ඡන්දෙ බලාගෙන හැදෙන සන්ධාන


වසර අවසානයත්, පාර්ලිමේන්තුව මේ දිනවල රැස්නොවීමත් හේතුවෙන් දේශපාලන කරළියේ පවතින්නේ තරමක ඇල්මැරුණු ස්වභාවයකි. වසර අවසානයේ නිවාඩුව ගත කරන්නට ඇතැම් මැතිඇමැතිවරුන් පිටරට ගොස් ඇති අතර, ඇතැමුන් සිටින්නේ ගම්වලට ගොසිනි.


මේ අතර දේශපාලන පක්ෂ ද පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් කඳවුරු ශක්තිමත් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. සංවිධාන කටයුතු සිදු කළද මැතිවරණය පැවැත්වේ ද යන්න සම්බන්ධයෙන් ඔවුනට ද. ස්ථිර අදහසක් නැත. ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ පළාත් පාලන මැතිවරණය මේ සතියේ ප්‍රකාශයට පත් කරනු ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් ආණ්ඩුව පැත්තෙන් නම් මැතිවරණය සම්බන්ධයෙන් තදබල වුවමනාවක් තියෙන බවක් පෙනෙන්නට නැත.


මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය බ්‍රහස්පතින්දා හවස්වරුවේ රැස්විය. ඒ මැතිවරණය ප්‍රකාශයට පත් පත්කිරීමට අදාළ තීන්දු තීරණ කිහිපයක් ගැනීම වෙනුවෙනි. ඔවුන් කියා සිටියේ මේ සතියේ මැතිවරණය ස්ථිර වශයෙන් ම ප්‍රකාශයට පත්කරන බව ය. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා නිකුත් කෙරෙනු ඇත. එම නිවේදනය නිකුත් වී සති දෙකකින් නාම යෝජනා කැඳවිය යුතු වේ. මැතිවරණ පනතට අනුව නාම යෝජනා කැඳවා සති 5 ත් 7ත් අතර කාලය තුළ, ඡන්දය පවත්වන්නට සිදු වේ. දින වකවානු බැලූ විට ඡන්දය පවත්වන්නේ නම් පවත්වන්නේ මාර්තු මස මුල් සතියේය. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමෙන් පසුව ආණ්ඩුව කුමක් හෝ හේතුවක් ඉදිරියට දමා මැතිවරණය මාස කීපයකට හෝ කල්දමා ගනු ඇති බව ය.

 

පුංචි ඡන්දෙට එන නිදහස් ජනතා සන්ධානය

මැතිවරණ ඉලක්ක කර ගනිමින් සන්ධාන ගොඩනැගීම මේ රටේ දේශපාලනයේ අලු‍ත් අත්දැකීමක් නොවේ. දේශපාලන පක්ෂ කණ්ඩායම් එක්ව මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධාන ගොඩනැගීම් සාමාන්‍ය පරිදි සිදුවේ. විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් තුනක් එක්ව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් අලු‍ත් සන්ධානයක් ගොඩනැගීමට මේ වන විට මුල් වී තිබේ. ඊට මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන කණ්ඩායම් තුනයි. ඒ පාර්ශව තුන පසුගිය සතිය පුරාම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී වරින් වර රැස්වී මේ ගැන සාකච්ඡා කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස ජනතා සභාවේ පිරිස් බ්‍රහස්පතින්දා සවස දෙකට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසේදී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ශාන් විජයලාල් ද සිල්වා මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගී වූ අතර, නිදහස ජනතා සභාව වෙනුවෙන් සහභාගි වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර සහ අකිල එල්ලාවල යන මන්ත්‍රීවරුන් ය. එහිදී තීරණයක් ගෙන තිබුණේ සියලු‍ දෙනාට පිළිගත හැකි නව සන්ධානයක් ගොඩනගන්නට ය. එය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කරන්නට ද තීරණය විය. එහි විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත්, සියයට තිහක් ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවටත්, ඉතුරු තිහ විමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් එක් වන්නේ නම් ඔවුන් ට ලබාදීමටත් එහිදී යෝජනා විය.


