ආණ්ඩුවේ වැඩ දැන් එදා වේල ටුවර්ස් වගෙ


 

ඇමැතිකම් නැතිව පිරිසක්  කලකිරිලා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිබූ මීළඟ බලාපොරොත්තුවද කඩ වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. ඉකුත් නව වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ලබන මස 25 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දෙවැනි වරටත් තීරණය කළේ මුදල් නොලැබීම හා අවශ්‍ය සහාය නොලැබීම මත මාර්තු 9 මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බැවිනි. ඒ අනුව ඔවුන් ලබන මස විසිපස් වැනිදා මැතිවරණය පැවැත්වීමට දෙවැනි වරටත් තීරණය කළේ, ඒ වන විට හෝ මුදල් ලැබෙනු ඇතැයි කියාය. එහෙත් තවමත් ලැබුණු මුදලක් නැත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ගිය සතියේ මුදල් ඇමැතිවරයාට ද ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබුණේ, මැතිවරණය සඳහා මුදල් ලබාදෙන ලෙසය. එහෙත් කොමිෂන් සභාවේ සභාපතිවරයා කියන පරිදි තවමත් එම මුදල් තියා ලිපිය සම්බන්ධයෙන් පිළිතුරක් වත් ලැබී නැත.   
ඒ අල්ලපනල්ල අස්සේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ගිය බ්‍රහස්පතින්දා ලිපියක් යොමු කළා ය. එමගින් කියා තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් නොලැබීම නිසා, ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබීමට නොහැකි වී ඇති බව ය. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුකිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර ඇත. මේ තත්ත්වය හමුවේ ඊට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාවක් නොමැත.   


මේ සියල්ලෙන් පෙනී යන්නේ පළාත් පාලන මැතිවරණය ළඟපාතක නො පැවැත්වෙනු ඇති බව ය. 

 
 මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව නැවතත් අධිකරණයට යාමට තීරණය කර ඇත. ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වූ බව පවසමිනි. සමගි ජන බලවේගය, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, උත්තර සභාගය ඇතුළු පක්ෂ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම පක්ෂ සියල්ල එක්ව එලෙස අධිකරණයට යාමට නියමිතය.   


 මේ අතර, පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන් වෙයි. ඒවායේ පාලනය කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන් යටතට පැවරෙනු ඇත. මාස හයකට ද, වසරකට ද වසර දෙකකට ද යන්න පැහැදිලි නැත. ආණ්ඩුවෙන් කෙරෙන කියන කතා බහ අනුව නම්, පෙනෙන්නේ ඊළඟට ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය බවය. ඉන් මෙපිට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි සිතිය නොහැකි බව එම ප්‍රකාශවලින් පැහැදිලි වේ.   

පොහොට්ටු නායකයන්  මොණරාගල යද්දී, ප්‍රසන්නලා උඩුගම්පලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් සමුළුව ඉකුත් සතියේ දී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට ලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරු රැසක් සහභාගි වූහ. එහිදී මහින්ද කියා සිටියේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව පොහොට්ටුවට තිබෙන බවය.   


 මේ අතර එදිනම උඩුගම්පොළ දී රැස්වීමක් පැවැත්වුණේ පොහොට්ටුවේ ප්‍රබලයකු මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද වන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්නගේ උඩුගම්පල නිවස හා කාර්යාලය අරගලය සමයේ ගිනි තබා විනාශ කිරීමෙන් පසුව පැවැති පළමු දේශපාලන රැස්වීම එය විය. පොහොට්ටුවේ ප්‍රධාන රැස්වීම්වලට වෙනදා යන මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ද එදින මොනරාගල නොගොස් ප්‍රසන්නගේ රැස්වීමට පැමිණ සිටියේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට අමතරව කංචන විජේසේකර ඇමතිවරයා ද ඊට සහභාගී විය.   


