22 වැනි සංශෝධනයත් රිවස්?


විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය කාලයේ දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් වූ මාතෘකාවකි. ආණ්ඩුව, විපක්ෂය මෙන්ම සිවිල් සංවිධාන යයි කියාගන්නා සංවිධාන ද මේ සම්බන්ධයෙන් රට පුරා දැඩි මතයක් ගෙන ගියේය. එහෙත් මේ ​ෙවන විට ඒ සම්බන්ධයෙන් තිබූ උනන්දුව දේශපාලන කරළියෙන් තරමක් ඈත්වෙමින් තිබෙන බව පිළිගත යුතු සත්‍යයකි.

මේ මාතෘකාව ඉකුත්දා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි කතාබහට ලක් විය. රැස්වීම පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ ය. අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන්ම, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද ආණ්ඩුවේ මැති ඇමතිවරු ද ඊට සහභාගි වූහ. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන්, වෙනත් මාතෘකා කිහිපයක්ද කතාවට ලක් විය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමාජ ආරක්ෂණ බදු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ අතර, රබර් ආශ්‍රිත නිෂ්පාදන ලංකාවට ගෙන ඒම වැළැක්වීම සඳහා විශේෂ බද්දක් පනවන්නැයි රමේෂ් පතිරණ ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. මේ අතර සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කිව්වේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින්, ඊට සහාය දෙන ලෙසය. ආචාර්ය බන්දුල ගුණවර්ධන කීවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නම් ඕන තරම් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ කියාය.


මේ කතාබහ යද්දි මැදට පැන්නේ එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයා ය. ඔහු කෙළින්ම මාතෘකාවට බැස්සේය. “මොකක්ද මේ විසිදෙවැනි සංශෝධනයක් ගෙනල්ලා කරන්න හදන්නේ. ජනාධිපතිගේ බලතල අයින් කරලා මොකක්ද මේ කරන්න යන්නේ.’ එස්.බී. දිගු දේශනාව පටන් ගත්තේ එසේ කියමිනි. ඔහු විධායක ජනාධිපති බලතල සම්බන්ධ අතීත කතාද ඉදිරිපත් කරමින් සිය පැහැදිලි කිරීම කළේය. 88-89 කාලේ භීෂණය නැති කරන්න හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයාට හැකියාව ලැබුණෙත් විධායක ජනාධිපතිකම නිසයි. මහින්ද රාජපක්ෂ මහත්තයට එල්ටීටීඊ යුද්ධය අවසන් කරන්නත් විධායක ජනාධිපති ක්‍රමය ලොකු හයියක් වුණා. මාස කීපයකට කලින් අරගලකරුවෝ කියලා කට්ටියක් පාර්ලිමේන්තුව අල්ලන්න හදද්දි ඒක වළක්වාගන්න පුළුවන් වුණෙත් විධායක බලය නිසයි. විධායක බලය අත්හරිනවා නම් රට අරාජික වෙනවා. දැනටමත් පැසිස්ට්වාදී අනතුරක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ව්‍යස්ථා සංශෝධනය ගේන්න ඕන නෑ කියලයි.’ එස්.බී. සුපුරුදු ආවේගශීලී ස්වරයෙන් කියා සිටියේය.


එස්.බී.ගේ කතාවට උත්තේජනය සපයමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා අදහස් දැක්විය.”‍ අපි මේ පනතට විරුද්ධයි. අපි 19ට ඡන්දෙ දුන්නා. පස්සේ දහනවය එපා කියලා 20 ගෙනාවා. දැන් ඒක එපා කියලා 22 ගේනවා. අපි මේකට එකඟ වෙන්නේ කොහොමද? අපි රෙද්දක් ඇඳගෙන මේවට ඡන්දෙ දෙන්නෙ කොහොමද”‍ සාගර කීවේය.


