“සී ශාප්” මහා සංගීත සන්ධ්‍යාව උත්කර්ෂවත් ලෙස දම්මාම් හිදී


 

 

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ “එතෙර අපි” සංවිධානය මගින් පවත්වන  ලද   C Sharp මහා සංගීත සන්ධ්‍යාව පසුගිය දා දමාම් අල් සාෆි උත්සව ශාලාවේදී පැවැත්වූයේ අති මහත් ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙනි. 


එදින සන්ධ්‍යා භාගයේ  සිට මධ්‍යම රාත්‍රී  වන තෙක් පැවති මෙම සංගීත ප්‍රසංගය වෙනුවෙන් විශේෂ ආරාධිත ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා සමග තානාපති කාර්යාලයේ  නිලරීධාන් කිහිප දෙනෙක්ම සහභාගී වූ අතර චිරාගත පොල්තෙල් පහන දැල්වීම තානාපති තුමා අතින් සිදුවිය. 


සෞදි අරාබියේ ජනප්‍රිය ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන C Sharp සංගීත  කණ්ඩායමේ මධුර  මනමෝහනීය  සංගීතය සමග සෞදි අරාබියේ දක්ෂතම ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් විශාල පිරිසක්ද ගීත ගායනා කළ අතර බහරේනයේ ජනප්‍රිය ගායක අහමද් මුසයිමා  විසින්  ශ්‍රී ලාංකික ගීත කිහිපයක්ම ගායනා කිරීමද විශේෂිත විය. මෙම සංගීත සඳැල්ල සාර්ථක කිරීමෙහිලා ඩ්‍රම්ස් වාදනයෙන් ප්‍රසන්න ගුරුගේද  ඔක්ටපැඩ් වාදනයෙන් කමල් වජිරප්‍රිය, බේස් ගිටාරයෙන් සනත් බුවනෙක, රිදම් ගිටාරයෙන් ක්ලීටස් පෙරේරා සමගින් දෙනුර ප්‍රනාන්දු කීබෝර්ඩ් වාදනයෙන් සහාය දක්වන ලදී.


විශේෂයෙන්ම දමාම් “එතෙර අපි” සංවිධානයේ සභාපති ලසන්ත වර්ණකුලසූරිය මහතාගේ අනගි දායකත්වය මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් වූ බව සංවිධායක මණ්ඩලය පැවසීය. 


කෙසේ වුවද ප්‍රසංගය අවසානයේ සහභාගිවූ සියලු‍ම කලා ශිල්පින් සහ ශිල්පිනියන්  හට සහතිකපත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා අතින් සිදුවිය.   

 

 

 


ලලිත් ප්‍රේමලාල්   
දමාම් සිට.