සෞදියේදී ගිලන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයා දෙස් විදෙස් මිතුරන්ගේ සහායෙන් මව්බිමට පැමිණේ


ත්වබ් සංවිධානයේ සාමාජිකයන් සමග

 


සෞදි අරාබියේ නැගෙනහිර පළාත එක්තරා ආයතනයක වසර ගණනාවක් රැකියාව කරමින් සිට කුමන හෝ ගැටලුවක් මත ආයතනයෙන් බැහැරව තානාපති අංශ වෙත පැමිණි මහරගම පන්සල පාර අංක 156/C දරන ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වූ වයස 53 ඉක්ම වූ දොන් ධර්මප්‍රිය ගුණවර්ධන නමැති අය නැගෙනහිර කලාපීය තානාපති සම්බන්ධතා සුබසාධක චාලි තලයරත්න මහතාගේ මැදිහත්වීම මත දින කිහිපයක් තුළදී සියලු නීත්‍යනුකූල ලිපිලේඛන සහ තාවකාලික ගමන් බලපත්‍රය ලබා දුන්නේ මීට සති කිහිපයකට පෙරය.   


කෙසේ වුව ද මෙම කාලසීමාව තුළදී ඔහුගේ ශරීරයේ හටගත් තදබල රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක්ම කිසියම් ස්ථානයක විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් ඔහුගේ සහායට ඉන්දියානු තානාපති කාර්යාලයට අනුයුක්තව සුබසාධක කටයුතු මෙහෙයවන ඉන්දියානු ජාතික නාස් ශාවුකාත් අලි (කේරළ) මහතා ඉදිරිපත් වී තම පුද්ගලික නිවස්නය වෙත රැගෙනවිත් සියලු සත්කාර සහ ප්‍රතිකාර ලබාදෙමින් ඔහු ගුවන් මගින් මවුබිමට පිටත් කර යැවීමට සුදුසු වාතාවරණයක් සකසන ලදී.   


පසුගිය දිනක මා ඇතුළු ත්වබ් (TWAB) නමැති සංසදයේ සාමාජිකයින් කිහිපදෙනෙක් කරුණු සොයා බැලීමට එම නිවසට ගිය අවස්ථාවේ නාස් මහතා පවසා සිටියේ චාලි තලයරත්න මහතාගේ දැනුම් දීම මත රෝගියාට අවශ්‍ය සියලු පහසුකම් සහ කටයුතු නිමා කර අවසන් බවත් මොහුගේ කායික සහ මානසික තත්ත්වය බෙහෙවින් පිරිහීමට ලක්ව ඇති බවත් හැකි ඉක්මනින් මවුබිමට යැවීමට අවශ්‍ය බැවින් ගුණවර්ධන මහතාගේ සහායට තමන් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාව බලා පිටත්වන බවත්ය. නාස් මහතා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පිටත්වීමට නියමිත බව ද වැඩිදුරටත් ඔහු පැවැසීය.   


මේ අතර චාලි තලයරත්න මහතා දුරකතන ඇමතුමක් දී ප්‍රකාශ කළේ ගුණවර්ධන මහතා භාර ගැනීම සඳහා ගුවන් තොටුපොළ පර්යන්තයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දැනුම්වත් කර ඇති බවයි.   


කෙසේ වුව ද ඔහුගේ ගුවන් ගමන් ගාස්තු සහ අනිකුත් ඇඳුම් ආයිත්තම් සහ ගුවන් තොටුපොළේ සිට නිවස වෙත යාම සඳහා සියලුම වියදම් "TWAB" සංසදයේ සාමාජිකයින් විසින් පිරිනමන ලද අතර පසුගිය 26 දින නිරුපද්‍රිතව ගුණවර්ධන මහතා මවුබිම බලා පිටත් වූ බව ද වාර්තා විය.   

 

 

 


ස්තුතිය. නාස් ශාවුකාත් අලි, චාලි තලයරත්න, ත්වබ් සංසදයේ සාමාජිකයින්.   


ලලිත් ප්‍රේමලාල්  - දමාම් සිට.