ආණ්ඩුව දවන ‘‘යුගදනවි’’ ගින්න


යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නයත් සමග දේශපාලන කරළිය උණුසුම් වෙමින් තිබේ. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවද උණුසුම් වූයේ මේ ප්‍රශ්නය හේතුවෙනි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇ​ෙමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දිගින් දිගටම විරෝධය පළ කළේය. ආණ්ඩුවෙන් සාකච්ඡාවක් ඉල්ලා නොදුන් තැන ඔවුහු එය මහජනයා හමුවට ගොස් එළිපිට සාකච්ඡා කරන්නට ද තීරණය කළහ. ඉකුත් සිකුරාදා හවස මහජන සභාව නමින් රැස්වීමක් හවුල්කාර පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පිටකෝට්ටේ දී පවත්වන්නට තීරණය වූයේද ඒ අනුවය.


කරුණු එසේ වෙමින් තිබියදී මේ අර්බුදය විසඳන්නට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් විය. ඔහු බ්‍රහස්පතින්දා උදේ තීරණය කළේ බලාගාර ප්‍රශ්නය සහ රටේ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම පවත්වන්නට ය. ඒ අනුව එදින ම උදේ අගමැතිවරයාගේ අතිරේක ලේකම්වරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ට දුරකතනයෙන් දැනුම් දුන්නේ එදින පස්වරු පහයි තිහට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව ය. ඒ සමගම එදින පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන කරුණු ඇතුළත් න්‍යාය පත්‍රයද පක්ෂ නායකයන් වෙත යවා තිබුණි. පණිවිඩය ලැබීමත් සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අරලියගහ මන්දිරයේ සාකච්ඡාවට යාමට පෙර විමල් වීරවංශ ඇමැතිවරයාගේ නිවසේ දී රැස් වූයේ එදින සාකච්ඡාවේදී කතාබහට ලක්වන කරුණු ගැන පූර්ව සූදානම් වීමේ පියවරක් ලෙසිනි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස්, අතාවුල්ලා, වීරසුමන වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද සාකච්ඡාවට සහභාගී වූහ. හවස පැවැත්වෙන සාකච්ඡාවේදී කතා කළ යුතු මාතෘකා එක් එක් පක්ෂ නායකයන්ට පැවරීමටද එහිදී තීරණය විය. ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ ආකාරය සහ ගිවිසුම් අස්සන් කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීම විමල් වීරවංශ ඇමතිවරයා භාරගත් අතර, ගිවිසුමේ අන්තර්ගත අහිතකර කොටස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ගම්මන්පිල ඇමැතිවරයාට පැවරිණි. ඒ පිළිබඳ අතිරේක කාරණා මතු කිරීම අතුරලියේ රතන හිමියෝ බාරගත්හ. හවුල් පක්ෂ නායකයෝ විමල්ගේ නිවසේ සාකච්ඡාවෙන් අනතුරුව කෙළින්ම අරලියගහ මන්දිරය බලා ගියහ.


 

අගමැතිගේ මැදිහත්වීමෙන් පක්ෂ නායක සාකච්ඡාවක්

 

 



ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලු‍ත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද, හවුල් පක්ෂ වෙනුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අතාවුල්ලා, ටිරාන් අලස්, අසංක නවරත්න යන මහත්වරුද, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ.


