අගමැතිට වූ අකරතැබ්බය


ආහාර හිඟයත්, මන්දපෝෂණයත් රට බරපතළ තැනකට තල්ලු‍ කරමින් තිබේ. ඒ සඳහා ​ෙවන නිශ්චිත විසඳුමක්, නිශ්චිත වැඩපිළිවෙළක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැත. ඒ වෙනුවට දකින්නට, අසන්නට ලැබෙන්නේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලන සංවාද, බැණ අඬගසා ගැනීම සහ විවේචන පමණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේ දී රැස්විය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු රැසක් ඊට සහභාගී වූහ. ජාතික සභාව පත්කිරීම, වී මිලදී ගැනීමේ අර්බුදය මෙන්ම, විහාරස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු‍කාරී තත්ත්වය ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. සාකච්ඡාව ආරම්භ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ සියලු‍ම කැබිනට් ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට විසිවැනි දා සිට විසිතුන් වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති බවය. යෝජිත ජාතික සභාව පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා පැහැදිලි කළේය. ‘‘පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂවලට ඉන්නේ මන්ත්‍රීවරුන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ දෙනාට මෙහි අවස්ථාව දිය යුතුයි කියන මතයක් ඇවිල්ල තිබෙනවා”‍ යැයි අගමැති දිනේෂ් කීවේය. ඒ අනුව ජාතික සභාවේ මන්ත්‍රී සංයුතිය ඉහළ දැමිය යුතු යැයි ඔහු යෝජනා කළේය.
විහාරස්ථානවල විදුලි බිල වැඩිවීම මේ වන විට රටේ බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද එළියට බැස විරෝධය පළ කරන්නට පටන් ගැනීම ආණ්ඩුවට එතරම් ගුණදායක නොවේ. මේ ගැන මතු කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ඔහු කීවේ පන්සල්වල ඇතිව තිබෙන මේ අර්බුදය ලොකු ගැටලුවක් විය හැකි බැවින් සහනයක් ලබා දෙන්න කියාය. ඊට උත්තර දුන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂය. ඔහු කිව්වේ මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැතිවරයා සමගත්, විදුලි බලමණ්ඩලය සමඟත් කතා කරමු කියාය.


අනතුරුව ජගත් කුමාර වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය විස්තර කළේය.
“යල කන්නයේ වී අස්වනු ගන්න රාජ්‍ය බැංකු සල්ලි දෙන්නේ නැහැ කියලා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා. මෙහෙම ඉඳලා ගොවියා ශක්තිමත් කරන්නේ කොහොමදැ’යි ඔහු ප්‍රශ්න කළේය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඇමැති අමරවීරගෙන් විමසා සිටියේ ‘ඉල්ලපු මුදලින් කොටසක් ලැබුණා නේද?’ කියාය. ‘සතයක්වත් ලැබුණේ නෑ’ යයි අමරවීර කීවේය. මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල කළේ වී මෝල් හිමියන්ට සහ රාජ්‍ය බැංකුවලටය. ‘මේක පිටිපස්සෙත් ඉන්නෙ මහා පරිමාණ වී මෝල්කාරයො. මගේ කාලෙත් මෙහෙම වුණා. රාජ්‍ය බැංකු සල්ලි දෙන්නෙ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විතරයි. වී අලෙවි මණ්ඩලයට දෙන්නේ නැහැ”‍ ඔහු කීවේය. අමරවීර කීවේ දැනටමත් සති දෙක තුනක්ම පරක්කු වී ඇති බවය.


බදු ආදායම වැඩිකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් ​ෙවන නිසා මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කැඳවනු ලැබ සිටියේය. බදු ආදායම් වැඩිකර ගැනීම ගැන පැහැදිලි කළේ මහින්දානන්ද ය. ඔහු පැමිණ සිටියේ බදු ආදායමට අදාළව ලිපිගොනු රැසක් ද රැගෙනය. බදු ෆයිල් වැඩි කරන්න ඕනැ. ඒක නිසා අපි ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ 225 ෆයිල් විවෘත කරලම පටන් ගමු, යැයි මහින්දානන්ද යෝජනා කළේය. ඒ සමගම මහින්දානන්ද බදු ගැන දීර්ඝ විග්‍රහයක් ද කළේය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කීවේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළ ලබන පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බවය.
ටියුෂන් ගුරුවරුන්ගෙනුත් බදු අය කරන්න යැයි ඩයනා ගමගේ කීවාය. ත්‍රීවිල් රියදුරන්ගෙන් ද බදු අය කර ගත යුතු බව ඇය කීවාය. මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කළහ. ඔවුන් කීවේ ‘අපෝ ඕව නම් කරන්න බැහැ’ යනුවෙනි.

