සිරකුසා හි කඳුළේ දේව මාතාවන්ගේ වාර්ෂික මංගල්‍යය 29 දා


ඉතාලියේ සිසිල දූපතේ, සිරකුසා නගරයේ වර්ෂ 1953 අගෝස්තු මස 29, 30, 31 සහ සැප්තැම්බර් පළමු වන දින දරුවන් නොමැතිව වේදනාවෙන් සිටි යුවලගේ ඇඳ ඉස්මත්තේ එල්ලා තිබුණු දේව මාතා ප්‍රතිමාවකින් කඳුළු ගලා ගොස් ඇත. බොහෝ පරීක්‍ෂණවලින් අනතුරුව, ගලාගිය එම කඳුළු මිනිස් කඳුළු යැයි නිගමනය කර ඇත. වර්ෂ 1994 නොවැම්බර් මස 6 වැනිදා ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මෙම දෙව් මැදුර ආසිරි ගන්වා එම කඳුළු ගලාගිය පින්තූරය එහි තැන්පත් කරන ලදී.


කාලයකට පසුව ශ්‍රී ලාංකික ජනතාවට මෙම දෙව් මැදුරේදී දෙව් මව් පසසා මංගල්‍යය දිව්‍ය යාගයක් පැවැත්වීමට අවසර ලැබී ඇති අතර, මේ වසරේ 15 වැනි වරටත් වාර්ෂික මංගල්‍යය උත්කර්ෂවත් ලෙස පැවැත්වූහ. ගරු සචිත ප්‍රනාන්දු (පැ.තු.නි.) පියතුමා සිරකුසා කිතුනු සංඝයේ අධ්‍යාත්මික එඬේරාණන් වන අතර, මෙයට වසරකට අඩු නොවැඩි කාලයකදී පූජක වරම් ලැබූ ගරු ලක්මාල් රතුගම පියතුමා විසින් දිව්‍ය පූජාව පැවැත්වූහ. සිසිලියේ සියලුම නගර නියෝජනය කරමින් පියතුමන්ලා සහ ජනතාව මෙම උතුම් මොහොතට සහභාගීවූහ.


ශ්‍රී ලංකාවේ කුරුණෑගල පදවියේ හෙන්දියාගල ග්‍රාමයේ, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන්ගේ ද අදහසක් පරිදි, දේවස්ථානයක් කඳුළේ දේව මාතාවන් වෙනුවෙන් කැප කර ඇත. බොහෝ අවහිර බාධක මැද ගොඩනැගෙන එම දේවස්ථානයේ තැන්පත් කිරීම සඳහා මෙම ඡායාරූපවල දක්නට ලැබෙන, එදා දේව මාතාවන්ගේ දෑස්වලින් කඳුළු ගලද්දී පිසදැමූ ලේන්සුවක් සහ කොන්තයක කොටසක් ද බහාලූ මංජුසාව සහ දේව මාතා ප්‍රතිමාව ශ්‍රී ලංකාවට ගෙනයෑමට අවසර ලැබී ඇති අතර, මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුලදී එය ගෙනයෑමට නියමිත බව, ගරු සචිත ප්‍රනාන්දු පියතුමා පැවසීය.

 


කාන්ති රතුගම, 
කතානියා