සාගරගේ ප්‍රකාශය ඇවිලෙන ගින්දරට පිදුරු දැමීමක් වැනි විය. ඔහු නැවත කතා කළේය. ‘මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහක් විතර කතා කළා. එයාල මේකට විරුද්ධයි. ඒක නිසා මේක ගෙනල්ලා පාර්ලිමේන්තුවේ පැරදුනොත් එක ගෙනාපු කෙනාම වගකීම බාරගන්න ඕන’ යැයි කියමින් සාගර හින්ට් පාස් කළේ විජයදාස රාජපක්ෂ ඇමතිවරයාට ය. සිසිර ජයකොඩි අදහස් දක්වමින් කීවේ සාගරගේ අදහසට සමාන අදහසකි. ඒ සමග ම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සාගර ගේත් එස්බී ගේත් කතාවලට පිළිතුරු දෙන්නට විය. මේක මගේ පෞද්ගලික අවශ්‍යතාව මත ගෙනාපු දෙයක් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලය අනුමත කරපු එකක්. මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලෙ අනුමත කරපු එකක්. විජේදාස කීවේ එය සම්මත කර ගැනීම සඳහා සහාය දක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරමිනි. අනතුරුව ජනාධිපතිවරයා ද ඊට මැදිහත් විය. ඔහු ඉදිරිපත් වූයේ ඇතිව තිබෙන මත ගැටුම සමථයකට පත් කරන්නට ය.”‍ මේක කාගෙවත් පෞද්ගලික දේකුත් නෙමේ. මේ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ දී ආපු එකක්. එදා පැවති පක්ෂනායක රැස්වීමේදී මුලසුන ගත්තෙ මම. ඔබතුමාලා ඇත්තෙන්ම මේ සංශෝධන ගැන දැනුවත් වීමක් නැත්නම් අධිකරණ ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ කටයුත්ත මම සභානායකතුමාටයි, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තුමාටයි පවරන්නම්.’ ජනාධිපතිවරයා කීවේය.


එතෙක් නිහඬව හිටපු සරත් වීරසේකර මන්ත්‍රීවරයා ද මේ වාදයට සම්බන්ධ විය.”‍ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණේ අලු‍ත් ව්‍යවස්ථාවක් ගේනවා කියලයි. සංශෝධන ගේන්න නෙමේ. අලු‍ත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. ඒකෙ වාර්තාවත් ඇවිල්ලා තියෙන්නෙ. මේ සංශෝධන ගැන නෙමේ අලු‍ත් ව්‍යවස්ථාවක් ගේන්නයි බලන්න ඕන.’ සරත් වීරසේකර කීවේය. ඔහු කීවේ ආණ්ඩුකාරවරයාගේ බලතල තියෙනවා නම්, පළාත් සභා බලතලත් තියෙනවා නම්, ජනාධිපතිගේ බලය අඩු කළොත් ගැටලුවක් මතුවෙනවා කියාය. මේ කතාබහ අවසන් වූයේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වගකීම විජයදාසට පවරමිනි. ඒ අනුව දැනුවත් කිරීමේ හමුව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී පවත්වන්නට තීන්දු විය.


මේ අතර ජනාධිපතිවරයා මාතෘකාව වෙනත් අතකට යොමු කළේය. පාර්ලිමේන්තුවේ අපිට වාසි සහගත මාතෘකා ගැන ඔබතුමාලා කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව වටලනවා කියලා ලාල්කාන්ත එදා කිව්වා. ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේලා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ”‍ යැයි ජනාධිපතිවරයා කීවේය.
කතානායකතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් යෝජනාවක් ගේන්න කියලා මම සභානායකතුමාටයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාටයි කියනවා යැයි ජනාධිපතිවරයා කීවේ සුසිල් ප්‍රේමජයන්ත සහ ප්‍රසන්න රණතුංග දෙන්නා පෙන්වමිනි.
කලින් යොදාගත් පරිදි 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. පාර්ලිමේන්තුවේ කමිටු ශාලා එකේ පැවති මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් විස්සකට තිහකට වඩා සහභාගී වූයේ නැත. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ රාජ්‍ය ඇමැති අනුරාධ යන දෙදෙනා ද ඊට සම්බන්ධ වූහ. සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙන්ම එම සංශෝධන ගෙන ඒමට මූලික වූ හේතු කාරණා ගැනද විජයදාස පැහැදිලි කළේය. මේක හිටපු ජනාධිපතිතුමා ඉද්දි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගෙනාපු එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, යුරෝපා සංගමයත් දේශපාලන ප්‍රතිසංස්කරණවලට යන්න කියලා අපිට කියනවා. මේ දවස්වල ඒ අය වැඩිපුර එන්නෙ මුදල් අමාත්‍යාංශයට නෙමෙයි අධිකරණ අමාත්‍යාංශයට. මේ ප්‍රතිසංස්කරණ ගේන්න කියලා ඉල්ලු‍වා. පටු විදිහට මේක දිහා බලන්න එපා යැයි විජයදාස ඉල්ලීමක් කළේය.
මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා විමසා සිටියේ 22 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන සංශෝධන කුමක්දැයි කියාය. ඇමති විජයදාස ඒ ගැන ද පැහැදිලි කළේය.


