ආණ්ඩුවේ මන්ත්‍රීන්ට චමල්ගෙන් පාඩමක්


 

මහත් ආන්දෝලනයට ලක් වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178 කින් සම්මත වූයේ, ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බහුතරයකගේද සහායෙනි. කාරණා කිහිපයක් මත ආණ්ඩුව මගහරින තැතක් මුලින් පෙනුණද අවසාන මොහොතේ ආණ්ඩුවේ බහුතරයක් දෙනා ඊට පක්ෂව ඡන්දය දුන්හ. ආණ්ඩුවේ මන්ත්‍රීන්ට තිබූ ප්‍රධාන ගැටලු‍ දෙකක් වූයේ විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන වගන්තිය සහ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරෙන වගන්තියයි. 

ඉන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කාරණය ජනාධිපතිවරයා කලින්ම නිරාකරණය කළේ කිසිම හේතුවක් මත පාර්ලිමේන්තුව කලින් විසුරුවා නොහරින බවට පොහොට්ටු මන්ත්‍රීන්ට ප්‍රතිඥාවක් දෙමිනි. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය එසේ තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් විසිදෙක මගහැරීමේ සූදානමක මුල සිටම සිටියහ. 22 සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැති සිකුරාදා දහවල් වන විටත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබුණේ වැනෙනසුලු ප්‍රතිපත්තියකි. අවසානයේදී ජනාධිපතිවරයා ඊට මැදිහත් විය. එදින හවස ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම වෙනම රැස් වූ අතර, ඊට පෙර ජනාධිපතිවරයා අගමැති දිනේෂ් ගුණවර්ධන හා චමල් රාජපක්ෂ යන දෙදෙනා කැ‍ඳවා සාකච්ඡා කළේය. විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා දීමේ වගකීම භාර ගත්තේය.


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසිදෙක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එදින සවස 3ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේ දී රැස් විය. ඒ සාකච්ඡාවේදී චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට ගැටලු‍වක් තිබේ නම් තමා එම වගකීම භාර ගන්නා බවය. එබැවින් සියලු‍ දෙනාම විසිදෙවැනි සංශෝධනයට සහාය දෙන්නැයි චමල් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔහු එම ඉල්ලීම කළේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් ද කරමිනි.

බැසිල්ගේ කණ්ඩායම 22 මගහරී

ආණ්ඩුපක්ෂ රැස්වීමේදී චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 22 ට ඡන්දය දෙන ලෙස පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටිය ද බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට හිතවාදී කණ්ඩායම ඡන්දය විමසන අවස්ථාවේ ඉන් මගහැර පිටව ගියේය. පොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කණ්ඩායමක් 22 ට ඡන්දය නොදී මඟ හැර ගිය බව වාර්තා විය. මේ පිරිස 22ට ජන්දය නොදී මඟ හැර ගියද රාජපක්ෂවරු තිදෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. ඒ චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන තිදෙනාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියේය.

පොහොට්ටු මන්ත්‍රීලා යූඑන්පී යයිද?

මේ අතර ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ වරින්වර වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා විය. පෞද්ගලික සංචාරයක නිරත වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද මෙරටට පැමිණි වහාම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර, තවත් කිහිප දෙනෙකුද ඒ ආකාරයෙන් ජනාධිපතිවරයා වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි දැනගන්නට තිබේ.


විසිදෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ අවස්ථාවේද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ප්‍රසන්න රණතුංග ලංකාවේ නොසිටියේය. ඔහු දිවයිනෙන් බැහැරව සිටීම කරළියේ කතාබහට ලක් වූයේ ප්‍රසන්න එජාපය සමග එක්වීමේ සූදානමක් පවතින බවය. ඊට හේතු වූයේ ඔහු මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර පැවැත්වූ සමීක්ෂණයකි. එම ප්‍රවෘත්තිය මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ප්‍රසන්නගේ දුරකතනයට විසුමක් නොවීය. “ප්‍රසන්න ඔයා අලිය පිටේ නගින්න ද හදන්නේ බොහෝ දෙනා ඔහුගෙන් විමසූහ. අලියා පිටේ නගින්න මගේ සූදානමක් නෑ. ඒත් මේ වෙලාවේ ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව මම පෙනී ඉන්නවා”‍ ප්‍රසන්න ඔවුන්ට දුන් පිළිතුර විය.