තනි පුද්ගලයකු නොව සන්ධානයේ නායකත්ව මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් මුලදී තරමක් අකමැත්තක් ප්‍රකාශ කළ ද, පසුව එය සංශෝධනය කිරීමට එකඟතාව පළ වූ බව වාර්තා විය. එක් නායකයකු වෙනුවට නායකයන් තුන්දෙනෙකු ගෙන් සමන්විත වන ආකාරයට එම සන්ධානය ගොඩනැගීම පිළිබඳව කතාබහට ලක්විය.


ශ්‍රීලනිපය හා නිදහස ජනතා සභාව අතර සාකච්ඡාවෙන් අනතුරුව සවස ශ්‍රීලනිපය හා උත්තර ලංකා සභාගය අතර සාකච්ඡාවක් පැවැත්විණි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, අතුරලිය රතන හිමි ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වූහ. ශ්‍රීලනිප වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් ද සිල්වා යන පිරිස සම්බන්ධ වූහ.


නව සන්ධානය තනි නායකයකු නොව නායකයින් කිහිප දෙනෙකු යටතේ පිහිටුවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ද යෝජනා කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දී තිබුණේ ඒ සම්බන්ධයෙන්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා, ඔවුන් දැනුවත් කර තීන්දුවක් ගන්නා බවය. මේ අතර සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් තනි පක්ෂයක් ගැනීම සම්බන්ධයෙන් ද විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. ඔවුන් ගේ අදහස වී ඇත්තේ විධායක සභාවේ නියෝජනය සියලු‍ පක්ෂවලට සම සමව ලැබිය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට එකඟ වී නැති බවද පැවසේ


මේ අතර, නිදහස් ජනතා සන්ධානයට චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකය එකතු වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද වාර්තා වේ. චම්පික ඇතුළු කණ්ඩායම සහ ඩලස්ගේ කණ්ඩායම අතර මේ සතියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොවූ බව දැන ගන්නට ඇත


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණය සම්බන්ධයෙන් වැඩි බරක් තබා ඇති බවක් පෙනෙන්නට නැති නමුත්, අපේක්ෂකයන් තේරීමේ කටයුතු ආදිය දැනටමත් ආරම්භ කර ඇත. ඒ සඳහා ඔවුන් පුවත්පත් දැන්වීමක් ද පළකර තිබිණි. ඒ අතර පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල නිවසේ මේ සති අන්තයේ පිරිත් පිංකමක් සූදානම් කර ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා සහභාගී වන්නැයි ඔහු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසකට ගිය සතියේ දී දැනුම් දී තිබූ බවද වාර්තා විය.

අනුරගේ ගමට ගිහින් සජිත් කී කතාව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව පනස්වැනි බස් රථය පරිත්‍යාග කළේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ය.


සජිත් සිය පනස් වැනි බස්රථය දෙන්නට දින දෙකකට පෙර අනුර දිසානායක කුරුණෑගල දී මෙහෙම කීවේය.
“අර බස් මෑන් ඉන්නවා නේද, අයියෝ.. මිනිහට පුළුවන් ඔහේ බස් එකක් එලවාගෙන ඉන්න. ඒවා ළදරු දේශපාලන වැඩ.”‍


අනුරගේ විවේචනයට සජිත් පිළිතුරු දුන්නේ ඔහුගේ ගමේ පිහිටි පාසලට ගොස් ය. එහිදී දැරියක් වේදිකාවට පැමිණ සංවේදී කතාවක් කළාය.
‘‘අපිට ගොඩක් වෙලාවට ක්ෂේත්‍ර චාරිකා යන්න වෙනවා. ඒවට විශාල මුදලක් වියදම් වෙනවා. මෙහේ ඉඳලා සිංහරාජෙට යනවානම් එක ළමයෙක්ගෙන් රුපියල් පන්දාහක්වත් යනවා. මේවා ගොඩක් දුෂ්කර ගම්මාන. අපේ දෙමව්පියන්ට මේ වගේ වියදමක් දරනවා තියා හිතන්නවත් බැහැ. එතකොට අපේ ගුරුවරු කරන්නේ එයාලගේ සොච්චම් වැටුපෙන් අර මුදල දරන එක. මේ අවුරුද්දට විතරක් ලක්ෂ 26කට වැඩි මුදලක් විවිධ වැඩසටහන් සඳහා ප්‍රවාහන වියදම් විදිහට වැයවෙලා තියෙනවා. මැතිතුමනි ඔබ කරපු මේ මහා පිංකම ඉතිහාසගත වෙනවා. අපිට මේක හිතාගන්න බැරි හීනයක් සැබෑවීමක්. මේ කරපු දේ අපේ පාසල් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා”‍ දැරිය කීවාය. සජිත් එදා දුන්නෙ මෙහෙම උත්තරයකි.


