ගහගැනිලි අස්සේ උපන්දින සාද


ජනපති සතිය

යුරෝපා සංචාරය නිමකර මෙරටට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහට කෙටි විවේකයක් හෝ ගැනීමට ඉඩක් නොලැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට තිබූ නිසාවෙනි. 

ඔහු විදේශයේ සිටම මෙරට නිලධාරීන්ට හා මැති ඇමැතිවරුන්ට උපදෙස් දෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සැලසුම් සකස් කොට තිබුණි. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ දිගින් දිගටම ඔහු සාකච්ඡා කළේ රටටත් ජනතාවටත් හානියක් නොවන පරිදි මෙම ගැටලුව විසඳා ගැනීමට ය.

අවසානයේ ඔවුහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟ වෙන, රටේ බැංකු පද්ධතියටත් හානියක් නොවන, සේවක අරමුදල්වලට ද හානියක් නොවන මූල්‍ය යෝජනාවක් සකස් කළහ. ජනපති මේ ගැන සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද හෙළිදරව් කළේය.


එහිදී තීන්දු කෙරුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනුමත කිරීම වෙනුවෙන් විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් කැඳවීමටය. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට ද මේ ගැන පැහැදිලි කිරීමට තීන්දු කෙරිණි

ඊට අමතරව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ද මේ ගැන දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඇමැති මණ්ඩල අනුමැතියෙන් පසු යෝජනාව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ද ඉදිරිපත් කිරීමට ද තීන්දු කළේය.

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණි අතර නව ගුවන් හමුදාපති පත්කිරීම ගැන ද එහිදී කතා කෙරිණි. පොලිස්පති ධූරය ගැන කිසිවක් කතා නොකිරීමට ජනපති රනිල් වගබලාගෙන තිබුණි. ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජනපති සහභාගී වූවේ එදින සවසය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ බැංකු පද්ධතියට හෝ සේවක අර්ථසාධක අරමුදලවලට කිසිදු හානියක් නොවන බව ජනපති ප්‍රසිද්ධියේම කීවේ එහිදීය. උත්සවය අවසන්වී ජනපති පිටත්ව යාමට සැරසෙද්දී ඇමති ප්‍රසන්න රණතුංග සමඟ සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරුන් ජනපති ළඟට කිට්ටු වී කීවේ විපක්ෂයේ බොරු ප්‍රචාරවලට ජනාධිපතිතුමා නිසි පිළිතුරක් දුන් බවය.


මාධ්‍ය මගින් ඊට ලොකු ප්‍රචාරයක් ලැබීම හේතුවෙන් ජනතාවගේ සැක සංකා දුරුවීමට එය විශාල හේතුවක් වූ බවද ඔවුහු පෙන්වා දුන්නෝය. 

බතලේගල පරිසර පද්ධතියට හානියක් වන බවට ජනපති රනිල්ට තොරතුරක් ලැබුණේ මේ අතරවාරයේය. එම මොහොතේම ජනපති ලේකම් සමන් ඒකනායකට කතා කළ රනිල් මේ ගැන සොයා බලා වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ජනපති ලේකම් සමන් කෑගල්ල දිසාපතිගෙන් ඊට අදාළව වාර්තාවක් කැඳවීමට පියවර ගත්තේය. ජනපති රනිල් බදාදා දිගටම රැඳී සිටියේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේය.

සවස කැඳවා තිබූ හදිසි කැබිනට් රැස්වීමට ජනපති ගියේ තනිව නොවේ. ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග යන අය කැඳවා තිබුණි. ඔවුන් ඇමැති මණ්ඩලය වෙත  ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර සිටියෝය. ඔවුන් පැහැදිලි කරද්දී ජනපති ද ඊට එක්වෙමින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ඇමැති මණ්ඩලය දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ යෝජනාව අනුමත කළේ ඉන් අනතුරුවය. කැබිනට් රැස්වීම නිමවා ජනපති රනිල් ගියේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමටය. ඔහු ආණ්ඩු පක්ෂ රැස්වීමට ආවේ කේක් ගෙඩියක් ද රැගෙනය.


