රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් සැමරුම


 
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් සැමරුම සෑම වසරකම නිදහස් දිනයේම පැවැත්වීම සිදුකරන නිසා මෙම දෙදහස් විස්ස පෙබරවාරි හතරවැනි දිනට යෙදී තිබුණු හැත්තෑ දෙවැනි නිදහස් දින සැමරුමද ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේදී වැඩබලන තනාපති සිසිර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
 
ඉතාලියේ සෑම ප්‍රදේශයකම ජීවත්වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මහ ගෙදර ලෙස සැලකෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් සැමරුමට බොහෝ ශ්‍රී ලාංකික පිරිසක් සෑම නගරයකින්ම සහභාගී වී සිටියහ. රෝම ධර්මාශෝක විහාරයේ විහාරාධිපති නේපාලයේ ශාක්‍ය නන්ද ස්වාමීන් වහන්සේ ඇතුළුව ස්වාමීන් වහන්සේලා තුන් නමක් ආගමික වතාවත් සිදු කිරීම සඳහා වඩම්මවා තිබුණි. ආගමික වතාවත් වලින් අනතුරුව ජාතික ගීය ගායනා කර පහන් දල්වා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා ධජය ඔසවා නිදහස සැමරීමේ උත්සවය ආරම්භ කළේය. 
 
ශ්‍රී ලංකා ජන රජ​යේ ජනාධිපති අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා විසින් එවන ලද නිදහස් දින පණිවිඩ සිංහල - ඉංග්‍රීසි - දෙමළ යන භාෂා තුනෙන්ම පැමිණ සිටි ජනතාවට කියවා පැහැදිලි කරදුන්නේ තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසිනි. 
 
 
 
 
 
මෙම හැත්තෑ දෙවැනි නිදහස් සැමරුම සඳහා ඉතාලියේ සක්‍රමණිකයන් පිළිබඳ ජාතික සම්බන්ධීකාරක අතිගරු නෙවිල් ජෝ මාහිමිපාණන් විසින් නිදහස පිළිබඳ රට ජාතිය පිළිබඳ නිදහස ලබා දීමට පුරෝගාමීවූ පෙර විරුවන් පිළිබඳ ඉතා අගනා දේශනයක් පැවැත් වූහ. අන්තර් ආගමික නිකායේ ලේකම් අතිගරු ඉඳුනිල් කොඩිතුවක්කු මාහිමිපාණන්ද පියස්ස වැනීසියා කිතුනු සංඝය බාර ගරු ජයශාන්ත පියතුමාද මෙම නිදහස් සැමරුමට සහභාගී වී කතා පැවැත්වූහ. තවද හින්දු ආගම නියෝජනය කරමින් එම නායකයෝද කතා පැවැත්වූහ. සැම ආගමක්ම නියෝජනය කරමින් නිදහස සැමරීම විශේෂත්වයකි. 
 
රෝමයේ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිතුමා ඇතුළු සාමාජික මඬුල්ල ද මෙම නිදහස සැමරීම සඳහා සහභාගී වී සිටිනු දැක ගන්නට ලැබුණි. පෙබරවාරි හතර නිදහස් දිනය ඉතාලියේ වැඩකරන ජනතාවගේ නිවාඩු දිනයක් නොමැති වුවත් තම තමන්ගේ වැඩ රාජකාරි පසෙකලා නිදහස දිනය සැමරීම සඳහා බොහෝ පිරිසක් සහභාගී වී සිටිනු දැක ගන්නට හැකිවිය. මේ එහි අවස්ථා දෙකකි. 
 
 
තෙවරක් බුදුන් වැඩි අප සිරිලක් දෙරණේ 
නිබඳව තිබේ ශ්‍රී දළද‌ා රැක වරනේ 
නිදහස හැත්තෑ දෙක රෝමයෙ මට පෙනුනේ 
අභිමානයයි අපෙ නිදහස් ලක් දෙරණේ 
 
 
 
කාව්‍ය කෝකිල 
ප්‍රේමා කංකානම්ගේ 
රෝමය