ඉකුත් සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ තවත් මාතෘකාවක් වූයේ ප්‍රභූ පුතුන් පිරිසක් යාල වනෝද්‍යානය දෙවනත් කරමින් හැසිරී ඇති බවට පළ වූ ප්‍රවෘත්තයයි. එම කණ්ඩායමේ ඇමැති පුතකු ද සිටින බවට වාර්තා වීමත් සමග එය දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත් විය. විෂය භාර ඇමැතිවරයා වන මහින්ද අමරවීර මේ අවස්ථාව වන විට සිටියේ දිවයිනෙන් බැහැරව ය. සමහරුන් කීවේ අමරවීරගේ පුතා ද මේ කණ්ඩායම සමඟ සිටි බවය. ඇමරිකාවේ සංචාරය නිමවා දිවයිනට පැමිණි වහාම අමරවීර මාධ්‍ය හමුවක් කැඳවා කීවේ, තම පුතා යාල දෙවනක් කළ කණ්ඩායමේ නොමැති බවය. තම පුත්‍රයා යාලට තියා ගාල්ලටවත් ගොස් නැති බව ඔහු කීවේය.

මහින්ද පුත්තලම පොහොට්ටු වේදිකාවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා උදේ පුත්තලම බලා පිටත්ව ගියේ ආරච්චිකට්ටුවේ පැවති සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පොහොට්ටු රැස්වීමට සහභාගීවීම වෙනුවෙනි. එය පොහොට්ටුව මෑත භාගයේ පැවැත් වූ ප්‍රධාන රැස්වීම් තුනෙන් එකකි. කළුතරින් පටන් ගත් රැස්වීම ඊළඟට නාවලපිටියට ගිය අතර, එතැනින් ආරච්චිකට්ටුවට ගියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී උජාරුවෙන් කිව්වේ අද ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව දිනන බව ය. ජනතාව සිටින්නේ පොහොට්ටුව සමඟ බව ඔහු කීවේය. අලියා පිට නගින්න යන බවට ආරංචි පැතිර ගිය ප්‍රසන්නද ආරච්චිකට්ටුවට පැමිණියේය. හිටපු ජනාධිපතිවරයා පැමිණෙන්නටත් පෙර වෙනත් කටයුත්තක් තිබෙන බව කියමින් ඔහු එතැනින් පිටව ගියේය.

ඩලස්ලා සමිති අල්ලන වෑයමක

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව ගිය සතියේ නාවල පාරේ පිහිටි කාර්යාලයේදී වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් හමුවිය. ඩලස්ට අමතරව මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක් ද ඊට සහභාගි වූහ. නොවැම්බර් මාසයේදී නිදහස් ජනතා සභාවේ රැස්වීම් මාලාවක් අනුරාධපුරය, මාතර ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක පැවැත්වීමට ද තීරණය කර ඇත. ඔවුන්ගේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළ ලබන දෙවැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණ ද එය ලබන 14 වැනිදා දක්වා කල් දමා ඇත. ලබන වසර සඳහා වන අය වැය 14 වෙනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් එම දිනය ද වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.


ඒ කතාබහ එසේ සිදුවෙද්දී ආණ්ඩුවට එක්ව සිටින පොහොට්ටුවේ රාජ්‍ය මැතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු වෙනම කණ්ඩායමක් ලෙස සංවිධාන ගතවීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ආරම්භ වෙමින් තිබෙන බව දැනගන්නට තිබේ. පොහොට්ටුවෙන් වෙන්ව කෙළින්ම එජාපයට එක් නොවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වී පසුව එජාපය සමඟ එක්ව මැතිවරණයට මුහුණදීම එම පිරිසේ අරමුණ වී ඇතැයි දැනගන්නට ඇත. මේ සාකච්ඡා තවමත් පවතින්නේ ආරම්භක අවදියේ බව පැවසේ.