 “ඔන්න මම ඔයාලට තෑග්ගක් ගෙනාවා.” ජනපති සාකච්ඡා කාමරයට ඇතුළු වූවේ එසේ කියමිනි. කවදාවත් නැතුව ජනපති මේ කරන්න යන්නේ කුමක්දැයි නොදත් පිරිස ජනපති දෙස බැලු‍‍වේ තුෂ්ණිම්භූතවය.


එහෙත් එක් අයෙක් පමණක් සිදුවන්නේ කුමක්දැයි අනුමාන කළේ එදින ඔහුගේ උපන් දිනය වූ බැවිනි. රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර දෙස හැරුණු ජනපති රනිල් මේ ඉන්නේ “බර්ත්ඩේ බෝයි” කියා පෙන්වමින් ඔහුට කේක් කැපීමට ආරාධනා කළේය. ශෂේන්ද්‍ර රාජපක්ෂගේ උපන්දිනය එදින බව දැනගත් හැමෝම ඔහුට සුබ පතන්නට රොක් වූහ.

පැමිණ සිටි පිරිස ශෂීන්ද්‍ර කැපූ උපන්දින කේක් අනුභව කිරීමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන මුදල් ලේකම්, මහබැංකු අධිපති හා ආචාර්ය සමරතුංග කළ දේශනයට සවන් දුන්හ. ඔවුන් ඇසූ ප්‍රශ්නවලට මහබැංකු අධිපති මෙන්ම ජනපති ද පිළිතුරු බැන්දේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරය ගැනත්, සේවක අරමුදල් සුරැකෙන ආකාරයත් ඔවුන් පැහැදිලි කර දුන්නෝය. එසේම සේවක අරමුදල්හි පොලී අනුපාතය 9% ක අගයේ දිගටම පවත්වාගෙන යන ආකාරය පිළිබඳවද මහබැංකු අධිපතිවරයා පැහැදිලි කළේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දි භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන ද මෙහිදී පැහැදිලි කරනු ලැබීය. 


පාර්ලිමේන්තුවේදී මෙම කරුණු ඉදිරිපත් කරන්නැයි ජනපති රනිල් පිරිසට උපදෙස් දුන්නේ තවත් ගැටලු ඇතිනම් විමසන ලෙස ද කියමිනි.

අස්වැසුම සහන ක්‍රමය ගැන ගැටලුව පැන නැගුණේ මේ අතරවාරයේය. ජගත් කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අදහසට ප්‍රතිවිරුද්ධව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පිළිතුරු දීම හේතුවෙන් උණුසුම් වාදයක් ඇති වූවේය. ඊට මැදිහත් වූ ජනපති රනිල් කීවේ, මෙම කාරණය ගැන පූර්ණ අධ්‍යයනයක් කරන බවය. ඉන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපති පිටත්ව ගියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ නායක හමුවට එක්වීම සඳහාය.

සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂ කණ්ඩායම් රැසක් මේ හමුවට එක්ව සිටි අතර ඔවුන්ට ද ජනපති ඇතුළු කණ්ඩායම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පැහැදිලි කර දුන්නේය. විපක්ෂ මන්ත්‍රීවරු රැසක් එහිදී ප්‍රසාදය පළ කළේ ණය කප්පාදුවකින් තොරව මෙම ගැටලුව විසඳීමට ජනපති ගත් උත්සාහය අගය කරමිනි.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ තායිලන්ත තානාපති කාර්යාලයේ ප්‍රධාන ශාලාව වෙත ගියේ කලා ශිල්පි එච්.එස්. සරත් ගේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටය. එය නරඹා එන අතරතුර අරගලකරුවන් විසින් ගිනිබත් කළ වසර 50 කට ආසන්න කාලයක් තමන් ජීවත් වූ නිවස වෙත යාමට ද ඔහු අමතක නොකළේය. 


