අයි එම් එෆ් ණය අරන් වැල්පාලමේ ගමන


බැසිල් සමන්ලාල් හබය රෙකෝඩ් කර පිටට දුන්නේ කවුද?

පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් පිරිසකගේ හා පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන්ගේ හමුවක් ඉකුත් බ්‍රහස්පතින්දා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙක්ද සහභාගි වූහ. 


පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ඇතැමුන් ගේ නම් කපා හැරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට චෝදනා එල්ල කර ඇත. එහිදී බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර මැයි නවවැනිදා සෙනග ගෙන්වන්න එපා කියද්දී සමන්ලාල් සෙනග ගෙනැවිත් ගැටලු‍වක් ඇති කළ බව බැසිල් ප්‍රකාශ කර ඇත. එපා කියද්දිත් අරලියගහ මන්දිරයට සෙනග ගෙන්වා අන්තිමට පාක්ෂිකයන්ට බේරේ වැවේ නාන තැනට පත් කළේ සමන්ලාල් බව එහිදී බැසිල් ප්‍රකාශ කර ඇත. සමන්ලාල් පවසා ඇත්තේ කුමක් කීව ද තමා පක්ෂය හැර නොයන බව ය. බැසිල් පවසා ඇත්තේ සමන්ලාල් ගියා නම් පක්ෂයට හොඳ බවය. මේ සංවාදය ඇතිවී පැය කිහිපයක් යන්නට මත්තෙන් සංවාදයේ හඬපටයක් මාධ්‍යවලට ද නිකුත් වී තිබිණි. එය ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී සමන්ලාල් කියා තිබුණේ එම රැස්වීමට සහභාගි වූ පුද්ගලයෙකු සංවාදය රෙකෝඩ් කර, සංස්කරණය කර මාධ්‍යයට මුදාහැර ඇති බව ය. ඔහු කියා තිබුණේ තමා පමණක් නොව, අරලියගහ මන්දිරයට සෙනග ගෙනා ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන ද රැස්වීමේ සිටි    බවය. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායිකරණ ණය පහසුකම අනුමත කෙරුණේ ඉකුත් සඳුදා රාත්‍රීයේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමෙන් පසුවය. ජනපති රනිල් එම තීන්දුව ලැබෙන තෙක් මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙපළ ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද සමඟ ජනාධිපති කාර්යාලයේ රැඳී සිටියේ ඉතා සතුටිනි. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල මෙන්ම ජනපති ලේකම් සමන් ඒකනායක ද එහි රැඳී හුන්නේ පිරිසට සහාය වීමටය.


ශ්‍රී ලංකාව ස්ථායිකරණය කිරීම වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ මණ්ඩලය එය අනුමත කිරීමේ ඉඩ පහසුකම ඉහළ මට්ටමක තිබෙන බවත් එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා කාර්ය මණ්ඩල ප්‍රධානි වෙත පණිවුඩයක් ඊට පෙරම එවා තිබුණි.
කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සිය කාර්යාලය වෙත කැඳවූ ජනපති තමන් බදාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව දන්වා සිටියේය.
එහිදී දිනිත් හා ධනුෂ්ක ජනපතිගෙන් ඉල්ලා සිටියේ ණය පහසුකම අනුමතවීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රකාශයට කලින් කෙටි ප්‍රකාශයක් අඟහරුවාදා දිනයේ ජනතාව වෙනුවෙන් කරන ලෙසටය. ඒ අනුව කෙටි ප්‍රකාශය අඟහරුවාදා කරන බව ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එදින සවස පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අයි.එම්.එෆ් ණය පහසුකම අනුමතවීමේ පණිවුඩය ජනපති ඉදිරිපත් කළේය.


එහිදී ඇමැතිවරුන් සිය සතුට පළ කළේ මේස මතට තට්ටු කරමිනි. “අපි 16 වතාවක් අයි.එම්.එෆ් ගිහිල්ලා තියෙනවා. මේ 17 වෙනි වතාව. නැවත ණය ගන්නේ නැති රාජ්‍යයක් බිහි කිරීමේ 25 වසරක සැලසුම අනුව අපට ඉදිරියට යන්න වෙනවා.” ජනපති ඔවුනට කීවේ එවැන්නකි.
පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැසුණු ජනපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන ධනාත්මක තොරතුරු ජනතාව වෙත ලබා දෙන ලෙසයි. එසේම තමන් පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රකාශයක් කිරීමෙන් පසුව විපක්ෂය විවාදයක් ඉල්ලා සිටිය හැකි බැවින් විවාදයට සුදානම් වන ලෙස ද ඔහු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.


