යුද්ධයද? සාමයද? ටුම්ප්ගේ අවිනිශ්චිත ‘සති දෙක’


මැදපෙරදිග බල කේන්ද්‍රය බටහිරටද? විකල්ප බල කේන්ද්‍රයේ අවසන් බළකොටුව වන ඉරානයේ ඉරණම තීන්දුද? ඊශ්‍රායලයේ අනභිභවනීයත්වය සුරැකේද? තෙල් අර්බුදයක් හටගනීද?  

සතියක් තුළ උණුසුම් වූ ගෝලිය වාතාවරණය යටතේ නැගෙන ප්‍රධාන ගැටලු කිහිපයකි මේ. මෑත භාගයේ අන්තර්ජාතික වශයෙන් ඉතා පුළුල් ලෙස අවධානයට ලක්වූ යුද ගැටුම ලෙස මෙය වාර්තා අතරට එක්වේ. 2022 වසරේ පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ විට මෙවැනිම අවධානයක් ලෝකය තුළ පැවතිණ. අද වෙනවිට ඒ අවධානය දියාරු වී ගියත් යුද්ධය දිගටම පවතී. රුසියාව අඟලෙන් අඟල යුක්රේනය අල්ලා ගනිමින් සිටී. 

2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ දකුණු කොටස ආක්‍රමණය කොට යුදෙව්වරුන් 1200ක් ඝාතනය කර 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඊශ්‍රායලයට අභියෝග කළේය. ලෝකයේ දැඩි අවධානයක් ඒ වෙත යොමුවිය. ඊශ්‍රායලය ලෙයට ලෙය සොයා තමන් සතු සියලු අවි ගෙන මාර සෙනඟ මෙන් ගාසාතිරයට කඩා වැදිණ. පලස්තීනුවෝ බුරුතු පිටින් මියගියහ. ලෝකයේ අවධානය ඊට යොමුවිය. එහෙත් ක්‍රමයෙන් එම අවධානය දියාරු විය. තවමත් දිනකට අවම වශයෙන් ගාසා වැසියන් 50ක් වත් ප්‍රහාරවලට ලක්ව මිය යන බව සහන සේවා වාර්තා තහවුරු කරයි. එහෙත් දැන් ඒ මරණ ලෝකයට පෙනෙන්නේ නැති තරමට ගාසා යුද්ධයත් සාමාන්‍යකරණය වී තිබේ. 

මියගිය ගාසා දරුවකුගේ සිරුර හා ඒ අසල වැලපෙන දෙමාපියන්ගේ විඩියෝ හා ජායාරූප සමාජ මාධ්‍යයේ සැරිසරද්දි, දැන් ඒවා දුටු විගස දමා අනේ අපොයි කියා කොමෙන්ටුවකුත් දමා ඉන් පසුව සියල්ල අමතක කර නැවතත් ෆනී විඩියෝ එකක් බලා සතුටු විම ලෝකයේ බොහෝ  රටවල සාමාන්‍ය වැසියන් අතර දක්නට ලැබෙන සමානත්වයකි. ඔවුන් එසේ කිරීම වරදක් යැයි කිව නොහැක්කේ ඔවුන්ට රාජ්‍ය බලය හෝ අන් කවර හෝ සිවිල් බලයක් නොමැති පොදු මිනිසුන් බැවිනි. එහෙත් යමක් තිරවම කළ හැකි ලෝක බලවතුන්ද අද පසුවෙන්නේ ගාසා කියා තැනක් නැති ආකාරයෙන් හා පලස්තීනුවන් මියයාම ගැන මෙලෝ හසරක් නොදන්නා ලෙසිනි. 

