රෝමයේ ශාක්‍යමුනි විහාරස්ථානයේ අලුත් අවුරුදු උදාවට සෙත් පැතීම


 

 

රෝමයේ බෞද්ධ ජනතාව වගේම අන්‍යාගමිකයින්ගේ ද මානසික සුවය වෙනුවෙන් සුවිසල් ආගමික මෙහෙවරක් ඉටු කරනු ලබන විහාරස්ථානයක් වශයෙන් ශාක්‍යමුනි විහාරය සඳහන් කළ හැකිය. ජනතාවට ඉතා සුව පහසුවෙන් ආගමික කටයුතුවල නියැලීම සඳහා විහාරස්ථානය Via monte livata no 17,00013, fontenuova යන නව ස්ථානයක ආරම්භ කරනු ලැබීය.   


දායක පිංවතුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත ඉතාමත් අලංකාරමත් පන්සලක් වශයෙන් නව ස්ථානය ගොඩනගා ඇත. විශේෂයෙන් විහාරස්ථානයේ විහාර මන්දිරය බොහෝ දෙනාගේ නෙත් සිත් පිනවන බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකර වන්නකි. එම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට අඩි 05ක් පමණ උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද වැඩම කරවනු ලැබීය. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ නික් තිලාන් ඒකනායක පුතණුවන්ට පිං පිණිස එම දෙමාපියන් විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයට පූජා කරන ලදී.   


විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කටුවන සිද්ධත්ථ හිමිපාණන්ගේ අනුශාසනා ඇතිව විහාරස්ථ දායක පිංවතුන්ගේ දායකත්වයෙන් නව විහාර මන්දිරය විවෘත කිරීම හා නව වසරේ සැමට ආශීර්වාද කිරීම සඳහා අසිරිමත් කිරි පිඬු පූජාවක් 2020 ජනවාරි මස 01 වැනි දින විහාරස්ථානයේ දී පැවැත්විණි. පුරාණ චාරිත්‍රානුකූලව සිදුකරනු ලැබූ මෙම අසිරිමත් කිරිපිඬු පූජාව සඳහා පැමිණ සිටි සියලුමදෙනා බොහෝමත්ව ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් යුතුව සහභාගි වුහ.   


සිදුහත් දහම් පාසලේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන්ට සිංහල සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වයෙන් කිරි ඉතිරවීම, වැඩිහිටියන්ට බුළත් දී වැඳීම ආදී සියලු චාරිත්‍ර ද ඉටුකළහ. විහාරාධිපති හිමියන් පැමිණ සිටි සැමට ආශීර්වාද කරමින් අසිරිමත් කිරිපිඬු පූජාව සිදුකළ අතර අනතුරුව පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා සැමට ආශීර්වාද කළහ.   


ලෝක සම්මතයට අනුව උදාව වූ නව වසරේ සහභාගි වූ සියලුදෙනා වෙනුවෙන් සිංහල කැවිලි පෙවිලිවලින් සංග්‍රහ කළහ. මෙම පිංකම් අවස්ථාව සඳහා රෝමයේ ශ්‍රිී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ශ්‍රීි ලාංකික බොහෝ පිරිසක් සහභාගි වූහ.   

 

 

 


ප්‍රේමා කංකානම්ගේ
රෝමය ඉතාලිය