ඇමැතිවරුන් පත් කිරීමේ බාලගිරි දෝෂය


තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම දිගින් දිගටම කතාබහට ලක් විය. එය අද කෙරෙයි හෙට කෙරෙයි කියා මාධ්‍ය වාර්තා ද පළ විය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිධුර හිමිවිය යුතු අයගේ ලැයිස්තුවක් ද ජනාධිපතිවරයා වෙත පසුගිය කාලයේ යවා තිබිණ. එසේ වුවද ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති ධුර හිමි විය යුතු දොළොස් දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇතැයි මුල දී වාර්තා විය. දැනගන්නට ඇති පරිදි තවත් පත්කිරීමට ඇත්තේ ද ඇමැති ධුර 12කි. පොහොට්ටුවට ඇමැති ධුර 12ක් දුන්නොත් ඉතිරි පක්ෂ සඳහා කැබිනට් ඇමැති ධුර ලබාදීම ද ගැටලු‍වක් වනු ඇත. වෙනත් පක්ෂවලින් ජීවන් තොණ්ඩමන් සහ අතාවුල්ලා යන දෙදෙනාට ඇමැති ධුර හිමිවීමට නියමිතය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන දුමින්ද දිසානායකටද ජනාධිපතිවරයා විසින් ඇමැති ධුරයක් පිරිනමනු ඇතැයි දැනගන්නට ඇත. එසේ වුවහොත් පොහොට්ටුවට හිමිවන ඇමැති ධුර ගණන 12ක් නොව 8ක් දක්වා අඩු වනු ඇත.   


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතිඅන්තයේ දී රැජනගේ අවමඟු‍ල් උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය. ඔහු අනතුරුව ජපානයේ සංචාරයක නිරත වීමට ද නියමිත ය. ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයත් ජපාන සංචාරයත් නිමවීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.   

රටේම ඇස් ඇරවූ සමන්තා පවර්ගේ ශ්‍රී ලංකා සංචාරය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඉකුත් සතියේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයිනුත් හමුවී සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වූවා ය. ඇය මෙරටට පැමිණි පළමු දිනයේම ජාඇල ප්‍රදේශයේ කුඹුරු යායකට ගොස් ගොවීන් හමුවී තත්ත්වය සොයා බැලු‍වාය. 


ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ඇය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් ද හමුවූවාය. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කළ ප්‍රකාශයක් ගැන රටේම අවධානය යොමු විය. ඇය ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ඇදවැටීමට ප්‍රධාන හේතු කිහිපයක් හෙළි කළාය. අධික ණය බර, දේශපාලනඥයින් හා සමහර රාජ්‍ය නිලධාරීන් තම තනතුරු වාසිය සඳහා භාවිත කිරීම මෙන්ම, පොහොර තහනම ද රට මේ තත්ත්වයට ඇදවැටීමට හේතු වූ බව ඇය කීවාය. ඒ සමඟම ඇය කීවේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි දෙකක ආධාර ලබා දෙන්නටද සූදානම් බවය.   

බැසිල්ගේ පණිවිඩයක් අරන් ප්‍රසන්න ජනපති හමුවෙයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්විය. එය මාධ්‍යයට ගෙනාවේ මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා ය. ඔහු කීවේ අයවැයට පෙර අගමැති ඉවත් කිරීමට තම කණ්ඩායමේ ද සහාය පොහොට්ටුව ඉල්ලා සිටින බවය. 
මෙම ප්‍රකාශයෙන් දිනේෂ් මෙන්ම පොහොට්ටුවේ අය ද කලබල වූහ. පොහොට්ටුව තුළ ද ඒ සම්බන්ධයෙන් කසුකුසුවක් විය. ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව සිටි බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කතාකරන්නට ප්‍රසන්න රණතුංග කැඳවීය. ඔහු කීවේ දිනේෂ් අගමැතිධුරයෙන් ඉවත් කිරීමේ කිසිදු සූදානමක් පොහොට්ටුව තුළ නොමැති බවය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී ඒ බව දැනුම් දෙන්නැයි බැසිල් ප්‍රසන්නට කීවේය. ඒ අනුව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී බැසිල්ගේ පණිවුඩය දැනුම් දුන්නේය.   