ගාසා ප්‍රශ්නයේදී ඇති හැකි බටහිර බලවතුන් හැසිරෙන්නේ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත හා කථනාබාධිත ලෙසිනි. හරියට මහත්මා ගාන්ධිගේ වඳුරන් තිදෙනා මෙයි.  කලින් සඳහන් කළ අර්බුද වලදී මෙන්, වර්තමානයේ ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුද්ධයද මේ අවස්ථාවේ පූර්ණ ගෝලීය අවධානයට ලක්ව තිබුණද සතියක් දෙකක් හෝ තවදුරටත් දීර්ඝ වෙන්නේ නම් එයද එම රටවල් දෙකේ ජනතාව පමණක් දරාගත යුතු, ගෝලීය ප්‍රජාවට ඉහත අර්බුද මෙන් කෙමෙන් කෙමෙන් අමතක වෙන තවත් එක් අන්තර්ජාතික සිදුවීමක් පමණක්ම විය හැක. එහෙත් එය එසේ නොවන්නේ ඉරාන යුද්ධය දිගෑදෙන යුද්ධයක් බවට පත් කර නොගැනීමට බටහිර බලාධිකාරයට අවශ්‍ය බව පෙන්නුම කරන නිසාවෙනි. යුද්ධයේ ත්‍ීවූ මොහොත එළඹීමට ප්‍රථම සාම සාකච්ඡා හා රාජ්‍යතාන්ත්‍රික දුත මෙහෙයුම් තුළින් ගැටුම නතර කර යම් සංහිඳියාවක් ඇතිකරගත යුතුය යන මතය බෝම්බ ප්‍රහාර තුළින්ම ඉස්මතුවෙන බවක් පෙන්නුම කරයි. යුරෝපා සංගමයේ ප්‍රබලයන් වන ජර්මනිය හා ප්‍රංශය මෙන්ම එහි සාමාජිකත්වයෙන් ඉවත්ව සිටින බ්‍රිතාන්‍යයද අත්වැල් බැඳගෙන තම විදේශ ඇමැතිවරුන් මැදපෙරදිග කලාපය වෙත එවා සාකච්ඡා ඇරඹීම ගැන පූර්ව විමසුමක් සිදු කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් “සති දෙකක් තුළ “ ඉරානයට එරෙහි යුද්ධයට අැමෙරිකානු දායකත්වය ලබාදීමේ සිදුවන්නේ ද නැද්ද යන්න ගැන කියන්නට කාලසීමා ප්‍රකාශ කිරීමත් සමගයි. 

ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පසුව පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළක් තුළින් ඉරාන ඊශ්‍රායල් යුද්ධය නවතාලීමේ ප්‍රවණතාවන්ට ඉඩක් ලබාදීම පිණිස ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ කාලය ගන්නා බවයි.  කොහොමටත් අන්තර්ජාතික මාධ්‍ය පවසන පරිදි ට්‍රම්ප් “සති දෙකට“ ඉතා ප්‍රිය කරයි. ජන්ද වේදිකාවේදී ඔහු කියා සිටියේ බලයට පැමිණ සති දෙකෙන් රුසියානු යුක්රේන යුද්ධය නවතාලීමට තමන්ට හැකි බවයි. ට්‍රම්ප්ගේ සති දෙක නිසොල්මනේ ගෙවී ගියේය. රුසියාවත් යුක්රේනයත් තවමත් යුද්ධ කරයි.

ඉරාන - ඊශ්‍රායල් ගැටුම කොයිබටද?          

