සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය මගින් අභිමානවත් ජාතික නිදහස් දිනය සමරයි


 
 
 
මවිබිම රකින රුදු අරගලයක යෙදිලා   
උරෙනුර ගැටී පර සතුරන් පරදවලා   
මේ මහ පොළව මත රුහිරය වගුරුවලා   
හැත්තැ දෙවසරකි අපි නිදහස ලබලා
   
නිදහස ලැබු අපි හතළිස් අටේ සිට   
මේ රට මගෙයි අභිමානෙන් කියන්නට   
ගිලිහි යන්න බිම් අඟලක් නොදී පිට   
සමගිව පෙළ ගැසෙමු රකිනට රටේ වැට 
  
ඉතිහාසයේ පටන් අධිරජ්‍යවාදී ආක්‍රමණිකයන් වරින් වර අප ලක් මෑණියන් යටත් කර ගැනීමට නොයෙකුත් උපක්‍රම හා තාඩන පීඩන එල්ල කළහ. එනිසාවෙන් සියවස් 5ක කාලයක් පමණ අර්ධ වශයෙන් හා පූර්ණ ලෙසත් ඔවුනට යටත්ව වහලුන් ලෙස කල් ගෙවන්නට අපේ මුතුන් මිත්තන්ට සිදු විය. කෙසේ වෙතත් ලක් අම්මාට සෙනෙහස රැඳි සුජාත දූ පුතුන් දිවි පුදා උපන් රට රකින්නට පෙරමුණ ගත්හ. ප්‍රථමයෙන්ම දේශය දිනා ගැනීමේ උස් නිදහස ජාතික අරගලය වෙනුවෙන් උදාර මෙහෙවරක් ඉටු කළ මහා සඟ රුවණට සහ වීරෝධාර රණවිරුවනට අපගේ ප්‍රණාමය හා ගෞරවය පුදන්නෙමු. ඈත ඉතිහාසයේ පමණක් නොව මෑත භාගයේද දශක තුනක් තිස්සේ අප රට වෙළාගත් රුදුරු බෙදුමාවාදී ත්‍රස්තවාදයෙන් අපි බැට කෑ අය වෙමු. එහි කුරිරු අත්දැකීම් අදටත් අප සතුය.   
 
 
 
අභිමානවත් සංස්කෘතියකින් පොෂණය වූ අපගේ ආදරණීය ලක්මාතාව පෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. සුන්දර වූ සොභා දහමින් අනුන වූ සහ ජීවත් වීමට සුදුසු දේශගුණික කාලගුණික තත්ත්වයන්ද යහපත් බව පසක් වෙන්නේ මවිබිමෙන් බැහැරව සත්සමුදුරෙන් එහා ජීවත් වීමට සිදු වූ විටය. එනිසාම ලොව කොතැනක සිටිය ද මවිබිම නිතැතින් සිහි වෙන්නේය, අගයන්නේය.   
 
72 වැනි ජාතික නිදහස් දින සැමරුම 2020 පෙබරවාරි 2 වැනි ඉරු දින පෙරවරු 10.30 අප වෙසෙන සයිප්‍රස් රාජ්‍යයේ ද ශ්‍රී ලංකා කොන්සුල් ඡනරල් කාර්යාලය සමග එක්ව මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහත් ජාතිකාභිමාණයෙන් පවත්වන ලදී. එය රාජ්‍ය තාන්ත්‍රික නිල මටිටමින් පැවැත් වූ පළමු වතාව ලෙසට සනිටුහන් වෙයි. කොන්සල් ජනරල්තුමන්, රෝහණ අඹගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මෙහි වෙසෙන ලාංකික ප්‍රජාව විසින් සියලු කටයුතු සංවිධානය කිරීම විශේෂත්වයකි. ඡාති ආගම් කුල ගෝත්‍ර හෝ පක්ෂ භේද පසෙකලා සියලු දෙනා සහභාගි වූහ. මෙහි වෙසෙන ලාංකික කුඩා දරුවන් කණ්ඩායම ඇතුලු පිරිස ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මඟුල් බෙර හඬ මධ්‍යයේ කොන්සල් ජනරල්තුමන් වන රෝහණ අඹගොල්ල මහතා ජාතික ධජය ඔසවන ලදී. එදා මෙදා තුර දේශයේ නමින් දිවි පූජා කළ සියලු අභීත විරුවන් සිහි කිරීම වූයේ විනාඩි 2ක නිහඬතාව පළ කරමිනි. ශ්‍රී ලාංකීය අන්‍යතාව පෞඩත්වය විදහා දක්වමින් නිදහස් දින සංකල්පනා ඇතුළත් නර්ථන කිහිපයක්ද නගර නියෝජනය කරමින් ඉදිරිපත් කෙරිණ. ඊට අමතරව විවිධ නැටුම්, ගැයුම්, බෙර වාදන සහ බටනළා වාදනයන් ද ඉදිරිපත් කෙරිණ.   
 