එදින සවස ජනපති බැංකු නිලධාරීන් මුණගැසී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කරුණු පැහැදිලි කර දුන්නේය. ඉන් පසුව ජනාධිපතිවරයා සවස නුවර බලා පිටත්ව ගියේ තානාපතිවරුන්ට අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයට සහභාගීවීමටය. සිකුරාදා පෙරවරුවේ මහනුවර ජනපති මැදුරේදී මෙම උත්සවය පැවැත්විණි. ජනපති රනිල් සති අන්තයේ නුවරඑළිය, හම්බන්තොට හා කතරගම බලා පිටත්ව ගියේ උත්සව කිහිපයකට සහභාගීවීම උදෙසාය.

ආණ්ඩුවට අස්වැසුමක් නොවූ අස්වැසුම

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආණ්ඩුවෙන් දෙන අස්වැසුමත් ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකා දෙකකි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත  කිරීම සම්බන්ධයෙන් ජනතාවට වඩා වැඩි උනන්දුවක්  තිබුණේ දේශපාලන පක්ෂවලට හා එහි නායකයන්ටය. ඒත් අස්වැසුම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලටත් වඩා ජනතාවගේ දැඩි උනන්දුවක් තිබූ අතර, ඒ නිසාම එය ගෙවී ගිය  සතියේ සමාජය තුළ දැඩි කැලඹීමක් ඇති කළේය. රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට ජනතාව වීදි බැස්සේ අස්වැසුම හරහා දැඩි  අසාධාරණයක්  සිදු වී ඇති බව කියමිනි. සහනාධාර ලැබිය යුතු පවුල්වලට නොලැබී, නොලැබිය යුතු පවුල්වලට  ලැබෙන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව විය. එම චෝදනාව ජනතාවගෙන් පමණක් නොව, දේශපාලන පක්ෂවලින් ද  එල්ල වූ අතර, එහි විශේෂත්වය වූයේ ආණ්ඩුවේ ප්‍රධාන  පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම  තර්කය මත චෝදනා එල්ල කිරීම ය. ඒ නිසාම එය ඉකුත් සතියේ කැබිනට් රැස්වීම මෙන්ම, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද උණුසුම්  කළ මාතෘකාව බවට පත්ව තිබිණි.


පසුගිය සතියේ කැබිනට් රැස්වීම් දෙකක් පැවැත්විණි. එකක් සාමාන්‍ය පරිදි සඳුදා සවස පැවැත්වෙන රැස්වීමය. දෙවැන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව අනුමත  කර ගැනීම සඳහා බදාදා  පැවති විශේෂ කැබිනට් රැස්වීමය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා  කැබිනට් රැස්වීමට කැඳවනු ලැබ සිටියේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ඒ සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලබාදීමේ  අපේක්ෂාවෙනි.

සේමසිංහ ජගත් පැටළෙති

බදාදා කැබිනට් රැස්වීම හමාරවීමත් සමඟ ආණ්ඩු පක්ෂ  රැස්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මැති ඇමැතිවරුන්  වැඩි දෙනෙකු සහභාගී වී සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක, එස්. බී. දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඊට සහභාගී නොවූහ. 


ණය ප්‍රතිව්‍යුහගත  කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර,  ණය ගෙවීම වසර පහකට කල් දැමීමට සාකච්ඡා කරගෙන යන බව ඔහු කීවේය. ඔහුගේ පැහැදිලි කිරීමෙන්  අනතුරුව මැති ඇමැතිවරුන්ට සිය ප්‍රශ්න, ගැටලු‍ ඉදිරිපත් කරන්නට ද අවස්ථාව ලැබිණි. සරත් වීරසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් මතු මතුකරමින් කීවේ අයි.එම්.එෆ්. එකෙන් ණය  ගන්න ඔච්චර මහන්සි වෙනවට  වඩා අය කරගෙන නැති බදු අය කර ගැනීමෙන් ඩොලර් බිලියන  තුනක් පමණ එකතු කර ගත හැකි බව ය. එමෙන්ම විදේශවල ඇති බිලියන 53 ක විතර මුදල්ද ගන්න ක්‍රමයක් සකස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයාය. එහෙම බිලියන ගණනක් පිට ගිහිල්ලා තියනවා කියලා මම දන්නෙ නෑ. හැබැයි ඕව විපක්ෂය කියන දේවල්. අපි මොකටද විපක්ෂයේ වෙන්න යන්නේ යැයි ජනාධිපතිවරයා කීවේය.

