ආණ්ඩුවේ ගමන්මගට අගමැතිගෙන් දෝස්මුරයක්


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමුළුව අමතා කළ කතාව දේශපාලන කරළියේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මකව බැලු‍වද අගමැතිවරයාගේ ප්‍රකාශය පොහොට්ටු ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළ එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් ලෙසද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එය අගමැතිවරයා මෑතකදී කළ හොඳම දේශපාලන කතාව ලෙස ද ඇතැමෙක් පවසති. කෙසේ වුවද අගමැතිවරයා කළ ප්‍රකාශය ආණ්ඩුවේ ඇස් අරවන්නක් බව නම් හොදින්ම පැහැදිලිය.


යුගදනවි ප්‍රශ්නයට 
හවුල් පක්ෂ පාරට


යුගදනවි බලාගාරයේ කොටස් ඇ​ෙමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් මහජන සභාව නමින් සමුළුවක් කැඳවූයේ සති අන්තයේය. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, අතාවුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන පක්ෂ නායකයන් මෙන්ම අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. සමුළුවට සහභාගි වූ මහජන නියෝජිතයන් අතර පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරයකු වන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයාද සිටීම විශේෂය. වාසුදේව, විමල්, ගම්මන්පිල එහිදී කළ කතාව, දේශපාලන කරළියට ගෙනවිත් දැමූ දේශපාලන බෝම්බයක් ම විය. යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ඔවුන් ප්‍රසිද්ධියේ විවේචනය කළේ ආණ්ඩුවටත් කැබිනට් මණ්ඩලයටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. ආණ්ඩුව තුළ කටවහගෙන ඉන්න සූදානම් නැති බවත් ඇමතිකම් ඊට බාධාවක් නොවන බවත් ඔවුහු කියා සිටියහ. යුගදනවි පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව දිගින් දිගටම සටන් කරන බව ඔවුහු කීහ.


විමල්ලාගේ මේ සමුළුවෙන් පසුව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් ද ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල වන්නට විය. ඔවුන්ගේ තර්කය වූයේ ආණ්ඩුව වැරදි ගමනක් යන්නේ නම් විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා ආණ්ඩුවේ නොසිට එළියට ගොස් විවේචනය කළ යුතු බවය. එසේ නැතිව ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුව විවේචනය කරන්නට ඔවුන්ට අයිතියක් නැතැයි ද ඔවුහු කියා සිටියහ.

 


 

 

 

පොහොට්ටු කාර්යාලයෙන් හදා එවූ කතාව අගමැති අතටවත් ගත්තේ නෑ

 

 

 



පොහොට්ටුවට උත්තර දුන් අගමැතිගේ කතාව


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පස්වැනි සංවත්සර සමුළුව ගිය සතියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූයේ මේ දේශපාලන කලබැගෑනිය අතරවාරයේය. පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගී නොවූයේ ඔහු ඒ වනවිටත් ස්කොට්ලන්තයේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වී සිටි බැවිනි. අගමැතිවරයා සංවත්සර සමුළුවේ කරන කතාවට සූදානම් වූයේ කලින් දවසේ සවස් භාගයේ සිටය. අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේ දී සමීපතමයන් දෙදෙනෙකු ද සම්බන්ධ කර ගනිමින් අගමැතිවරයා සිය කතාවට සූදානම් වූයේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද විශ්ලේෂණයක යෙදෙමිනි. කතාව සකස් කිරීමට සම්බන්ධ වූ දෙදෙනා ද අගමැතිවරයාට ඒ සඳහා සහාය වූහ. අගමැතිවරයා සිය කතාව සකස් කිරීමේදී කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කළ බව පෙනේ. එකක් ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදයයි. දෙවැන්න පසුගිය දවස්වල මහත් ආන්දෝලනයට ලක්වූ ගුරුවරුන්ගේ ප්‍රශ්නයයි. තුන්වැන්න බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති පොහොර ප්‍රශ්නයයි. සිව්වැන්න කොරෝනාවත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදයයි. කලින් සූදානම් කළ කතාව තමා සමුළුවේදී ප්‍රකාශ කරන තෙක් කිසිදු පාර්ශ්වයක් අතට පත් නොවිය යුතු බවට ද අගමැතිවරයා සිය කාර්ය මණ්ඩලයට ද දැනුම් දී තිබිණි. ඒ අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලය පැත්තෙන්ද අගමැතිවරයාට පසුදින කිරීමට සකස් කළ කතාවක් එවා තිබූ බව වාර්තා විය. එහෙත් එය අගමැතිවරයා කියවන්නට තියා අතටවත් නොගත් බව ද දැනගන්නට තිබේ. එම කතාව සකස් කර තිබුණේ පොහොට්ටුවේ ඉහළ අයගේ උපදෙස් මත, බස්නාහිර පළාත නියෝජනය කරන පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරයෙකු විසින් බව ද වාර්තා විය.


