි.


පොහොට්ටු පක්ෂයෙන් ඔවුන්ගේ නම් කැබිනට් අමාත්‍ය ධුර සඳහා යවා තිබියදීත්, එය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ දැඩි කලකිරීමෙනි. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ට කැබිනට් ඇමැතිකම් ලබාදීමට  ඔවුන්ගේ නම් ලයිස්තුව ජනාධිපතිවරයාට යවා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මෙතෙක් එය නොලැබීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ දිස්ත්‍රික් නායකයෙක් සඳහන් කළේය.

ඔහු කීවේ මේ තිබෙන කැබිනට් මණ්ඩලය හදිසියේ පත් කරගත්තේ මාස කීපයකට පමණක් බවත්, ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය පත් කරන බවට ජනාධිපතිවරයා කීවත් මෙතෙක් එය ඉටුවී නැති බවත්ය. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් දේශපාලන වශයෙන් නුසුදුස්සන් ලෙස සැලකීම කනගාටුදායක බව ඔහු කීවේය.

ජනාධිපතිවරයා පත්කර ගැනීමට ඡන්දය දුන්නේ එම පොරොන්දු පිට යැයි කී හෙතෙම, සිදුව ඇති මෙම අසාධාරණය වෙනුවෙන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනෙකු තමන් සමග එක්වී සිටින බව ඔහු කීවේය.

බැසිල් ජනපතිගේ හිත හදයි

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවලද දැඩි කතාබහට ලක්වූ අතර, ජනාධිපතිවරයා පසුදිනම ආණ්ඩුවේ  පක්ෂ නායකයන් ජනාධිපති කාර්යාලට කැඳවීය. අගමැති  දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම්  සාගර කාරියවසම්, අතාවුල්ලා, ඩග්ලස් දේවානන්ද ඇතුළු පක්ෂ නායකයෝ ද ඊට සහභාගි වූහ.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිරිස මුලින්ම දැනුවත් කළ අතර, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා  කියා තිබුණේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට යම් යම් විවේචන තිබෙන නමුත්, ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට දිගටම සහය දෙන බව ය. පක්ෂයේ වෘත්තීය සමිති සහ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ගැටලුවක් කර නොගන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. බැසිල් එහිදී  ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය අගය කරමින් කතා කර ඇත.

කලකිරුණු පොහොට්ටු මන්ත්‍රීන්ගේ හිත හදන්න ආ අමුත්තා

ඒ අතර බැසිල් පොදුජන පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙළ ගමට ගෙන යාම සඳහා දැඩි මැදිහත්වීමක් කරමින් සිටී. ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර ඔහු ගිය  බ්‍රහස්පතින්දා පොහොට්ටුවේ, හිටපු නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් හා උප සභාපතිවරුන් ද කණ්ඩායම් වශයෙන් බත්තරමුල්ල කාර්යාලයට කැඳවීය. ඒ පක්ෂයේ  වැඩපිළිවෙළ ගමට ගෙන යාම හා ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පක්ෂය සූදානම් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සඳහාය. 


පක්ෂය සමග කලකිරී සිටින, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී ඔවුන් නැවත පක්ෂයට  සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ද බැසිල් ආරම්භ කර ඇත. ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර  හා රාජ්‍ය ඇමැති  ධුර දරන බහුතරයක් පොහොට්ටුවේ කාර්යාලය පැත්ත පළාතකවත් යන්නේ නැත. ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද පොහොට්ටු කාර්යාලය දෙස හැරිලා බලන්නෙවත් නැත. එම තත්ත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට දිනා ගැනීමේ වැඩපිළිවෙළකට බැසිල් මුල පුරා සිටී. 
පොහොට්ටුව සමග මේ වන විට ඇයි හොඳයියක් නොමැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්  සොයා ගොස් ඔවුන් දිනා ගැනීමේ වැඩපිළිවෙළ බැසිල් මේ වන විට ආරම්භ කර ඇත. ඔහු ගිය සතියේ එවැනි ජ්‍යෙෂ්ඨයකු හමුවීමට එම ජ්‍යෙෂ්ඨයාගෙ නිවසට මහ රෑ හදිසියේම ගියේය.  
පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එම ජ්‍යෙෂ්ඨයා දැනුවත් කළ බැසිල් එහි පැය කීපයක් රැඳී සිටියේ අතීත සිදුවීම් ද සිහිපත් කරමිනි. ඔහු ඉන් පිටව ගියේ  මන්ත්‍රීවරයාගේ නිවසින් රාත්‍රී ආහාරය ද ගැනීමෙන් පසුවය.

ගාල්ලේ සංගීතයේ දී ප්‍රසන්නට නටන්න ආරාධනා

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ඉකුත්දා පැවැති සංගීත ප්‍රසංගයක් බලන්නට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගම්පහ සිටම ගියේය. රූකාන්ත ගුණතිලක ඇතුළු ජනප්‍රිය ගායකයන් රැසක්  සහභාගී වූ මේ ප්‍රසංගය බලන්න ප්‍රසන්න ගියේ ලැබුණු විවේකය නිදහසේ ගත කිරීම වෙනුවෙනි.

ඉතා විශාල පිරිසක් සහභාගී වූ මේ ප්‍රසංගය බලන්න ගිය ඔහු ද අනෙක් ප්‍රේක්ෂකයන් මෙන් ක්‍රීඩාංගණය මැදට වී සිටිය දී ඔහු හඳුනාගත් අයකු කීවේ. ‘‘ඇයි සර් මෙතන ඉන්නේ, ඉස්සරහට යන්කො’’ කියාය.