‘‘74 වසරක් රටේ ආණ්ඩු කළේ බදු ආදායම රාජ්‍යය ආදායම ලබා ගෙන සංවර්ධනයේ නාමයෙන් ආපහු බෙදා දෙනවා. අවුරුදු 74 ක් ඕක කළේ, අවුරුදු 74 ක් විපක්ෂය කළේ කොහොම හරි ආණ්ඩු බලය ගන්න සැලසුම් කරනවා, කවදාවත් විපක්ෂය සේවය කළේ නෑ. අහලාවත් තියෙනවාද? කිසිම දවසක කළේ නෑ, හැබැයි අපි වෙනස්. අපි වෙනස් වෙන්නේ, මුළු රටම දන්නවා, සක්වල කිව්වොත්, හුස්ම කිව්වොත්, සජිත් ප්‍රේමදාස කිව්වොත්, අනිවාර්යයෙන් කිව්ව දේ කරනවා කියලා. මොන විපක්ෂයද ‍මේ තරම් සේවයක් කළේ. අපි පාසල්වලට බස් රථ 50 ක් දුන්නා. පාසල්වලට පරිගණක පද්ධති දුන්නා, රෝහල්වලට හුස්ම වැඩසටහනෙන් බෙහෙත් හා උපකරණ දුන්නා. අපි වෙනස් කියන්නේ ඒකයි.
සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස සක්වල වැඩසටහන ආරම්භ වූයේ මීට වසරකට පමණ පෙරාතුවය. ඒ හරහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක ය. එකක් තොරතුරු තාක්ෂණය සහ සුහුරු පුවරු සහිත පන්ති කාමර වැඩසටහනය. අනෙක පාසල්වලට බස් රථ ලබා දීමේ වැඩසටහනය. මේ වන විට පාසල් සඳහා බස් රථ පනස් හතරක් ලබාදීමට හෙතෙම සමත්ව සිටියි. ඒ හරහා ශක්තිමත් වන පාසල් පද්ධතිය අතිවිශාල බව සජිත්ගේ පක්ෂයේ මතයය.
වසරක් තුළ එක් පාසලක් ප්‍රවාහනය සඳහා දරන වියදම ලක්ෂ ගණන් ය. ඒවත් දරාගත නොහැකි තරම් මිල අධිකය.
‘‘අපි පාසල් චාරිකාව යන්න පොළක් තියලා අයිස් ක්‍රීම් වික්කා. එහෙම කරලා තමයි අපි අපේ චාරිකාව යන්න බස් එකට වියදම හොයා ගත්තේ”‍
එක් පාසලක දරුවෙක් කීවේ එහෙම කතාවකි.


“සමහර ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙවල්වලට ගිහිල්ලා අහල පහල ගෙවල්වල කුලීවැඩ කරලා තමයි චාරිකා යන්න සල්ලි හොයාගත්තේ. සමහර වෙලාවට සල්ලි නැති නිසා තරගවලට නොයා ඉන්න අවස්ථා ගොඩක් තිබුණා.”‍


මෙවැනි කතා අප්‍රමාණය. ඒ සෑම කතාවකම පිටුපස ඇත්තේ වේදනාවකි.
බස්රථ ලබාදෙන සෑම පාසලකම උත්සව අවස්ථාවට ගිය විට සජිත් කළේ එම පාසල්වල ඒ වසරේ ප්‍රවාහන වියදමට අදාළ වාර්තාවක් ලබා ගැනීමය.
බොහෝවිට ඒවා ලක්ෂ 20, 30 පැනපු වියදම් ය.