මේ අතර, අගමැතිවරයා පසු දින කරන කතාව කලින් ලබාගන්නට පොහොට්ටුවේ ඇතැම් පිරිස් උත්සාහ කළ බවටද ආරංචි පැතිර ගියේය. ඉන් සමහරු කැබිනට් ඇමැතිවරු ය. සමුළුවේ සංවිධාන කටයුතු භාරව සිටි බස්නාහිර පළාතේ එක්තරා ඇමැතිවරයකු අගමැතිවරයාගේ කාර්යාලයේ කිහිපදෙනෙකුට සමුළුවට කලින් දින රාත්‍රියේ අවස්ථා ගණනාවකදීම දුරකථන ඇමතුම් දුන් බවද වාර්තා විය. එතනින් නොනැවතුණ ඔහු සමුළුව දින උදේ ද ඒ සඳහා දැඩි උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක නොවීය. අගමැතිවරයා සමුළුවේදී සිය කතාව කරන තෙක් එය කිසිවකු අතට නොයන්නට වගබලා ගත්තේය.


සමුළුව පැවති නෙළුම් පොකුණ රඟහලට අගමැතිවරයා කල්තියාම පැමිණියේය. සමුළුව ආරම්භ වන තෙක් එහි විවේක කාමරයට ගිය අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, නාමල් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සමග කතාබහක යෙදී සිටියේය. කෙහෙළිය සිටියේ අගමැතිවරයාට යාබද අසුනේ ය. මේ අතරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කාමරයට පැමිණියේය. ‘‘ආ එන්න මෛත්‍රී” යැයි මෛත්‍රී පිළිගත් අගමැතිවරයා ඔහුට ඉඳගන්නැයි කීවේය. මෛත්‍රීට පුටුව දෙමින් කෙහෙළිය වෙනත් අසුනකට යන්නට සූදානම් වෙද්දී මෛත්‍රී කිව්වේ “නෑ නෑ කෙහෙළිය ඔයා ඔතන ඉන්න” යනුවෙනි. “සෞඛ්‍ය ඇමැති විදියට මම මීටරයක් දුරින් ඉන්න එක හොඳයිනේ” කියමින් කෙහෙලිය වෙනත් අසුනක ඉඳ ගත්තේය. හයියෙන් හිනා වුණු මහින්ද”‍ ඔව් ඔව් මේ හිටපු සෞඛ්‍ය ඇමැති තුමා, කෙහෙළිය දැන් ඉන්න සෞඛ්‍ය ඇමති නේ හිටපු එක්කෙනයි දැන් ඉන්න එක්කෙනයි ටිකක් දුරින් ඉන්න එක වැඩිය හොඳයි” කීවේ හැමෝම හිනස්සමිනි.


අනතුරුව සමුළුව ආරම්භ විය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවති සමුළුවට මේ දිනවල නෝක්කාඩුවෙන් සිටින හවුල් පක්ෂවල නායකයෝ ද සහභාගි වූහ. එහෙත් විමල් වීරවංශ ඇමැතිවරයා සහභාගී නොවූ අතර, ඔහු වෙනුවට පක්ෂයේ නියෝජිතයෙක් සහභාගී වී සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ය. ඔහු විසින් ආරම්භ කරන ලද පක්ෂය ඉතාම කෙටි කාලයක් තුළ ආණ්ඩු බලය ලබාගත් දේශපාලන පක්ෂය ලෙස මෙරට ඉතිහාසයට ද එක් විය. එය එක්තරා ආකාරයකට සුළුපටු ජයග්‍රහණයක් ද නොවේ. පක්ෂය ආරම්භ කරමින් කළ කැපවීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් බැසිල්ට උපහාර තිළිණයක්ද පුදනු ලැබීය. අගමැති මහින්ද මේ සමුළුව අමතා කළ කතාව එතැන සිටි බොහෝ දෙනකුගේ ප්‍රසාදයට ලක්විය. හවුල් පක්ෂ යනු ප්‍රධාන පක්ෂයේ කිහිලිකරු හෝ අතකොළු නොවන බව කී අගමැතිවරයා පක්ෂයේ වැදගත්කම තීරණය වන්නේ ප්‍රමාණාත්මක බව නිසා නොව අරමුණ අනුව යැයි කීවේය. පොහොට්ටුව ආණ්ඩු කළත් මේ වන විට දේශපාලනය නොකරන බව අගමැතිවරයා කිව්වේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයත්, පොහොර ප්‍රශ්නයත් මෙතරම් දුර දිග ගියේ පොහොට්ටුව දේශපාලනය නොකරන නිසා බව සඳහන් කරමිනි. ආණ්ඩුව පත් වූ ගමන් රට පුරා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන් අද කොහි සිටින්නේ දැයි අගමැතිවරයා විමසීය.