එදින රාත්‍රියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විස්තීරණ ණය පහසුකම අනුමත කළ අතර ජනපති වහාම භාණ්ඩගාර ලේකම් මහින්ද සිරිවර්ධනට හා මහබැංකු අධිපතිවරයාට දැනුම් දුන්නේ අදාළ ලේඛනවලට අත්සන් තබා මූල්‍ය අරමුදල වෙත එදින රාත්‍රියේම යොමු කරන ලෙසය.
මෙරටට රාත්‍රිය වුවද ඇමරිකාවේ නිව්ෙ‌‌යා්ර්ක් නගරයට එය උදෑසන වූ බැවින් එම ලිපි ලේඛන යොමු කිරීමත් සමඟ පළමු වාරිකය පසුදාම ලබාදීමට හැකිවන පරිදි ලේඛන සකස් කෙරිණි. පසුදින ජනපතිවරයා සැමට ස්තූති කරමින් තවදුරටත් ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව කියා සිටියේය.
ජනපති රනිල් ඉන් පසුව වෙහෙසුණේ පසුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රකාශය සකස් කිරීමටය. අදාළ ප්‍රකාශය ජනාධිපති උපදේශක සමන් ආතාවුදහෙට්ටි විසින් සකස් කොට ජනපති වෙත එවා තිබුණි. ඔහු එය පරික්ෂා කොට සංශෝධන එකතු කළ අතර ජනපති ලේකම් සමන් ඒකනායක වෙත එය ඉදිරිපත් කළේ තවදුරටත් සංශෝධන එකතු කිරීමටය. ඊට සංශෝධනයක් එක් කළ සමන් ඒකනායක එය නැවත ප්‍රතිශෝධනයට යැවීමට පෙර ජනපතිට පෙන්වූවේ ඒ කුමක් දැයි ජනපති රනිල් විමසූ බැවිනි.
“ආ මේක හොඳයි. හැමෝටම මල් වට්ටියට අත ගහන්න කියලානේ කියන්නේ.” ජනපති කීවේය.
“ඔව් සර් අපි හොද දෙයක් කරද්දී හැමෝම එකතු කර ගන්නවානේ. ඒක ලංකාවේ සංස්කෘතියේ අංගයක්නේ.” ජනපති ලේකම් ද ඊට පිළිතුරු සැපයූවේ එලෙසිනි.
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය රැස්වූවේ ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. එහි පැමිණි සැවොම ජනපතිට තුති පිදුවේ ඉතා ඉක්මණින් අයි.එම්.එෆ් ණය පහසුකම ලබා ගැනීමට කටයුතු කළ බැවිනි.


ශමල් සෙනරත් පක්ෂ විධායක අධ්‍යක්ෂවරයා සාගල රත්නායක පෙන්වමින් ඔහුද මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් බව කියා සිටියේය. ඔහුට ස්තූති කළ සාගල “ඔව් ඔව් සෑහෙන කාලයක් කැපවීමෙන් ගියා. අන්තිමට මගේ කොන්ඩෙත් ගියා.” යැයි කියද්දී සැවොම සිනාසුනහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්තුමිය සමඟද පුද්ගලිකව සම්බන්ධ වෙමින් මෙම කටයුත්තට සහාය දුන් මහින්ද සමරසිංහ, පාලිත කොහොන යන අය ජනපති මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කළේය. එසේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මිටි ගණනින් වාර්තා සකස් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.


එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මැයි දිනය ගැන සාකච්ඡා කළ අතර ඊට අදාළ වැඩසටහන ඉක්මනින්ම යළි ජනපතිට ඉදිරිපත් කරන බවද දැනුම් දුන්නේය. ජනපති විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට හා ලේකම් සමන් ඒකනායකට පැවරුවේ අයි.එම්.එෆ් ගිවිසුම අනුව කටයුතු කළයුතු ආකාරය ගැන රාජ්‍ය අංශයේ ප්‍රධානින් දැනුම්වත් කරන ලෙසටය.
ජනපති පසුදා පාර්ලිමේන්තුවට ගියේ සිය කතාව කිරීමටය. ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග පැමිණි පසු ජනපති ඔහුට යම් කරුණක් සිහිපත් කළේය. “අද විපක්ෂය මගේ ප්‍රකාශයට විවාදයක් ඉල්ලනවා. ඒක අද ම දෙන්න. මොනවද අද ආණ්ඩුවෙන් සම්මත කර ගන්න තියෙන්නේ.” ජනපති විමසුවේ ප්‍රසන්නගෙනි.
“සර් ලොකු දෙයක් නෑ” රෙගුලාසි කිහිපයකුයි පනතකුයි තමයි තියෙන්නේ.” ඇමැති ප්‍රසන්න පිළිතුරු සැපයුවේය.
“ආ එහෙනම් ඒක කලින් සම්මත කරලා විවාදය ඔවුන්ට දෙන්න.” ජනපති ප්‍රසන්නට කීවේය.
අයි.එම්.එෆ්. යෝජනා ගැන ප්‍රකාශය කිරීමෙන් පසු ජනපති පෙර කී ලෙසම විපක්ෂය විවාදය ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ එකඟතාව මත එදිනම විවාදය ආරම්භ වූ අතර දින තුනක් පුරා විවාදය පැවැත්විණි. ජනපති සිය ප්‍රකාශය කොට ආණ්ඩු පක්ෂ ලොබිය වෙත පිය නගද්දී මන්ත්‍රීවරු ඔහු වට කර ගත්හ. වටකර ගත් සැවොම කී පොදු කතාව වූවේ හොඳ කතාවක් කළ බවය.


“පරණ කතා අමතක කරලා හැමෝටම එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා කියපු එක හරි. මේ මොනවා කීවත් මේ අය එකතු වෙන්න එන්නේ නෑ. එයාලට තියෙන්නේ බල ලෝබය.” චාමර සම්පත් ඇමැතිවරයා කියද්දී ජනපති සිනාසෙමින් පිටත්ව ගියේ විපක්ෂයේ ලොබිය දෙසටය.
“ඔන්න මම ඉල්ලපු විදියටම ගිවිසුමත් දුන්නා. විවාදයත් දුන්නා.” ජනපති කීවේ සිනාසෙමිනි. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් ගිවිසුමේ පිටපතක් ඉල්ලා සිටි අතර ජනපති ඔහු අසල සිටි සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට කීවේ පිටපත් මුද්‍රණය කොට මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසටය.
“ගිවිසුම කලින්ම දුන්නා නම් මේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.” විපක්ෂ මන්ත්‍රීවරයෙකු කී විට ජනපති කීවේ ණය අනුමත වනතුරු ගිවිසුම පිටතට නොදෙන්නැයි අයි.එම්.එෆ් සංවිධානය ඉල්ලා සිටි බවයි.


“දැන් ඉතින් ඔක්කොම හරිනේ. දැන් ඔයාලට තියෙන්නේ මට සහාය දෙන්න. මෙතන විපක්ෂ නායකතුමාත් ඉන්නවානේ.” ජනපති කීවේ සජිත් ප්‍රේමදාස දෙස බලමිනි.
“මාර්තු මාසයේදීත් ලැබෙන එකක් නෑ කියලා තමයි විපක්ෂයේ අය බලාගෙන හිටියේ.” වජිර ඔලොක්කුවට කියද්දී ඇමැති ප්‍රසන්න කීවේ විදුලිබිල සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ හැසිරීමත් අයි.එම්.එෆ් ණය ලැබීම මාර්තු මාසය තෙක් ප්‍රමාදවීමට හේතු වූ බවය.
විපක්ෂ ලොබියේ වැඩි වේලාවක් ගත කරමින් විහිළු තහළු කරමින් ජනපති එහි රැඳී සිටියේය. පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙද්දී එහි පැමිණි මධූර විතානගේ ජනපතිට කීවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සම්බන්ධයෙන් වූ වරප්‍රසාද කාරක සභාවේ කටයුතු අවසන් බවය.
ඊට පිළිතුරු දුන් ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ද කීවේ ඔවුන් කර තිබෙන්නේ ජාතිවාදය අවුස්සන ක්‍රියාවක් බවය. ජනපති ඔවුනට කීවේ වරප්‍රසාද කඩවීමක් වී තිබේ නම් එය පාර්ලිමේන්තුව තුළින් විසදා ගන්නා ලෙසයි. එසේම තමන් ඊට මැදිහත් නොවන බවද ජනපති කියා සිටියේය. පසුව ඔහු ඉන් පිටව ගියේ තවත් වැඩකටයුතු කිහිපයකට සහභාගීවීමට ඇති බව කියමිනි.


ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් බාලදක්ෂිකා සංගමයේ 106 වැනි සැමරුමට එක්වූ අතර ඔවුන් ජනපතිට බාලදක්ෂිකා කොඩියක් ද පැළඳවූවේය. රාජ්‍ය වෙසක් උත්සවය හා හුණුපිටිය ගංගාරාමයේ වෙසක් කලාපය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනපති උපදෙස් මත පැවැත්වුනේ කාර්ය මණ්ඩල ප්‍රධානිගේ හා ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.


ජනපති සවස මහාමාන්‍ය ඩී.එස් සේනානායක ගුණ සමරුවට එක් වූ අතර එහිදී එදා පැවැති ණය නැති රට හා අද පවතින ණය ගැති රට සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති බොරැල්ල සංඝමිත්තා බාලිකා පාසලට ගියේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ජාතික උත්සවයට එක්වීමටය.
එහිදී ජනපති රනිල් අධ්‍යාපන ඇමති, ගුරුවරු සහ දෙමාපියන් ඉදිරිපිටදී කීවේ දිගින් දිගටම කඩාකප්පල්කාරි ක්‍රියා වෙන්නේ නම් පාසල් අත්‍යවශ්‍ය සේවයට ඇතුළත් කරමින් පනතක් පාර්ලිමේන්තුවට ගෙනෙන බවකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීමත්, ඉන් පසු රට තුළ ඇතිවන සංවර්ධන වැඩපිළිවෙළට සහාය ඉල්ලා සිටීමත් අරමුණු කර ගනිමින් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනපති සාකච්ඡාවක් පැවැත්වූවේ ජනපති ලේකම් කාර්යාලයේදීය. මාධ්‍ය ආයතන සියල්ලෙහිම ප්‍රධානීන් ඊට සහභාගී වී සිටි අතර ඔවුන් රටේ ණය ප්‍රතිව්‍යුගත කිරීම ආදී ගැටලු රැසක් ජනපතිට ඉදිරිපත් කළේය.


මාධ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රශ්නවලට ජනපති මෙන්ම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඇමති බන්දුල ගුණවර්ධන පිළිතුරු සපයනු ලැබූහ.

විපක්ෂය එකම මේසයට

අදාළ ගැසට් නිවේදනයක් නිකුත්වීමත් සමගම නීති සිසුන් බලවත් අසාධාරණයකට ලක් විය. ඒ පිළිබඳව අදාළ සිසුන් සහ විවිධ පාර්ශව විපක්ෂ නායක සජිත් කිහිප අවස්ථාවකදීම දැනුවත් කරනු ලැබීය. අවශ්‍ය සියලු‍ කරුණු සමග සජිත් පාර්ලිමේන්තුවට පැමිණි අතර උදෑසන ම ඔහු එම ප්‍රශ්නය අසනු ලැබීය.
ඒ සමඟම සභාව උණුසුම් මුහුණුවරක් ගත් අතර වහාම මේ පිළිබඳව ඡන්දයක් අවශ්‍ය යැයි සජිත් ඉල්ලා සිටියේය. බොහෝ දෙනෙක් එම ඉල්ලීම අනුමත කළ අතර ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.


මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ සිටි සියලු‍ දෙනාත් විපක්ෂනායකවරයාගේ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමය.
පසු දින පාර්ලිමේන්තුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ විවාදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූල්‍ය අරමුදල එවු එකඟතා ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.


