ලංකාවේ පාතාලයෙක් ඉතාලියේ හොර කච්චේරියක් ඇරලා


හොර කච්චේරිය ගැන ඉතාලි පුවත්පතක පළවූ අයුරු - සිංහල නම කවයෙන් දැක්වේ.

 

 

ඉතාලියේ රෝම නගරයේ මුද්‍රණය කර ප්‍රසිද්ධකර හැරෙන ටැබ්ලොයිඩ් වර්ගයට අයත් පුවත්පතක නොවැම්බර් මස පහළොස්වැනිදා කලාපයේ “රෝම නගරසභා පොලීසියේ දැවැන්ත වැටලීමක්” යන ප්‍රධාන සිරස්තලය යටතේ පළවී ඇති ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ, විදේශිකයන් සම්බන්ධ සිවිල් පරිපාලනමය ව්‍යාජ සහතික නිකුත් කළ සිංහල (ශ්‍රී ලාංකික) හොර ඒජන්සියක් රෝම නගරසභා පොලිසිය විසින් වටලන ලද බව ය. 


රෝමයේ නේවාසික ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධනය සඳහා යැයි කියමින් පිහිටුවාගෙන ඇති උක්ත සංවිධානය මගින් ව්‍යාජ නේවාසික සහතික, හොර පැවරුම් සහ බලය පැවරීමේ සහතික, හොර රියදුරු බලපත් පමණක් නොව ඉතාලියේ රැඳීසිටීම සඳහා ව්‍යාජ රැඳීසිටීමේ බලපත්‍ර ද වසර ගණනක සිට නිකුත් කර ඇති බව මෙම පොලිස් වැටලීමෙන් අනාවරණය කරගෙන ඇත. මෙම හොර ජාවාරමට ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයන් පමණක් නොව වෙනත් රටවල පුරවැසියන් ද සිය දහස් ගණනින් හසුවී ඇති බව පුවත්පත් නිවේදනය වැඩිදුරටත් කියයි. යුරෝ දහස් ගණනක මෙම වංචාව කරගෙන ගොස් ඇත්තේ රෝමයේ ශ්‍රී ලංකා සංවිධානයක සභාපති ධුරය දරන, වයස අවුරුදු හතළිස්හයක සිංහල (ශ්‍රී ලාංකික) පුරවැසියකු බව ද ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය. මෙම හොර ඒජන්සිකරු විසින් නිකුත්කර ඇති ලියකියවිලි සහ සහතික බලරහිත බව රෝම පොලීසිය ප්‍රකාශකර ඇත. 


ඉතාලියේ නේවාසික සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා සාමකාමී පුරවැසියකු පමණක් නොව, ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ද නමක් දිනා සිටින්නෙකි. සුළු සුළු අඩුපාඩුකම් තිබුණ ද ඉතාලියේ නේවාසික වෙනත් විදේශිකයන් සමග සසඳා බලන කල සමස්තයක් ලෙස ඉතාලි සිවිල් නීතියට මහා පරිමාණ තර්ජනයක් එල්ල නොවෙන ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයාට ඉතාලියේ පිළිගැනීමක් ඇත. මෙම ප්‍රසන්න ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට වසර හතළිහකට වැඩි දැඩි සංයමයක් අවශ්‍ය වූ බැවින්, ඒ සියලු පරිත්‍යාගයන් වතුරේ යැවීමට ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයා සූදානම් නැත. කිසියම් පුද්ගලයකු විසින් හෝ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් හෝ මෙම යහපත් ආකල්පයට හානි සිදුවෙන යමක් කරනු ලබන්නේ නම් හෝ එවැනි යමක් කිරීමට යත්න දරයි නම් හෝ ඉතාලියේ නේවාසික සාමකාමී විදේශික ප්‍රජාවක් ලෙස අපි එය අනුමත නොකරන්නෙමු. 