අගමැතිවරයාගේ ආකර්ෂණීය කතාව එහි සිටි බොහෝ දෙනා අසා සිටියේ ඉතා උනන්දුවෙනි. අගමැතිවරයා සිය කතාව කර සභාවෙන් පිටව ගියේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටි තැනට ඉදිරියෙනි. අසුනින් නැගිට අගමැතිවරයාගේ අතින් අල්ලා ගත් මෛත්‍රී ඔහුගේ කණට කර කීවේ අපූරු කතාවකි. “ඔබතුමාගෙ කතාව ඉතාම හොඳයි. හොඳ දේශපාලන කතාවක්. දේශපාලනයේ හැම දෙයක්ම ඔබතුමාට දැනෙනවා” යැයි මෛත්‍රී කීවේ අගමැතිවරයා වෙත සිය සතුට පළ කරමිනි. අගමැතිවරයා විවේක කාමරයට ගොස් තේ බොන අතරේ ද ඇමැතිවරුන් බොහෝ දෙනකු පැමිණ අගමැතිවරයාට කීවේ ඉතා විශිෂ්ට කතාවක් කළ බවය. වැටුණු දේශපාලනයට හොඳ ජීවයක් අගමැතිවරයා කතාවෙන් දුන් බව ඔවුහු කියා සිටියහ. අගමැතිවරයාගේ අත් දෙක අල්ලා ගත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා කීවේ “ඔබතුමාගේ විශිෂ්ට කතාව අහල මට අප්පච්චි මතක් වුණා” යනුවෙනි. තවත් සමහරු කීවේ “අගමැතිතුමාගේ කතාව නිසා දැන් අපිට ගම්වලට බය නැතුව යන්න පුළුවන්” කියාය. ඒ අතර දිගින් දිගටම ආ දුරකථන ඇමතුම්වලින් ද කියැවුණේ මෑත කාලයේ කළ හොඳම කතාව අගමැතිවරයා එදින කළ බවය.


ඉකුත් සතියේ කැබිනට් රැස්වීම සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා දේශගුණ විපර්යාස පිළිබද ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා ස්කොට්ලන්තයට ගොස් සිටින නිසා කැබිනට් හමුවේ මුලසුන ගත්තේ අගමැතිවරයාය. කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරන අතරේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නෝක්කාඩුවක් ඉදිරිපත් කළේය. පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයකු කළ ප්‍රකාශයකට එරෙහිව තමා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැති බව ඔහු කීවේය. පොලිසියේ ක්‍රියාකලාපය ද විවේචනය කරමින් බන්දුල කීවේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාත් පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශය ලබාගත් දෙදෙනාත් ඇතුළුව සිව්දෙනාම මේ වන විට මාරුකර යවා ඇති බව ය. මෙහෙමනං ඇමැතිවරයෙකු කරපු පැමිණිල්ලකට පොලිසිය වැඩ කරන්නේ අපි කොහොමද රෙද්දක් ඇදගෙන ඇමැතිකම් කරන්නෙ බන්දුල කීවේය. පොලිසිය භාර සරත් වීරසේකර ඇමතිවරයා කීවේ බන්දුල කියන ආකාරයේ මාරු වීමක් සිදු වී නොමැති බවය. ඔහු එවෙලේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් අමතා ඒ පිළිබඳව විස්තර විමසීය. අනතුරුව සරත් වීරසේකර කීවේ එවැනි මාරුවීමක් සිදුවී නැති බවය. අනතුරුව බන්දුල ද මාරු කර ඇති බව කියන නිලධාරීන් සිව් දෙනාගේ නම් ද ඉදිරිපත් කළේය. පොලිසියේ අසූනමදාහක් විතර ඉන්නවා. ඉහළම නිලධාරීන් මාරු කළොත් මට එකපාරට කියන්න පුළුවන්. ඒත් මේ පොඩි පොඩි නිලධාරීන් මාරු කළා කියන එක එක පාරට මට උත්තර දෙන්න අමාරුයි සරත් වීරසේකර කීවේය.


