යුරෝපයේ සිදු කළ අලංකාරම කඨින මහා පින්කම සයිප්‍රසයේදී


 

ශ්‍රී ගෞතම වූ බුද්ධ රාජ්‍යයක ඉපදුන අප සැම බෙහෙවින්ම භාග්‍යවන්තයෝ වෙමු. මේ සසර ගමන කෙටි කර ගැනීම උදෙසා පින් දහම් රැස් කිරීමට සහ කුසල් වැඩීමට යුහුසුලු වෙමු. විශේෂයෙන් මෙම වස්සාන කාලය බොදු බැතිමතුන්ට පින් කුසල් රැස් කර ගැනීමට ආගමික කටයුතුවල නිරතවීමට ඉතාම අවකාශ ලැබෙන කාලයකි. සෑම වසරකම මෙම කාලයෙහි බෞද්ධ ප්‍රජාව කඨින මහා පින්කම සිදු කරනු ලබයි. 


බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥප්තියට අනුව ඇසළ පුර පසළොස්වක පොහොයෙන් වස් වසා වැඩහිඳීමට ආරම්භ කරන භික්ෂූන් වහන්සේලා තෙමසක් පුරාවට එම විහාරස්ථානවලම වැඩ හිඳිමින් ගිහියන්ගේ සිව්පසයෙන් පිදුම් ලබන අතර ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබාදෙන උන්වහන්සේලා ආගම දහම කෙරෙහි බෙහෙවින් නැඹුරුව හැසිරෙමින් තම උපාසක උපාසිකාවන් ද එමගට යොමු කිරීමට උදාර මෙහෙවරක් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් වප් පුන් පොහොය එළැඹීමෙන් වස් ශීලය පවාරණය කරනු වස් අටමහ කුසලයන්ට අයත් වන කඨීන චීවර පූජාව (කඨින පින්කම) සිදු කරනු ලබයි. 


බුදු දහමින් පෝෂණය වූ අප ලක්දීපයේ ද ගම් නියම්ගම් නෑරම මෙම පුණ්‍යෝත්සවය සිදු කරයි. එපමණක් ද නොව අප බෞද්ධ ප්‍රජාව වෙසෙන විදෙස් රටවල ඇති විහාරස්ථානයන්හි ද විශේෂයෙන් යුරෝපා රටවල ද මෙම කඨින පින්කම පවත්වන බව අප දනිමු. ඒ අනුව යුරෝපා රටක් වන සයිප්‍රස් රටෙහි එකම විහාරස්ථානය වන ශ්‍රී ලංකාරාමයෙහි මෙවර කඨින මහා පුණ්‍යෝත්සවය පැවැත්වූයේ 15 වැනි වතාවටයි. ක්‍රිස්තියානි රටක් වන සයිප්‍රසය නම් වූ මෙම යුරෝපා රටට සම්බුදු දහමේ පණිවිඩය රැගෙන ආ අප ගෞරවනීය නායක ස්වාමින්වහන්සේ වන කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාමය සහ සයිප්‍රස් ශ්‍රී ලංකාරාම විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ ශ්‍රී මොරවක සෝරත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනයෙන් සිදු කෙරුණ මෙම පින්කමට සහසම්බන්ධ වීමට විශේෂ ආරාධනාවෙන් වැඩමවා වදාළේ පසුගිය වසරේ මෙම විහාරයෙහි වස් ආරාධනා ලැබ වැඩ සිටි නිට්ටඹුව සාරිපුත්ත ගුරු අභ්‍යාස විදුහලේ හිටපු පීඨාධිපති අමුණුපුරේ සීලවංශ නාහිමියන් සහ මෙම වසරේ විශ්වීය භික්ෂු සම්මේලනයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේයි. මීට අමතරව පූජ්‍ය කරලියද්දේ කමලසිරි හිමියන් ද සහභාගී වූහ. මෙවර සයිප්‍රස් ශ්‍රී ලංකාරාමයෙහි වස් වසා වැඩහිඳින ලද්දේ කිනිහිරිකන්ද රජමහා විහාරවාසී කුඩාරඹාවැවේ ධම්මගවේසි ස්වාමීන්වහන්සේයි. බෞද්ධ සංගමය ද සතරපේරුවේ දායකත්වයෙන් මෙය සිදු කෙරුණු අතර මේ පින්කමට සමගාමීව තෙදිනක් පුරා පින්කම් මාලාවක් විය. 2019-11-18 දින ලිමසෝල් සදහම් මැදුරෙහි ආශිර්වාද පූජාව ආවාසික සිවුරු මැසීම සහ මහ පිරිත් දේශනයක් ද 19 දින මෙවර වස්සාවාසික සිවුරු පඬු පෙවීම විශේෂ කාර්යයක් ලෙස ශ්‍රී ලංකාරාම සදහම් සෙවණේහිදී සිදු කරන ලදී. එදින ද බෝධි පූජාමය පින්කම ද සර්ව රාත්‍රික පිරිත් දේශනාවකි. එහි අවසන උදෑසන කඨින චීවරය විහාරස්ථානයට වැඩම විය. 20 වැනි ඉරු දින මෙම පින්කමෙහි අතිවිශේෂිත වූ අතිඋතුම්ම කර්තව්‍යය පැවැත්වූයේ පාපොස් නගරයේදීය. මන්ද මෙවර වස් ආරාධනාව සිදුකළේ සහ පින්කම භාරව කටයුතු කළේ පාපොස් නගරයේ වෙසෙන අප ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් නිසාවෙනි. ඉතා අලංකාරව සැරැසූ පාපොස් නගරයේ නගර සභා ශාලාව බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන්නක් විය. මව්බිමේදී ඇසෙන්නාසේ හේවිසි හඬ මධ්‍යයේ සධාතුක කරඬුව සමගින් මහා සංඝරත්නය වඩමවන ලද දහවල බුද්ධ පූජාව තැන්පත් කර වඩමවා වදාළ ස්වාමීන් වහන්සේලාගේ දහම් දේශනාවෙන් අනතුරුව උතුම් වූ කඨින චීවරය ධම්මගවේසි ස්වාමින්වහන්සේට පූජා කරන ලදී. 