සාගර කාරියවසම්  ඇසුවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත  කිරීම හරහා ජනතාවගේ බැංකු ගිණුම්වලට සහ බැංකුවලට හානියක් වෙනව ද කියාය. ජනාධිපතිවරයාත් මහබැංකු අධිපතිවරයාත් කීවේ මෙමගින් කිසිවකුට හානියක් නොවන බවය. ගාමිණි ලොකුගේ ප්‍රශ්නයක් මතු කරමින් ඇසුවේ  ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. පොලිය  සම්බන්ධයෙනි. ඔහු කිව්වේ කලින් ඒ සඳහා  සියයට 12ක් පොලිය දුන්න බවය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීවේ සියයට  12 ක් නොව, කලින් දුන් සියයට  9 පොලිය ඒ ආකාරයෙන් ම  ලබාදෙන බවය.  ජනාධිපතිවරයා කියා සිටියේ දවස් දෙකක් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය නොවන බැවින්  පුළුවන්නම් එක දවසකින් අවසන් කර ගැනීමට උත්සාහ කරන ලෙසත්ය.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එතරම් වේලාවක් ගත නොවූවද වැඩිවෙලාවක් ඇදී ගියේ අස්වැසුම සම්බන්ධ මාතෘකාව වෙනුවෙනි.


අස්වැසුම වැඩසටහන ගැන පැහැදිලි කරන්නැයි සමන්ප්‍රිය  හේරත් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළ අතර ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා ඒ ගැන දිගු පැහැදිලි කිරීමක් කළේය. එල්ල වී ඇති විවේචන ද සඳහන් කළ සේමසිංහ දාලා  තියෙන්නේ  අන්තිම ලැයිස්තුව නෙමෙයි, අභියාචනා දෙන්න  දවස් දහයක් දීලා තියෙනවා, ඔහු කීවේය. යම් යම් බලවේග දේශපාලන වාසි අනුව කටයුතු කරන බව පෙනෙන බැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවද ඔහු කීවේය.


ජගත් කුමාර මන්ත්‍රීවරයා අනතුරුව  කතා කළේය. ඔහු මේ මාතෘකාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම පෙනී සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූයේ ඉතාම අසීරු  අවස්ථාවක  බවත්, එතුමා රට බාර ගැනීමෙන් පසුව රට යම් තැනකට ගෙනැවිත් තිබෙන බවත් ඔහු කීවේය. ඔබතුමා රට බාර ගන්න කොට තිබුණේ  අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්. එම තත්ත්වය වෙනස් කළ ඔබතුමා  ජනතාවට යම් සහනයක්  දීලා වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනාවා. එහෙම තියෙද්දි මේ අස්වැසුම හරහා වෙලා තියෙන්නේ කිරි කළයට ගොම ටිකක් දැම්ම වගේ වැඩක්. සමෘද්ධිය තිබුණු අයගෙන් සියයට  75කගෙ සමෘද්ධිය  කැපිලා. හරිනම්  වෙන්න ඕනැ ඒක වැඩි වෙන එක. ඒ නිසා මේ වැඩපිළිවෙළ  වහාම නවත්තලා, මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු බලලා සාධාරණයක් කරන්න කියලයි මම ඉල්ලන්නේ, ජගත් කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා කාබනික පොහොර ප්‍රශ්නය ගෙන ඇවිත්, ඇති කළ ජංජාලය ගැන ද ඔහු කියා සිටියේය. ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොහොර ප්‍රශ්නය වෙලාවෙත් අපි මේ විදිහට ප්‍රශ්න මතු කරා. ඒවා ඇහුවේ නෑ. අන්තිමට ජනාධිපතිට  අගමැතිට දෙන්නටම ගෙදර යන්න වුණා. අපිට පාරේ බැහැලා යන්න බැරි වුණා. මේකත්  මේ විදියට ඉස්සරහට ගියොත් ඒ තත්ත්වය නැවත උදා වෙන්න පුළුවන්, ජගත් කීවේ දැඩි විවේචනයක් එල්ල කරමිනි. 