 

 

අගමැතිට ප්‍රශ්නයක්

ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමතිවරුන් අලු‍තින් පත් වූ විට පන්සල්, පල්ලි, කෝවිල්වලට ගොස් ආශිර්වාද ලබා ගැනීම රටේ සාමාන්‍ය සම්ප්‍රදායකි. බොහෝ දේවල් සිදු​ෙවන්නේ ප්‍රදර්ශනාත්මකව මිස ඔය කියන අනුශාසනා ලබා ගැනීමට නොවන බව පසුගිය දශක ගණනාව තුළ පැහැදිලිව දකින්නට ලැබෙන්නකි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද ඉකුත් සතියේ අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ ඒ අනුව යමිනි. අගමැතිවරයා මිහින්තලේ රජමහා විහාරයට ගියේය. විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නව අගමැතිවරයාට ධාතු කරඬුව ද හිස මත තබා ආශිර්වාද කර අනුශාසනාවක් කළේ අවට සිටි අය පමණක් නොව අගමැතිවරයා ද පුදුමයට පත් කරවමිනි. හාමුදුරුවන්ගේ අනුශාසනාව අසා දිනේෂ්ට සිතෙන්නට ඇත්තේ ආවාට වඩා නාවානම් වැඩිය හොඳයි කියාය. දේශපාලනඥයන් කියන දේවල්වල ඇත්ත මෙන්ම බොරුව ද උන් වහන්සේ දිගින් දිගටම පැහැදිලි කළේ එහි සිටි මැති ඇමැතීන් කිහිපදෙනකු ද උදාහරණයට ගනිමිනි.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතුවලට ඉකුත් සති අන්තයේ දිවයිනෙන් බැහැරව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. පිටරට රැඳී සිටින කාලය වෙනුවෙන්, ඔහු යටතේ ඇති අමාත්‍යාංශවල රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු වැඩබලන ඇමැතිවරුන් ලෙස පත් කළේය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද, ගීතා කුමාරසිංහ වැඩබලන කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරයා වශයෙන් ද, රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙස ද දිලු‍ම් අමුණුගම, ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස ද පත් කරනු ලැබූහ. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව යද්දී සිය වගකීම් රාජ්‍ය ඇමැතිවරුන්ට පැවරීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ප්‍රසාදයක් පළවිය.

 

නිදහස ඉල්ලා ඩලස් - ජී.එල්. පාරට

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ නිදහස ජාතික සභාවේ ඩලස් ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව නොලැබීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද දිගින් දිගටම කතා කළත් තවමත් විසඳුමක් නැත. නාවල තුන්වෙනි පටුමගේ නිදහස ජාතික සභා කාර්යාලයේ දී ඉකුත් සතියේ රැස් වූ ඩලස් ජීඑල් ඇතුළු කණ්ඩායම මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන සාකච්ඡා කළහ. පාර්ලිමේන්තුව තුළ කතාකරන්නට වේලාව නොදෙන්නේ නම් ඡනතාව හමුවට ගොස්, අසාධාරණය කිව යුතු බව නාලක ගොඩහේවා කීවේය. ඒ අදහස පිරිස අනුමත කළහ. ඒ අනුව පහුවදාම පාර්ලිමේන්තුව ඉදිරිපිට ක්‍රීඩාංගණයට ගොස් මාධ්‍ය හමුවක් පවත්වා, සිදුව ඇති අසාධාරණය ජනතාවට කියන්නට ඔවුහු තීරණය කළහ. පහුවදා උදේ පිරිස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුව සිය කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කතා කරන්නට අවස්ථාවක් නොදෙන බව කීහ.
අනතුරුව පිරිස සාකච්ඡා කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයටත් අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් පැමිණිලි කිරීමටය. එම කටයුතු භාර ගත්තේ මහාචාර්ය ජීඑල් පීරිස්ය. පොහොට්ටුවේ සභාපතිවරයා ලෙස ජී.එල්. නෙළුම් මාවත කාර්යාලයේ වත් එතරම් වැඩ කොටසක් කර නැත. නමුත් මේ දිනවල ඔහු වැඩිපුර සිටින්නේ නාවල කාර්යාලයේය.