මෙම රැස්වීම ප්‍රසන්නගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු අතර, එහි තේමා පාඨය වූයේ ජන දුක නිවන තැන මෙතන යනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ නමක් හෝ පොහොට්ටු ලකුණක් හෝ ඒ නායකයින්ගේ ඡායාරූප හෝ එහි දක්නට නොලැබුණු අතර, ඒ හේතුවෙන්ම මෙම රැස්වීම ගැන බොහෝ දෙනා නොයෙක් කතා කියන්නට වූහ.   
සමහරු කිව්වේ ප්‍රසන්න අලු‍ත් ගමනකට සූදානම් වන බව ය. ප්‍රසන්න ට්‍රැක් එක මාරු කරලාදැයි සමහරු විමසූහ. එම රැස්වීම සම්බන්ධයෙන් ආරංචි වූ විගස පොහොට්ටුවේ නායකයින් මෙන්ම, ලේකම් සාගර කාරියවසම්ද ඒ ගැන ප්‍රසන්නගෙන් විමසා තිබේ. ප්‍රසන්න කියා තිබුණේ එය මේ අවස්ථාවේ පැවැත්විය යුතුම රැස්වීමක් බවය. ඔහු ඉන් එහාට යමක් කියන්නට නො ගියේ ය. එමෙන්ම ඔහු සිය කතාවේදී කීවේ තමා නම් සිය පියා මෙන් බෝධිසත්වයකු නොවන බවය. ඔහු නොකියා කිව්වේ ඕනම දේකට තමා සූදානම් බව ය.   


 ඇමතිවරුන් වශයෙන් පත්කිරීමට යවන ලද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමැතිකම් නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් බොහෝ දෙනා සිටින්නේ කලකිරීමකින් බව පැහැදිලිය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවත් 8 දෙනෙකුට ඇමතිකම් ලබා ගැනීමට පොහොට්ටුව අපේක්ෂාවෙන් සිටී. රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසකගේ නම් ඒ සඳහා යෝජනා වී තිබේ. එසේ වුවද ඔහුට තවමත් ඇමැතිකම ලැබීම සම්බන්ධයෙන් ඔවුන් කලකිරීමක සිටින බව පැවසේ.   


 මේ අතර, නැගෙනහිර පළාත නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දී පොහොට්ටුවට මෙන්ම ආණ්ඩුවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව දැනගන්නට තිබේ. ඒ නැගෙනහිර පළාතේ එක්තරා පොලිසියකට ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදයක් හේතුවෙනි. එක්තරා පොලිස් ස්ථානාධිපතිවරයකු මාරුකර, ඒ වෙනුවට වෙනත් අයකු පත් කරන්නැයි එම මන්ත්‍රීවරයා ඉල්ලා ඇති බව පැවසේ. පොලීසිය භාර ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කර ඇත්තේ තමා එම කටයුතුවලට මැදිහත් නොවන බවය. පොලිස් දෙපාර්තමේන්තුව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් පත් කරන බව ඔහු පවසා ඇත. අදාළ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, මට මෙවැනි දෙයක් හෝ කර ගැනීමට නොහැකි නම් මේ ආණ්ඩුවේ සිටීමේ තේරුමක් තිබේ ද කියා ය.    

 රනිල්, මහින්ද, මෛත්‍රි හමුවක් 

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපන් දිනය පසුගිය බ්‍රහස්පතින්දාට යෙදී තිබූ අතර, ඔහු ඒ වෙනුවෙන් අලු‍ත් වැඩක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සූදානම් කර තිබිණි. එය නම් කර තිබුණේ සතරාව ප්‍රදීපන යනුවෙනි.


ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ සිනමාවේදීන් හා රංගනවේදීන්ට සම්මාන පිරිනැමීමත්, ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව පිරිනැමීමත් එහිදී සිදුවිය. ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක චමල් රාජපක්ෂ යන මහත්වරු ද විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ. ඒ සමගම ජනාධිපතිවරයා ද පැමිණියේය. උත්සවය දේශපාලන මුහුණුවරින් මිදී සිනමා කටයුත්තක් ලෙස සංවිධානය කර තිබීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.  

