රට යළි ගොඩනැගීමට විදෙස්ගත පුරවැසියාගේ දායකත්වය ලබාගැනීමේදී මේ ටිකත් සිතන්න


පෙරහර හොඳින් පෙනෙන්නේ එහි ගමන් කරන්නාට නොව ඉන් පිටත සිට ඒ දෙස බලා සිටින්නාට ය. මෙය බොහෝ දේ සම්බන්ධව වලංගු කාරණාවකි. රට පිළිබඳව ද එසේම ය. පාලකයෝ කුමක් කීවද විදෙස්ගත පුරවැසියා ඇන්දවීම ඔවුන්ට පහසු නැත.   


විදෙස්ගතව සිටින්නෝ මව්බිමට එන්නේ ඉඳහිට බැවින් රට එකම තැන ද, ඉදිරියට ගොස් ඇද්ද, නැතිනම් පරිහානිය කරා ගමන් කර ඇද්දැයි ගුවන්තොටුපොළේ සිට නිවසට එන කාලය තුළ ඔහු දකී. විදේශයකදී තමන් විසින් දකිනු ලබන සහ අත්විඳිනු ලබන සමෘද්ධිය මව්බිමේදී ද දැකීමට අත්විඳීමට විදෙස්ගතව සිටින පුරවැසියා තුළ ඇත්තේ නොමඳ ආශාවකි.   


රටේ නිවැරැදි සංවර්ධනය සඳහා දායකවීමට අවස්ථාව ලැබේ නම්, ඉදිරිපත්වීමට විදෙස්ගතව සිටින පුරවැසියා පැකිලෙන්නේ නැත. එහෙත් එම දායකත්වය ලබාගැනීමේ නිවැරැදි ක්‍රමවේදය පාලකයෝ දැන සිටිය යුතුය. හැදෑරිය යුතුය.   


රට යළි ගොඩනැගීමෙහිලා දායකත්වය ලබාගැනීමේදී වර්ගීකරණයකින් තොරව විදෙස්ගත සියලුම පුරවැසියෝ එකම බෝට්ටුවේ අය ලෙස සැලකේ නම්, එය නැවත සිතාබැලිය යුත්තකි. නේවාසික කලාප අනුව විදෙස්ගත පුරවැසියාගෙන් ලබාගත හැකි දායකත්වයේ විෂමතාවක් ඇත. මෙම විෂමතාව නිවැරැදිව හඳුනාගැනීම බුද්ධිඝෝචර ය.   
මව්බිම යළි ගොඩනැගීමේදී පමණක් නොව බොහෝ කාරණාවලදී විදෙස්ගත පුරවැසියා පළමුව මැදපෙරදිග සහ ආසියා කලාපය ලෙස ද, දෙවනුව ඉන් බැහැර සහ යුරෝපා කලාපය ලෙස ද ඉතාම සරලව වර්ගීකරණය කිරීමක් කරන්නේ නම්, මේ මේ කණ්ඩායම්වලින් ලබාගත හැකි දායකත්වය විෂම බව තේරුම් ගැනීම අසීරු නැත.   
මැදපෙරදිග සහ ආසියානු කලාපයේ වෘත්තීන්හි යෙදෙමින් නේවාසිකව සිටින ශ්‍රී ලාංකිකයා විසින් විදේශ විනිමය ලෙස මව්බිමේ ආර්ථිකයට ලබාදෙන මූල්‍යමය දායකත්වය සැපයීමට, යුරෝපාකරයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියාට අසීරු ය. යුරෝපා කලාපයේ වැටුප් සමග සසඳා බලන කල අඩු අගයක් ගත්තද, ගෘහ සේවක සේවිකාවන්, කම්කරුවන්, රියැදුරන්, කාර්මිකයන් ලෙස මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් විසින් සපයනු ලබන මූල්‍යමය දායකත්වය යුරෝපාකරයේ නේවාසික ශ්‍රී ලාංකිකයාගේ මූල්‍යමය දායකත්වය අභිබවා සිටී.   


ඉතාම අඩු පහසුකම් මැද, ඇතැම් විටෙක ශ්‍රම සූරාකෑමට ද ලක්වෙමින් මැදපෙරදිග ශ්‍රමිකයා තම වැටුපෙන් ඉතාම ඉහළ ප්‍රතිශතයක් මව්බිමට එවයි. මේ විදේශ විනිමය නිවැරැදිව හැසිරවීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් අපට අවශ්‍යව ඇත. මෙහිදී සිහියට එන්නේ අප පුංචි කාලයේ කළ සෙල්ලමකදී කිවූ “පුංචි නමුත් ටිකිරි නමුත් මම නොවෙදෝ ණය ගෙවන්නෙ” යන කියමනයි.   