ඉතාලියේ නිත්‍ය නේවාසික විදේශික ප්‍රජාවගේ සුභසාධනය සඳහා සංස්කෘතික හා වෙනත් කටයුතු වෙනුවෙන් ඒ ඒ නගරසභාව කිසියම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන බව නොදන්නෝ දැන් මෙහි නැත. කිසියම් පුද්ගලයකු හෝ කිසියම් පිරිසක් විසින් ප්‍රජා සද්කාර ආයතන ලෙස ආයතන හෝ සමිති සමාගම් පිහිටුවාගෙන එම සමිති සමාගම් (ඉතාලි ප්‍රාදේශීය) නගරසභාවල ලියාපදිංචි කර, සංස්කෘතික සංදර්ශන මුවාවෙන් තම ප්‍රජාවගේ සුභසාධනය සඳහා වෙන්වුණු නගරසභා මූල්‍යමය අනුග්‍රහය තම සාක්කුවේ දමාගන්නා බව ද අපි නොදන්නවාම නොවේ. විදේශයක දී තම ප්‍රජාව විකුණා තම බඩගෝස්තරය පුරවාගන්නා මෙම ශ්‍රී ලාංකිකයෝ අපේ ප්‍රජාවට පමණක් නොව, මිනිස් සංහතියටම නින්දාවකි. අවංකව ජීවත්වී වස්ත්‍රයෙන් තොරව මහමග ගමන් කිරීම වුව ද මීට වඩා ගරුනම්බු ය. 


පරිපාලන කටයුතු සඳහා අවශ්‍යවෙන ලියකියවිලි මෙන් ම සහතික ද නීත්‍යානුකූලව සකසා දීම සඳහා රජය අනුමත ආයතන ඉතාලියේ හිඟ නැත. නීත්‍යානුකූ ලියකියවිලි පමණක් නොව, ඒ ඒ අවශ්‍යතාව සඳහා අවැසි නීතිමය උපදෙස් ද කලට වේලාවට සැපයීමට මෙම ආයතන සූදානම් ය. ඉතාම අඩු මුදලකට නීත්‍යානුකූල ලියකියවිලි සපයාගැනීමේ හෝ ඒවා සපයාගැනීම සඳහා නිවැරදි උපදෙස් ලබාගත හැකි ආයතන තිබියදී, හොර ඒජන්සි පසුපස යාමට කිසිදු අවශ්‍යතාවක් නැත. මෙම කූට ජාවාරම් පවත්වාගෙන යනු ලබන්නේ යම් පිරිසකගේ ඉල්ලුමට සැපයුමක් නිර්මාණය කිරීමට බැවින්, මෙහි වරද එම කූට ආයතන සේවය ලබාගන්නවුන් මත ද පැටවේ. 


ලියුම්කරුගේ පසු සටහනත 


උක්ත පුවත්පත් ලිපියේ උප සිරස්තලයේ “හොර සිංහල ඒජන්සියක්” ලෙස 


සඳහන්ව ඇත්තේ ඉතාලි පරිවර්ථනය සැකසෙන ආකාරය අනුව ය. සිංහල යනු ජන වර්ගයක් මිස පුරවැසි වර්ගයක් නොවේ. අපි ශ්‍රී ලාකික පුරවැසියෝ වෙමු. ඉතාලි පුවත්පත්වල බොහෝවිට සිංහල පුරවැසියෝ ලෙස සඳහන් කිරීම වරද සහගත බව ද, එය ශ්‍රී ලාංකික පුරවැසියෝ ලෙස නිවරද විය යුතු බව ද, එසේ නොවෙතොත් කිසියම් ප්‍රවෘත්තියක් සම්බන්ධව ශ්‍රී ලංකාවේ එක් ජනවර්ගයක් පමණක් උළුප්පා දැක්වීමක් සිදුවෙන බව ද, එය ඇතැම් අවස්ථාවල අනිසි ප්‍රතිඵල ගෙනදීමට ඉඩ ඇති බැවින් මෙම වරද නිවරද කරන ලෙස ඉතාලි ප්‍රධාන පුවත්පත් කීපයකට ද, මේ පිළිබඳව එම පුවත්පත්වලට නිල දැන්වීමක් කරන මෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ද මෙම ලියුම්කරු මීට වසර කීපයකට පෙර ඉල්ලා සිටිය ද එම වරද තවමත් නිවරද වී නැත. 

 

කල්ප ගුරුගේ - මිලානෝ.