13 වැනි සිකුරාදා යනු නරක දවසක් බව බටහිර මතය අනුව ඇති ජන සමාජයීය පිළිගැනීමක් බව පෙනේ. ඒ විවිධ අසුබ දේ, භූත බලපෑම්, අවාසනාවන්ත සිදුවීම්, අත්භූත දේ සිදුවෙන දිනක් ලෙස පිළිගැනීමක් ඇතිකෙරෙන ජනප්‍රවාද ආදිය නිසාවෙනි. “Friday the 13th”‍ නමින් 80 දශකයේ තිරගත වූ චිත්‍රපටය වැඩිහිටි පරම්පරාවට මතක ඇතැයි සිතන අතර කලින් සඳහන් කෙරුණු අවාසනාව හා බිහිසුණුකම පිළිබඳ තේමාව ඉන් කූළුගැන්වේ. ජුනි මස 13 වැනිදාද සිකුරාදාවකි. අලුයම් යාමය එළැඹෙද්දි ඉරාන වැසියන් තම ආගමික නිවාඩු දිනක් වන සිකුරාදාවේ දහවල් යාඥා සඳහා එක්විමේ අපේක්ෂාවෙන් සුව නින්දක යෙදී සිටියදී එකවරම අහසින් ගිනි එළි පහත්වූයේ පොළොවේ පිපිරීම් ගණනාවක් සිදුකරමිනි. ඊශ්‍රායලය තම ඓතිහාසික සතුරා වන ඉරානයට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් අරඹා තිබිණ. ඊශ්‍රායලය පවසන පරිදි, මුලින්ම විනාශ කෙරුණේ ඉරානයේ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියයි. ඒ මූලික වශයෙන් රුසියානු එස් 300 මිසයිල වලින් හා බවාර් අර්මාන්, අසරාකෂ් හා සූබින් වැනි දේශීය ආරක්ෂක මිසයිල පද්ධතිවලින් ද සමන්විත ප්‍රති මිසයිල ආරක්ෂක පද්ධති වේ.  මුල් ප්‍රහාර වටයේදීම එම පද්ධතිවලට සැළකිය යුතු හානියක් සිදුවූ බවට අනුමාන කළ හැක්කේ කිසිදු ප්‍රහාරක වටයකදී ඊශ්‍රායල් ගුවන් යානයක් ඉරාන අහසේදී විනාශ නොවීම හා පැය 48ක් තුළ ඉරාන අහස ඊශ්‍රායලය අතට පත්වූ බව ඇමෙරිකාව නිවේදනය කිරීමත් සමගයි. සතිය පුරා එල්ල වු ගුවන් ප්‍රහාර වලට ඉරානයෙන් එල්ල වූයේ සාම්ප්‍රදායික ගුවන්යානා නාශක තුවක්කු ප්‍රහාර පමණි. ඒවා කිසි ලෙසකත් අධි තාක්ෂණික ගුවන්යානා හා මිසයිල විනාශ කිරීමට සමත් නොවිය. 

නායකත්වය වනසා දැමීම

ඊශ්‍රායල් ප්‍රහාරයේ දෙවැනි ජයග්‍රාහී කඩඉම වූයේ එරට පාලන බලයේ හිමිකරුවා වන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමෙයිනි හැර ඔහු වටා සිටි හමුදා ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ඇතුළු තීරණාත්මක චරිත රැසක් ඝාතනය කරනු ලැබීමයි. හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් මොහොමඞ් බෙගාරි, විප්ලවිය හමුදා හෙවත් ජනරජ බළකා ප්‍රධානී ජෙනරල් හුසේන් සලාමි, එම බළකායේ ගුවන් සටන් හා ඩ්‍රෝන මෙහෙයුම් ප්‍රධානි අමිර් අලි හජිසාද්, නියෝජ්‍ය හමුදාපති ගොලාඩ් රසිද් ආදි ඉහළතම නිලධාරිහු 30 කට අධික පිරිසක් මුල් අවස්ථාවේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඝාතනය වූහ. ඇමෙරිකාව 2003 වසරේ ඉරාකයට පහරදෙද්දි පවා මෙතරම් මානව සම්පත් හානියක් සදාම් හුසේන් පාලනයට කිරීමට ලොව පුරා මෙහෙයුම් ජාලය සහිත ප්‍රබලතම සී අයි ඒ බුද්ධි අංශය හිමි ඇමෙරිකාවටද නොහැකි විය. එහෙත් ඊශ්‍රායලය සටනේ මුල් අවස්ථාවේදීම එම ජය අත්කරගැනීමට ප්‍රධාන හේතුව කාලාන්තරයක් තිස්සේ  කෙමෙන් කෙමෙන් ඉරානය මොසාඞ් ඔත්තුකරුවන්ගේ තෝතැන්නක් වී තිබිම නිසා බව සැලකේ. 2024 හමාස් නායක ඉස්මයිල් හනියේ ටෙහෙරානයේදි ඝාතනය වීම ඊට කදිම පූර්ව උදාහරණයකි. 