මැදපෙරදිග ශ්‍රමිකයා මව්බිමට මූල්‍යමය දායකත්වය සපයද්දී, ඉන් බාහිර වූ යුරෝපා සහ අනෙකුත් කලාපවල නේවාසික පුරවැසියාගෙන් රට සංවර්ධනයෙහි ලා ලබාගත හැකි දායකත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්වූවකි.   


ආසියානු සහ මැදපෙරදිග කලාපයේ වෘත්තික නේවාසික ශ්‍රී ලාංකිකයන් මෙන් නොව යුරෝපා කලාපයේ වෘත්තීය හේතූන් මත නේවාසික ශ්‍රී ලාංකිකයාගේ තත්ත්වය වෙනස් ය. ඔවුන් බොහෝවිට වෙසෙන්නේ පවුල් පිටින් ය. පවුල් කුටුම්භයේ අවශ්‍යතාවන් පිරිමසා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ මූලික අරමුණු ය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමක් සටහන් කරනු ලබන යුරෝපාකරයේ වැටුප මැදපෙරදිග හෝ ආසියානු කලාපයේ වැටුපට වඩා ඉහළ අගයක් ගත්තද, ඉහත සඳහන් පවුලේ කටයුතු ඉටුකරගත් පසුව මව්බිමේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීම මොවුන්ට අපහසුය. බැංකු වාර්තාවලින් මේ බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.   


රට සංවර්ධනයේ ලා යුරෝපාකරයේ නේවාසික ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබාගත හැක්කේ බුද්ධිමය දායකත්වයයි. (මැදපෙරදිග සහ ආසියානු කලාපයේ නේවාසික අපේ පුරවැසියන්ගෙන් මව්බිමට බුද්ධිමය දායකත්වය ලබාගැනීමට නොහැකි බවක් මින් අදහස් නොකෙරේ). යුරෝපයට සංක්‍රමණය වූ පළමු පරම්පරාව එහිදී තමන්ට අහිමි වූ වරප්‍රසාද තම දරුවන්ට ලබාදීමේ තුරුම්පුව ලෙස භාවිත කර ඇත්තේ දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීම ය. ඉන් උපරිම පළ නෙළාගත් මේ දූ දරුවෝ බොහෝ දෙනෙකු අද යුරෝපයේ පමණක් නොව ඉන් පිටත ද විවිධ ක්ෂේත්‍රයන්හි නියම වැඩකාරයෝ වී සිටිති.   


යුරෝපා කලාපයේ වෙසෙන අපේ දෙවැනි පරම්පරාවේ ඇතැමෙකු එම රටවල පුරවැසියෝ ය. ඇතැමෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත. ඒ ඒ රටවල එම දරුවෝ දැනට දරන තනතුරු අනුව මව්බිමට නැවත පදිංචියට එතැයි සිතීම උගහට ය. එහෙත් මොවුන්ගෙන් පූර්ණකාලීන සේවයක් නොව රට යළි ගොඩනැගීමේදී වැදගත්වෙන උපදේශන තාක්ෂණික දැනුම ආදී දේ ලබාගැනීම තවමත් අපහසු නැත. ඉන්දියාව තම සංවර්ධන ක්‍රියාවලියේදී විදෙස්ගතව සිටින බුද්ධිමත් පුරවැසියන්ගේ නොමඳ සේවය ලබාගන්නා ආකාරය අපට ද පාඩමකි.   


විදේශයන්හි පිහිටි අපේ තානාපති කාර්යාල සතුව ඒ ඒ රටවල වෙසෙන අපේ දෙවැනි පරම්පරාවේ දත්තයන් නිවැරදිව ඇතැයි සිතීම අසීරුය. මේ දෙවැනි පරම්පරාවත් මව්බිමත් ඇද බැඳ තබන එකම හුය පළමු පරම්පරාව නොහොත් ඔවුන්ගේ දෙමාපියන් ය. තවමත් මව්බිම සමග ඍජු සබඳතාවක් ඇත්තේ මේ දෙමාපියෝ ය. එබැවින් ඔවුන් ඉක්මයාමට පෙර මේ පරපුර අතරමැදියන් ලෙස තබාගෙන දෙවැනි පරම්පරාවේ බුද්ධිය මව්බිම යළි ගොඩනැගීම සඳහා යොදවා ගැනීමට පාලක පංතියේ අවධානය යොමුවිය යුතුය.   

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.