සයිප්‍රසයේ ශ්‍රී ලංකා එකමුතු සංවිධානය බිහිවෙයි


 

සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයේ මූලිකත්වයෙන් මෙරටහි සේවය කරන ශ්‍රී ලාංකික ජනතාවගේ සහභාගිත්වයෙන් සයිප්‍රස් ශ්‍රී ලාංකික එකමුතු සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සල් ජනරල් රෝහණ අඹගොල්ල මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ අධීක්ෂණයෙන් සිය කාර්ය මණ්ඩලයේ සහායෙන් පවත්වන ලද මෙයට කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්ඛාරාමයේ සහ සයිප්‍රස්හි ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේද සයිප්‍රස් කතෝලික සංඝයේ සදාසරණ කන්‍යාරාමයේ කන්‍යා සොයුරියන් ද ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ අතර, ඔවුන්ගේ ආශිර්වාද දේශනා ද පැවැත්වූහ.   


පූජ්‍ය මොරවක නායක ස්වාමීන් වහන්සේ දේශනාව පවත්වමින් කියා සිටියේ, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සයිප්‍රසයට නව කොන්සල් ජනරල් කාර්යාලයක් අපට ලැබුණු බවත්, කොන්සල්තුමන් ඇතුළු සේවක මණ්ඩලය ද ඉතා සුහදශීලීව කාගේත් සිත් දිනාගෙන වැඩ කරන බවත්, මෙම ශ්‍රී ලාංකික එකමුතුව වැඩසටහන අගය කළ යුතු බවත්ය. තවද දේශපාලන අර්ථයෙන් නොව අප මව්බිම වර්තමානයේ දියුණුවේ මාවතට වැටී ඇති අතර, ඒ ගැන සතුටු විය හැකි බවත්, අප රටේ ආර්ථිකය නගාසිටුවීමට මෙහි වෙසෙන ශ්‍රමිකයින්ගේ දායකත්වයද විශාල පිටුවහලක් බවයි. 


සදාසරණ කන්‍යාරාමයේ ගරු වසන්ති කන්‍යා සොයුරියද කියා සිටියේ, තම රැකියා ස්ථානවල ගැටලු ඇති වූ විට කොන්සල් කාර්යාලයේ සහාය හැර අන් අය පසුපස ගොස් නොරැවටෙන ලෙසත්, මෙම ස්ථානය මහ ගෙදර ලෙස සලකා මෙහි සේවය කරන හැම දෙනාම කොන්සල් කාර්යාලය සමග සුහද සම්බන්ධතා පවත්වාගන්නා ලෙසයි. 
ගරු කොන්සල් ජනරල්තුමන්ද පැමිණ සිටි සියලු දෙනා අමතමින් කියා සිටියේ, මෙහි සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින් කුමන ආගමක කුමන ජාතියක වුවද සහජීවනයෙන් සහ සමගියෙන් ලාංකික හැඟීමෙන් කටයුතු කරමු. මෙය ඔබගේ මහ ගෙදර ලෙස සිතා අප හා සම්බන්ධව කටයුතු කරන ලෙසත්ය. කොන්සල් කාර්යාලයෙන් ලබා ගත හැකි නිසි ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත්ය. තවද රැකියාවන්ට මෙන්ම සුබසාධන සංස්කෘතික ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ කරුණු හමුවේ එක්ව කටයුතු කිරීමට ද කොන්සල් කාර්යාලයෙන් විය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කිරීමට තමා සහ තම සේවක මණ්ඩලය සැදී පැහැදී සිටින බව ද පැවසීය. 


එහි පැමිණි ශ්‍රමිකයන් කිහිප දෙනෙක්ද තමන්ගේ අදහස් හා ගැටලු ඉදිරිපත් කරන ලදී. එම සෑම ගැටලුවක්ම ඉදිරියේදී මෙම සංගමය එක්ව සාකච්ඡා කරමින් විසඳීමට කටයුතු කරන බව ජනරල්තුමන් විසින් යෝජනා කරන ලදී. 


2020.1.6 වැනි දින සවස 2ට සයිප්‍රස් නිකෝසියා නගරයේ කොන්සල් කාර්යාලයේදී පැවැත්වූ මෙම ශ්‍රී ලාංකික එකමුතුවට මෙරට සියලුම ප්‍රධාන නගර නියෝජනය කරමින් හා විවිධ සංවිධාන නියෝජනය කරන අය ඇතුලු විශාල ලාංකික ජනතාවක් රැස්වූහ. මෙම හමුවෙහි ප්‍රධාන අරමුණ ලෙස මෙහි සේවයෙහි නියුතුවන්නන්ගේ නෛතික ගැටලු විසඳීම හා රැකියාවට අදාළ සෞඛ්‍ය හා වෙනත් ගැටලු කෙරෙහි ද අවධානය යොමු කිරීමේ පරමාර්ථයෙන්ද එමෙන්ම සුබසාධන සංස්කෘතික ආදී ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ලෙස ඍජුව තොරතුරු හුවමාරු කර ගනිමින් අවැසි ලෙස මැදිහත් වීමටයි. 


මේ සඳහා සෑම නගරයක්ම නියෝජනය වන ආකාරයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනකු තෝරා පත්කර ගන්නා ලදී. මෙමගින් සෑම නගරයකම හා එම නගරවල කුඩා ප්‍රදේශවල වෙසෙන අප ශ්‍රී ලාංකික ජනතාවට කොන්සල් කාර්යාලය හා සංනිවේදනය වීමේ හැකියාව ද එම ආයතනයෙන් ලබා ගත හැකි සේවාවන් ඍජුවම ලබා ගැනීම මෙහි අරමුණයි. මෙම සයිප්‍රස් ශ්‍රී ලංකා එකමුතුව පළමු පියවර ලෙස පෙබරවාරි මස 2 වැනි ඉරු දින මෙවර ලංකා ජාතික නිදහස් දිනය සැමරීම කොන්සල් ජනරල් කාර්යාල පරිශ්‍රයේදී සැමරීමට තීරණය කර ඇත. 

 

 


විමලා යාපා, 
නිකෝසියා, සයිප්‍රස්.