ඒ අනුව වහාම එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එය නොමැතිව විවාද කොට පලක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව අදාළ ගිවිසුම පිළිබඳව විවාදයක් ඉල්ලා සිටියේ සජිත් ය. ඒ සමගම නැගී සිටී සිටි ආණ්ඩු පක්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ විවාදයක් ලබාදීමට තමන් සූදානම් බවය.
”‍ඔව් අපි දැන්ම විවාදය පටන් ගමු. අදම ඒක ඉවර කරමු”‍


සජිත් එහෙම කියන විට ආණ්ඩු පක්ෂය මුහුණින් මුහුණ බලා ගත්තේය.
ඒ වන වනවිටත් අදාළ ගිවිසුමට අදාළ සියලු‍ ලියකියවිලි සජිත් සතුව තිබුණි.
ඉමිතියාස් බාකීර් මාකාර් සමගි ජන බලවේගය සමග විරසකව සිටින බවට ඇතැම් ආණ්ඩු හිතවාදී මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබූ අතර එය සහමුලින්ම අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් පමණක් බව ඔප්පු කරමින් ඔහුද සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි විය. රාජිත සේනාරත්න ද ඊට එක්ව සිටියේය.
නීති විභාගය සඳහා ගෙන ඒමට නියමිත රෙගුලාසි පිළිබඳව එහිදී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාද සිය අදහස් ද ඉදිරිපත් කරනු ලැබීය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් මන්ත්‍රී රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
”‍ආණ්ඩුව ගෙන යන මේ මර්දනකාරී වැඩ පිළිවෙළ නතර කරන්න ඕනෑ. මැතිවරණ තියන්නේ නැහැ. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩදෙන්නෙ නැහැ. මේක බරපතළ මර්දනයක්.”‍


මහ ලේකම් රංජිත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කීවේය.
”‍අපි මේක ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කරමු. තානාපතිවරු කැඳවලා මේ තත්ත්වය පැහැදිලි කරමු”‍
කාවින්ද ජයවර්ධන එහෙම කියන විට ඊට අදාළ පහසුකම් සැපයීම භාර වූයේ ලක්ෂ්මන් ෆොන්සේකාට ය. හෙතෙම එක පයින් ඊට කැමැති වූ අතර, ඒ මොහොතේම කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක් ඒ සඳහා වෙන් කර ගත්තේය.
රටවල් 12 ක් නියෝජනය කරමින් සහභාගි වූ තානාපතිවරුන් ඇතුළු නියෝජිතයන් එම අවස්ථාවට එක්වූ අතර සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.


සජිත් තානාපතිවරුන් සියලු‍ දෙනා ළඟටම ගොස් ඔවුන් සමග සුහද පිළිසදරක යෙදුණේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මූලික අරමුණින් සාකච්ඡාව ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාව ගොඩනැඟීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා තනාපතිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.
විපක්ෂය විසින් කැඳවූ මෙවැනි සාකච්ඡාවකට මේ ආකාරයකට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
මේ අතර පසුගියදා විපක්ෂ නායක සජිත් සහ මහාචාර්ය ජී.ඇල් පීරිස් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
”‍ආණ්ඩුව අධිකරණයට බරපතළ විදිහට බලපෑම් කරනවා. මේ සම්බන්ධයෙන් අපි ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගිහිල්ලා මේ තත්ත්වය පරාජය කරන්න ඕනැ.”‍
ජී.ඇල් පීරිස් පක්ෂ නායක සජිත්ට යෝජනා කළේය.
”‍ඒ ගැන අපිත් කතා කළා. අදියර කීපයක් හරහා අපි මේ බලපෑම ආණ්ඩුවට කරමු”‍
සජිත් පිළිතුරු දුන්නේය.


අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව ආණ්ඩුව ගෙන යනු ලබන ක්‍රියාවලියට විරුද්ධව විපක්ෂයේ සියලු‍ පක්ෂ එකඟතාව පැමිණියේ ඒ අනුවය.
ඊට අදාළ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කිරීමේ කටයුත්ත පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
විපක්ෂයේ නියෝජිතයන් ඊට සම්බන්ධ කර ගැනීමේ වගකීම පැවරුණේ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධනට ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට කතා කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.
අදාළ ලියවිල්ලට අත්සන් තැබීමේ කටයුත්තට මුලින්ම පැමිණියේ මහාචාර්ය තිස්ස විතාරණ ය. ඔහු සිය අත්සන තබා පිටව ගිය අතර ඉන් අනතුරුව විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෝ පැමිණ අත්සන් තැබූහ

ජන බලවේගයට සම්බන්ධ  හමුදා නිලධාරීන්ට කෙනෙහිලි

ජාතික ජන බලවේගයට සම්බන්ධවී සිටින ඇතැම් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සිදුකරන කෙනෙහිලිකම් පිළිබඳව මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමට හා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ගිය සතියේදී එම පක්ෂය තීරණය කළේය.


විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට හා විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්ගේ සුභ සාධක කටයුතු අහිමි කිරීම හා යම් යම් තහනම් පැනවීම පිළිබඳව පක්ෂයේ නීතිඥ මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
විශ්‍රාමික හමුදා නිලධාරින් දේශපාලනයේ යෙදී සිටීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලැබූවත් ජාතික ජන බලවේගයට සම්බන්ධ වූ නිලධාරින් සම්බන්ධයෙන් යම් යම් සීමා පැනවීම සාධාරණ නොවන බව මෙහිදී නීතිඥ කමිටුවේ අවධානයට යොමුවිය.


විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරි සාමුහිකයක් දේශපාලන පක්ෂයකට සම්බන්ධවී සංවිධානයක් ලෙස කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. දේශපාලන පක්ෂ ගණනාවක් මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථකවී ඇති බවද නීතිඥ මණ්ඩලයේ අදහස වී තිබුණි.
මීට අමතරව විගණකාධිපතිවරුන්ගේ හා ගණකාධිකාරිවරුන්ගේ සමුළුවක් ගිය සතියේ දී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි. විශ්‍රාම ලබා සිටින හා දැනට සේවයේ සිටින විගණන අංශ හා ගණකාධිකාරී අංශවල නිලධාරිහු මේ අවස්ථාවට සහභාගිවී සිටියහ.
1977 න් පසු විවෘත ආර්ථිකය මගින්ද සුනාමි ආධාරවලින් හා යුද්ධයෙන්ද, කෝවිඩ් උවදුරෙන්ද ගසා කෑම් විශාල වශයෙන් සිදුවූ බව ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා දැනටත් අල්ලස, දූෂණ නැති නොකර රට සංවර්ධනය කිරීමට හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.


ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය පාලනයට එරෙහිව හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මූලික කර ගනිමින් 26 වැනිදා පානදුර නගරයේද ලබන 2 වැනිදා හලාවතදීද මහජන රැලි පැවැත්වීමට තීරණය කර ඇත.

අධිකරණ ඇමතිට කරූ ගෙන් ඇරයුමක්

මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිඳව තම සංවිධානය ඉමහත් සතුටට පත්වන බව කරු ජයසූරිය මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත්තේ ඒ ගැන අමාත්‍යවරයා දැක්වූ උනන්දුව ද අගය කරමිනි. එහිදී කරු සඳහන් කර ඇත්තේ රට ඇදවැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට නම් පළමුව නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂණය රටින් තුරන් කිරීමට උපරිම ලෙස කටයුතු කළ යුතුව ඇති බවය. ඒ අනුව දූෂණ විරෝධී නව පනතක අවශ්‍යතාවය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උපරිම ලෙස උනන්දු වෙමින් ඉහළම මැදිහත්වීමක් කළ බව සිහිපත් කර ඇති කරු තමා ඉදිරි සතිය යොදාගන්නේ නව කෙටුම්පත අධ්‍යයනය කිරීමට බව සඳහන් කර ඇත.


ඒ අනුව පනත් කෙටුම්පත අධ්‍යයනය කර ඊට ඇතුළත් කළ යුතු සංශෝධන ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම තම අපේක්ෂාව බව සඳහන් කර ඇති කරු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ දූෂණ විරෝධී අනුකමිටුව මේ දිනවල එය සිදු කරමින් සිටින බව අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත. එහිදී කරු අධිකරණ අමාත්‍යවරයාට ආරාධනයක් ද සිදු කර තිබේ. එනම් නව පනත් කෙටුම් පත පිළිබඳව තම සංවිධානය මගින් සිදුකරන අධ්‍යයනයෙන් අනතුරුව සිවිල් හා විද්වත් වෘත්තිකයන් සමග සිදුකරන ගුණදොස් විපරමට අධිකරණ අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින් ඊට ඇහුම්කන් දෙන ලෙසටය.

ගජබා