ඔහුගේ  කතාවට පිළිතුරු දෙන්න නැගිට්ටේ සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා ය. ඔබතුමා ඔය කියන ගණන් හිලව් සම්පූර්ණයෙන්ම වැරදියි. සේමසිංහ කියද්දී ජගත් කීවේ නෑ මම මේවා ලබාගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික්  ලේකම් කාර්යාල මට්ටමින් හොයා බලල යනුවෙනි.


ඔයාලා තමයි විරෝධතා මතු කරලා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදන්නේ. සේමසිංහ ජගත්ට චෝදනා කළේය. ජගත්ගේ  ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.  ඔහු ද පෙරළා සේමසිංහට  චෝදනා කළේ ඔයා වගේම මාත් ආණ්ඩුවේ මිනිහෙක් කියමිනි. මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න මට අයිතියක් තියෙනවා. මං ඒකයි කරන්නේ. ජගත් කීවේය. සේමසිංහ-ජගත් විවාදය ආණ්ඩු පක්ෂ රැස්වීම ගිනියම් කළ අතර, ජනාධිපතිවරයා මැදිහත් වී එය නිවා දැමුවේ මම මේක ගැන අගමැතිතුමත් එක්ක කතා කරල සකස් කරන්නම්, කියමිනි.


මේ හබය එතනින් නතර වූයේ නැත. මොනරාගල  මන්ත්‍රී කුමාරසිරි රත්නායක කීවේ ජගත් මතු කරන කාරණා නිවැරැදි බව ය. ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා ද  ඒ අදහස අනුමත කළේය. මම මේක සමාජ සුබසාධන මණ්ඩලයේ සභාපති වරයාත් එක්කත් කතා කරා. එයා මේවා ගණන් ගත්තෙ නෑ මේ කියන ඒවා හරි. මේක මේ කියන විදිහට ගියොත්  මේ තියෙන විරෝධය විශාල රැල්ලක් වෙන්නත් පුළුවන් ශාන්ත බණ්ඩාර කීවේය.


චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා කිව්වේ අස්වැසුම නිසා ගමට යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවය. සම්පත් අතුකෝරල ද කිව්වේ මේක  අවුල් ජාලයක් බවට පත්ව ඇති බවය.
විමලවීර දිසානායක මන්ත්‍රීවරයා මේ ගැන කතා කිරීමට කිහිප වරක් උත්සාහ කළද ඔහුට ඉඩක් නොලැබිණි. ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරයා ද අස්වැසුම හරහා සැබෑ දුප්පතුන්ට  අසාධාරණයක් වී ඇති බව කීවේය.  ජගත් කුමර නැවත කතා කරමින්  කිව්වේ මේක තාවකාලිකව නවත්වා  නිවැරදි කරන්න කියාය. අපි මේක කතා කරලා විසඳගමු යයි ජනාධිපතිවරයා නැවත කීවේය.

අස්වැසුම අර්බුදය මහින්ද ළඟටත්

අස්වැසුමෙන් සමෘද්ධිලාභීන්ට දැඩි අසාධාරණයක් වී ඇතැයි කියන කාරණය ජගත් කුමාර මහින්ද ළඟට ද රැගෙන ගියේය. විජේරාම නිල නිවසේ මහින්ද හිටියේ තරමක අසනීපයෙන් වුවද ඔහු පිරිස හමු වී මේ ගැන සාකච්ඡා කළ අතර අවසානයේ කීවේ තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මුදල් කාරක සභාවත් ඇවිළෙයි