ආරක්ෂක ප්‍රධානීන්ට අමතරව ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥ පෙරෙයුදොන් අබ්බාසි ඇතුළු ඉරානයේ පිළිගත් න්‍යෂ්ටික විද්‍යාඥයන් 12 දෙනාගෙන් 9 දෙනෙකුම ඝාතනය කෙරිණ. ඒ ඉතා නිවරැදිව ඔවුන්ගේ නිවාස හා රැඳී සිටි ස්ථානය හඳුනා එල්ල කළ තීක්ෂණ ප්‍රහාර මගිනි. අනතුරුව ඊශ්‍රායල් ගුවන් බළඇණිය නවතම ඇමෙරිකානු එෆ් 35 යානා පෙරටුකරගනිමින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, තෙල් ගබඩා, ආරක්ෂක හමුදා මූලස්ථාන හා සැකකටයුතු මිසයිල ප්‍රහාරක ස්ථාන ආදියට ගුවනින් බෝම්බ හෙලනු ලැබිය. සතිය පුරාවටම ඊශ්‍රායල් ආරක්ෂක අංශ තුළින් දක්නට ලැබුණේ එම ප්‍රහාර රටාවයි.

ඉරාන මිසයිල වැස්ස

ඉරානයද කොතරම් හානි වුවත් සටන අත් නොහැරීය. “බෙල්ල නැතත් කඳ සටනේ“ කියන්නාක් මෙන් හමුදාවේ නායකත්වය අතුගෑවි ගියද ප්‍රතිප්‍රහාරක ශක්තිය කිසිදු දුර්වලතාවත් නොපෙන්විය. ඉරානයත් ඊශ්‍රායලයත් අතර ආසන්නතම දුර වන කිලෝමීටර 1070 අවම වශයෙන් ආවරණය කළ හැකි පරිදි දුර ගමන් සිමාසහිත බැලස්ටික මිසයිල මේ ප්‍රහාරක ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබිණ. ඉරාන මිසයිල ගබඩාවේ ඇති කයිබර් ෂෙබාන් , ඉමාඩ්, ගධාර්, හජ් කසාම් හා ෆතාහ් වැනි මිසයිල තොග පිටින් ඊශ්‍රායලය වෙත යවනු ලැබිය. අයන්ඩෝම්, ඩේවිඩ්ස් ස්ලිංග්, ඇරෝ, පේට්‍රියට් හා තාඩ් වැනි මිසයිල ආරක්ෂක පද්ධති පහක රැකවරණය ලැබුණත් අවසානයේදී ඉරාන මිසයිල එක දෙක  ඊශ්‍රායල් නගර වෙත වැටී පුපුරාගියේ  ලොව දියුණුතම මිසයිල ආරක්ෂක පද්ධති පවා පූර්ණ සුරක්ෂිත නැති බව පෙන්වා දෙමිනි. ටෙල් අවිව් අගනුවර, ජෙරුසලම හා හයිෆා වැනි නගර වෙත දිගටම මිසයිල එල්ල විය. මොසාඩ් ඔත්තු සේවයේ මෙහෙයුම් කාර්යාලයටද හානි සිදුවූ බවට වාර්තා ඇත. 

එහෙත් දෙපාර්ශ්වයේ ප්‍රහාරවල ලක්ෂණ ලෙස දැකිය හැකි වූයේ ඉරාන ප්‍රහාර මගින් ඊශ්‍රායලයට ද්‍රව්‍යමය හානියක් පමණක් වෙද්දී ඊශ්‍රායල් ප්‍රහාර මගින් ඉරානයේ නායකත්වය ඇතුළු පාලන පද්ධතියට ව්‍යුහාත්මක හානියක් වීමයි. එහෙත් විශේෂත්වය වෙන්නේ ඊශ්‍රායලය ඉරානයේ ජනතා ජන්දයෙන් පත්වු ජනාධිපති මසුද් ෆිසිෂ්කින් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන්ට හානි සිදු නොකිරීමයි. එය සූක්ෂ්ම ක්‍රමෝපායී පියවරක් වෙන්නේ ඉරාන ඉස්ලාමීය පාලනයේ කේන්ද්‍රය දුර්වල කීරිම තුළින් ඉස්ලාමීය පාලනය අවසන්කිරීමේ මාර්ගය පාදාගැනීම මිස සාමාන්‍ය දේශපාලනික ප්‍රවාහයට බලපෑම් කිරීමෙන් වැළකීමයි. එමගින් සැබැ තර්ජනය අයතොල්ලා ඇතුළු පිරිස බව ඊශ්‍රායලය විසින් සන්නාම කර තිබිණ.  