මේ අතර, නාමල් රාජපක්ෂ හා මහින්දානන්ද අලු‍ත්ගමගේ යන ඇමැතිවරු ද පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව කීහ. යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට විරුද්ධව කළ ටොප් ටෙන් පැමිණිල්ල සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණයක් කර නැති බව මහින්දානන්ද කීවේය.


මේ අතර බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ කුඹුරු වගා කිරීම සම්බන්ධ කාරණාවකි. උතුරු නැගෙනහිරත් කුරුණෑගලත් ඇරුණු විට අනෙක් ප්‍රදේශවල ගොවීන් තවමත් කුඹුරට බැස නැති බව ඔහු කීවේය රටේ කුඹුරුවලින් තුනෙන් එකක් පමණක් වගාවට සූදානම් කර ඇති බවත් මෙහෙම ගියොත් ලබන සිංහල අවුරුද්ද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බවත් බැසිල් කීවේය. ඔහු කීවේ කෘෂිකර්ම ඇමතිවරයා මෙහි වගකීම අරගෙන ගොවීන් කුඹුරට බැස්ස වීමේ වැඩ කටයුත්ත කළ යුතු බවය. ගොවීන් ලක්ෂ ගණනක් ඉන්න නිසා තමන්ට තනිව එයකළ නොහැකි බවත්, සෙසු මන්ත්‍රීවරුන් ද ගමට ගොස් ගොවීන් මේ සඳහා උනන්දු කළ යුතු බවත් මහින්දානන්ද කීවේය. මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන යන ඇමතිවරුන් කීවේ ගොවීන් කුඹුරට බහින්නෙ නැත්තේ පෝර නැති නිසා බවය. ගොවීන්ට කන්නේ ආරම්භ කිරීමට අවශ්‍ය නැනෝ නයිට්‍රජන් පොහොර සියලු‍ ප්‍රදේශවලට බෙදා හැර ඇති බව මහින්දානන්ද කීවේය. මේ අතර අගමැතිවරයා කිව්වේ ඔයාලා පෝර ප්‍රශ්නේ ගැන කතා කරන්නෙ ජනාධිපතිතුමා නැති දවසට නේ. ලබන සතියෙ ජනාධිපතිතුමා ඉන්න තැන මේ ගැන කතා කරන්න යනුවෙනි.


විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ
සංගීත රාත්‍රිය


සිය මන්ත්‍රීවරුන් දැනුමින් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය ආරම්භ කොට තිබේ. එහි එක් පියවරක් ලෙස පසුගිය සති අන්තයේදී අගනුවරින් පිටව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගි වූහ. දෙදිනක් පුරා පැවති මේ වැඩමුළුව වඩාත් ක්‍රමවත් ලෙස සංවිධානය කොට තිබුණේ විපක්ෂනායක ලේකම් රවී ජයවර්ධනගේ මූලිකත්වයෙනි.
සෙනසුරාදා උදෑසන නවයට වැඩමුළුව ආරම්භ වූ අතර පළමු දිනයේ එය සවස පහට අවසන් විය. සමගි ජන බලවේගය ජයග්‍රහණය කරා රැගෙන යාමේ උපාය උපක්‍රම රාශියක් එහිදී සාකච්ඡාවට ලක් කළ අතර අනතුරුව රාත්‍රී සුහද හමුවක් පැවැත්විණි.


එය මන්ත්‍රීවරුන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් සකස් වී තිබූ අතර මන්ත්‍රීවරුන්ගේ මේසයෙන් මේසයට ගොස් විපක්ෂනායක සජිත් හමුව අවසන් වන තුරුම ඔවුන් සමඟ රැඳී සිටියේය. එහිදී කාලීන දේශපාලන සංවාදවලින් මෙන්ම රසබර සිදුවීම්වලින් ද අඩුවක් නොවිණි.


