සමුගත් අසඩක් ගුණැති විනිසුරු


නීතිය හා මානුෂිකත්වය අන්ත දෙකක පවතින සාධක දෙකකි. එහෙත් මේ සාධක දෙකම යොමු වෙන්නේ මනුෂ්‍යයාගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරවීමටයි. මානව ඉතිහාසයෙහි ද සාහිත්‍යයෙහි ද සුවිශේෂී භූමිකා නියෝජනය කළ විනිසුරුවරු වෙති. එහිදී අපට නිතැතින්ම සිහියට එන්නේ හුණුවටයේ කතාවේ අසඩක්ය. ඔහු මානුෂීය ගුණය පිරි එහෙත් යුක්තිය හා සාධාරණත්වය ගැන හොඳ අවබෝධයක් ඇති විනිසරු භූමිකාවක් ලෙස ප්‍රේක්ෂක සමූහයා අතර පරම්පරාවෙන් පරම්පරාවට සලකුණු තබා ඇත. “මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇති” යනුවෙන් සුභාෂිතයේ සඳහන් වන ආකාරයට අසඩක් හොඳ විනිසුරුවරයෙකු මෙන්ම දුසිරිතෙන් බහුල මිනිසෙකි. ඔහු සුරා සොඬෙකි, ස්ත්‍රී ධූර්තයෙකි. අසඩක්ගේ කතාවෙන් අප අවධානය යොමු කරන අන්තර්ජාතික තලයේ ඉතා බහුල ලෙස මේ සතියේ කතා බහට ලක්වුණු අමෙරිකානු විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ නිතිමය භූමිකාවෙන් අසඩක්ටත් පුද්ගලික චර්යාව අනුව මනුතාපයේ ජනවර්ජනටත් සම කළ හැක්කෙකි. 

ලොව සොඳුරු ම විනිසුරු  

විනිසුරු කැප්රියෝ වසර 88ක් ආයු වලඳා මෙලොවින් සමුගත්තේය. සමාජ මාධ්‍ය ඔහු ගැන සටහන්වලින් පිරී ගොස් තිබේ. ඔහු උපයාගත් ආදර නාමය වන්නේ “ ලොව සොඳුරුතම විනිසුරුතුමන් ” යන්නයි.  කැප්රියෝම සඳහන් කළ ආකාරය ඔහුගේ උසාවිය ““where people and cases are met with kindness and compassion.“  හෙවත් ජනතාව හා නඩු කාරුණිකත්වය හා අනුකම්පාව හමුවන ස්ථානයක් ලෙස අර්ථ දක්වා ඇත. කැප්රියෝ නඩු ඇසුවේ වසර 33ක කාලයකි. එනම් 1985 සිට 2018 දක්වාය. එම කාලයෙහි ඔහුගේ අධිකරණ ශාලාව සුරවිමනක් හෙවත් මිනිසුන්ට යුක්තිය සමග දයාව ප්‍රදානය කරන තැනක් ලෙස ප්‍රකට විය. ඔහුගේ නඩු තීන්දු ගැන ලෝකය කතා වෙන්නට පටන් ගත්තේය. කැප්රියෝගේ කිතු ගොස ලොව බබලන්නට විය. ඔහු පිළිබඳව කතා ලියැවෙන්නට පටන් ගත්තේය. කැප්රියෝ වටා ගොඩනැඟුණු “Caught in Providence.“  රූපවාහිනි කතා මාලාව බෙහෙවින් ජනප්‍රිය විය. උසාවි පදනම් කරගත් රෑපවාහිනි මාලා නාට්‍ය විරල නොවේ. ඒ අතරින් වඩාත් ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් “Crown Court"  රූපවාහිනි මාලා නාට්‍යය 1972 සිට 1984 දක්වා විකාශය වූ අතර එය සුප්‍රකට ග්‍රුනාඩා රූපවාහිනි නිෂ්පාදනයකි. එහෙත් එය නීතිය හා අධිකරණ  ක්‍රියාවලිය මත පදනම් වූවක් මිස විනිසුරු චරිතය වඩා ගොඩනැගුණක් නොවේ. රූපමය කතා නිමිත්තක් වූ වඩාත්ම ප්‍රකට විනිසුරු ලෙසද කැප්රියෝ ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු වටා නිර්මාණය වූ කතා මාලාව යූ ටියුබ් ජාලයෙහි ග්‍රාහකයන් මිලියන 2.9ක් ග්‍රහණය කරගත්තේය. 2022 වසර වන විට “Caught in Providence.“ කතාමාලාවේ නැරඹුම් වාර ගනන මිලියන 500 ඉක්මවා තිබිණ. කැප්රියෝ ජනගත වූ තරම එයින් අවබෝධ කරගත හැක.

