වතිකානයේ නත්තල් ගවලෙන මෙවර දැනටමත් විවෘතයි


 

ස්වර්ගස්ථ දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන්ගේ සංකල්පයකට අනුව 1982 වසරේ සිට වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ වාර්ෂිකව ඉදිකෙරෙන නත්තල් මහා ගවලෙන, මෙවර දෙසැම්බර් මස පස්වැනි බ්‍රහස්පතින්දා සවස හතරහමාරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත්ත කෙරුනි. 


ශුද්ධෝත්තම පාප්තුමන්ට නත්තල් ත්‍යාගයක් ලෙස පිරිනැමෙන මෙම නත්තල් මහා ගවලෙන මෙවර ප්‍රදානය කර ඇත්තේ, ඉතාලියේ උතුරු කඳුකර ප්‍රදේශයේ ත්‍රෙන්තීනෝ ප්‍රාන්තයේ වල්සුගානා නගරසභාවට අයත් ස්කුරෙල්ලෙ ගම්මානයෙන් ය. 


ඉතාලියේ උතුරු කඳුකර ප්‍රදේශයට ආවේනික දැව මූර්ථි කලා ශිල්පයට අනුව නිර්මාණය කර ඇති මෙම නත්තල් ගවලෙනේ, උපරිම උස මීටර් එකයි සෙන්ටි මීටර් අසූවකින් යුත් ප්‍රතිමා විසිතුනකි. මරියතුමිය ජුසේතුමා සහ රජතුන්කට්ටුව හැරුණුවිට, අනෙකුත් සියළුම ප්‍රතිමා පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේ ඉතාලියේ කඳුකර ප්‍රදේශ ජනතාවගේ ඇඳුම් මෝස්තරයට අනුව නිර්මාණය කෙරී ඇත. 


මෙවර වතිකාන නත්තල් මහා ගවලෙන ප්‍රතිමා මුහුණු, ත්‍රෙන්තීනෝ ප්‍රාන්තයේ පාරම්පරික දැව මූර්ථි ශිල්පියෙකු වන ෆීලික්ස් ඩි. ෆොලොරියාන් නම්වූ ශිල්පියා සහ ඔහුගේ දූදරුවන්ගේ නිර්මාණයන් ය. වතිකාන නත්තල් මහා ගවලෙන වාස්තු නිර්මාණය ඉතාලි කඳුකර ගෘහනිර්මාණ ශිල්පයට අනුව සැකසී ඇත. 


දෙදහස් දහඅට වසරේ ත්‍රෙන්තීනෝ ප්‍රාන්තය හරහා හමාගිය මහා කුණාටුවෙන් විනාශවූ වටිනා රතු පයිනස් වගාව සිහිකිරීම පිණිස, අනතුරට පත් ප්‍රදේශයෙන් ගෙන එන ලද පයිනස් කොට කීපයක් ද මෙවර වතිකානයේ ගවලෙන අවට තබා තිබීම විශේෂයකි. 


වතිකාන නත්තල් මහා ගවලෙන ආසන්නයේ තබා ඇති මීටර් විසිහයක් උසැති දැවැන්ත නත්තල්ගස ඉතාලියේ අසියාගෝ ප්‍රාන්තයේ රොට්සො නගරසභාවෙන් ලද පරිත්‍යාගයකි. 
වතිකානයේ මෙවර නත්තල් මහා ගවලෙන, දෙදහස් විස්ස (2020) වසරේ ජනවාරි මස දොළොස්වැනිදා මධ්‍යම රාත්‍රිය වෙනතුරු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත්තව තැබෙනු ඇත. 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.