කතාබහ දිගින් දිගටම සිදුවන අතරේ දී මයික්‍රෆෝනය අතට ගත් මුජිබර් රහමන් මන්ත්‍රීවරයා ගීතයක් ගයන්නට පටන් ගත්තේය. ඔහු ගායනා කළේ ගුණදාස කපුගේගේ කඳුළු මුතුවැල් සලා ගීතයයි. සිය ගීතය අවසන් කළ ඔහු ඉන් අනතුරුව ගීත ගයන්නට ආරාධනා කළේ සිය නායකයා ටය. සජිත් පළමු ගීතය ගයා අවසන් ව මයික්‍රෆෝනය දෙන්නට හදද්දි එතැන සිට මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ නැවතත් ගීතයක් ගායනා කරන්න ඉල්ලා සිටියේය.


ඉන් අනතුරුව ආරාධනාව ලැබුණේ සරත් ෆොන්සේකාට ය. ඔහුත් ගීත දෙකක් ම ගායනා කළේ ය.
‘‘සභාපතිතුමා දෙවැනි වටයට යවන්න පුළුවන්”‍ යැයි කීවේ කිංස් නෙල්සන් ය.


හේසා විතානගේ සහ චමින්ද විජේසිරි ගීතයක් ගායනා කරන්නට සූදානම් වෙද්දී සිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා කැටුව ආ නලින් බණ්ඩාර “හේෂාගෙයි චමින්දගේයි සිංදුවට අපි නටනවා”‍ කියමින් නර්තනය ආරම්භ කළේය. අශෝක් අබේසිංහ, ජේ.සී. අලවතුවල, තුෂාර ඉඳුනිල් සහ නලින් බණ්ඩාර අත්වැල් බැඳගෙන නර්තනයක් ඉදිරිපත් කළේ එසේ ය.


මනූෂට ගීතයක් ගායනා කරන ලෙස මුජුබර් ආරාධනා කළත් මනූෂ ප්‍රතික්ෂේප කළේ තමන්ගේ හිත මිතුරා වූ හරින් එතැන නොසිටි නිසා යැයි තුෂාර ඉඳුනිල් කීවේය.
ගයන්තට ගීතයක් ගායනා කරන ලෙස විශාල ඉල්ලු‍මක් ආවත් ඔහු එය ප්‍රතික්ෂේප කොට සජිත් අසල වාඩිවී සිටියේය.


මහ ලේකම් රංජිත්ට ගීතයක් ගායනා කරන ලෙස ලද ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළේ ‘‘මම සින්දු කිව්වොත් ලංකාවෙ ගායකයෝ සින්දු කියන එක නතර කරනවා”‍ යැයි කියාය.
ඒ අතරතුර ජේසී හදිසියේම එතෙර සිටින සිය බිරිඳට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන සුහද හමුවේ සිදුවීම් ඇයටත් බලන්නට සැලැස්සුවේය.


ඊට පසුදා සියලු‍ දෙනාම පෙරවරු නවයට නැවත වැඩමුළුවට එක්වූ අතර විශේෂ දේශන තුනකින් එය අර්ථවත් විය.


“මේ වගේ වැඩමුළු කීපයක් තිබුණනම් ආණ්ඩුව පෙරළන එක ටොයිස් වැඩක්”‍. එහෙම කිව්වේ අශෝක් අබේසිංහ ය.


වත්තල ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වූ හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම යෙදී තිබුණේ පසුගිය සඳුදා ය.


වත්තල නගර මධ්‍යයේ සුවිසල් තට්ටු හතරක ගොඩනැගිල්ලක ඉහළ සිට පහළටම ඔහුගේ කාර්යාලය පිහිටා තිබුණේය. තොරතුරු සන්නිවේදන ශාලාවක්, රැස්වීම් ශාලා කිහිපයක්, කාර්යාල කාමර කිහිපයක්, සමීක්ෂණ ශාලාවක් ඇතුළු පක්ෂ කාර්යාලයක දකින්නට නොමැති තරම් අපූරු සහ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඔහුගේ කාර්යාලය ඉදිකොට තිබුණි.