දින හතක් ගතවූ තැන ඊශ්‍රායලයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඉරානයට හැකිවූයේ තම අවි ගබඩාවේ තිබු ෆතා 2 හයිපර්සොනික් එනම් ශබ්දයේ වේගය මෙන් 15ගුණයක වේගයක් සහිත මිසයිල ඉකුත් බ්‍රහස්පතින්දා ඊශ්‍රායලයට පතිත කරවීමෙනි. දකුණු ඊශ්‍රායලයේ සොරෝකා රෝහල විනාශ වීම ඇතුළු දේපළ හානි මෙන්ම දිනක් තුළ 240කට අධික පිරිසකට තුවාල සිදුකිරීමටත් එම දිනයේ ප්‍රහාර වලදී බහුවිධ පිපිරුම් කාරක හෙවත් මල්ටිප්ලයි වෝහෙඩ්ස් සහිත මිසයිල භාවිත කිරීමත් යන කරුණු නිසා සතිය අවසන් වනවිට ඉරානයද මේ සටනේ ශක්තිමත් ස්ථානයක් අත්කරගෙන තිබිණ. 

ඉරානය මැදපෙරදිග කලාපයේ රුසියාවට හා චීනයට සිටි එකම කළ්‍යාණ මිතුරාය. දැන් ඒ කලණ මිතුරා දැඩි අවදානමකය. එහෙත් රුසියාව මෙහිී ඉරානය සුරැකීමට ඉදිරිපත් නොවිය. හේතුව පැහැදිලිය. එක් පැත්තකින් රුසියාව යුක්රේන යුද්ධයේ පැටලී සිටි. අනෙක් අතට ඉරානය ආරක්ෂා කිරීමට නම් යුද බලවතෙකු වන ඊශ්‍රායලයද සමග ගැටිය යුතුය. එයද මේ අවස්ථාවේ අනතුරුදායකය. අනෙක් අතට රුසියානු ජනාධිපති පුටින් හා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර  ඇත්තේ සමීප හිතවත්  බවකි.

ඉරානයේ පරමාණුක බෝම්බ?

සති කිහිපයක් තුළ ඉරානය පරමාණු බෝම්බයක් තනා අවසන් කිරීම වැළැක්වීම සඳහා ඉරානයට එරෙහි යුද්ධය ඇරඹූ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් නිවේදනය කෙරිණ. කෙසේ වෙතත් ඉරානය සති කිහිපයකින් පරමාණු බෝම්බයක් හදන බව නෙතන්යාහු පළමුවෙන් පැවසුවේ 1992 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිටිදීය. 1995දී ඔහු පොතක් ලියා පළකර තිබුණේ ඉරානය ඉතා කෙටිකලකින් පරමාණුක බෝම්බ අත්පත් කරගන්නා බව තහවුරු කරමිනි. කාලය ගෙවි ගියේය. නෙතන්යාහු බෝම්බයක හැඩයෙන් සිත්තම් කර තිබු බෝම්බයක් දැක්වෙන කාලරාමු සටහනක්ද සමගින් 2009 වසරේ එක්සත් ජාතීන්ගේ මහ මාණ්ඩලය හමුවට පැමිණියේය. එම සටහන පෙන්වමින්ද ඔහු කියා සිටියේ තව මාස කිහිපයකින් හෝ සති කිහිපයකින් ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තනන බවයි. ඉන් පසු ගතවු වසරවලදී ද නෙතන්යාහු සති කිහිපයක බෝම්බ කතාව කීය. එහෙත් ඉරානය හැදූ බෝම්බයක් නම් නැත. 