ඩලස්ලාගේ තුන්වැනි පටුමග කාර්යාලය 

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව මේ දිනවල නාවල තුන්වැනි පටුමගේ පිහිටි කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කර ඇත. පිරිස මුලින්ම අනුරාධපුරයෙන් වැඩ පටන් ගත් අතර ඉකුත් සතියේ මහනුවර ට ද ගොස් දළදා වහන්සේ වැඳ මහා සංඝරත්නයද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. දෙදිනක් මහනුවර රැඳී සිට දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් ද හමුවී සිය ඉදිරි ගමන ගැන පැහැදිලි කළහ. පිරිස කොළඹට ඇවිත්, නාවල තුන්වැනි පටුමගේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ දී ද විවිධ කණ්ඩායම් හමුවී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.   

පුංචි ඡන්දෙට හවුල් පක්ෂ එකතුවක්  

ලබන වසරේ මාර්තු පමණ වන විට පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණයට හවුල් පක්ෂ හතේ උත්තර සභාගය තවත් පක්ෂ එකතු කරගෙන තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ පිළිබඳව සභාගයේ නායකයන්ගේ සාකච්ඡාවක් ඉකුත් බදාදා හවස කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. 


බඩු මිල ඉහළ යාම මෙන්ම රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද දීර්ඝව සාකච්ඡා වූ අතර, සමන්තා පවර්ගේ ශ්‍රී ලංකා සංචාරය ද එහිදී දැඩි අවධානයට ලක් විය. මේ අතර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස්ලාගේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් එක්කරගෙන මුහුණ දීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.   


 මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, විශේෂ සාකච්ඡාවක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ඔහුගේ නිවසේ පැවැත්විණි. ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් හැරෙන්නට, දයාසිරි ජයසේකර, ෂාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් හා දුශ්‍යන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරු ඊට සහභාගි වූහ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටි අතර, පක්ෂයෙන් ආණ්ඩුවට ගොස් තනතුරු ලබාගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ. ධම්ම දිසානායක පවසා ඇත්තේ තොවිලය නැටුවත් තවමත් යක්කු එලවන්නට නොහැකි වී ඇති බව ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් පක්ෂය තුළ දරන තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බව දැනගන්නට 

ඇත.

ක්‍රීඩාව වෙනුවෙන් සජිත් මොනවද කළේ? 

පසුගිය සතිය ආරම්භ වුණේ ශ්‍රී ලාංකිකයන්ට සතුටුදායක විජයග්‍රහණ කිහිපයක් අත්කර දෙමිනි. එකක් ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමය. අනෙක කාන්තා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව දිනා ගැනීමය.   


‘‘දැල් පන්දු කණ්ඩායම මේ තරගයට සහභාගි වුණේ පුදුම ප්‍රශ්න ගොඩක් මැද. රාජ්‍ය මට්ටමෙන් කිසිම සහයෝගයක් හරිහමන් විදිහට එයාලට ලැබුණේ නෑ”‍ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  
2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට එදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් විසින් නව නිවාස පිරිනමනු ලැබීය. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවැති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟු‍ලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ නිවාස පිරිනැමුණ අතර සියලු‍ පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික විය. වර්තමානයේ ඒ එක් නිවසක වටිනාකම රුපියල් කෝටිය ඉක්මවනු ඇත.   


එය සිහිපත් කළේ මරික්කාර් ය.   
‘‘එදා ඒ නිවාස දුන්නේ නොමිලේ. හැබැයි අපේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ ඒ නිවාසවලට ණය වාරික ගෙවන්න කියලා ලියුම් ඇවිත්.”‍ සජිත් කීවේය.   


‘‘ඔව් එතකොට ක්‍රීඩා ඇමැති නාමල්. ඒ උනාට එයා හරියට කතා කරන්නේ ක්‍රිකට් කණ්ඩායම ගොඩනැඟු‍වේ එයා වගේ. ආසියාවේ අංක එකේ දැල්පන්දු කණ්ඩායමවත් බලා ගත්තෙ නැති උදවිය අද ඒ ජයග්‍රහණවල උප්පැන්න ලියා ගන්න හදනවා.”‍චමින්ද විජේසිරි කීවේය.   
2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන්නට සිටි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් සඳහා බොට්ස්වානා වෙත යාමට නියමිතව තිබිණි. එහෙත් මෙම සංචාරය සඳහා අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් ලබා ගැනීම ඔවුන් ඉදිරියේ තිබූ බලවත් ගැටලුවක් විය. ඒ අවස්ථාවේ දී ඊට අනුග්‍රාහකත්වය දැක්වීමට එවක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටි සජිත් කටයුතු කළේය. එවක 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණයක් විය. 