පොහොට්ටුවේ වෘත්තීයවේදීන් ‘නිදහස ජාතික සභාවට’ එක්කර ගැනීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු වෘත්තිය සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන විජිත හේරත් නාවල කාර්යාලයට පැමිණ ඩලස්ලගේ කණ්ඩායමට එක් විය. එහිදී විජිත කියා සිටියේ තමන් ඇතුළු වෘත්තියවේදීන් පිරිසක් ඩලස්ලාගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බවය.

 

වසන්ත බැලීමේ ඩලස්ගේ ගමනට පොලිසිය හරස් වෙයි

ආරක්ෂක අංශ භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බලන්නට තංගල්ලට යාමට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉකුත් සතියේ සූදානම් වුවද පොලිසිය ඊට ඉඩ නුදුන්නේය. වසන්ත මේ ​ෙවන විට සිටින්නේ තංගල්ලේය. ඩලස් සූදානම් වුණේ තංගල්ලට ගොස් ඔහු බලන්නටය. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ ඒ සඳහා අවස්ථාව නොදෙන බවය. මේ ආකාරයටම මීට පෙර රිමාන්ඩ් භාරයේ සිටි දමිතා අබේරත්න නිළිය බැලීමට ද ඔහු ගියේය. සාමාන්‍යයෙන් දේශපාලන කටයුතුවලට සමාජීය කටයුතුවලට ඔහු බිරිය සහභාගී කර නොගත්ත ද ඩලස් එදින දමිතා බලන්න ගොස් තිබුණේ සිය බිරිය ප්‍රදීපා ධර්මදාස සමඟය.

මෛත්‍රී වේවැල අතට ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමැතිධුර හා රාජ්‍ය ඇමතිධුර භාරගත් හයදෙනෙකු ඉකුත්දා එම තනතුරුවලින් ඉවත් කළේය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක යන හය දෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කරනු ලැබීය. මේ අතර ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලට නායකයන් පත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කෙරිණි. මේ තීරණ ගනු ලැබුවේ ඉකුත්දා මෛත්‍රීගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. මේ අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, මේ සති අන්තයේ ගාල්ලේ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට ද තීරණය විය. ඒ අනුව එදින උදේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් උදේ කාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, හවස් වරුවේ හිනිදුම ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීමට තීරණය විය. සංවිධාන කටයුතු ශාන් විජයලාල් සිල්වා මන්ත්‍රීවරයාට පැවරිණි.

 

ලොව දිනූ ගුරුවරයා අසිත්, සජිත්ට හමු වූ කතාව!