ඔවුන් බෝම්බ තැනීමේ තාක්ෂණය හා ඊට අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය වඩාත් තාක්ෂණික අතින් විධිමත් කිරීමට අවශ්‍ය ශක්‍යතාව අත්කරගෙන තිබිණ. එහෙත් ඇමෙරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂිකා ලු‍තිනන් කර්නල් තුල්සි ගැබාඩ් මේ වසරේ මාර්තු මාසයේ පැවති කොංග්‍රස් මණ්ඩල විමර්ශන සැසිවාරයක් හමුවේ කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේ හැකියාව අත්කරගත් බවට කිසිදු බුද්ධි සාධකයක් නොමැති බවයි. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර හා පහසුකම් සහිත නතාන්ස් හා ඉස්ෆහාන් මෙන්ම ඉතා ගැඹුරින් න්‍යෂ්ටික පිරිපහදු ක්‍රියාවලිය සඳහා පහසුකම් සහිත විද්‍යාගාර හා ගබඩා සකසා ඇති ෆෝර්ඩෝ වෙත පහරදෙමින් සිටි. ඔවුන් සතු අවි වලින් එම ස්ථානවලට දැනටමත් දැඩි හානියක් ගෙනදී ඇත. 

එක්සත් ජාතින්ගේ පරමාණුක බලශක්ති ඒජන්සිය, විකිරණ කාන්දු හා රසායන කාන්දු ඇතිවිය හැකි බවට අනතුරු අඟවන්නේ එබැවිනි. කෙසේ වෙතත් සැබෑ න්‍යෂ්ටික ගබඩා හා විද්‍යාගාර පවතින්නේ මිටර 800ක් තරම් 

පො​ෙළාව යට, මීවද ක්‍රමයට සකසන ලද ඝන කොන්ක්‍රිට් ආවරණ සහිතව බව සැලකේ. මෙය වැනසීම ඊශ්‍රායලය සතු අවි වලින් හා ගුවන් යානාවලින් නොහැකි බව යුද විශේෂඥයන්ගේ පිළිගැනීමයි.ඇමෙරිකානු B2 Stealth Bomber හා එමගින් හෙළනු ලබන   GBU 57 MOP යන අධිබලැති බෝම්බය මගින් පමණක් ඉරාන න්‍යෂ්ටික පහසුකම් වැනසිය හැකි බවට කතාබහක් ඇතිවී තිබෙන්නේ එබැවිනි. එම ප්‍රහාරක පහසුකම ඊශ්‍රායලය වෙනුවෙන් ලබාදෙමින් යුද්ධයට සම්බන්ධ වීමට ඇමෙරිකාව සුදානම්ද යන්න මේ මොහොත වනවිටත් ප්‍රශ්නාර්ථයකි. 

ට්‍රම්ප් භූමිකාව හා යුරෝපය

ට්‍රම්ප් මෙහිදි අනුගමනය කළේ ලෝකයට තේරුම්ගැනීමට අපහසු භූමිකාවකි. මුලින් ඉරානය සාකච්ඡා සඳහා පොලඹවා ගැනීමටත්, ඊශ්‍රායලය ඉරානයට පහරදෙද්දී ඊශ්‍රායලය වෙනුවෙන් පෙනීසිටීමටත් පසුව ඇමෙරිකානු ආධාර ඊශ්‍රායලය අපේක්ෂා කරමින් සිටින මොහොතක සාම කථා ගැන විශ්වාසය පළකරමින් සති දෙකක් ඉවසන බව කීමත් එකිනෙකට පරස්පර සිද්ධි දාමයකි. කෙසේ වෙතත් ප්‍රතිපත්තිමය වශයෙන් ට්‍රම්ප් මෙන්ම සෙසු යුරෝපා රටවල්ද පසුවන්නේ ඉරානයේ ඉස්ලාමීය පාලනය නැත්නම් හොඳය යන ප්‍රතිපත්තිය යටතේ බව පැහැදිලිය.  ‘‘ඊශ්‍රායලය අප කළ යුතු ජරා වැඩ අප වෙනුවෙන් කරනවා’’ යැයි ජර්මන් චාන්සලර්වරයා පවසා ඇත්තේ එබැවිනි. බටහිර මතය ඉතා පැහැදිලිය. ඒ වත්මන් ස්වරූපයෙන් බැහැර වූ ඉරානයකි.