 
ක්‍රීඩිකාවන් 12 දෙනෙකු හා නිලධාරීන් 3 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා රුපියල් 3,568,500ක මුදලක් වැය වූ අතර එම මුදල අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් හා අනෙකුත් අරමුදල්වලින් සැපයීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.   
‘‘ජයග්‍රහණයට පියවරුන් ගොඩක් ඉන්නවා. ඒ අය රතු පලස් එලන්නත් එනවා හැබැයි ජයග්‍රහණය හොයාගෙන යන්න කැපවෙන කාලයේදී ගොඩක් අය නෑ.”‍ සජිත් කීවේය.   

උත්තර සපයන විපක්ෂය !   

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසු වූ අතර මේ වන විට එය 7 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත.   


ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය 106%ක් බව ය. මේ බරපතළ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගය මන්ත්‍රීවරු දිගින් දිගටම සාකච්ඡා කළහ.   
‘‘මේක ආර්ථික දුර්භික්ෂයට අහුවෙච්ච රටක්. හැබැයි ඇමැතිවරුන්ගෙන් ස්වයංපෝෂිත රටක්.”‍ විපක්ෂ නායක සජිත් කීවේය.   
‘ඒ ස්වයංපෝෂිතකම මොනතරම් ද කීවොත් ඇමතිවරු පැටව් ගහනවා. කතා කරකර ඇමැතිකම් දෙනවා නේද?”‍   


එහෙම කිව්වේ ගයන්ත කරුණාතිලක ය.   
‘‘අද රටේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. මේ රටේ රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් නැතුව මේ රටේ ගැබිණි අම්මලා හූල්ලමින් ජීවත් වෙනවා. මන්දපෝෂණය හිස ඔසවලා මේ රටේ දරු පරපුර අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙලා තියෙනවා. මේවට උත්තර හොයන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ.”‍   
සජිත් එහෙම කීවේ ”‍හුස්ම’ වැඩසටහන හරහා අම්පාර රෝහලට සිදුකරන අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක් පිළිබඳව ද සිහිපත් කරමිනි.   
මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීමට නිර්දේශ කොට ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව ද මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය. ‘‘පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වෙන්න ඉහළින්ම බලපෑවා.   


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා”‍.   
රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.   
‘‘ඔව්, මාධ්‍යවල එහෙම එකක් ගිහින් තිබුණා. මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකු සඳහා ගෙවන්නේ රුපියල් මිලියනයයි. තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5යි.   
හැබැයි පහුගිය දවස්වල ගෙවල් විනාශ වෙච්ච මැති ඇමැතිවරුන්ට බිලියන ගණන් ගෙවනවා.   
ඒ කියන්නේ ආණ්ඩුව වටිනා ජීවිත සහ නොවටිනා ජීවිත කියලා මිනිස් ජීවිත බෙදනවා.”‍ සජිත් කීවේය.   
‘‘මේ රටේ මිනිස්සුන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒ අස්සේ ආණ්ඩුවත් ජනතාවට ප්‍රශ්න දානවනම් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ?”‍ අශෝක් අබේසිංහ පැවසුවේය.   
‘‘සමහරු අහනවා මෙතෙක් තිබුණු විපක්ෂයත් වර්තමාන විපක්ෂයත් අතර වෙනස මොකද්ද කියලා.   
අපිට කෙටි උත්තරයක් තියෙනවා.   


”‍එදා තිබුණේ ප්‍රශ්න අහන විපක්ෂයක්. අද තියෙන්නෙ ප්‍රශ්න අහලා උත්තරත් සපයන විපක්ෂයක්! එහෙම කීවේ විපක්ෂ නායක සජිත්ය.  

ජවිපෙ ජාත්‍යන්තරව ශාඛා පිහිටුවයි

මේ වසර අවසාන වීමට පෙර ජාත්‍යන්තර මට්ටමින් ජනතා විමුක්ති පෙරමුණෙන් ශාඛා පිහිටුවීමට එම පක්ෂය ඉකුත් සතියේදී තීරණය කළේය. යුරෝපය, කොරියාව, ජපානය, ඉන්දුනීසියාව, මාලදිවයින බංගලිදේශය යන රටවල පක්ෂයේ ශාඛා කාර්යාල පිහිටුවීම සඳහා ලබන නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පක්ෂයේ නායකයන් එම රටවලට යාමට ද එහිදී තීරණය විය.