වෘත්තීය සමිති මස් රාත්තලම ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 2.9ක ණය වාරිකය අනුමත වීමට නියමිතව ඇත්තේ ලබන 20දා ය. රාජ්‍ය සේවක වැඩ වර්ජනයක් පැමිණෙන්නේ ඊට දවස් පහකට පෙරය. වර්ජනයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වර්ජනයට දායක වන කණ්ඩායම් කිහිපයක් මුණ ගැසීමට කටයුතු කළේ මෙම ගැටලුව සාකච්ඡාවෙන් විසඳා ගැනීම අරමුණු කර ගනිමිනි.


ජනපති රනිල්ට අමතරව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ද වෘත්තීය සමිති නායකයන් වෙන වෙනම මුණ ගැසුණේ වර්ජනයකින් තොරව ගැටලුව විසඳා ගැනීම උදෙසාය.


එහෙත් වෘත්තීය සමිති මස් රාත්තලම ඉල්ලා සිටීම හේතුවෙන් රජය ද ඊට මුහුණ දීමට සූදානම් වූවේය. එම ගලඋඩ සටනේ තීරණාත්මක දිනය වූවේ ඉකුත් 15 දාය. සඳුදා දිනයෙන් වැඩි කොටසක් ජනපති වෙන් කෙරුවේ වර්ජකයන් සමග සාකච්ඡා කිරීමටය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡා ධනාත්මකව අවසන් වූවේය. සාකච්ඡා කළ කරුණු ගැන ජනපතිගේ පාර්ශවයෙන් ලිපියක් අවශ්‍ය බව වෛද්‍ය නිලධාරී සංගමය දැනුම් දී තිබුණේ ජනපති සමග පැවැති සාකච්ඡාවෙන් පසු ජනපති ලේකම් සමග පැවැති සාකච්ඡාවේදීය.


දෙවන සාකච්ඡාවට ජනාධිපති ලේකම් හා ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද ජනපති උපදෙස් මත බැංකු නියෝජිතයන් වෘත්තීය සමිති ප්‍රධානීන්, වෛද්‍ය වෘත්තිකයන් රැසක් සමග සාකච්ඡා පැවැත් වූ අතර ඔහු එන අතරතුර ප්‍රකාශ කළේ එකම කතාව එක දිගට කියා එපා වූ බවය.
ජනපති රනිල් සඳුදා සවස ජනපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේ තැපැල් සේවය ද අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරන ලෙසය. එහි සිටි වජිර ක්ෂණිකව අත්‍යවශ්‍ය සේවා පනතේ ඇති වගන්ති කිහිපයක් සිහිපත් කළේ මතු සූදානමටය.

අගවිනිසුරු පන්ති සගයාගෙන් ජනපතිට සම්මානයක්

නීති ක්ෂේත්‍රයේ වසර 50ක් සම්පූර්ණ කළ නීතිඥයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සම්මාන උළෙලට ජනපති රනිල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ගියේ සඳුදා සවසය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද ඊට එක්ව සිටි අතර ඔවුන් දෙපළ නීති විද්‍යාලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේත් සමකාලීනයෝ වූහ.
නීතිඥ සංගමයෙන් ජනපති ප්‍රධාන ආරාධිතයා ලෙස නම් කිරීමට යෝජනා කළත් ජනපති දැනුම් දී තිබුණේ තමන් සම්මානලාභියෙකු බැවින් අගවිනිසුරු ප්‍රධාන ආරාධිතයා කරන ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද මෙහිදී සම්මාන ලැබූ අතර ජනපති සම්මානය ලබා ගත්තේ සිය පන්ති සගයා වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය අතිනි.


ජනපතිට සම්මානය හිමිවූයේ 50 වසර සැපිරු සම්මාන ලැයිස්තුවේ 09 වැනි නීතිඥයා ලෙසය.


සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසු පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගි වූ ජනපති රනිල් සිය පැරණි මිතුරන් අසලටම ගොස් කතා බහ කිරීමට අමතක නොකළේය. රාතී භෝජනය සංගීතයෙන් රසවත් වෙද්දී නීතිඥයෙකු මෙන්ම ජනප්‍රිය පොප් ගායක ෂොහාන් වීරසිංහ අසලට ගිය ජනපති මුලින්ම ඔහුට සුබ පැතුවේ නීති දිවියේ 50 වසර වෙනුවෙන් ලද සම්මානයටය. ඉන් නොනැවතී ජනපති ඔහුට ගීයක් ගායනා කරන ලෙසට ආරාධානාවක් ද කළේය.


ජනපතිගේ ආරාධනාව ඉතසිතින් පිළිගත් ගායක ෂෙහාන් ද විජය කුමාරතුංගයන්ගේ රැල්ලෙන් රැල්ලට ගීතය ගායනා කරනු ලැබුවේ සැමගේ අත්පොලසන් හඬ මධ්‍යයේය. ජනපති ද අත්පොලසන් දෙමින් තාලය අල්ලමින් ගීතය රස වින්දේ අන් අය හා එක්වෙමිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරුම ඔහු එහි ගත කළේ පැරණි සගයන් සමග අතීත මතක ආචාර්ජනා කරමිනි.

ෂි ජින් පින්ට සුබ පැතුම්

තුන් වැනි ධුර කාලය වෙනුවෙන් තේරී පත් වූ චින ජනපති සී ජින් පින්ට සුබ පැතම් එක් කරන්නට ද ජනපති අමතක නොකළේය. අඟහරුවාදා දිනයේදී ද ජනපති රනිල් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිස වෘත්තීය සමිති නියෝජිතයන් හා කළ සාකච්ඡා සාර්ථක වූ අතර වෘත්තීය සංගම් රැසක් එම සාකච්ඡා හේතුවෙන් වර්ජනයෙන් ඉවත් ව සිටියෝය.


චීනයේ ප්‍රධානතම ඛනිජ තෙල් සැපයුම්කරුවා වන සිනොපෙක් සමූහයේ නියෝජිතයන් ජනපති ඇතුළු පිරිස මුණ ගැසුණේ මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඛනිජ තෙල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් යෝජනාවලියන් සිනොපෙක් නියෝජිතයන් විසින් ජනපතිට භාර දුන්හ.
ජනපති ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබුවේ වර්ජනය පැවැති දින සේවයට වාර්තා කරන කණ්ඩායම්වලට සහාය දෙන ලෙසය. එහි දී දුම්රිය හා වරාය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙසට ද ජනපති රනිල් ජනපති ලේකම් ඇතුළු පිරිසට උපදෙස් දුන්නේය.


බොහෝ ආයතනවල නිවාඩු අවලංගු කර තිබූ බැවින් පිළිගත හැකි කාරණයක් හැරුණු කොට සේවයට වාර්තා නොකරන සැමගේ දෛනික වැටුප කප්පාදු කරන ලෙසට කම්කරු කොමසාරිස් උපදෙස් දී තිබුණි. එදින ලංකා බැංකුවේ සහාය මත මෙරට දී එකලස් කරන ලද යතුරු පැදි කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිළිගැන්වීමේ අවස්ථාවට ද ජනපති එකතු වූවේය.


ඉන් පසු චීන රජයෙන් මෙරට පොලිසිය වෙත පරිත්‍යාග කරන ලද නිල ඇඳුම් තොගයක් බාර ගැනීමේ අවස්ථාවට ද එකතු වූවේ ඇමැති ටිරාන් අලස් සමගිනි. මෙහිදී චීන නියෝජිතයන් ජනපති හා ටිරාන්ට පොරොන්දු වූවේ පොලිස් සේවාව ගුණාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවටය.