රුසියාව හා චීනය

ඉරානය මැදපෙරදිග කලාපයේ රුසියාවට හා චීනයට සිටි එකම කළ්‍යාණ මිතුරාය. දැන් ඒ කළණ මිතුරා දැඩි අවදානමකය. එහෙත් රුසියාව මෙහිදී ඉරානය සුරැකීමට ඉදිරිපත් නොවිය. හේතුව පැහැදිලිය. එක් පැත්තකින් රුසියාව යුක්රේන යුද්ධයේ පැටලී සිටි. අනෙක් අතට ඉරානය ආරක්ෂා කිරීමට නම් යුද බලවතෙකු වන ඊශ්‍රායලයද සමග ගැටිය යුතුය. එයද මේ අවස්ථාවේ අනතුරුදායකය. අනෙක් අතට රුසියානු ජනාධිපති පුටින් හා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර  ඇත්තේ සමීප හිතවත් බවකි. මේ සියල්ලම මැද අකමැත්තෙන් හෝ ඉරානය අත්හැර දැමීමට රුසියාවට සිදුව ඇත. චීනයටද ඇත්තේ මෙවැනිම ප්‍රශ්නයකි. ඉරානය වැටීම තුළ මැදපෙරදිග කලාපයේ චීනයට තිබු ලොකුම ආයෝජන කලාපය අහෝසි වෙයි. එමෙන්ම එම කලාපය තුළ සිට ක්‍රියාත්මක විය හැකි නවාතැනක්ද නැතිවෙයි. ඉරානය රැකීමට රුසියාව මෙන්ම චීනයද මේ අවස්ථාවේ ඊශ්‍රායලයට හා ඇමෙරිකාවට එරෙහිව අවි අමෝරාගනු ඇතැයි අපේක්ෂා කළ නොහැක්කේ වත්මන් ගෝලීය රටාව තුළ ඊට මුල්වෙන සාධකයන් නොපෙන්වන බැවිනි. කෙසේ වෙතත් චීනය රහසිගත ගුවන්යානා තුනකින් ඉරානයට යම් වැදගත් දෙයක් යැවූ බවට සැකයක් ඇත්තේ යුරෝපය බලා පියාසර කරමින් තිබු චීන කුලී යානා තුනක් මඳ වේලාවකට ඉරානය අසලදි රේඩාර් තිරයෙන් නොපෙනී ගොස් නැවතත් යම් කාලයකට පසුව මතුවී යුරෝපය බලා පියාසර කිරීම නිසයි. එය පිළිතුරු නොමැති සැක සහිත තත්ත්වයකි.

අවසානය කුමක් වේද?

කුමන රාජ්‍ය තාන්ත්‍රික හා සාම ක්‍රියාවලි පිළිබඳ වාචික සටහන් තැබුවද බටහිර බළකඳවුරේ අපේක්ෂාව නම් ඉස්ලාමීය ජනරජයකින් හා අයතොල්ලා පාලනයෙන් ව්‍යුක්ත වූ ඉරානයක් බිහිවෙනු දැකීමයි. ලෝක නායකයන් මේ වෙලාවේ හැසිරෙන ආකාරයෙන් එය පැහැදිලිය. එමෙන්ම අරාබිකරයේ සවුදි අරාබිය ඇතුළු සුන්නි මුස්ලිම් බළකඳවුරද ඉරානය බැට කෑමට එරෙහිව හඬ නැගීමක් සිදුකර නැත. මේ අනුව අරාබි රවවල් පවා ඉරානයේ රෙජිම් චේන්ජ් එකක් අපේක්ෂා කරයිද යන්න් ගැන ගැටලුවක් මතුවේ. කෙසේ වෙතත් අප දැන් අත් දකින්නේ මැදපෙරදිග කලාපයේ බළ කේන්ද්‍රය ඉතා විශාල පරිවර්තනීය වෙනසකට ලක්කරන සිද්ධි දාමයකි. එහි දේශපාලනික බලපෑම අධිකය. එහෙත් ගෝලීය ඛනිජතෙල් ප්‍රවාහන ක්‍රියාවලියට මෙතෙක් බාධා එල්ල වීමක් හෝ කලාපයේ වෙනත් රටවල් ගැටුමට සම්බන්ධ වීම හෝ ආරක්ෂක අවදානමක් හා විදෙස් ශ්‍රමිකයන්ට තර්ජනයක් එල්ල වීමක් නොමැති බැවින් මේ අවස්ථාවේ ආර්ථික බලපෑමක තර්ජනය පිළිබදව පැහැදිලිව විග්‍රහ කිරිමක් අපේක්ෂා කළ නොහැක.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