ඉන්දියාවේ පැවති වසරේ ගුරුවරයා ජාත්‍යන්තර තරගයට අපේ රට නියෝජනය කරමින් සහභාගි වූ අසිත් මුතුකුමාරණ ගුරුතුමා ඉන් ජයග්‍රහණය කරනු ලැබීය.
අසිත් මුතුකුමාරණ කීර්තිමත් ගුරුවරයෙකි. ගුරු වෘත්තියට පිවිස අවුරුදු 7 ක් වැනි කෙටි කලක දී හා වයස අවුරුදු 32 දී ඔහු 2018 වසරේ ලංකාවේ විශිෂ්ටතම ගුරුවරයා වන්නේ අනිකුත් ගුරුවරු අතරිනි. 2019 වසරේදී ඔහු අවංකතම රාජ්‍ය සේවකයන් 10 දෙනා අතරට පිවිසෙන්නේ ද ගුරුවරයකු වශයෙන් ලබා දුන් සිය දායකත්වය නිසාය.
එම උත්සවයට යාමට අසිත්ට අපහසු බව සජිත්ට වාර්තා වීය. මේ පිළිබඳ සොයා බැලූ සජිත් අදාළ ප්‍රශ්නය She පදනමට දැනුම් දුන්නේය. She පදනම යනු සමාජ සත්කාරමය වැඩසටහන්වලට සම්බන්ධ වන සංවිධානයකි. එය ජලනි ප්‍රේමදාස මහත්මියගේ සංකල්පයකි. මීට වහාම මැදිහත් වූ ජලනි ප්‍රේමදාස අසිත්ට අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු‍ පහසුකම් සැලසීය.
ඒ අනුව දින දෙකක් ඇතුළත අසිත්ගේ අවශ්‍යතාව සම්පූර්ණ විය. ලොව හොඳම ගුරුවරයා සම්මානය ලබා ගැනීම උදෙසා යාමට අවශ්‍ය මුදල් ලබා දීමට සජිත් මැදිහත් වූයේ එහෙම ය.
“ලෝකයේ හොඳම ගුරුවරයා වෙලා රටට කීර්තියක් ගේන්න”‍ සජිත් ඔහුට සුබපැතුම් එක් කළේය. “මම දුෂ්කර පාසලක සේවය කරන්නේ.
මම ගොඩක් දුක් මහන්සියෙන් ජීවත් වෙමින් කුප්පි ලාම්පුවේ එළියෙන් පාඩම් කරපු කෙනෙක්. අත දෙන්න කිසිවකුත් හිටියේ නැහැ. මම සාමාන්‍ය පෙළ විභාගයට ගියේ එකම නංගිගේ මිනිය ගෙදර තියෙද්දී. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙලා දින තුනක් යද්දි මගේ නංගි හදිසියේම මිය ගියා. පසුදින ගණිතය. නංගි මැරුණ බව නොකියා විදුහල්පතිතුමා එදා මාව එයාලගේ ගෙදර එක්ක ගෙන යනවා. මම පසුදින හොඳට විභාගය ලියලා ගෙදර යනකොට නංගිගේ මිනිය. නංගිගේ මිනිය ගෙදර තියාගෙන මම පාසල් ගියා; විභාගය ලිව්වා; ගෙදර ආවා. එච්චරයි මට මතක. එහෙම ඉගෙන ගෙනයි මම පස්සේ ගුරුවරයෙක් වුණේ” අසිත් කීවේය.
“මේ තරඟය ගැන කියලා මම ෆෙස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා. ගොඩක් අය ඒ ගැන උනන්දු කළා. නමුත් මේ ගමන යන්න උදව් කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. මේක දැනගත්ත ගමන් විපක්ෂ නායකතුමා මැදිහත් වුණා. She පදනම හරහා මගේ ගමනට අවශ්‍ය කරන සියලු‍ මුදල් ලබා දුන්නා. මේක රටේ සමස්ත ගුරු සංහතියටම කරපු මහා විශාල උපහාරයක්.”‍ අසිත් කීවේය.


අනතුරුව ඉන්දියාව බලා පිටත් වූ අසිත් එහිදී ආසියාවේ හොඳම ගුරුවරයා ලෙස සම්මානනීයත්වයට පත් විය.
මේ බව දැනගත් වහාම සජිත්ට දැනුණේ අප්‍රමාණ සතුටකි.
“රටට මහත් කීර්තියක් අත්කර දුන් ඔබට උණුසුම් සුබපැතුම් පිළිගන්වමි. දක්ෂ තරුණ ගුරුවරයකු වන අසිත් මුතුකුමාරණ මහතා, දුෂ්කර යැයි සම්මත පාසල් තුළ ශිල්ප හදාරන දරුවන් වෙනුවෙන් අති මහත් මෙහෙවරක් කරන අපූර්ව ගුරුවරයෙකි.
එතුමාට මෙම තරගාවලියට සහභාගිවීම ගැටලු‍වක්ව පැවති අවස්ථාවේ එතුමාට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීම උදෙසා මැදිහත් වීමට ලැබීම අප ලද භාග්‍යයකි. අපේ රට ගොඩනැඟිය හැක්කේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයන් පළ කළ හැකි, කුසලතාවය හැකියාව මෙන්ම කැපවීම ද සහිත අපූරු මානවයින්ගෙනි.
එවන් උදාර චරිත රටට මහත් අභිමානයකි. මෙවැනි අති දක්ෂ ගුරුවරුන් ඇතුළු වෘත්තිකයින් අපේ රටේ තව බොහෝ සිටින අතර ඔවුන්ව ආරක්ෂා කිරීමත් ඔවුනට ශක්තිය ලබා දීමත් අප සියලු‍ දෙනා සතු වගකීමකි.”‍


සජිත් එහෙම ෆෙස්බුක් සටහනක් තැබුවේ ය.
විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ විශේෂ කටයුතු දෙකකට සහභාගි විය.
සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක කරන ”‍හුස්මක්”‍ වැඩසටහනේ, 52 වැනි පියවර ලෙස රුපියල් තිස්පන් ලක්ෂයක් (රු.35,00,000) වටිනා Dialysis යන්ත්‍රයක් අම්පාර රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාව ඉන් එකකි.