වර්ජනය පැවැති දින සවස ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි මැති ඇමැතිවරු පිරිසක් ඒ සම්බන්ධයෙන් ජනපති හා සාකච්ඡා කළහ.


‘‘වරායෙත් එස්.ජේ.ටී. එකයි. සී.අයි.ටී. එකයි වැඩ කළා. මේ නිසා බහාලුම් ප්‍රවාහනයට ගැටලුවක් වුණේ නෑ. හැබැයි ප්‍රධාන නෞකාවල සේවකයන් ගෙනියන වරායේ කුඩා යාත්‍රාවල කපිතාන්ලා නම් ඔවුන්ව ගෙනි යන්න බෑ කියල තියෙනවා. හැබැයි අපි නාවුක හමුදාවේ සහාය අරගෙන සේවකයන් නෞකාවලට යැව්වා. ඒ නිසා ගැටලුවක් වුණේ නෑ’ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද පිළිතුරු දුන්නේය.


‘‘වරායට අයිති ජේ.සී.ටී. එකේ අය වැඩ කළේ නෑ. නමුත් ඒක ලොකුවට දැනුණේ නෑ. මොක ද විශාල නෞකා මේ පර්යන්තයට එන්නේ නැති නිසා’’ ඇමැති ​ෙශහාන් සේමසිංහ ද කතාවට එකතු වූවේ එලෙසිනි.


මේ අතර ජනපති රනිල් වෙත පැමිණි නිලධාරියෙකු කීවේ රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු සතුව මහජන බැංකුවේ පවතින ගිණුම් වෙනත් බැංකුවලට මාරු කිරීමට ඉල්ලා සිටින බවකි.


ඔව්, මටත් කතා කළා පෞද්ගලික ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුත් ඔය කතාව කිව්වා’’ වජිරද හූ මිටි තැබීය.


ජනපති රනිල් වහාම මේ ගැන හොයා බලා වාර්තා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශය වෙත ගියේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී අයි.එම්.එෆ්. සහතිකය ලැබීම ගැනත් ඉන් පසුව කටයුතු කරනා ආකාරය ගැනත් සාකච්චා කරනු ලැබීය.


මෙහිදී ජනපති තමන්ට පෙර දින දැනගන්නට ලැබුණු මහජන බැංකුව පිළිබඳ තොරතුරු ද හෙළි කළ අතර ඒ ගැන ​සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනපති මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ පවසා සිටියේ ලබන 20 දා මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය ලද පසු එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන බවකි. එන් පසු ගත යුතු පියවර පිළිබඳව සකස් කර ඇති සැලසුම් වහාම ආරම්භ කරන ලෙස ද ජනපති උපදෙස් දුන්නේය.

සුසන්තා චන්ද්‍රමාලිගේ නිවසට ආ අමුත්තා! 

සිටින බවත් ඇයට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බවත් විපක්ෂ නායක සජිත්ට දැනගන්නට ලැබුණේ පේෂල මනෝජ් කලා ශිල්පියා හරහා ය.   
”‍සර්, සුසන්තා අක්කට මේ වැඩේට උදව් කරන්න පුලු‍වන් නම් ගොඩක් වටිනවා”‍   
පේෂල සජිත්ට දැනුම් දුන්නේය.   


”‍එතුමියට අවශ්‍ය මොනවද කියන එක පොඩ්ඩක් දැනගෙන කියන්න. අපි කරන්න පුළුවන් ඕනැ දෙයක් කරමු.”‍සජිත් පේෂලට කීවේය.   
අවශ්‍ය ඖෂධ මොනවාදැයි දැන ගත් වහාම සජිත් කළේ තමන් දන්නා හඳුනන ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන්ට කතා කොට ඒ පිළිබඳව විමසීම ය. ඖෂධය කුමක්දැයි කියා දැන ගත්තාට පසු සජිත් කළේ ඒ ඖෂධය ඇති තැන් කොහෙද කියා සොයා බැලීමය. සෑහෙන මට්ටමේ මෙහෙයුමකින් පසු අවශ්‍ය ඖෂධ සොයා ගැනීමට සමත් විය.   
‘‘බෙහෙත් ටික හොයා ගත්තා. මට එතුමියගෙ සුවදුක් බලන්නත් අවශ්‍යයි. අපි ගෙදරටම යමු”‍   
සජිත් පේෂලට කීවේය.   