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් කාරක සභාව ද එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් විය. කාරක සභාවේ සාමාජිකයන්  නොවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අශෝක අබේසිංහ සහ අශෝක ප්‍රියන්ත යන  මන්ත්‍රීවරුන්ටද කාරක සභා රැස්වීමට සහභාගි වීම  සඳහා අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් තිබිණි. ආණ්ඩු පක්ෂයේ අය ඊට විරුද්ධ වූහ

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම මත ඔවුන් කිව්වේ එහෙනම් එන්න දෙන්න, හැබැයි කතා කරන්න ප්‍රශ්න අහන්න දෙන්න බෑ කියාය. අවසානයේ  මේ ගැන ඡන්ද විමසීමක් කිරීමට සිදුවිය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලංසා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දුමින්ද  දිසානායක, සුරේන් රාඝවන්, මධුර විතානගේ, සහන් ප්‍රදීප්, අනුප  පැස්කුවල්, සීතා අරඹේපොල ඇතුළු පිරිස ඊට විරුද්ධව ඡන්දය දුන්හ. සුමන්තිරන්, රවුෆ් හකීම්, චම්පික රණවක, නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ඊට පක්ෂව ඡන්දෙ දුන්හ.  අවසානයේ අශෝක ප්‍රියන්ත සහ අශෝක අබේසිංහ දෙදෙනා ඊට  සහභාගි වූහ. සජිත්ද ටික වේලාවකට පසුව පැමිණියේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මහ බැංකු අධිපතිවරයාත් පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහ.

 

 

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ  ද සිල්වාත්  නිමල් ලන්සාත් දෙදෙනා හැප්පුණේ  ණය ප්‍රතිව්‍යුහගත කිරීම  සම්බන්ධයෙනි. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්.  අරමුදල්වලට ද මේක සම්බන්ධ නිසා මේක ගැන මිනිස්සුන්ගෙන් අහන්න ඕනැ ඇයි සුමන්තිරන් කීවේය. චම්පික  සිටියේත් ඒ  අදහසේය.  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා කිව්වේ  අපේ අය තවම  පාඩමක් ඉගෙන ගෙන නෑ. ඩොලර් බිලියන  14 ක ණය කපන්න කියලා අපි ලෝකෙන් ඉල්ලනවා. හැබැයි අපේ පැත්තෙන් කරපු කැපවීම මොකක්ද ? එ නිසා අපි ප්‍රායෝගික වෙන්න  ඕනැ කියා.


මුදල් කාරක සභාව ද තීරණයකින් තොරව අවසන් වූ අතර, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පසු දිනට කල් තැබිණි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම සති අන්තයේ  පැවැත්වුණේ කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයාගේ සංවිධායකත්වයෙනි. ඔහු ඒ සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ඩී.වී.  චානක යන  රාජ්‍ය ඇමැතිවරුන්  දෙනාට ආරාධනා කර තිබිණි. පවිත්‍රා  වන්නිආරච්චි ඇමැතිවරිය ද ඊට සහභාගි වූ අතර, පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහභාගී කරවීය. ප්‍රමිත රැස්වීම අමතමින් කීවේ දකුණත් වමත් එකතු  කර පොදු සන්ධානයක්  ගොඩනගන බවය. තවදුරටත් අපට යුද්දෙ විකුණන්න බෑ. අලු‍ත් තැනකට යන්න ඕනැ. ඔහු  කී මේ කතාවෙන් නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලය කලබල වී ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂලා නැති  රාජකීය දෛවඥයාගේ උපන්දින සාදය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය විශ්වාසවන්තයෙකු මෙන්ම රාජකීය දෛවඥයා ලෙසද කලක් කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන මහතා ගේ 71 වෙනි උපන්දිනය ඉකුත් බදාදාට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේ දී එදින උදේ උපන්දින සාදයක් පැවැත්විණි. 