මන්ත්‍රීවරුන්ට දැනගන්නට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට ලැබෙන බලය සම්බන්ධයෙනි. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ. මෙම සංශෝධනයට ද එය ඇතුළත් කර ඇත. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ එය අවුරුදු හතර හමාර දක්වා වැඩිකරන ලෙස ය. ජනාධිපතිවරයා පත්කළේ පාර්ලිමේන්තුවේ අපේ ඡන්දයෙන් එහෙම කරලා අපි කරන්න කියලා ජනාධිපතිතුමාට කියන්න පුළුවන්ද. ඇයි එහෙම කරන්නේ යැයි ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා විමසා සිටියේය. විජයදාස කීවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවය. මන්ත්‍රීවරුන් විමසා සිටියේ අවුරුදු පහකට පත් වෙලා ඇයි හතර හමාරෙන් විසුරුවන්නේ කියාය. සරත් වීරසේකර නැවතත් මතු කළේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙනි. ව්‍යවස්ථාවට කෑලි කෑලි සංශෝධන නැතිව අලු‍ත් ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ඔහු ඉල්ලා සිටියේය. විජයදාස කීවේ ජනාධිපතිවරයාගේ බලතලවලට හානියක් නොවන බවය. මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ගැටුමක් නොවන ආකාරයට බැලන්ස් විදියට කටයුතු කිරීම වැදගත් බව ඔහු කීවේය.


ආණ්ඩු පක්ෂ රැස්වීමේත්, මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේත් ඉදිරිපත් වූ යෝජනා අදහස් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන්නට තිබුණේ විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් තිබෙන බවය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමට ආණ්ඩුවේ ම පිරිසකට අවශ්‍යතාවක් තිබූ බව ද පැහැදිලි විය. ඉකුත් බ්‍රහස්පතින්දා සිකුරාදා දෙදින ම 22 විවාදයට ගෙන සම්මත කිරීමට කලින් වෙන්කර තිබුණ ද බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවය. ඊළඟ සතියේ දී එය විවාදයට ගැනීමට නියමිත බව ද ආණ්ඩුව දැනුම් දුන්නේය. ඒ අනුව විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතියේ දී පැවැත්වීමට නියමිතය. එහෙත් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන්නේ ලබන සතියේත් මෙය විවාදයට නොගෙන දිගටම කල් යනු ඇති බව ය.


හවුල් පක්ෂ එක්ව පිහිටුවා ගත් උත්තර සභාවේ විධායක සහාවද ඉකුත් සඳුදා හැන්දෑවෙ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, අතාවුල්ලා, මොහොමඩ් මුසම්මිල් ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. එහිදීද කතාබහට ලක්වුණේ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. ඔවුන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති මගපෙන්වීම අනුව, විසිදෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරන්නේ නම් ඊට සහාය දෙන බව ය. ඊට පිටින් ගොස් කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවට ඕනෑ ඕනෑ සංශෝධන ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය නොදීමට ද ඔවුහු තීරණය කළහ. උත්තර සභාගය ලබන සතියේ දී මාතරින් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කරයි. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කිරීමට එහිදී තීරණය විය. ඊට අමතරව නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ද ආරාධනා කිරීමට තීරණය විය.

 

 

ජනාධිපති සමෘද්ධි නිලධාරීන් හමුවෙයි

සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්‌යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉකුත්දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට තිබෙන ගැටලු‍ මෙන්ම ප්‍රතිලාභීන්ගේ ගැටලු‍ සම්බන්ධයෙන් ද එහිදී කතාබහට ලක්වූ අතර, සමෘද්ධි සංවර්ධන හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙත්, වැටුප් කොමිෂමේ නිලධාරිනුත් ඊට සම්බන්ධ වූහ. ජනාධිපතිවරයා කීවේ ඒවාට විසඳුමක් ලබා දිය හැකි බව ය.


කැබිනට් මණ්ඩලයේ ඉතිරි අමාත්‍යවරුන් පත් නොකිරීම සම්බන්ධයෙන් ද මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ කතාබහක් ඇතිව තිබේ. ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා නම් කීපයක් යවා ඇතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැන පොහොට්ටුවේ පිරිසක් කලකිරීමට පත්ව සිටිති. ඔවුන්ගේ චෝදනා වී ඇත්තේ ජනාධිපතිවරයා හිතාමතාම මෙම පත්කිරීම් මගහරින බව ය. මේ අතර කතාබහට ලක්ව ඇත්තේ පොහොට්ටුවෙන් යවා ඇති ඇතැම් නම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් නොදක්වන බව ය.