පිළියන්දල ධර්මරාජ විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය. එහිදී පාසලේ විදුහල්පතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ 2022 වර්ෂය සඳහා ධර්මරාජ විදුහල දැරූ ප්‍රවාහන වියදම ලක්ෂ 22ක් බවය. තඹුත්තේගම විදුහලේ ලක්ෂ 30කට ආසන්නය.

 

පළාත් පාලන අපේක්ෂකත්වය ගන්න සජබ කාර්යාලයේ මහ සෙනගක්!

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා ය. සම්මුඛ පරීක්ෂණ උදෑසන 9 ට ආරම්භ වූ අතර පාන්දර සිටම සංවිධායකයින්ට බලවත් ගැටලු‍වකට මුහුණ දීමට සිදුවිය.


ඒ අපේක්ෂකත්වය ඉල්ලා අතිවිශාල පිරිසක් පැමිණ සිටීම හේතුකොටගෙනය. පළාත් පාලන අපේක්ෂකත්වය සඳහා අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලබන දහවෙනිදා වුවද මේ වන විටත් 8000කට වැඩි අයදුම්පත්‍ර ප්‍රමාණයක් සමගි ජන බලවේග කාර්යාලයේ ගොඩ ගැසී ඇතැයි එම පක්ෂ කියයි.
එබැවින් සම්මුඛ පරීක්ෂණ දින කිහිපයක් දිගු කිරීමට සංවිධායකයින්ට සිදුවිය.


“තරුණයින්ට, කාන්තාවන්ට 20% අනිවාර්යයෙන් දෙන්න. දක්ෂයින්ට අවස්ථාව දෙන්න. කිසිම වෙලාවක වෙනත් ලැදියාවන් සඳහා ඉඩ දෙන්න එපා. පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ ගමේ පුංචි ආණ්ඩුව. ගමේ පුංචි ආණ්ඩුවට අපි පත් කරන්න ඕනෑ වගකිවයුතු පිරිසක්”‍
සජිත් උපදෙස් ලබා දී තිබු​ණේ එහෙමය.


“පොල්ලෙලි දැම්මත් දිනන්න පුළුවන් කියලා දාලා පොහොට්ටුවට වෙච්ච දේ මතකනෙ. ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙන්න පුළුවන් ගමේ නායකයෝ අපි බිහි කරමු. ඒ අය තමයි කවද හරි රටේ  ඉහළටම එන්නේ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


සම්මුඛ පරීක්ෂණ සඳහා ස්ථාන දහයක් වෙන් කොට තිබුණ අතර පිරිස වැඩි නිසා එය 15 දක්වා ඉහළ නංවනු ලැබීය.
‘‘මගේ දශක හතරකට වැඩි දේශපාලන ඉතිහාසයේ කවදාවත් පළාත් පාලන මැතිවරණයකට අපේක්ෂකත්වය ගන්න මෙච්චර  උනන්දුවක් තිබිලා නෑ. මේකෙන්ම පැහැදිලි ප්‍රතිඵලය මොකක්ද කියලා.”‍ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ය.


‘‘හැම තැනම තියෙන සමුපකාර ඡන්ද අපි දිනනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල අයවැය පොහොට්ටුව දිගටම පරදිනවා. එයා හේදිලා ගිහින් ඉවරයි. ජන බලය තියෙන්නෙ කොතැනටද කියලා ඕනම මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට තේරෙයි”‍  කබීර් කීවේය.

ඇඟලුම් ඇණවුම් අඩුවන  බව ජවිපෙ කියයි

ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ලැබෙන ඇණවුම් නව වසරේ මුල් මාස හතර ඇතුළත තුනෙන් එකක ප්‍රමාණයකින් අහිමි වන බව ජාතික ජනබලවේගය ආර්ථික කවුන්සිලයේ සාමාජික අනිල් ජයරත්න මහතා පසුගිය සතියේ පැවැති ජාතික ජනබලවේගයේ විධායක සභාවේදී ප්‍රකාශ කළේය.


