ශ්‍රී ලංකා නව රජයට සයිප්‍රස් ලාංකිකයින්ගේ සුභාශිංසන


2019-11-16 වැනි දින පැවැති අප මව්බිමේ ජනාධිපතිවරණයෙන් පත් වූ නව රජයට විදෙස් ගතවූවන් ලෙස සයිප්‍රසයේ වෙසෙන ලාංකික ජනතාවගේ සුභාසිරි පළ කරන්නෙමු. එමෙන්ම නව රජයෙන් සුරක්ෂිත රටක් ගැන බලාපොරොත්තු හැම කෙනෙකුගේම හදවත් තුළ ඇති වී තිබෙන අතර ප්‍රථමයෙන්ම අවශ්‍ය වෙන්නේ ද සෑම පුරවැසියකුගේම ආරක්ෂාවය. මන්දයත් තිස්වසරක් පුරා බෙදුම්වාදී ත්‍රස්තවාදයේ භීතියෙන් රට ඇළලී ගොස් ඉන් බැට කෑ මිනිසුන් යුද්ධය නිමවා වසර 10ක පමණ කාලයක් සාමයෙන් කල් ගෙවුවත් පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු නැවතත් රටේ ආරක්ෂාව ගැන මහ ජනයා පසුවන්නේ බියකිනි. 


කෙසේ වෙතත් මෙසේ විදෙස්ගතව සේවයෙහි නියුතු රටවිරුවන් ද විදේශ විනිමය සපයමින් රටේ ආර්ථිකය වෙනුවෙන් සිදු කරන්නේ ඉමහත් සේවයකි. විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය පවත්වා ගැනීමට ප්‍රධාන කොටස්කරුවන් වන අප ගැන සැලකිල්ලක් හෝ යම් සහනයක් මින් පෙර කිසිදු රජයක් නොකළ බව සඳහන් කරන්නේ ඉතා කනගාටුවෙනි. එනිසා නව රජයෙන් හෝ යම් සහනයන් සැලසීම හා අප ගැන සැලකිල්ලක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු. මෙහිදී විශේෂයෙන් වසර ගණන් මෙහි දුක්විඳ සේවා කාලය නිමාකර මව්බිමට පැමිණි පසු විශ්‍රාම සුවයෙන් සිටීමට අප වෙනුවෙන් අවශ්‍ය වටපිටාවක් (විශ්‍රාම වැටුප) සකසා දෙන්නේ නම් එය රට විරුවන් වෙනුවෙන් කරන්නා වූ කෘතගුණයක් මෙන්ම මහඟු සත්කාරයකි. මේ සඳහා අප එතෙර සිට මව්බිමේ බැංකු මගින් වසර ගණනාවක් පුරා එවා ඇති රට සල්ලි කන්දරාව සැලකිල්ලට ගත හැකිය. ඒ අනුව අප වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සකස්කර දීමට රජයට අමතර බරක් දැරීමට සිදු නොවනු ඇත. අප එවූ ඩොලර්වලින් රජය ලැබූ ලාභයෙන් අංශුවක් මේ සඳහා යෙදවිය හැකිය. 


සම්බුදු දහමේ අනුහසින් සියලු දෙවි දේවතා බලයෙන් අප ලංකාදීපයේ සාමය සමගිය සෞභාග්‍ය ඇති වී රට වැසියනට ඉන්න හිතෙන රටක් ද විදෙස්ගත අයට එන්න හිතෙන රටක් ද බිහි වේවායි පතමු. 


විමලා යාපා - නිකෝසියා, 
සයිප්‍රස් සිට