හවුල් පක්ෂ සන්ධානගත වීමේ සූදානමක

හවුල් පක්ෂ එක්ව පිහිටුවාගෙන ඇති ජාතික උත්තර සභාවේ විධායක සභාව ද ඉකුත් සඳුදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් දෙදෙනා එදින සාකච්ඡාවට සහභාගී නොවූ අතර, වාසුදේව නානායක්කාර, ජයන්ත සමරවීර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි විය. කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දීම සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමත් සමඟ සාකච්ඡා කර අලුත් සන්ධානයක් ඇති කර ගැනීම සම්බන්ධයෙනි. පාර්ලිමේන්තුවේ ඛනිජ තෙල් පනත සම්මත වුවද එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා විය. උත්තර සභාගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන රැස්වීම් මාලාවේ අනුරාධපුර, මහනුවර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඉදිරි සති කිහිපයේ රැස්වීම් මාලා පැවැත්වීමද එහිදී කතාබහට ලක්විය.

සාගර සමුළුවකට ප්‍රමිත ඉන්දියාවට

ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගිය සතියේ දින පහක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ එරටින් ලැබුණ නිල ආරාධනයකට අනුවය. ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සමුළුවට රටවල් 45 ක ආරක්ෂක ඇමැතිවරු හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරු සහභාගි වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රමිත සමුළුව අතරවාරයේ ඉන්දීය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන්ද හමුවිය.

​පොහොට්ටු බලකොටු කීපයක ජය සජබෙට
බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස තේරී පත්වූයේ රිෂී සුනක් ය. ඔහු අගමැති ධුරයට පත්වීම විශේෂ සිදුවීමක් වූ අතර, විපක්ෂනායක සජිත් ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.


‘ධනපතියන්ට ලිබරල් බදු සහන දීපු එංගලන්ත අගමැතිනි ලිස් ට්‍රස් මැතිනියට දින 45 න් ගෙදර යන්න වුණා.
ඒ විදිහටම බදු සහන දුන්නු ගෝඨාභයට අවුරුදු දෙක හමාරෙන් ගෙදර යන්න වුණා.


මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන කොයි පාලකයටත් අත්වෙන ඉරණම තමයි ඒක.”‍ සජිත් සිය මන්ත්‍රී කණ්ඩායම සමග කීවේය.
‘උද්දච්ච වැඩවසම් පාලකයන් එක්ක නූතන මිනිස්සු හිටගන්නේ නෑ. අපි ආණ්ඩුවට කියන්නේ ඒක.” මුජිබර් එහෙම කීවේය.
මේ අතර සමගි ජන බලවේගය රටපුරා පැවැත්වෙන සමුපකාර ඡන්ද ජයග්‍රහණය කරමින් සිටින අතර පසුගියදා කොලොන්න මැතිවරණ කොට්ඨාසයේත්, හිනිදුම මැතිවරණ කොට්ඨාසයේත් සමුපකාර ඡන්ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්විය.
ඒ දෙකම ප්‍රකටව පැවතියේ පොදුජන පෙරමුණට අතිශයින් සමීප බලකොටු ලෙසය.


‘මහ පොළවෙ තියෙන ඇත්ත මොකක්ද කියලා දැන් බලාගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා, සමුපකාර ඡන්ද ප්‍රතිඵල.”‍ ගයන්ත කීවේය.
‘තියන තියන හැම ඡන්දෙම සමගි ජන බලවේගය දිනනවා. දිනන්නේ නිකං නෙවෙයි, තුනෙන් දෙකක, හරි හයෙන් පහක හරි බලයක් අරගෙන.”‍ මහලේකම් රංජිත් කීවේය.
‘ගොඩක් තැන් පොහොට්ටු බලකොටු. සමහර තැන් කවදාවත් වමෙන් ගිලිහුණේ නැති කොට්ඨාස.”‍
කොලොන්න සහ හිනිදුම ප්‍රතිඵල නිරීක්ෂණය කරමින් එහෙම කීවේ නලීන් බණ්ඩාරය.