මීට පෙර අවස්ථා 51ක දී ලක්ෂ 1562ක (රුපියල් 156,216,900) රෝහල් උපකරණ ලබාදීමට “හුස්මක්”‍ තුළින් සමගි ජන බලවේගය කටයුතු කර තිබිණි.
‘වසර 74ක් උනුත් එකයි මුනුත් එකයි’ මේ සියලු‍ දෙනා රට විනාශ කළ බවත් ‘පාර්ලිමේන්තුවේ 225ම එකයි’ යනුවෙන් මිනිසුන් පැවසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවෙන් බැහැරව තට්ටු මාරු දේශපාලන ක්‍රමය වෙනුවට රාජ්‍ය බලය ඇතුව හෝ නැතිව ජනසමාජයට ශක්තියක් වීමට වත්මන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කර ඇතැයි සජිත් එහිදී පැවසීය.
“මේක මහ උතුම් පින්කමක්. විපක්ෂනායක තුමනි අපි දන්න ඉතිහාසයේ කවදාවත් මේ වගේ මහා කාර්යභාරයක් විපක්ෂයක් කරලා නෑ. ආණ්ඩුව වත් නොකරන වැඩ කොටසක් ඔබතුමා හුස්මයි සක්වලයි හරහා කරල තියනවා”‍
අම්පාර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම සජිත්ට පැවැසූහ.
විශේෂයෙන්ම රෝහල්වල කාර්ය මණ්ඩලය වෙතින් විපක්ෂ නායකවරයාට හිමි වුණේ විශාල ප්‍රසාදයකි.
ඊට පසුදා සජිත් තවත් කටයුත්තක් සිදු කළේය.


ඒ මොනරාගල රාජකීය විද්‍යාලයට ලක්ෂ 46ක වටිනා බස් රථයක් ප්‍රදානය කිරීම ය.
සක්වල වැඩසටහනට සමගාමීව 34 වැනි බස් රථය මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.
“ඔබතුමා මෙච්චර වැඩ කොටසක් කරනවා. මේ කරන වැඩ ගොඩක් අය දන්නෙ නෑ. ඒ ගැන කියනවට වඩා විවේචන කරන එක ඒ අයට පහසු නිසා.”‍ ගුරුවරු සජිත්ට කීහ.
“විපක්ෂනායක තුමනි ඔබතුමා කරන මේ මෙහෙවර ඒකාන්තවම ඉතිහාසගත වෙනවා”‍
විදුහලේ දරුවෝ පැවසූහ.


අනතුරුව විද්‍යාලයේ නිරීක්ෂණයක යෙදුණු සජිත් පාසල් දරුවන් සමඟ ක්‍රිකට් සහ නෙට්බෝල් ක්‍රීඩා කිරීමට ද අමතක නොකළේය.
“සමාජ සත්කාර වැඩ කරලත් විවේචනය කරනවා කියලා කියන්නේ ඒ නම් ගුණයක් නොදන්න මිනිස්සු”‍
පාසලේ ගුරුවරයෙක් සජිත්ට ළංවී පැවසීය.
“නිදහස් අධ්‍යාපනයට අතීතයේ බොහෝ අය විරුද්ධ වූණා. නිදහස් අධ්‍යාපනය නිසා කම්කරුවන් නැති වෙනවා කීවා. රටේ අයවැයට බරක් ​ෙවන බවත් කීවා. හැබැයි කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය ජය ගත්තා. ප්‍රථිඵලයක් ලෙස රාජ්‍ය පාසල් 10110ක් හරහා ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනය තුළින් 43 ලක්ෂයකට ආසන්න දරුවන් පෝෂණය වෙනවා”‍ සජි කීවේය.


විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් තවත් විශේෂ ප්‍රජාවක් හමුවිය. ඒ, “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන”‍ වැඩසටහනේ පියවරක් ලෙස ස්ත්‍රී, පුරුෂ සමාජ භාවය සහ LGBTIQ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව හමුවකි.
සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ, ලිංගිකත්වය හා ස්ත්‍රි/ පුරුෂභාවයේ දිශානතිය යනු කෙනෙකුගේ පෞද්ගලික කාරණාවක් මිස ඒ මත ඔවුන් වෙනස්කොට සැලකීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි. එමෙන්ම, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියලු‍ මනුෂ්‍යයන්ට සමාන ලෙස සැලකිය යුතු බවත්, සියලු‍ ආකාරයේ විවිධත්වයන්ට ගරු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

 

ජවිපෙ නායකයා සංචාරක දින සාකච්ඡාවකට

සංචාරක දිනය වෙනුවෙන් අනිද්දා (27) කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වේ. සංචාරක හෝටල් හිමියන් එම ආයතනවල අධ්‍යක්ෂවරුන් සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇත.
සංචාරක ව්‍යාපාරයේ නියුතු ඉහළ පෙළේ කණ්ඩායමක් පසුගිය සතියේ දී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාවට සහභාගි ​ෙවන ලෙසට ආරාධනා කර තිබුණි. ව්‍යාපාරික මුදිත නානායක්කාර මහතා මෙම අවස්ථාව සම්බන්ධීකරණය කර තිබුණි. එහිදී සංචාරක ක්ෂේත්‍රයට මුහුණ පෑමට සිදුවී තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත. සංචාරක ව්‍යාපාරය රටට ඩොලර් ගෙන එන ඉහළම මාර්ගයක් බවට පත් කළ හැකි සැලසුම් සකස් කර ඇති බව ද මෙහිදී පෙන්වා දී ඇත.
මේ අතර කැනඩාවේ මහ කොමසාරිස්වරයා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතා කර ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය. ඒ අනුව කැනඩා මහකොමසාරිස්වරයා ජ.වි.පෙ. නායකයා හමුවී කතා බස් කළ අතර ඔහු තම සේවා කාලය නිමවී ආපසු යන බව ප්‍රකාශ කර සිටියේය. ඔහුගේ සේවාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඔහුට විශේෂ ත්‍යාගයක් ද පිරි නැමුවේය.


හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලබන 25 වැනිදා අකුරැස්සේ පැවැත්වෙන ආසන සමුළුව සංවිධානය කිරීමේ වැඩ කටයුතුවල යෙදී සිටියේය. එදින ජනතා විමුක්ති පෙරමුණේ සිට අකුරැස්ස සංවිධායක මණ්ඩලය හා ආසන සංවිධායක සභාව හඳුන්වා දීමට නියමිතව ඇත.


‘‘රාජ්‍ය ආයතන විකුණන කතාවේ සඟවන ඇත්ත’’ යන තේවාව මත පසුගියදා පදනම් ආයතනයේ දී පැවැති සම්මන්ත්‍රණයේ දී අනුර කුමාර දිසානායක මහතා කළ කතාවට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණි. මෙවැනි සම්මන්ත්‍රණ යළිත් රටපුරා පවත්වන ලෙසට ද මෙහිදී පක්ෂ සාමාජිකයන් නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබුණි.

 

 

ආගමික ස්ථානවල විදුලි ප්‍රශ්නයට කරුගෙන් යෝජනාවක්

වැඩි වු විදුලි බිල පිළිබඳව පොදු සමාජය තුළ පවත්නා අසහනකාරී තත්ත්වයට අමතරව ආගමික නායකයන් වෙතින් ද බරපතළ විරෝධයක් මතුවෙමින් පවතී. එහිදී මහා සංඝ රත්නය ප්‍රමුඛ බොහෝ ආගමික නායකයන් කරු ජයසූරිය අමතමින් මේ තත්ත්වය තුළ ආගමික ආයතන පවත්වාගෙන යාමේ දුෂ්කරතාව පැහැදිලි කර ඇත.
සියලු කරුණු සලකා බැලූ කරු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස මේ මොහොතේ ගතහැකි පියවර පිළිබඳව විදුලි බල මණ්ඩලය මෙන්ම රජය ද දැනුවත් කරන්නට විය. එහිදී කරු යෝජනා කරන්නේ මෙරට පිහිටි බොහෝ පන්සල්, කෝවිල් හා අනෙකුත් දේවස්ථාන සඳහා සූර්ය තාප පැනල මගින් විදුලි බලය ජනනය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කළයුතුව ඇති බවයි.

 

ගජබා