 

 

ජාතික සංවිධානවලට සජිත්ගෙන් පාඩමක්!

විපක්ෂනායක කාර්යාලයේදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික සංවිධාන 12ක නියෝජිතයන් අතර හමුවක් පැවැත්වීය. බොහෝ වේලාවක් පැවති සාකච්ඡාවේදී සජිත් අවධාරණය කළේ අවස්ථාවාදී දේශපාලනය තුළින් මේ රට ගොඩ නැගිය නොහැකි බවය.


වඳ කොත්තු, වඳ සැත්කම්, ශාෆි සිදුවීම වැනි සිදුවීම් හරහා ජාතීන් අතර වෛරයක් ඇති වුණා. එයින් රටේ ඒකීය භාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට හානියක් වුණා. පොහොට්ටුව බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරුවා. මම ජාතිවාදයට ආගම්වාදයට අන්තවාදයට සහ ත්‍රස්තවාදයට සහමුලින්ම විරුද්ධයි. අවස්ථාවාදී ජාතිවාදී දේශපාලනය හේතුකොටගෙන විවිධ අවස්ථාවල රට බලවත් අර්බුදයන්ට ලක් වුණා.”‍ සජිත් කීවේය.


තමන්ගේ සහ සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මේ රටේ සිටින්නේ සුළු ජාතිකයන් නොව සෙසු ජාතිකයින් බව කී විපක්ෂනායකවරයා ඕනෑම කෙනෙකුට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවද අවධාරණය කළේය.

 

බයි-ස්කෝප් එක!

මේ අතර රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයාබලන කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා පොහොට්ටුවේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා නම් කළේ මහින්දානන්ද අලු‍ත්ගමගේ විසිනි.


එය ස්ථිර කළේ රෝහිත අබේගුණවර්ධන විසිනි. ඒ අනුව ජන්ද 14ක් රංජිත් බණ්ඩාර මහතාට හිමිවූ අතර ඉරාන් වික්‍රමරත්න මහතාට හිමිවූයේ ජන්ද 7ක් පමණි.


“ඒක කෝප් කමිටුව නෙවේ, බයිස්කෝප් කමිටුව”‍ යැයි සජිත් පාර්ලිමේන්තුවෙහි ලොබියේ දී මන්ත්‍රීවරුන් සමඟ පැවසීය.

 

ජිනීවා පරාජය ගැන සජබ කතා!

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව සම්මත වීම පිළිබඳව සමගි ජන බලවේගය මන්ත්‍රීවරු අතර විශේෂයෙන් සාකච්ඡාවට ලක්විය.


“මීට කලින් අපිට පක්ෂව රටවල් එකොළහක් තිබුණා. මේ වතාවෙ එ්ක හතක් වෙලා. මේකෙන් පේනවා අපේ ජාත්‍යන්තර සබඳතාවල තරම”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


“අපි රටට විරුද්ධව කේලාම් කීවේ නෑ. මේ තත්ත්වය ආණ්ඩුව විසින්ම ඉතාම කැමැත්තෙන් ළඟාකරගත්ත එකක්. ජාත්‍යන්තරය බලාගෙන ඉඳිද්දී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ආණ්ඩුව සෙල්ලම් කළා” මුජබර් කීවේය.


“මේ සමග එන්න පුළුවන් තත්ත්වෙ මොකක්ද සර්?”‍ හේශා ඇසුවේ සජිත්ගෙන් ය.
“මේ යෝජනාවේ විශේෂතාවයක් තියෙනවා. යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කරලා තියෙන්නෙ ආර්ථික අර්බුදය සහ මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්. ආහාර සුරක්ෂිතාවය බිඳවැටීම, බරපතළ ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමු කරලා තියෙනව. මේක ඉතාම විශේෂයි. එනිසයි අපි මුල ඉඳලම කිව්වෙ මේ රට බංකොලොත් කරපු අය කළේ ආර්ථික ඝාතනයක් කියලා”‍ සජිත් විස්තර කළේය.


“එහෙම චූදිතයන්ව රතු පලස් දාල තමයි මේ අය පිළිගන්නේ”‍
අශෝක් අබේසිංහ එහෙම කීවේය.
“ඉන්දියාවයි ජපානයයි ඡන්දය දීමෙන් වැළකී ඉඳලා. එදා මේ දෙගොල්ලම අපිට ඡන්දය දුන්නා”‍ ගයන්ත කීවේය.

