ශ්‍රී ලංකාව හා ඩුබායි දේශය අතර මිත්‍රත්වයේ හතළිස් වසර සමරයි


 

මෙම අනුස්මරණීය මොහොත සැමරීමට සුහද හමුවක් දෙසැම්බර් 08 වැනිදා ඩුබායි අරමානි හෝටලයේදී දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් වෙනුවෙන් පවත්වන්නට යෙදුන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බෙල්හේෆ් අල් නුඒමි මැතිතුමා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.   


1979 ජූලි මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අබුඩාබිහි පිහිටුවාලමින් ශ්‍රී ලංකාව යූ.ඒ.ඊ. රාජ්‍ය සමග සබඳතා රාජ්‍ය තාන්ත්‍රික ලෙස ආරම්භ කරන ලදී. එහිම තවත් පුළුල් දිගුවක් ලෙස 1993 දී ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ස්ථාපිත කරමින් වඩාත් හොඳ සේවාවක් ලාංකිකයන්ට ලබා දීමට රජය කටයුතු කළ අතර එයට ඩුබායි රාජ්‍යයේ පූර්ණ අනුග්‍රහය ලැබිණි.   


එදා සිට වසර 40ක කාලයේ රැකියා පතා පැමිණි ලක්ෂ සංඛ්‍යාත ලාංකිකයන් ලැබූ ප්‍රථිලාභ ඉමහත් වෙන අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාද දිනෙන් දිනම වඩා ශක්තිමත් විය. අද මේ වෙන විට යූ.ඒ.ඊ. රජය අපගේ ප්‍රධානම ගැණුම්කරුවකු වෙන අතර අප රටට භාණ්ඩ සපයන ප්‍රධාන අපනයනකරුවෙක් ද වෙන්නේය. 

 
වසර 40ක දෙරටේ මිත්‍රත්ව අතීතය දෙස බලද්දී වෙළෙඳ, ආයෝජක, සංචාරක හා ආර්ථික සම්බන්ධතා අද පවත්නා තත්ත්වය ගැන ශ්‍රී ලංකාවට වඩාත් සෑහීමකට පත්විය හැකි බව නම් නොඅනුමානය. දෙරට අතර රාජ්‍ය නායක සම්බන්ධතා ද වඩාත් ඉහළ මට්ටමකට මෙම කාලයේ වැඩි දියුණු වී ඇති අතර 2012 දී එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි දේශයේ සංචාරයකට පැමිණි අතර 2017 වසරේ යූ.ඒ.ඊ. විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගී විය.   


එතෙක් මෙතෙක් කාලය තුළ දෙරටේ වෙළෙඳ ආර්ථික සබඳතා වඩාත් දියුණු වී ඇති අතර ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් හා සමාගම් සෑම වසරකම මෙහි පැවැත්වෙන ‘ගල්ෆ් ෆුඩ්’ - ‘ඇරැබ් හෙල්ත්’ හා ‘ඇරබියන් ට්‍රැවල් මාකට්’ වැනි විසල් ප්‍රමාණයේ වැඩමුළු සඳහා නිරන්තර සහභාගිත්වය ලබා දෙති.   

 

 


ශ්‍රී ලංකාවේ සංචාරයටද යූ.ඒ.ඊ. රාජ්‍යයෙන් පැමිණෙන සංචාරකයින් ඉතා විශාල ලෙස පසුගිය වසර කීපයක කාලය තුළ වැඩි වී ඇත. තම නිවාඩුව විවේකය නිදහස්ව ගත කිරීමට ශ්‍රී ලංකාව වඩාත් සුදුසු ගමනාන්තයක් බවට විශ්වාසය යූ.ඒ.ඊ. වැසියන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇත.   


එය තවදුරටත් තහවුරු කරන්නට ශ්‍රී ලංකාව ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක් මවාගන්නට 40ස් වැනි මිත්‍රත්ව සැමරුම වෙනුවෙන් දෙසැම්බර් 08 වැනිදා මෙසේ පවත්වන්නට යෙදුන Sri Lankan Tourism Evening and Cultural Night නම් වූ මෙම සුහද හමුව පැමිණ සිටි ආරාධිතයින්ට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේය.   


මෙම උත්කර්ෂවත් මොහොතේ උත්සව සභාවේ ප්‍රධාන දේශනය කළ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා යූ.ඒ.ඊ. රාජ්‍යය ශ්‍රී ලංකාව හා බැඳි මිතුදමේ ප්‍රමාණය විදහාලමින් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේදී, ඩුබායි බූර්ජ් කලීෆා නම් ලොව උසම ගොඩනැගිල්ලේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් ත්‍රස්තවාදයට විරුද්ධව අප රටට දිගු කළ මිත්‍රත්වයේ දෑත පිළිබඳව විශේෂයෙන් ස්තුතිය පළ කළ අතර එතෙක් මෙතෙක් කාලය තුළ පොලිසිය හා අනෙක් සෑම සියලු රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ සහයෝගය අගය කළේය.   


මෙම උත්සව අවස්ථාවට යූ.ඒ.ඊ. හි ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මැතිතුමන් ද, විවිධ රටවල තානාපති හා කොන්සල් ජෙනරාල්වරුන්ද දෙරටේ ආයෝජකයින්, විවිධ සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ. එම අවස්ථාව පිළිබඳ ඡායාරූප සටහනක් මේ සමග දැක්වේ. 

 

 


ඡායාරූප 
චමිල් මෙන්ඩිස්   
සුරංගි අතුකෝරල,   
සාජා සිට