සාකච්ඡාවේ න්‍යාය පත්‍රයේ කරුණු දාහතරක් අඩංගු වී තිබිණි. න්‍යාය පත්‍රයේ සඳහන් කරුණු සාකච්ඡා කරමින් පවතින අතර COVID අර්බුදයත් සමග රට ගොඩනැගීමට ගත් වෙහෙස ගැන ජනාධිපතිවරයා දිගටම පැහැදිලි කළේය. කොවිඩ් ප්‍රශ්නයත් සමග අර්බුද රැසකට මුහුණ දෙන්නට සිදු වූ බව ජනාධිපතිවරයා කීවේය. කෙහෙළිය ඇමැතිවරයා එන්නත් කරණ වැඩපිළිවෙළ ලබාගත් ජයග්‍රහණ ගැන කීවේය. ඒ සමඟම ඔහු කීවේ රට විවෘත කර තිබියදී, සෞඛ්‍ය උපදෙස් නොපිළිගත්තොත් අර්බුදයක් ඇතිවීමේ අවස්ථාව තිබෙන බවය. උද්ඝෝෂණ විරෝධතා පවත්වන්නට නැවත ගියහොත් ලොකු අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු කීවේය. මේ කතාබහ යන අතරේ විමල් වීරවංශ ඇමැතිවරයා කීවේ”‍ අපි මුලින්ම යුගදනවි ප්‍රශ්නය ගැන කතා කරමු”‍ කියාය. එය න්‍යාය පත්‍රයේ ඇතුළත්ව තිබු​ණේ අංක 12 ලෙසය. එසේ වුවද එය සාකච්ඡා කරන්නට තීරණය විය. ඒ ගැන පැහැදිලි කරන්න ජනාධිපතිවරයා බැසිල් ඇමැතිවරයාට කීවේය. ඔහු කීවේ පැහැදිලි කරන්න දෙයක් නෑ ප්‍රශ්න තියෙන ඒවා අහන්න කියාය. බැසිල් ඒ සඳහා සූදානම් වී පැමිණ සිටියේය. ඒ අනුව විමල් යුගදනවි ගිවිසුම අත්සන් කිරීම දක්වා ගිය ගමන වැරදි බව කීවේය. ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නේ බැසිල්ය. ඔහු කීවේ තවම එවැනි ගිවිසුමක් අත්සන් කර නැති බවය. මූලික එකඟතා ඇති කරගත් නමුත් ගිවිසුම සකස් කිරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු බවත්, තවම එවැනි ගිවිසුමක් අත්සන් කර නැති බවත්, ඔහු කීවේය. රටේ සම්පත් මේ විදියට විදේශ රටවලට දීමට තමන් ඇතුළු පිරිස විරුද්ධ බව වාසුදේව ද කියා සිටියේය.


අනතුරුව කලින් යොදාගත් පරිදි උදය ගම්මන්පිල ගිවිසුමේ අහිතකර පැත්ත ගැන පැහැදිලි කළේය. ඔහු එය කරුණු හතරකට ගොණු කරමින් පැහැදිලි කළේය. ටෙන්ඩර්වලට සම්බන්ධ නොවූ සමාගමකට මෙම කොටස් පැවරීම, ඉන්දියාව, චීනය, ජපානය දකුණු කොරියාව ආදී රටවල් සිටියදී වෙනත් රටක් තෝරා ගැනීම ඇතුළු කාරණා හතරක් ගැන ඔහු පැහැදිලි කළේය. ඔහු කීවේ මේ ගිවිසුම නිසා ලංකාවේ ගෑස් මතුකර ගැනීමේ කටයුතුවලට පවා බාධා ඇති විය හැකි බවය. බැසිල් ඊට පිළිතුරු දුන්නේ ය. ඔහු කීවේ මැතිනියගේ කාලේ පවා පේසාලේ තෙල් කැණීමට එරෙහිව පෙළපාලි ගිය බවය. ඔබතුමා ගෑස් ගොඩ ගන්න කොට අපි ඒවා සල්ලි දීලා ගන්නම් බැසිල් කීවේය. ගම්මන්පිල කීවේ ගෑස් ඒකාධිකාරය ඇ​ෙමරිකාවට දුන් විට ආයෝජකයින් එන්නේ නැති බවය. එවිට ගෑස් ගොඩ ගැනීමේ කටයුතු කර ගත නොහැකි බවත්, ගොඩ ගත්ත ද ඒවා මිලදී ගැනීමට කෙනෙකු නොමැති බවත් ඔහු කීවේය. ගෑස් ගොඩගන්න බැරි එක මගේ පිට පටවන්නට එපා යැයි බැසිල් ඉල්ලීමක් කළේය. ගම්මන්පිල කීවේ ඒත් මේ ගිවිසුම තියෙනකම් මට ඒක ඔබතුමාගේ පිට තමයි පටවන්න වෙන්නේ කියාය.