මෙම තීරණය ගනු ලැබුවේ ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාකච්ඡාවේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙහිදී කියා සිටියේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ජාතික ජන බලවේගයේ නායකයන් ඒ ඒ රටවලට ගෙන්වා ගැනීමට උනන්දුවක් දක්වන බවයි. ඒ සඳහා එම රටවල ශාඛා කාර්යාල ආරම්භ කිරීමට තීරණය විය.


මෙහිදී නිහාල් අබේසිංහ මහතා කොට්ඨාස සභා පිහිටුවීමේ ප්‍රගතිය ජාතික විධායක සභාවට ඉදිරිපත් කරමින් පක්ෂ භේදයකින් තොරව මෙම සභා පිහිටුවීමේ වැඩ පිළිවෙළට සහාය දක්වන බව කීය.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ආසන සමුළු පැවැත්වීමේ වැඩ පිළිවෙළ යටතේ ලබන 25 වැනිදා අකුරැස්සේදී 2 වැනිදා කඩුවෙලදීත් ප්‍රථම සමුළු දෙක පැවැත්වෙන බවය.
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මේ ආයතන පාඩු ලැබීමට හේතු වූ කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවය. බොහොමයක් ඇමැතිවරුන් පත් වූ වහාම තමන්ගේ සමීප ඥාතීන් තනතුරුවලට පත්කර ගැනීම සිදුවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. විෂය දැනුමක් නොමැති අයට තනතුරු ලබාදීම මෙම ආයතනවල පිරිහීමට හේතු වූ බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


​මේ අතර ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් නීතිඥ සංගමය සෝලිස් ශාලාවේ දී රැස් වූ අතර එහිදී රජය සිදුකරන අත්අඩංගුවට ගැනීම් හා මර්දනය පිළිබඳව සාකච්ඡා විය.
මේ තත්ත්වයට වි​​රෝධය දක්වා ලබන 24 වැනිදා විරෝධතා පා ගමනක් සංවිධානය කරන බව එරංග ගුණසේකර මහතා කීවේය.


මේ දිනවල කතාබහට ලක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ හමුවක් පසුගිය බ්‍රහස්තින්දා වරාය හා නාවික අමාත්‍ය කාර්යාලයේ දී පැවැත් වූයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. එය කැඳවා තිබුණේ අමාත්‍ය සියඹලාපිටිය විසිනි. දුමින්ද, ලසන්ත, අමරවීර, ජගත්, චාමර සම්පත්, ශාන්ත බණ්ඩාර, රාඝවන් ඇතුළු නව දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ. දීර්ඝ වේලාවක් පැවති සාකච්ඡාවේ දී පක්ෂය ආරක්ෂා කර ගැනීම සහ පක්ෂයේ අනාගත කටයුතු පිළිබඳ සාකච්ඡා වූ අතර සාමූහිකව සෑම විටම කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා විය.   

සියවැනි කතිකාවට කරු සූදානම් වේ.  

කරු ජයසූරිය මහතා සභාපතීත්වය දරණ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ ප්‍රමුඛ ප්‍රශ්න හා ගැටලු මුල් කරගනිමින් විසඳුම් ලබාගැනීමේ අරමුණින් සතිපතා සංවිධානය කරන කතිකාව වැඩසටහන තව සතියකින් සියවැනි කඩඉම සැපිරීමට නියමිතය. 


මෙම වැඩසටහනට දෙස් විදෙස් ශ්‍රී ලාංකීය විද්වතුන් රාශියක්ම දායක වී තිබේ. එමෙන්ම කතිකාව වැඩසටහන අඛණ්ඩවම සතිපතා මේ දක්වාම සංවිධානය කර තිබීම ද විශේෂත්වයකි. තව සතියකින් පසුව එළඹෙන සියවැනි කතිකාව වැඩසටහන සුවිශේෂි ආකාරයට සංවිධානය කිරීම කරුගේ අභිප්‍රායයි. ඔහු මේ දිනවල ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් සිටින්නේ ඒ ගැනය.  

ගජබා