‘‘දේශපාලන නායකයෙක් මේ ගෙදරට ආවාමයි”‍   
සජිත් නිවසට ගොඩවෙද්දී සුසන්තා පෙරමගට විත් එසේ කීවාය.   


සජිත් බොහෝ වේලා ඇය සහ ඇගේ පවුලේ උදවිය සමග සතුටු සාමීචියේ යෙදුණු අතර, ඇය එම හෝරා කිහිපය බොහෝ සතුටින් ගත කළා ය.   
‘‘මේ උපකාරය ඉහටත් උඩින් වටිනවා. ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා”‍   
ලක්ෂ හැට තුනකට වැඩි ඖෂධ තොගය පරිත්‍යාග කරන අතරතුර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සජිත්ට එහෙම කීවාය.   
‘‘මොනවත්ම කියන්න ඕන නැහැ. ඔබතුමිය සනීප වෙන්න. සනීප වෙලා ආපහු කලා ක්ෂේත්‍රයට එන්න”‍   
සජිත් ඇයට කීවේය.   


දමිතා අබේරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.   
මේ අතර සජිත්, එතන සිටි පේෂලට යෝජනාවක් කළේය.   
‘‘බොහෝ අවස්ථාවල කලාකරුවන්ට ශක්තිමත් සුබසාධන වැඩපිළිවෙලක් නැහැ. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් සකස් කරමු.”‍   
‘‘ඒක ඇත්ත සර්.”‍   


තීක්ෂණ මෙන්ම දමිතා ද එය අනුමත කළාය.   
‘‘හොඳ වැඩපිළිවෙළක් සකස් කරන්න. අපි එක ක්‍රියාත්මක කරමු”‍   
සජිත් කීවේය.   

විපක්ෂය මැතිවරණයක් ඉල්ලද්දී ආණ්ඩුව IMF ගැන කියනවා

අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් එබැවින් එම මැතිවරණය පවත්වන ලෙසත් ඉල්ලා මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබූ අතර සජිත් ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ අවධානය ඊට යොමු විය.   


‘‘අපි කිසිම වෙලාවක ජනතා පරමාධිපත්‍යය එක්ක ඩබල් ගේම් ගැහුවේ නෑ. මුල ඉඳලම මැතිවරණයක් ඉල්ලු‍වේ අපි.”‍   
මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.   


‘‘අපි පාර්ලිමේන්තුවේ ඒ ගැන අරගල කළා. මැතිවරණ කොමිසම එක්ක කතා කළා. මහපාරේ අරගල කළා. ඒ විතරක් නෙවෙයි අධිකරණයට කිහිප විටක්ම ගියා.”‍   
විපක්ෂ නායක සජිත් එහෙම කීවේ මැතිවරණය වෙනුවෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.   
‘‘ඔව්.. ස්ටේජ්වල මැතිවරණ ඉල්ලන බොරුවට කෑගහන සමහරු වගේ නෙවෙයි, මහලේකම්තුමා කියනවා වගේ ඩබල් ගේම් නැතිව අපි මැතිවරණයක් වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටියා”‍   


ගයන්ත කරුණාතිලක එහෙම කිව්වේ ය.   
‘‘ආණ්ඩුව දැන් එදා වේල ටුවර්ස් ගේම් ගගහා ඉන්නේ. රටේ මිනිස්සු මැතිවරණයක් ඉල්ලනකොට ආණ්ඩුව IMF ගැන කතා කරනවා. රටේ මිනිස්සු මැතිවරණයක් ඉල්ලනකොට ආණ්ඩුවේ සමහරු ඉහළ යන රුපියලක් ගැන කතා කරනවා. හැබැයි රුපියලට ඇත්තටම වෙන දේ මොකක්ද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.”‍   
එහෙම කිව්වේ හර්ෂ ද සිල්වා ය.   

ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන  සජිත්ගෙන් අනාවරණයක්

අධිකරණ නියෝගය හෑල්ලු‍වට ලක් කරන රජයේ කුමන්ත්‍රණයක් ගැන සජිත් විශේෂ අනාවරණයක් කළේ බ්‍රහස්පතින්දා සවස ය.   
මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙන් කළ මුදල් ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි කියන අන්තර්වාර නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නත් රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අපහසුතාවට පත් කරන්න කටයුතු කරන බවත් අපක්ෂපාතී අධිකරණයට, ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු විසින් අධිකරණ තීන්දුව හරහා ඔවුන්ගේ වරප්‍රසාද කඩවූ බවට පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයට බාධා එල්ල කරන බවත් සජිත් පැවසීය.   
ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය සුරකින්න විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක වුවත් මේ වන විට වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ අන්තර්වාර නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ අන්තර්වාර නියෝගය ඉල්ලීමෙන් අධිකරණයට ඍජු දැවැන්ත බලපෑමක් කරන බවත් එය අධිකරණය විසින් ලබා දුන් අන්තර්වාර නියෝගය හෑල්ලු‍වට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.   

උද්ඝෝෂණයට ජලප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ජාතික ජනබලවේගය මානව හිමිකම් කොමිසමට

ජාතික ජනබලවේගය පසුගිය 26 වැනිදා කොළඹ දී පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට පොලිසිය මගින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පෙත්සම පසුගිය සතියේදී විභාගයට ගනු ලැබීය.


මෙම පැමිණිල්ල විභාගට ගැනීම සම්බන්ධයෙන් විශේෂත්වය වූයේ මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය වූ රෝහිනී මාරසිංහ මහත්මිය විමර්ශනයට සහභාගි වීමය.


පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව පැමිණිල්ල ගොනු කර තිබූ අතර ඔවුන් දෙදෙනාවෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මෙම පරීක්ෂණයට ඉදිරිපත් වී සිටියේය.


මෙහිදී සිදුවූ ප්‍රශ්න කිරීම්වලදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම්වලට නියමිත ප්‍රමිතීන් හා මාර්ගෝපදේශවලට පටහැනිව මෙම ප්‍රහාර එල්ල කර ඇති බව පිළිගැනීමට සිදුවූ තත්ත්වයක් උදාවිය. මෙහිදී ලබන 10 වැනි දිනට පෙර වාර්තා කීපයක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කෙරුණි.


එහිදී එල්ල කරන ලද ජල ප්‍රහාරවල හා කඳුළු ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කළේය. ප්‍රහාරය සඳහා ජලය ලබාගත් ස්ථාන හා එම ජලයට අසුචි මිශ්‍රවී තිබුණාද යන්න පිළිබඳව තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.


මීට අමතරව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ලාල් කාන්ත විජිත හේරත් වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට වාරණයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පිරිස තෝරා ගැනීමට පදනම් වූ නීතිමය කරුණු ඉදිරිපත් කරන ලෙසටද නියම කර ඇත.


මීට අමතරව විශේෂයෙන්ම උද්ඝෝෂණකරුවන්ට ඇතුල්වීම් තහනම් කරමින් තිබූ ප්‍රදේශ හැර අනෙකුත් සාමාන්‍ය ප්‍රදේශවල දී ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද හේතු වූ කරුණු ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කර ඇත. ජාතික ජනබලවේගය මෙම උද්ඝෝෂණය කැඳවීම සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලැබී තිබුණද ඒ පිළිබඳවත් කොමිසම මගින් විමසුම් කර ඇත.

 

 

ගජබා