මෙම උත්සවයෙහි ආගමික සහජීවනය වෙනුවෙන් සෑම ආගමක්ම නියෝජන වෙන පරිදි සහ ප්‍රධාන ආරාධිතයන් ලෙස සයිප්‍රස් ශ්‍රී ලංකාරාමාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමින් වහන්සේ, සයිප්‍රස් මහමෙව්නා අසපුවේ අති පූජ්‍ය සෙවනගල උදිතනන්ද හිමියන් සහ අති පූජ්‍ය පොකුණුවැව නන්දරතන යන හිමිවරුන් සහභාගි වූ අතර නිකෝසියා සදාසරණ කන්‍යාරාමයේ වසන්ති රත්නසේකර හා ඇන්ජලා සජීවනි යන කන්‍යා සොයුරියන් ද, හින්දු පූජකතුමන්ද, ඉස්ලාම් ආගමික නියෝජනයක්ද විය. මෙහිදී අතිපූජ්‍ය මොරවක සොරත හිමිපාණන් පළමු දේශනය කරමින් රට වෙනුවෙන් කළ නිදහස් අරගලයේ සුවිශේෂි හා වැදගත් අවස්ථා සිහිපත් කරමින් උපන් බිම ගැන හැඟිම් හැම හදවත් තුළට කාවද්දන්නට තරමි විය. එම දේශනය මෙහි වෙසෙන අපේ කුඩා දරුවන්ට සහ ඉතිහාසයක් ගැන හාන්කවිසියක් නොදත් සැමට ඉතාම වටිනු ඇත. කන්‍යා සොයුරිය ද නිදහස් දින පණිවිඩය එක්කරමින් කියා සිටියේ ලොව කොහි රටක සිටිය ද සාමයෙන් සමගියෙන් වෙසෙන්නටත් තමන්ගේ මවිබිම අමතක නොකර ඒ වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන ලෙසත්ය.   
 
 
 
කොන්සල් ජනරල්තුමන් රෝහණ අඹගොල්ල මහතා පැමිණි සියලු ලාංකික ජනතාව අමතමින් ශ්‍රී ලංකා ජනරජයේ ජනපතිතුමාගේ ද අග්‍රාමාත්‍යතුමන්ගේද විදේශ සබඳතා අමාත්‍යවරයා ඇතුලු රජයේ උණුසුම් සුබ පැතුම් සයිප්‍රස් ලාංකික ජනතාව වෙනුවෙන් පිරි නමන ලදී. රටක ඉතිහාසය, දේශීයත්වය අපේකම අමතක කළ කිසිදු රටක් ජාතික ආර්ථික හෝ සමාජයීය දියුණුවක් ලැබු බවට ලෝකයේ කිසිදු සාධකයක් නොමැති බව ප්‍රකාශ කළ එතුමා තිරසාර සංවර්ධනයක් සඳහා දේශීයත්වය පදනම්කර ගෙන උපාය මාර්ග යොදා ගැනීමේ වැදගත්කම මේ වෙනවිට ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බව පැවසීය. ජනපතිතුමන්ගේ නව චින්තනයට අනුව සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමේ වැඩ පිළිවෙලට උපරිම දායකත්වය සපයමින් ශ්‍රිී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයේ කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට තමා ඇතුලු කාර්ය මණ්ඩලය බැඳි සිටින බවත් ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය අවශ්‍ය බවත් කියා සිටියේය.   
 
අනතුරුව පූජ්‍ය පක්ෂය සඳහා දහවල් දානය ද, මෙම අවස්ථාවට සහ සම්බන්ධ වූ සැමට තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී. ඒ සමගින් මෙම උත්සවයට පැමිණි සැම දෙනාට සහ මෙය සාර්ථකව සංවිධානය කර ගැනීමට සහය දැක් වූ සැමට ස්තුතිය පල කරන ලදී.   
 
 
විමලා යාපා, 
නිකෝසියා, සයිප්‍රස්.