‘‘නෑ මමත් ආසයි ඔයගොල්ලො වගේ සාමාන්‍ය විදිහට ඉඳගෙන සින්දුවක් අහන්න. ඒකයි මෙහෙට හදිසියේම ආවේ’’ යැයි ප්‍රසන්න උත්තර දුන්නේ ය. 
එහි සිටි අයෙක් ප්‍රසන්නට තවත් ආරාධනයක් කළේය. 


“ඔබතුමාත්  එන්නකො අපිත් එක්ක පොඩි ඩාන්ස් එකක් දාන්න “ඔහුගේ ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කළ ප්‍රසන්න කීවේ”‍ අනේ මල්ලි ඕන දෙයක් කරන්නම්, නටන එක තමයි මට කරන්නම බැරි. මම ඕන්නං අප්පුඩි ගහලා සපෝට් එකක් දෙන්නම් ”‍යැයි කීවේය.

බාගෙට මේකප් දාපු 

රංගේ බණ්ඩාරට වෙච්ච ඇබැද්දිය

ගිය සතියේ ස්වර්ණවාහිනී නාළිකාවේ දේශපාලන සංවාදයකට ගිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට බරපතළ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු විය. දේශපාලන වැඩසටහන ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ගිය රංගේ බණ්ඩාර එහි අයෙකු විසින් තකහණියෙම මේකප් කාමරයට කැඳවාගෙන යනු ලැබුවේ  වැඩ සටහන කඩිනමින්ම ආරම්භ කිරීමට නියමිතව තිබූ බැවිනි. 
මේකප් දමන අතරේ නිවේදකයා විමසා සිටියේ අද සංවාදයට “ඔබතුමාලගේ පක්ෂයෙන් වෙන කෙනෙක්නේ එවනවා කිව්වෙ” කියාය. 
මම තමයි එනවා කිව්වේ “රංගේ බණ්ඩාර උත්තර දුන්නේය. ඒ අතරෙ නිවේදකයා ඔහුට කිව්වේ මේක ස්වර්ණවාහිනී නාළිකාව” කියාය.
“අයියෝ මල්ලි මාර වැඩේ නේ මට වුණේ. එන්න කිව්වේ හිරු එකෙන්​නේ” යැයි කියමින් බාගෙට මේකප් දමා සිටි රංගේ බණ්ඩාර මහතා එතැනින් වහා පිටව ගියේ හිරු නාළිකා වේ  දේශපාලන සංවාදයට සහභාගි වීම සඳහා ය.

නම දාගන්න දඟලන රාජ්‍ය ඇමති

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙනුවෙන් ඉදිකරන ලද මහල් නවයකින් යුත් ලක් සියනෑ මන්දිරය ජනාධිපතිවරයා අතින් මේ මස අග දී විවෘත කිරීමට නියමිතය. එහි සමරු ඵලකයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නම් හැර කිසිදු ඇමැතිවරයකුගේ නමක් නොදමන්නැයි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත.
සමරු ඵලකයට පමණක් නොව ආරාධනා පත්‍රයට  ද මැති ඇමතිවරුන්ගේ නම් නො දමන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. අඩුම තරමින් තමාගේ නමවත් නොදමන ලෙස ඔහු දැනුම් දුන්නේය.


මේ බව ආරංචි වූ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙකු ගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගොස්, එම  සමරු ඵලකයට  ඔහුගේ නම දා ගැනීමට දැඩි වෙහෙසක් ගත් බව ද වාර්තා විය. එහි  නිලධාරියකු සඳහන් කර තිබුණේ සමරු ඵලකය සහ ආරාධනා පත්‍රයේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නම හැර වෙනත් නමක් නොදමන්නැයි දැනුම් දී ඇති බව ය. අනතුරුව නිලධාරීන්ට ද ගෝරනාඩු කර ඇති රාජ්‍ය ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට ද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ .

උත්තර හොයන උත්තර සභාගය

උත්තර සභාගයේ විධායක සභාව සඳුදා  හැන්දෑවේ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වූයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම වෙනුවෙනි. වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, වෛද්‍ය ජී වීරසිංහ, ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ඊට සහභාගී වූහ. විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග හා රතන හිමියෝ මෙවර  රැස්වීමට සහභාගී නොවූහ. 


මුලින්ම සාකච්ඡාවට ගත්තේ හදිසි ජනාධිපතිවරණයක් පැවැතවුවහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙනි. මේ යන තත්ත්වය අනුව ආණ්ඩුව පවත්වන පළමු මැතිවරණය ජනාධිපතිවරණය විය හැකි බව ඔවුන්ගේ අදහස විය. ජනාධිපතිවරණය ලබන වසර මුල දී පැවැත්වීම ඉඩ ඇති බවට ද ඔවුහු අදහස් දැක්වූහ. සමාජ සුභසාධන මණ්ඩලය හරහා ලබාදෙන සහන සහ අයවැයෙන් ද යම් සහන ප්‍රමාණයන් දී ආණ්ඩුව ජනාධිපතිවරණයකට කෙළින්ම යා හැකි බව ඔවුන්ගේ අදහස විය. එසේ වුවහොත් ඊට මුහුණ දිය හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අවධාරණය විය.


 මේ  අතර ඔවුන් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර ඇති සම්මන්ත්‍රණ  මාලාව රට පුරා ගෙන යාමටත්, උත්තර  ලංකා සභාවේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් ද කඩිනමින් පිහිටුවීමටත් එහිදී තීරණය විය. 

■ ගජබා