මේ අතර, රතන හිමියෝද අදහස් දැක්වූහ. උන්වහන්සේ කීවේ හවුල් පක්ෂවල විරෝධය ආණ්ඩුවට එරෙහිව ගහන කැරැල්ලක් ලෙස අර්ථදැක්වීම වැරදි බවය. වැරදි පෙන්වන්නේ ආණ්ඩුව හදාගන්න බව උන්වහන්සේ කියා සිටියහ. ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුව කරන හොඳ දේවල් ගැන හවුල් පක්ෂ වැඩිය කතා නොකරන බවය. ආණ්ඩුව ඇතුළේ කළ යුතු විවේචනය එළියේ කරන්නේ ඇයි දැයි ඔහු විමසා සිටියේය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට යාමේදී හවුල් පක්ෂ විරෝධය නිසා එය මගහැරුණු බවත්, එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 7000 ක පමණ අයෝජනයක් රටට අහිමි වූ බවත් ඔහු කීවේය.


යුගදනවි ප්‍රශ්නය ගැන සාකච්ඡා දිගින් දිගටම ගිය අතර, බැසිල් කීවේ මේ සම්බන්ධයෙන් යෝජනා හා අදහස් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසය.

 මේ කතාබහ යන අතරේ අතාවුල්ලා මතු කළේ වෙනත් කරුණකි. එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සමාජයේ කතා බහට ලක් වී ඇති බව අතාවුල්ලා කීවේය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ එම කමිටුවට නීතිමය බලයක් නැති බවය. ඔවුන් පත් කළේ අදහස් යෝජනා ලබා ගැනීමට පමණක් බව කී ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායක් පත් කිරීමටත්, ඊට පත් කරන්නේ කවුරුන්ද යන්න නිගමනය කිරීමටත් බලය තමන්ට තිබෙන බවය. එහිදී බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. රටේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාගෙන් එවැනි ප්‍රශ්නයක් ඇසීමට අතාවුල්ලාට අයිතියක් නැතැයි ඔහු කීවේය.”‍ ජනාධිපතිතුමාට ඕනෑම කාර්ය සාධක බළකායක් පත් කරන්න පුළුවන්. ඒකට කැමති කෙනෙකු පත් කරන්ට පුළුවන්. ඒක ප්‍රශ්න කරන්න ඔයාලට අයිතියක් නැහැ. බැසිල් කීවේය. පොහොට්ටුවෙන් තරග නොකළ අතාවුල්ලා එවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන තමන් පුදුමයට පත් වූ බව බැසිල් කීවේය. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, රතන හිමි යන අය පක්ෂ නායකයන් ලෙස සහභාගි වූයේ කෙසේද යන්න ද ගැටලු‍වක් බව ඔහු කීවේය. උදය ගම්මන්පිල ද මේ කතාබහට මැදිහත් විය. දේවානන්ද, අතාවුල්ලා, රතන හිමියන් පොහොට්ටුවෙන් තරග නොකළ ද ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් විශාල වැඩ කොටසක් කළ බව ඔහු කීවේය.


ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය විවේචනය නොකළද ඔවුන්ගේ අදහස කීමට ඔවුන්ට අයිතියක් ඇති බව ඔහු කීවේය.


කෙසේ වුවද මේ සාකච්ඡාව පැය හතර හමාරක් තිස්සේ ඇදී ගිය අතර, එය ඉතා උණුසුම්කාරී එකක් විය.


ගොවි දුක පාර්ලිමේන්තුවට


සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සති කිහිපයේම රට පුරා ගොවීන් හමුවීමට ගියේ පොහොර තහනම නිසා පීඩාවට පත්වූ ගොවීන්ගේ ගැටලු‍ විමසා බැලීමටය.


ගොවීන්ගේ ගැටලු‍ විමසීමෙන් නතර නොවූ සජිත් ගොවීන්ගේ ගැටලු‍ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කළේය. ජනාධිපතිවරයා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවට සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට කල් ඇතිව තොරතුරු අනාවරණය වී තිබුණේය.


ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේම ගොවීන්ගේ පොහොර ගැටලු‍වට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු තීරණය කළහ. පාර්ලිමේන්තුව තුළ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාව දැක්වීමට සියලු‍ කටයුතු සූදානම් කෙරිණි.


විරෝධතාව සඳහා වන පෝස්ටර් පෙර දිනයේදී පාර්ලිමේන්තුවට රැගෙන ආවේ නලින් බණ්ඩාරය. කල් ඇතිවම පාර්ලිමේන්තුවට පැමිණි ඔහු තමන්ගේ අතින්ම පෝස්ටර් සියල්ල ඇන්දේය.


ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි වහාම නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා එම පෝස්ටර් කිසිවෙකුටවත් නොපෙනෙන්නට සභා ගැබ තුළට රැගෙන ආ අතර විනාඩියක් දෙකක් තුළ ඒ සියල්ල මන්ත‍්‍රීවරුන්ටද බෙදා දුන්නේය. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නැගී සිටිමින් විරෝධතාවය ආරම්භ කළේ සිදුවන්නේ කුමක්දැයි ජනාධිපතිවරයාට සිතීමට වේලාවක් ලබා නොදෙමිනි.


පාර්ලිමේන්තු සභා ගැබේ කැමරාව විරෝධතාවයේ යෙදෙන මන්ත‍්‍රීවරුන්ගෙන් ඈත් කර තැබුවත් විනාඩි කිහිපයක් තුළ සභා ගැබේ තත්ත්වය සමාජ මාධ්‍ය වෙතට මුදා හැරීමට මන්ත‍්‍රීවරුන් කටයුතු කර තිබුණි.
පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වූ සජිත් තිස්සමහාරාමය බලා පිටත්ව ගියේ බඳගිරිය ප‍්‍රදේශයේ ගොවි ජනතාව හමුවෙමින් ‘ගොවි හද ගැස්ම’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටය. ඒ වන විට නයිට‍්‍රජන් දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබූ අතර ඒ ගැන විපක්ෂ නායකවරයාගේ දැඩි අවධානය යොමුව තිබුණි.


‘‘දියර නයිට‍්‍රජන් ගෙන්වනවා කියල ආණ්ඩුව තවත් ලොකු වංචාවක් කරනවා. නිසි ටෙන්ටර් කැඳවීමක් හෝ රාජ්‍ය තාන්ත‍්‍රික ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතිව මේවා ගෙන්වලා. හතු පිපෙනවා වගේ හදිසියේම මතුවූ ආයතනයකට තමයි මේවා ගෙන්වීමේ වගකීම ලබාදී තිබෙන්නේ. අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් රුපියල් කෝටි 29ක් වංචා කරලා තියෙනවා. මේ වංචාව ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’’සජිත් තරයේ අවධාරණය කළේය.


තිස්සමහාරාමයේ සිට අම්බලන්තොට දක්වා ගිය සජිත් සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමටද එක්විය. හිටපු පළාත් සභා මන්ත‍්‍රී ත‍්‍රීසිංහ ගාමිණී විසින් සංවිධානය කර තිබූ එයට දිලිප් වෙදආරච්චි, තෙන්නකෝන් නිලමේ ඇතුළු මහජන නියෝජිතයෝ එක්ව සිටියහ.


දිලිප් වෙදආරච්චි සමග සජිත් අගුණකොළපැලැස්සේ බන්ධනාගාරයට ගියේ එහි රඳවා සිටින රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාගේ සුව දුක් බැලීමටය. සෑම සතියකම රංජන් බැලීමට යන දිලිප් රංජන්ගේ තත්ත්වය ගැන සජිත් දැනුවත් කිරීමට කටයුතු කළේය.


‘‘අර පැන්ඩෝරා පේපර්ස් ගැන අනාවරණය කරනවා කියලා කිව්වම රංජන්ගේ ජීවිතයට තවත් තර්ජනයක් ඇවිත්. වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට රැගෙන ගියේ අධිවේගී මාර්ගයේ. ඒත් මේ කතාව එළියට ආවට පස්සේ අධිවේගී මාර්ගයෙන් අරගෙන යන්නේ නෑ. සාමාන්‍ය පාරේ, වැඩි වේලාවක් අරගෙන යනවා. මේක ඔහුගේ ජීවිතයට තර්ජනයක්’’ දිලිප් වෙදආරච්චි කීවේය.