 

 

ආදිවාසීන් පවා පැමිණෙන “අටමහ කුසල් පිංකම”‍

විපක්ෂනායක සජිත් සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස එක්ව සුවිශේෂී කටයුත්තක් මේ සති අන්තයේ සිදුකිරීමට නියමිතය. ඒ මහියංගනයේ අට මහා කුසල් කඨින පුණ්‍ය මහෝත්සවය ය.


“එක දිගට අවුරුදු දාසයක් මේ විදිහට අපි රටපුරා කඨින පින්කම් කරනවා. ඇත්තටම මේ වැඩේ කරන්නේ මගේ බිරිඳ. මහියංගන ඒ පින්කමට අපි ආදිවාසීන්ට පවා ආරාධනා කරලා තියෙනවා.”‍


සිය මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර පිරිනමමින් සජිත් කීවේය.


අටමහකුසල් කඨින පුණ්‍ය කර්මයක් යනු ඉතාම දුර්ලභ කටයුත්තකි. ඊට සුවිශේෂි පින්කම් රැසක් ඇතුළත් ය.
“සතිඅන්තයේ පුළුවන් අය මහියංගණයට එන්න”‍


සජිත් මන්ත්‍රීවරුන්ට කීවේය. ඒ අතරතුර, සජිත් මහනුවර සහ ඒ ආසන්නයේ සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම් කිහිපයකටද සහභාගිවීමට නියමිතය.

 

රටින් ගේන රබර් ගැන ජවිපෙ කතා කරයි

කෘතිම රබර් හා රබර් කිරි පිටරටින් ගෙන්වීම නිසා මෙරට රබර් නිෂ්පාදනවල මිල පහළ බැසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් සතියේ දී තීරණය කළේය.


රබර් මිල රුපියල් 700 සිට රුපියල් 450 දක්වා පහළ බැසීම සම්බන්ධයෙන් රබර් නිෂ්පාදකයන් පිරිසක් පසුගිය සතියේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී කරුණු දැක්වීමෙන් පසු නායක අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට තීරණය කළේය.


මේ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කවුන්සලය ගිය සතියේදී රැස්විය. අනුරකුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය ජනක් කුමාරසිංහ, මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය ශාන්ත ජයරත්න, වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ. අපනයන භාණ්ඩ සඳහා සියයට 30 ක බද්දක් අය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව මෙහිදී සාකච්ඡා විය. ලෝක වෙළෙඳපොළ ඉලක්ක කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන අපේ ආර්ථිකයේ මූලික හරය විය යුතු බව මෙහිදී ආර්ථික විශේෂඥයන්ගේ සාකච්ඡාවට බඳුන් විය.


ජාතික ජන බලවේගයේ දෙවැනි ආසන සමුළුව කඩුවෙල දී පැවැත්වුණි. ජාතික දැල් පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ මහත්මිය එයට සහභාගි වූවාය. ඊට අමතරව රොඩ්නි වර්ණකුල කලාකරුවාද ඒ අවස්ථාවට සහභාගිවී ගීත කීපයක්ද ගායනා කරනු ලැබීය. සමුළුවෙන් පසු කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පිරිසක් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ව්‍යාපාර කඩා වැටීම පිළිබඳ සාකච්ඡා කළේය. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන රජයකට සහාය දෙන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

 

 

22 ගැන කරුත් සටනේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව රටේ සියලුම දේශපාලන පක්ෂ තුළ පැවැති අවධානය වාද විවාදයන්ගෙන් පිරී පැවැතිණි. බොහෝ දෙනෙකුගේ මතය වූවේ එය පසුගියදා විවාදයට ගත්තේ නම් සම්මතවීමට තිබූ ඉඩකඩ සීමාසහිත බවය. 


ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් මෙන්ම සමගි ජන බලවේගයද ඒ ගැන ස්ථිරසාර ස්ථාවරයක් ගෙන නොතිබීම එයට හේතුව විය. එහෙත් 22 වැනි සංශෝධනයේ කුමන සීමාසහිතකම් තිබුණ ද එය සම්මත කර ගැනීම රටට මේ මොහොතේ වැදගත්ය යන ස්ථාවරයෙහි සිටි කරු ජයසූරිය පසුගිය සතියම සිය කාලය වෙන් කරන ලද්දේ ඒ ගැන සියලු පාර්ශවයන්හි අවධානය යොමු කරන්නටය. එහිදී කරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමග මෙන්ම විපක්ෂයේ දේශපාලන ප්‍රබලයන් ගණනාවකටම කතා කරමින් පෙන්වා දුන්නේ 22 හි කුමන අඩුපාඩුකම් තිබුණත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීම ජාතික වගකීමක්ව ඇති බව ය.

 

 

ගජබා