 


 

 

 

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

 

 

 

 



පක්ෂ නායකකාරකාදීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර රැස්වීම පැවතියේ පක්ෂ කාර්යාලයටම යාබදව පිහිටා තිබූ බිම් මහලේ විශාල ඉඩකඩක ය. ශාලාව පිරී ඉතිරී ගොස් ඉඩ මදි වන තරමට විශාල පිරිසක් එහි රැස්ව සිටි අතර රැස්වීම ආරම්භ වූයේ විශේෂ ආකාරයකිනි.
සජිත් සහ හරීන් නිවේදකයාගේ ආරාධනාවෙන් වේදිකාවට ගොඩවුණු අතර එම ස්ථානයේදීම සජිත් හරීන්ට අදාළ වත්තල ආසන සංවිධායක ලිපිය අත්සන් කොට ඔහු අතට පිරිනමනු ලැබීය. හරීන් ඉන් අනතුරුව සිය නායකයා අතට තවත් ලිපියක් භාර දුන්නේය. ඒ ලිපිය කුමක්දැයි බොහෝ දෙනා අතර කසුකුසුවක් ඇතිවිය.
නිවේදකයා ඒ කසුකුසුව දුරු කළේ ය.


“වත්තල ආසන සංවිධායකකම භාරගත්ත හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂ නායකතුමා අතට ලබා දුන්න ලිපියෙහි තියෙන්නෙ ඔහු දේශපාලනයෙන් සමුගන්නා බවට වන ප්‍රකාශය.”‍
නිවේදකයා එහෙම කියද්දී මුළු සභාවම එකවිටම තුෂ්ණිම්භූත විය.


“ඇත්තටම ඔහු සමුගන්නේ ඔහුට අවුරුදු හැටක් පිරුණම. ඒ කියන්න තව දශක දෙකක් ඔහුට දේශපාලනය කරන්න පුළුවන්”‍


පසුගිය සතියට යෙදී තිබුණු හරීන්ගේ උපන්දින දවසේ කේක් ගෙඩියද කපනු ලැබුවේ ඒ වේදිකාවේ සිට ම සජිත් සහ හරීන් එකතුවය.


කැපූ කේක් කැබැල්ලේ පළමු කොටස හරීන් කවනු ලැබුවේ සිය නායකයා වන සජිත්ට ය.
මෙහිදී සභාව ඇමතූ චම්පික රණවක කීවේ හරීන්ගේ තීරණයට අනුව තමන්ට තව දේශපාලනය කරන්නට සිදුවන්නේ අවුරුදු හතරක් පමණයි කියාය.


මහ ලේකම් රංජිත් සභාව අමතමින් කියා සිටියේ හරීන් හැටෙන් සමු ගන්නව කියල කිව්වට පස්සේ මට ලැජ්ජා හිතුනා. හැබැයි ආපහු බලනකොට රටේ ලොකුම පුටුවල ඉන්න කීප කීපදෙනෙක්ම මට වඩා වයස නිසා ඒ ලැජ්ජාව නැති වුණා යැයි කීවේය.


ඉන්පසු සජිත් සභාව අමතමින් දීර්ඝ කතාවක් කළ අතර එහිදී හරීන්ගේ අවුරුදු හැටේ තීන්දුව ගැන ද සජිත් කතා කළේය.


“ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සංවත්සරය අපි අද සැමරුවා. එතුමා රටේ ජනාධිපති වුණේ අවුරුදු හැත්තෑ දෙකේ දී. මම දැන් ටිකකට කලින් හරීන්ට ඔපරේෂන් එක කරපු ඩොක්ටර්ට කතා කළා. එයාටත් අවුරුදු 60ට වැඩියි. හරීන් කියන විදිහට හැටෙන් සමු ගත්තානම් ජේ.ආර්. කියලා ජනාධිපතිවරයකුත් නෑ, හරීන්ගේ ඔපරේෂන් එක කරන්න ඒ ඩොක්ටත් නෑ. ඇත්තටම වැදගත් වෙන්නේ වයස කියන අංකය නෙමේ. වැදගත් වෙන්නේ හැකියාව කුසලතාව සහ දක්ෂතාව”‍සජිත් කීවේය.


උත්සවය හමාර වී යන සියලු‍ දෙනාටම කුඩා පෝච්චියක සිටවූ පිච්ච පැළයක් බැගින් ලබා දෙන්නටද හරීන්ගේ කාර්යමණ්ඩලය සංවිධානය කොට තිබුණේ ය.


දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ගුණානුස්මරණ දිනය යෙදී තිබුණේ පසුගිය පළවෙනිදාට ය. සජිත් ඒ වෙනුවෙන් විශේෂ කටයුත්තක් සංවිධානය කොට තිබුණේ ය. එය සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනක් යටතේ රෝහල් උපකරණ ලබාදීම ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණය කරමින් සිදු කිරීමටය.
රෝහල්වලට අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අරමුණ කොට ගනිමින් සමගි ජන බලවේගය විසින් “සමගි ජන බලවේගයෙන් හුස්මක්”‍ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස දියත් කරනු ලබන ‘ජන සුවය‘ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 33 වැනි පියවර ලෙස රුපියල් විසිලක්ෂ දාසයදහසක් (රු. 2,016,000) වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.


මෙම අවස්ථාවට දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ මුණුපුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායක නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනද එක්ව සිටීම විශේෂත්වයක් විය.


ජනතා ගැටලු එජාප
කෘත්‍යාධිකාරියේ අවධානයට


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සිකුරාදා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය. පාලිත රංගෙ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.


මෙහිදී පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ කටයුතු සමාලෝචනය කිරීම ද ජනතා ප්‍රශ්න හා පොදු ගැටලු සාකච්ඡා කිරීමද සිදුවිය.


පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව මුහුණ පා සිටින අප්‍රමාණ ගැටලු හමුවේ රජයේ පාර්ශ්වය කිසිදු තැකීමක් නොකිරීම ගැන පැහැදිලි කළේය.


පක්ෂ මූලස්ථානයේ පැවැති දීපවාලි උත්සවයේ වැඩ කටයුතු සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දුන් රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේදී වැඩි උනන්දුවක් දැක්වූයේ පක්ෂය ඉදිරියට ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.


‘අඳුරෙන් එළියට ජීවිත ආලෝවත් කරන දීපවාලියේ ශ්‍රී ලංකාවේ පාලකයන්ට ඥානය පහළ වී රටේ ජනතාවට යහපත් කාලයක් උදාවීමට අවස්ථාව ලැබේවා’ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දීපවාලි උත්සවයේදී ප්‍රාර්ථනා කළේය.


දීපවාලි දින සැමරුම් උත්සවයක් සිරි​කොත පක්ෂ මූලස්ථානයේ පැවැති අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතා කතා කළ රුවන් විජයවර්ධන මහතා මේ ප්‍රාර්ථනය කළේය.


හින්දු සංස්කෘතික අංග සහිතව පැවැති මෙම උත්සවයට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, සමන් රත්නප්‍රිය ඇතුළු පක්ෂයේ ප්‍රධානීහු ගණනාවක් සහභාගි වී සිටියහ. උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්වීමට එය සංවිධානය කළ රුවන් විජයවර්ධන මහතා පියවර ගෙන තිබුණි. හින්දු නර්තන කීපයක්ද මේ අවස්ථාවේ රඟදැක්විණි. හින්දු ජනතාවට ආවේණික ආහාරවලින් එදින රාත්‍රි භෝජනය සැකසී තිබූ අතර සියලු දෙනාම එයට සහභාගි වූහ.


සේදවත්ත වෙහෙර ​ෙගාඩැල්ලවත්ත විහාරයේ කඨින පූජෝත්සවය නියෝජ්‍ය නායකවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. එහිදී විහාරාධිපති අඹන්පොල ඥානාලෝක හිමියන් අනුශාසනාව පවත්වමින් දේශනා කර සිටියේ හෙලේනා විජයවර්ධන මැතිනිය හා එම මුදලිඳු විසින් මෙම විහාරය ශාසනයට පූජා කළ බවයි. විහාරයේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන රුවන් විජයවර්ධන මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ, රංජිත් විජයවර්ධන, චන්න වික්‍රමසිංහ, අමරි විජයවර්ධන, අනෝජා විජේසුන්දර, ධම්මික ආටිගල, හරිත විජයවර්ධන යන විජයවර්ධන පවුලේ අය බුද්ධ ශාසනයේ දියුණුවට කරන ලද මෙහෙය ගැන ද උන්වහන්​සේ සඳහන් කළහ.


කැලණිය රජමහා විහාරය, කොල්ලුපිටිය වාලුකාරාම හා ගංගාරාමය යන විහාරවලටද විජයවර්ධන පවුලෙන් වන සේවාව උන්වහන්සේගේ ඇගයීමට ලක්විය.


මීට අමතරව රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන අනුකමිටු රැස්වීමට සහභාගි වී එම ආයතන ගණනාවක පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

 

 

-ගජබා-