‘මේවා දකිනකොට ආණ්ඩුවට මැතිවරණ කල් දාන්න නෙමේ, මැතිවරණයක් ගැන හිතන්නත් බයයි.”‍  අශෝක් අබේසිංහ කීවේය.
‘අවුරුදු හැත්තෑ හයක තාත්තා කෙනෙක් තමන්ගෙ පුතා නැගිට්ටවන්න දැන් වේදිකාවක් වේදිකාවක් ගාණේ යනවා. එයා යන්නේ තමන්ගෙ පුතා වෙනුවෙන්.
මේ රටේ හැම තාත්තා කෙනෙකුටම, හැම අම්මා කෙනෙකුටම වගකීමක් තියෙනවා තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් නැගීසිටින්න.”‍ ඉම්තියාස් කීවේය.
“අවුරුදු හැත්තෑ හයක තාත්තා එයාගෙ පවුලෙ අයත් එක්ක මේ රට බංකොලොත් කළා.


හැබැයි මේ රටේ හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දාඩිය මහන්සිය කැප කළේ මේ රටට යමක් එකතු කරන්න.”‍ එහෙම කීවේ කිරිඇල්ල ය.
ඉකුත් 24 දිනට යෙදී තිබූ දිවංගත ගාමිණී දිසානායකයන්ගේ අනුස්මරණ සැමරුම් අවස්ථාවටද සජිත් එක්විය. 77 දී විදුලිබල, වාරිමාර්ග හා මහාමාර්ග අමාත්‍ය ධුරයට පත් ඔහු කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ, මෙරට ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින්ය.
‘වසර දහස් ගණනක් අප රට ස්වයංපෝෂිත කර වූ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමටත්, ජල විදුලිය උත්පාදනය තුළින් රට තුළ නව කාර්මික ප්‍රබෝධයක් ඇති කරලීමටත් හැකි වූයේ ගාමිණී දිසානායකයන් නායකත්වය දුන් මහවැලි ව්‍යාපාරය හරහායි.


සියලු‍ දෙනාට ස්ථිර ඉඩම් හිමිකමක් ලබා දීම සඳහා ආරම්භ කෙරුනු ස්වර්ණ භූමි ව්‍යාපාරය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක්.
දෙවරක්ම මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් ඔහු 1982 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා.
එතුමා දියුණු දේශයක් සංවර්ධිත ලංකාවක් සංහිඳියාවෙන් පිරිච්ච රටක් ප්‍රාර්ථනා කළා. එතුමා අනුගමනය කරපු මාර්ගය අකුරක් නෑර අපි ඉදිරියට රැගෙන යනවා.”‍ සජිත් එහිදී පැවසීය.


පසුගිය සතිය පුරාම සජිත් ඇතුළු සමගි ජන බලවේගය සිය ආසන බල මණ්ඩල රැස්වීම් වෙත වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. මහනුවර ගලගෙදර, නුවරඑළිය, හඟු‍රන්කෙත වැනි ප්‍රදේශවල ආසන බල මණ්ඩල ඇමතූ සජිත් බ්‍රහස්පතින්දා සහභාගි වුණේ කතරගම පැවති බල මණ්ඩල රැස්වීමට ය. සුවිශාල ජන සහභාගිත්වයක් එම බල මණ්ඩල රැස්වීමට තිබූ අතර එය සමගි ජන බලවේග නායකයින්ගේ උද්‍යෝගයට හේතුවිය.


සමගි ජනබලවේගයේ පක්ෂ සම්මේලනය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. එහි බර කරට ගෙන සිටින්නේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය.
සභාපති සරත් ෆොන්සේකා, මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂ, ඉරාන්, මරික්කාර්, මුජිබර්, හෙක්ටර් ඇතුළු පිරිසක් එම කමිටුවට සම්බන්ධය.
‘ඒක හෝල් එහෙක නෙවේ තියන්නේ. සම්මේලනය තියන්නේ ජන රැලියක් විදිහට”‍ මහලේකම් කීවේය.