71 වැනි  උපන්දින නිසා ඊට ආරාධනා කර තිබුණේද 71  දෙනකු ට පමණි. මනුෂ නානයක්කාර, දොස්තර රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ෂාන්  විජයලාල් ද සිල්වා, චන්දිම  වීරක්කොඩි, හිටපු ඇමැති පියසේන ගමගේ, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති හෙක්ටර් බෙත්මගේ, සිනමා නළු  සනත් ගුණතිලක, හිටපු ජනාධිපති මහින්දගේ අතිශය සමීපතමයකුව සිට මේ වන විට ඔහුගෙන් ඈත් වී සිටින සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් ද ඊට  සහභාගි වූ පිරිස් අතර වූහ. විශේෂත්වය වූයේ අතිශය සමීපතමයන් ලෙස සිටි රාජපක්ෂවරුන් කිසිවකුටත් සාදයට ආරාධනා කර නොතිබීම ය.

මෛත්‍රී යාපනයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය  සතිය ගත කළේ යාපනයේය. ඒ  පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල වෙනුවෙනි. ගිය බදාදා යාපනයට ගිය ඔහු අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාද සමඟ හින්දු කෝවිල් ඇතුළු ආගමික ස්ථානවලට ද ගොස් ආශිර්වාද ලබා ගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට මුල පිරුවේය.

දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලය හදන්න රුවන්ට ඇමෙරිකානු සහාය

එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති ඩග්ලස් ඊ. සොනෙක්ගේ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයට ඉකුත් සතියේ  ගියේය. එම ගමනට ආචාර්ය ආනන්ද මලවිතන්ත්‍රි ද සහභාගී විය. ඇමරිකා තානාපති කාර්යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සමග රුවන් එහිදී  සාකච්ඡා පැවැත්වීය.


ජනාධිපතිවරයාගේ  දේශගුණ විපර්යාස පිළිබඳ වැඩපිළිවෙළ රුවන් ඇමරිකා තානාපති කාර්යාල නිලධාරීන්ට ඉදිරිපත් කළ අතර ඊට සහාය දීමට ද ඇමරිකා නිලධාරීහු එහිදී පොරොන්දු වූහ.

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට ඇමරිකා විශ්ව විද්‍යාල සම්බන්ධ කරන්නත් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්නන් තානාපති කාර්යාල නිලධාරීන් පොරොන්දු වී ඇත.

මතුගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම ඉකුත් ඉරිදා පැවැත්වුණේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. මතුගම වමට බර ආසනයක් වුවත් විශාල පිරිසක් එම බල මණ්ඩල රැස්වීමට පැමිණ සිටියහ. කළුතර දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න ද එහි පැමිණ සිටියේය.
බැන් කි මූන්ගේ සභාපතිත්වයෙන් යුතු කොරියා  රාජ්‍ය නොවන සංවිධානයක් වන ජී.ජී.ජී.අයි. සංවිධානය සමග ද රුවන් ඉකුත් සතියේ  සාකච්ඡා ආරම්භ කළේය. ලංකාවේ දේශගුණික මූල්‍යකරණ කටයුතු සිදු කිරීම සඳහා ආධාර ලබාදීමට ජී.ජී.ජී. අයි. සංවිධානය එකඟතාව පළ කළේය.


ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සඳහා ඉඩමක් බැලීමේ කටයුතු වලට රුවන් විජයවර්ධන ප්‍රමුඛ කණ්ඩායම කොත්මලේ ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. එම ගමනට ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආර්.එච්.එච්. සමරතුංග, රුවන් විජයවර්ධන සම්බන්ධීකරණ ලේකම් සජන සූරියාරච්චි ද සහභාගී වූහ.

බෙල්ලන්විල පෙරහරට රාජ්‍ය අනුග්‍රහය 

බෙල්ලන්විල රාජමහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය ගැන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ  පැවැතියේ ජනපති උපදෙස් මතය. ඊට බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන් මෙන්ම මන්ත්‍රී ගාමිණි ලොකුගේ ද සහභාගී වී සිටියහ.