ඇඟලුම් කර්මාන්ත කඩා වැටීමෙන් රටට ඩොලර් ලැබීම ශීඝ්‍රයෙන් අඩුවන අතර දැනට වඩා අසීරුතාවන්ට මුහුණ දීමට ජනතාවට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතදී නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන එක් වචනයක්වත් සඳහන් කර නැති බැවින් අපේ රටට ණය ලැබීම තවත් ප්‍රමාද වන තත්ත්වයක් උදාවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අඩුම වශයෙන් තව මාස තුනකටවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීම පිළිබඳව විශ්වාස කළ නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජනවාරි මාසයේ සිට විදුලි බිල සියයට 65කින් හෝ කුමන ප්‍රමාණයකින් වැඩි කළත් ආයතන පවත්වාගෙන යාමට නොහැකි වී බහුතරයක් ආයතන ශ්‍රී ලංකාවෙන් ඉවත්වන බව අනාවරණය වී ඇති බවයි.


වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඇතැම් ආයතන සතියකට දින තුනක් දැනට ක්‍රියාත්මක වන බවය.
රටේ දැනට පවතින තත්ත්වයන් සමග ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වේගවත් කළ යුතු බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පිරිස දැනුවත් කර සිටියේය.


ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ මහතා මෙහිදී පක්ෂයේ ආසන සමුළු පැවැත්වීමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කළේය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ විශ්‍රාම ගිය නිලධාරීන් බහුල වශයෙන් සමුළුවේදී පක්ෂයට එකතුවීමට පියවර ගෙන ඇති බවත්ය.


ජාතික අපේක්ෂාව පිළිබඳව පක්ෂයේ වැඩ පිළිවෙළද ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට මෙහිදී තීරණය විය.
පළාත් පාලන ඡන්දය පිළිබඳව විජිත හේරත් මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඡන්දය පවත්වනවාද? නැද්ද යන්න පිළිබඳව රජය දෙගිඩියාවක සිටින තත්ත්වයක් උදාවී ඇති බවයි. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඡන්දය නොපැවැත්වීමට රජය කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරනු ඇතැයිද ඔහු කීය.
සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටියේ ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බවට තරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි. රජයේ ආදායම රුපියල් බිලියන 3450ක්ව පවතින නිසා එයින් බිලියන 10ක් ඡන්දය සඳහා ලබාදීම නොකරන්නේ රජයේ පරාජය වසා ගැනීමට බවද ඔහු ප්‍රකාශ කළේය.

21 වැටී ඇති තැන ගැන කරු කනස්සල්ලෙන්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් කරු ජයසූරිය මහතා පසුගියදා සිදුකර ඇති ප්‍රකාශය කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමු විය. එහිදී කරු කියා ඇත්තේ තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවය. කරුගේ එම ප්‍රකාශයට හේතු වී ඇත්තේ 21 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව ක්‍රියාකර ඇති පිළිවෙත ගැනය. 
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ 21 මගින් ස්ථාපිත කළ යුතුව ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට සිවිල් සාමජය නියෝජනය කරමින් පත්කළ යුතු සාමාජිකයන් ගැන ආණ්ඩුව මේ දක්වා අවධානයක් යොමු කර නැති බවය. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන් 21 යටතේ යාවත්කාලීන නොකිරීම ගැනද කරු එහිදී තම විරෝධය දක්වා තිබේ.
ඔහු ඒ ගැන වැඩිදුරටත් කියා ඇත්තේ 21 ගෙන ඒමට පෙර විසි වෙනි සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවල ඇතැම් නියෝජිතයන් ගැන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට මෙන්ම පොදුවේ සිවිල් සමාජයට කිසිසේත්ම සතුටු වීමට නොහැකි බවයි. එදා ස්වාධීන කොමිෂන් සභාවලට පත්කර ඇති සාමාජිකයන් අතර සිටින සමහර අය දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් හා ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරමින් සිටියදී එම පත්වීම් සිදුකර ඇති බව පෙන්වා දී තිබියදීත් වගකිවයුතු අංශ ඒ ගැන අවධානයක් යොමු කර නැති බව පෙන්වා දෙන කරු එවැන්නන් සමග එම කොමිෂන් සභා ස්වාධීන කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබේ.

 

ගජබා