 

ජවිපෙ ශාඛා සමිතියක් මාල දිවයිනේ

ලබන පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ආසන සමුළු පවත්වා අවසන් කිරීමට එම පක්ෂය ඉකුත් සතියේදී තීරණය කළේය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ හමුවූ අවස්ථාවේ මේ බව තීරණය කළේය. මේ වනවිට ආසන සමුළු 15ක් පවත්වා ඇත. මෙම සමුළුවලට ඉතා විශාල වශයෙන් ජන සහභාගිත්වයක් පැවැති අතර ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන බවද මෙහිදී අනාවරණය විය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ ශාඛාව ලබන 3, 4, 5 යන දිනවල මාලදිවයිනේදී පිහිටුවීමට මෙහිදී තීරණය කළේය. බිමල් රත්නායක මහතා මෙහිදී කථා කරමින් අනෙකුත් රටවල් ගණනාවකින්ම ලාංකිකයෝ විදේශ ශාඛා පිහිටුවීමට යෝජනා කර තිබෙන බව කීවේය. ඒ සඳහා ඉදිරි දිනවලදී දින නියම කර ගැනීමටත් ඒ ඒ රටවලට යවනු ලබන සාමාජිකයන් තීන්දු කිරීමටත් තීරණය කෙරිණි.


මාලදිවයිනේ ප්‍රථම වරට ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට මෙහිදී තීරණය කළේය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අනුර කුමාර දිසානායක හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු මෙහිදී දීර්ඝ ලෙස විස්තර කළහ. රජය රුපියල් බිලියන 7000ක් වියදම් කිරීමට අපේක්ෂා කරනු ලබන අතර ඒ සඳහා ආදායම් උපයන ක්‍රමයක් යෝජනා කර නොමැති බව මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය. බදු යෝජනා මගින් ව්‍යාපාර දුර්වල වීමත් අපනයන කඩාවැටීමත් සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.


තොරතුරු තාක්ෂණ අංශය සඳහා ප්‍රථම වරට කරනු ලබන සියයට 30ක බදු වැඩිකිරීමේ තීරණය නිසා මෙරට ආයෝජකයන් සිය ​කොම්පැනි හකුලා ගෙන යාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.


ලාල්කාන්ත මහතා ගිය 27 වැනිදා පැවැති වෘත්තීය සමිති විරෝධය පිළිබඳව කරුණු දැක්වූ අතර ඊළඟට පැවැත්වෙන ජන අරගලයටත් සහාය දැක්වීමට වෘත්තීය සමිති සූදානම් බවද ඔහු කීවේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොහොට්ටුවේ බෙදීම පිළිබඳව කරුණු පෙන්වා දුන්නේය. මේ වනවිට එම පක්ෂය කෑලි 5කට වැඩී ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙක් 22ට ඡන්දය පාවිච්චි කළේ ජනතා විරෝධයට බියෙන් බවද කීය.

21න් පසු කළ යුතු දේ ගැන කරු කියයි

මේ වනවිට ව්‍යවස්ථාවට එක්වී ඇති 21 සංශෝධනය හේතුවෙන් ආයතන ගණනාවකම වෙනස්කම් රැසක් සිදුවීමට නියමිතය. ව්‍යවස්ථා සභාවට හා ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීමද ඒ අතර වේ.


 ඒ ගැන දේශපාලන පක්ෂ අතර මෙන්ම සිවිල් සංවිධාන අතර ද බලවත් අවධානයක් යොමුව ඇති බවක් පෙනේ. නව සංශෝධනය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වූ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ සභාපති ලෙස කරු ජයසූරිය මහතාද පසුගිය සතියේ දේශපාලන හා සිවිල් සමාජ සංවිධාන නායකයන් ගණනාවක් සමග ඒ ගැන අදහස් හුවමාරු කරගෙන ඇත. එහිදී කරු වැඩි අවධානයකින් යුතුව කරුණු දක්වා ඇත්තේ ස්වාධීන කොමිෂන් සභාවන්ට නව සාමාජිකයන් පත් කර ගැනීමේදී ඒ සඳහා සුදුසුම පුද්ගලයන් තෝරා ගැනීමේ ඇති අවශ්‍යතාව කෙරෙහිය.

 

ගජබා