රංජන්ගේ ආරක්ෂාව ගැන තමන්ගේ දැඩි අවධානය යොමු කරන බවට සජිත් සහතිකයක් ද දුන්නේය.
‘‘අල්ලසට, දූෂණයට විරුද්ධව කටයුතු කළ රංජන් රාමනායක ඉක්මනින් නිදහස් කළ යුතුයි. ඔහුට විරුද්ධව මූල්‍ය චෝදනා, හොරකම් කළා කියලා චෝදනා එල්ලවෙලා නැහැ. තමන් ළඟ තියෙන දේත් ඔහු ලබාදෙන කෙනෙක්. රංජන් දැන් උසස් අධ්‍යාපනය හදාරලා උපාධියක් ලබාගැනීමේ අරමුණින් කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔහුට නිර්මාණය කර දිය යුතුයි’’සජිත් කීවේය.


මවගේ උපන් දිනයට කළ දේ


සජිත් ප්‍රේමදාසගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියගේ 87 වැනි උපන් දිනය පසුගිය සතියේදී යෙදී තිබුණි. මවගේ උපන් දිනය වෙනුවෙන් සජිත් ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’‘වැඩසටහනේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ කාසල් වීදියේ කාන්තා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරමින්ය.


ඉන් පසුව ගතවූ දින කිහිපයේදීම සජිත් නැවත වරක් ගොවීන් හමුවීමට ගියේය. හසලකට ගිය සජිත් ඉදිරි ආණ්ඩුවේදී ගෙන එනු ලබන ව්‍යවස්ථාවට ගොවීන්ගේ අයිතීන් ඇතුළත් කරන බවට සහතිකයක් දුන්නේය. තමන් ගෙන එනු ලබන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලදී ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම සඳහා ඔහුගේ අවධානය යොමුව තිබුණි.


මහනුවර දිස්ත‍්‍රික්කයේ වෘත්තීයවේදීන් සජිත් එක මිටට ගනී


මාතලේ සිට සජිත් පැමිණියේ මහනුවරටය. ඒ මහනුවර දිස්ත‍්‍රික්කයේ සිටින වෘත්තීයවේදීන් හමුවීමටය. වෘත්තීයවේදීන් හැට දෙනෙක් පමණ අපේක්ෂාවෙන් යුතුව එම හමුව සංවිධානය කර තිබුණත් එකසිය දහයකට අධික වෘත්තීයවේදීහු පිරිසක් එහි පැමිණ සිටියහ.


රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳවත්, එය ගොඩනැගීම උදෙසා ඇති වැඩ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉතා දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ගැනුණි. පැමිණ සිටි වෘත්තීයවේදීන් සියලු‍ දෙනා පාහේ ඉතා උනන්දුවෙන් සජිත් සමග අදහස් හුවමාරු කරගත්හ.


‘‘ඔබතුමා දැන් ගොවිබිම්වලටම යනවා. නමුත් සමහර පක්ෂ කරන්නේ තමන්ගෙ නියෝජිතයෝ යවන එක.”‍ වෘත්තීයවේදියෙක් කීවේය.


‘‘මමත් යනවා. මගේ නියෝජිතයොත් යවනවා. නායකයෙක් කියන්නේ කාමර ඇතුළේ ඉඳගෙන තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. ඒ දවස්වල මම මිනිස්සු ළඟට යනවා කිව්වම හිනා වුණා. එදා මට හිනාවුණ අයට මිනිසුන්ගේ දෙපා ළඟට යන්න වෙලා තියෙනවා. නමුත් ඒ අය යන්නෙ නෑ. මිනිසුන්ගේ ප්‍රශ්න සීතල කාමර ඇතුළේ ඉඳලා කොහොමද තේරුම් ගන්නේ ? ’’සජිත් උත්තර දුන්නේය.


 

 

 

සජබය  පාර්ලිමේන්තුවේ කළ විරෝධතාව

 

 



මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන සජිත් බලයි


මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පසුගිය සතියේ හිනිදුම ප‍්‍රදේශයේ තේ වගාකරුවන්ගේ ගැටලු‍ ගැන සොයා බැලීම සඳහා ගියේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප්‍රියන්ත ජයතිලක සමගය. තවලම ප‍්‍රදේශයේ ස්ථාන අටකදී විරෝධතා සංවිධානය කර තිබූ අතර මුල් විරෝධතා තුනටම යතුරුපැදිවලින් පිරිසක් පැමිණ සිටියහ.
ඔවුන් විරෝධතාවයේ දර්ශන ජංගම දුරකථනයෙන් ලබා ගනිමින් තිබූ අතර ඔවුන් ගැන සොයා බලන විට මන්ත‍්‍රීවරයාට දැන ගැනීමට හැකියාව ලැබුණේ බුද්ධි අංශයේ පිරිසක් තමන් පසුපස එන බවය.
විරෝධතාවක් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන විට තමන්ගේ රැස්වීමට පැමිණ එයට බාධා කරන අය ගැන ඔහු අනාවරණය කළේය. ටික වේලාවකින් මේ ගැන විශාල ආන්දෝලනයක් ඇතිවූ අතර සජිත් වහාම මනුෂට කතා කළේය.