කඨිනානිසංස දේශනාව සිදු කරනු ලැබූයේ ප්‍රංශ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන මාහිමියන් විසිනි. එදින කඨින චීවරය පිදුම් ලැබූ පූජ්‍ය කඩාරඹාවැවේ ධම්මගවේසි ස්වාමින්වහන්සේයි. 


සුදෝ සුදු වතින් සැරසුණ සැදැහැවතුන් අතිවිශාල පිරිසක් සහභාගී වූ මෙම උත්සවයට සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සුල් ජනරල්තුමා සහ එම මැතිනිය ද එම කාර්යාලයේ සේවක පිරිස ද විදේශිකයින් ද බොහෝ දෙනෙක් සහ මෙරට සේවයෙහි නියුතු බෞද්ධ අබෞද්ධ අය පැමිණ සිටිනු දක්නට ලැබිණ. මෙම උතුම් පින්කමට සහභාගි වූ දහසක් දෙනාට ආහාර පානාදියෙන් සංග්‍රහ පිණිස මහා දන්සලක් ද සූදානම් කර තිබිණ. 


අප මව්බිමෙන් එහා ඈත රටක හිඳිමින් ජීවිතය සරිකර ගන්නට වෙර දරන අප සිත් සතන් තුළට මව්බිම අසිරිය සුවඳ සිහි ගන්වා අධ්‍යාත්මික සුවය ළංකර දෙන්නට වෙර දරන ශ්‍රී ලංකාරාමයේ නායක ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම ස්වාමින්වහන්සේලාට ආශිර්වාද වේවා. පින්කම ඉතාම අලංකාරව සූදානම් කළ පාපොස් ලාංකික හැමටත් විශේෂ ස්තුතිය හා ආශිර්වාද වේවා. 

 

 

 


සටහන - සයිප්‍රස් ශ්‍රී ලංකාරාම මාධ්‍ය ඒකකය 
විමලා යාපා