සුන්දර වැනීසිය ගං වතුරෙන් යටවෙයි


 

වැනිසිය යනු කළපු ප්‍රදේශයක කෘතිම ඇළ මාර්ගවලින් බෙදුණු කුඩා දූපත් ගණනාවක් ලෙස ජලය මත ඉදිවුණු ලොව සුන්දරම නගරයයි. වාර්ෂිකව ලක්ෂ ගණනින් විදේශිකයන් ගෙන්වන සංචාරක ආකර්ෂණය වෙන්නේ වැනිසිය ජලය මත පාවීම ය. එහි ගොඩබිම දුවන රථවාහන නැත. මහජන ප්‍රවාහනය, සෞඛ්‍යසේවා, පොලිසිය වැනි සියලුම සේවාවන් සැපයෙන්නේ බෝට්ටු මගිනි.   


මේ දිනවල ඉතාලිය හරහා ඇදී යන වැසි සහිත කාලගුණය හේතුවෙන් වැනිසිය මීටර එකහමාරක පමණ උසට ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් වැනිසියේ ගොඩනැගිලිවල බිම් මහලවල් ජලයෙන් යටවී ගොසින්ය. මේ අතර සුප්‍රසිද්ධ සැන් මාර්කෝ චතුරශ්‍රය තුර්කි වෙළෙඳපොළ වැනි ඵෙතිහාසික ස්ථාන මෙන්ම, සංචාරක හෝටල සහ කඩසාප්පු බිම් මහල් ද ජලයෙන් වැසී ඇත. වැනිසියේ කළපු වඩදිය බාදියට අනුව නගරය වසා සිටින ජල මට්ටම ද ඉහළ නගිමින් සහ පහත වැටෙමින් ඇත.   


හදිසි ජලගැලීම්වලදී ජනතාවට පාගමන් පහසුකම් සැලසීම සඳහා උස බංකුවලට සමාන දැවමය පටු පාලම් මංතීරු පදික වේදිකාවේ සවිකෙරුන ද, එහි ප්‍රායෝගික අපහසුතා රැසකි. ජලය මතම වුවද ප්‍රවාහන පහසුකම් අඩපණ ය. අවදානම් කලාප ලෙස සලකා ඇතැම් ප්‍රදේශයකට ඇතුළුවීම තහනම් කර ඇත. 

 
වැනිසියේ පරිසර අලංකාරයට බාධා නොවෙන අයුරින් ජලය තුළ ගිලී සිට, හදිසි අවස්ථාවලදී ජලයෙන් මතුපිටට එන සේ නව තාක්ෂණයකින් නිර්මාණය කර ඇති කෘතිම ජල කඩනය තවමත් ක්‍රියාත්මක නැත. දැනට වැඩ නිමව ඇතුව ද, එය විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ය.   


වැනිසියේ හදිසි ජල ආපදා කළමනාකරණය සඳහා ඉතාලි රජය දැනටමත් යුරෝ කෝටි ගණනක මුදලක් වෙන්කර ඇත. ලෝක උරුමයට අයත් කලාපයක් ලෙස ලයිස්තුගතව ඇති බැවින්, යුනෙස්කෝ අවධානය ද වැනිස් ගංවතුර උවදුර වෙත යොමුව ඇත.   


ජලයෙන් යටවී ඇති වැනිසියේ දර්ශන කීපයක් ද ජලයෙන් යටවීමට පෙර දසුන් සහ වැනිසියට අනන්‍ය ගොන්ඩෝලා බෝට්ටු, ජල ටැක්සි, පොලිසියේ යාත්‍රා ආදිය ඡායාරූපවලින් දැක්වේ. 


යටියන   
ක්ලැරන්ස් කොස්තා-ෂෙසානෝ, රෝමය, ඉතාලිය.