‘‘මොකක් හරි ප‍්‍රශ්නයක්ද? මම ඔයාලාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්නවා‘‘සජිත් සහතිකයක් දුන්නේය.


එජාපයෙන් දේශපාලන ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ වැඩ සටහනක්


එක්සත් ජාතික පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී විශේෂ අවධානයක් යොමු කළේය. මෙම වැඩ සටහන භාරව සිටින්නේ හිටපු ඇමැති සාගල රත්නායක මහතාය. මෙම පුහුණුව සම්බන්ධ අත්හදා බැලීමේ වැඩසටහනක් මහනුවර පැවැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එහි වැඩ කටයුතු පිළිබඳ සොයා බලා අඩුපාඩු පෙන්වා දෙමින් එය විධිමත්ව පවත්වා ගෙනයාමට සාගල රත්නායක මහතාට උපදෙස් දුන්නේය.


ජනතාව මුහුණ පා සිටින බරපතළ ආර්ථික ගැටලුව පිළිබඳව රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු යෙදීමටද එජාපය ඉකුත් සතියේ සාකච්ඡා කෙළේය.


මීට අමතරව පක්ෂයේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනී​මේ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත දී පැවැත්වුණි. රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, සමන් රන්නප්‍රිය යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ සටහන පිළිබඳව ​සොයා බැලූ රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අසීරුවට පත්වීම හා ගුරුවරුන් හා ගොවි ජනතාව ඇතුළු සියලු කොටස්වලට මුහුණ පෑමට සිදුවී ඇති අපහසුතා පිළිබඳවත් පක්ෂයේ අදහස් පුළුල්ව ප්‍රචාරය කළ යුතුව ඇති බවද මෙහිදී උපදෙස් දුන්නේය.

 

ජනපතිගෙන් එවැනි ප්‍රශ්න අහන්න අතාවුල්ලාට අයිතියක් නෑ
- බැසිල්


සේනානායකවරුන් ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අඹේපුස්ස පිරිස්යාලේ සේනානායක මහ පිරිවෙනේ කඨින පෙරහැර බෝතලේ වලව්වේ සිට රථ පෙරහරකින් වැඩමකළ අතර එහිදී කරඬුව රන්සිවිගෙයි තැන්පත් කිරීම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතින් ගිය සතියේදී සිදු විය.
කඨින චීවරය වැඩම වූ පෙරහර හා උත්සව සංවිධානය වූයේද රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙනි.
ඉකුත් සතියේදී රුවන් සාකච්ඡා ගණනාවකටම සහභාගි විය. ගම්පහ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය හමුවූ ඔහු දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන කටයුතු හා අඩුපාඩු පිළිබඳවද විමසා බැලීය.
පක්ෂයේ යොවුන් පෙරමුණ සමග ද සාකච්ඡා කළ රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා තරුණයන්ට ලබාදිය හැකි දායකත්වය පහදා දුන්නේය.


මීට අමතරව පක්ෂයේ මෙහෙයවීමෙන් පවත්නා ‘මහජන සභාව’ සති දෙකකට වරක් පැවැත්වීමට තීරණය කළ ඔහු එහි සංවිධාන කටයුතු සමන් රත්නප්‍රිය මහතාට බාර කළේය.


ලබන මාසයේ නිකුත් වන සියරට පුවත්පතට පළ කළයුතු ලිපි හා ප්‍රවෘත්ති පිළිබඳව සමන් රත්නප්‍රිය මහතා සමග සාකච්ඡා කළ ඔහු පුවත්පත වඩා හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එජාප නායකයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පිළිබඳවද සොයා බැලූ රුවන් විජයවර්ධන මහතා දින කීපයක්ම සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටියේය.

 

-ගජබා-