බෙල්ලන්විල පෙරහර කමිටුවේ ඉල්ලීම වූවේ පෙරහැර පැවැත්වීමට අදාළ සහාය ජනපති කාර්යාලයෙන් ලබාදෙන ලෙසය. මෙම සාකච්ඡාවට ඉකුත් වසරේ පෙරහර සංවිධානය කිරීමට ඉදිරිපත්වූ අනුග්‍රාහක භවත්හුද එක්ව සිටියහ.​

“ගිය වසරේ පෙරහර මංගල්‍යයට දැක්වූ දායකත්වය අඩුවක් නැතුව ඔබ තමුන්නාන්සේලාට මෙවරත් ලබා දෙන්න පුළුවන් ද?” ජනපති ලේකම් අනුග්‍රාහකයන්ගෙන් විමසද්දී සියල්ලෝ එකඟ වූහ. 
“එහෙමනම් හාමුදුරුවනේ, අඩුපාඩු තව තිබුණොත් අපට දන්වන්න. පෙරහර මංගල්‍යයට අපි පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වය දක්වනවා.” සමන් ඒකනායක පැවසීය. 

පොලිස්පති කෝ ?

ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලයට පැමිණියේය.  ඒ වන විට මැති ඇමැතිවරු පිරිසක් එහි පැමිණ සිටියහ. 
“සර් තවම පොලිස්පති කෙනෙක් පත් කරලා නැහැනේ. දවස් හතරක් තිස්සේ පොලිස්පති කෙනෙක් රටේ නෑ.” එහි පැමිණ සිටි මන්ත්‍රී මධුර විතානගේ විමසා සිටියේය.
“පොලිස්පති කෙනෙක් නෑ කියලා ගැටලුවක් නෑනේ. පොලිසියේ අය තමන්ගේ වැඩ කරගෙන යනවා.” මන්ත්‍රී වජිර කියද්දී ජනපතිගේ කට කොනට සිනහවක් නැඟුණා මිස ඔහු ඊට ප්‍රතිචාර දැක්වූවේ නැත.


“අස්වැසුම සහනය ගැන ජනතාව පාරට ඇවිල්ලා ඉන්නේ.” ප්‍රශ්නය ඇමති ප්‍රසන්නගෙනි.
“මෙතනදි ජනතාව පාරට ගේන්නේ නිලධාරීන් කණ්ඩායමක්. මේ අය මුලදී මේ සමීක්ෂණය කරන්නත් බෑ කිව්වා. හෙංචයියෝ ටිකක් තමයි කල එළි බැහැලා ඉන්නේ.” රාජ්‍ය ඇමැති ශෙහාන්ගේ මතය එය විය.

 

 “අපිට මේ ආධාරය ලැබෙන්නේ ලෝක බැංකුවෙන්. අයි.එම්.එෆ් වැඩසටහන කරපු නිසා තමයි අපිට මේ සහන ලැබෙන්නේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක වැඩක්. අපි දැන් ප්‍රශ්න එකින් එක විසඳාගෙන යනවා. 

“අපිට මේ ආධාරය ලැබෙන්නේ ලෝක බැංකුවෙන්. අයි.එම්.එෆ් වැඩසටහන කරපු නිසා තමයි අපිට මේ සහන ලැබෙන්නේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක වැඩක්. අපි දැන් ප්‍රශ්න එකින් එක විසඳාගෙන යනවා. 
අපිට පොහොර ටොන් 50,000 ක් නොමිලේ ලැබුණා. අයි.එම්.එෆ්. කළමනාකාර අධ්‍යක්ෂතුමිය, පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්තුමිය, ජර්මන් චාන්සලර් වගේ අය මුණගැසුණු වෙලාවේ කිව්වේ අපේ වැඩපිළිවෙළට සහාය දෙනවා කියලායි. ඉතින් මේ මල් වට්ටියට අත ගහනවද නැද්ද කියලා හැමෝම තීරණය කරන්න ඕනේ. මේ වැඩපිළිවෙළේ ගියොත් රටත් ගොඩ අපිත් ගොඩ.” ජනපති දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

 

■ ගජබා