දුෂ්කර ගමනක ප්‍රතිපල 

කැප්රියෝගේ ළමා අවධිය ජනවර්ජනගේ මෙන් දුක් දොම්නස්වලින් පිරුණකි. දිළිඳු බව ඔහු වෙළාගෙන තිබිණ. පියා අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් අගනගරයේ පලතුරු හා කිරි වෙළෙන්දෙකි. 1936 වසරේ නොවැම්බර් මාසයේ උපන් කැප්රියෝ කුඩා අවධියේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබද්දිම, සපත්තු මදින්නෙකු හා හෝටල්වල පිඟන් සෝදන්නෙකු ලෙස සිය ළමා ශ්‍රමය කැපකොට අධ්‍යාපනය හා පවුල පවත්වාගෙන යාමට දායක විය. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරද්දීම 1950 දශකයේදී අමෙරිකානු ජාතික ආරක්ෂක බළමුළුවට එක්ව වියට්නාම් යුද්ධයට පවා සම්බන්ධ විය.1962 සිට 1968 දක්වා ප්‍රොවිඩන්ස් නගරයේ නගර සභිකයෙකු ලෙස දේශපාලනයටද එක්ව සිටියේය. ඔහු ඉතා ක්‍රියාකාරී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකු වූ අතර පක්ෂය විවිධ තනතුරු දරමින් රෝඩ්ස් අයිලන්ඩ් ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පක්ෂය වඩාත් ශක්තිමත් ස්ථාවරයකට ගෙන ඒමට දායක විය. එහෙත් ඔහුගේ ජීවිතයේ දිශානතිය පැවතුණේ දේශපාලනයට නොව නීති ක්ෂේත්‍රය දෙසටයි.  1965 වසරේ සෆෝක් සරසවියෙන් නීති උපාධිය ලබා අමෙරිකානු නීති සේවයට එක්වෙන්නේ කීර්තිමත් සේවා දිවියක් සඳහා මුල පුරමිනි. ඒ අතරින් ඔහු වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ 1985 විනිසුරුවරයෙකු ලෙස අත්කරගත් ප්‍රසිද්ධියටයි. 

මිනිසා වරදින් මුදවාගැනීමේ අභිප්‍රාය

ඔහු දඬුවම් නොදුන්නා නොවේ. එහෙත් සියලු නීති ක්‍රියාකාරකම්වලදී මිනිසා වරදින් මුදවාගැනීමේ ක්‍රියා පිළිවෙතකට මුල්තැන දුන්නේය. නීතිය හා යුක්තිය ගැන ජනතාවට ඉතා පැහැදිලිව අවබෝධ කර දුන්නේය. සැබෑ වරදකරුවන්ට දඬුවම් දීමටත්, අනෙක් අතට සියලු මානුෂීය තත්ත්වයන් සලකා බැලීමටත් උත්සුක විය. දිළිඳු පුද්ගලයන්ට දඩ මුදල් සම්බන්ධයෙන් සහන ලබා දුන්නේය. නිරතුරුව ළමා අධ්‍යාපනය අගය කළ අතර  ඒ සඳහා වැදගත් වන නඩු තීන්දු ලබාදුන්නේය.  චූදිතයන්ට පවා ගරු කිරීමට පසුබට නොවුණේ මහත්මයා යන ආමන්ත්‍රණයෙන් ඔවුන්ට සංග්‍රහ කිරීමෙනි. ඉතා සූක්ෂ්ම ලෙස යුක්තිය ඉටුකිරීමටත් එයින් මානුෂීයත්වය සලකා බැලීමටත් කැප්රියෝ පියවර ගත්තේය. වරෙක වැරදි තැනක වාහන නතර කළ මවකට දඩ නියම කිරීමට පෙර ඇය සමග සිටි දරුවාට කාරුණිකව කතාකළ කැප්රියෝ විනිසුරුට එම දරුවා පවසා ඇත්තේ තමන් වරදක් කළ බව දැනගෙන ඒ බව මවට කී බවයි. දරුවාගේ ප්‍රකාශය සලකා බලා මව නිදහස් කෙරිණ. තරුණ වරදකරුවන් නිරතුරුව අධ්‍යාපනය වෙත යොමුවීමට උනන්දු කළේය. ඔහුගේ චරිතය වඩා ගොඩනැඟුණු කතා බොහොමයකි. මව මියගොස් ඇති අවස්ථාවක වැරදි තැනක වාහනය නවත්වා ලුූ සැකකරුවකුට නිදහස ප්‍රදානය කළේ මව මියගිය විට ඇතිවු කම්පනය එම සැකකරු තුළ පැවති බව නිරීක්ෂණය කිරීමෙනි. ඇමෙරිකාවෙහි පමණක් නොව ලෝකයේම කැප්රියෝගේ අධිකරණ ශාලාව ප්‍රකට වූයේ දඬුවම් ලබාදෙන ස්ථානයක් නොව මිනිසා යහමගට ගෙනෙන හා ප්‍රශ්න විසඳන තැනක් වශයෙනි. 2018 වසරේ විනිසුරු පදවියෙන් සමුගැනීමෙන් පසුවද ඉතා ශාන්ත දිවියක් ඔහු ගතකළේය. පිළිකා රෝගයට ගොදුරු වූ කැප්රියෝ ඉකුත් අඟහරුවාදා දිවියෙන් සමුගත්තේ ලොව පුරා ඔහුගේ රසිකයන් දැඩි ලෙස ශෝකයට පත්කරමිනි. විනිසුරුවරයෙකුට ජනප්‍රිය චරිතයක් ද විය හැකි බව කැප්රියෝ ලොව හමුවේ සනාථ කළේය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