මොනාලීසා නිරුවත් කළේ කවුරුන් ද?


 

 

ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1503 පමණ සිතුවම් කරන ලද, දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති මොනාලීසා සිතුවම තරම් කතාබහට ලක්වෙන වෙනත් පැරණි සිතුවමක් මිහිපිට නැති තරම්ය. මේ වසර වෙන විට 2019 ලෙනාඩෝ ඩා වින්චි මියගොස් වසර පන්සීයක් ගතවීම නිමිත්තෙන්, ප්‍රංශයේ සහ ඉතාලියේ ලෙනාඩෝ සහ ඔහුගේ සිතුවම් පිළිබඳව විද්වත් සාකච්ඡා ඇරඹී ඇත.   


මොනාලීසා සිතුවම සඳහා මුහුණ දී ඇති ආකාරයෙන්ම චිත්‍ර ශිල්පියාට මුහුණ දී සිටින, මොනාලීසා සිතුවමට නගන්නට ඇති 1503 වකවානුවේදී පමණ ම සිතුවමට නගන්නට ඇතැයි කාලනීර්ණය කර ඇති, මොනාලීසා මෙන් ම සළුවක් දකුණත දවටා සිටින එහෙත් අඩ නිරුවත් සිතුවමක් ප්‍රංශයේ චන්ටිල්ලි හි කෞතුකාගාරයක ඇත. මෙම සිතුවම නිරුවත් මොනාලීසා නමින් ද හැඳින්වේ. සිතුවම නිර්මාණය කර ඇති වකවානුව, රේඛා සහ වර්ණ ශෛලිය පිළිබඳව හදාරා ඇති සිතුවම් පිළිබඳව විද්වතුන් පවසන්නේ නිරුවත් මොනාලීසා සිතුවම ද ලෙනාර්ඩෝ ඩා වින්චිගේ ම නිර්මාණයක් බව ය. එහෙත් ඇතැම් විද්වතෙකු මෙම මතය සමඟ එකඟ නැත.

   
එවකට ෆිරෙන්සියේ පැවති චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදායට අනුව, බිත්ති හෝ වෙනයම් මතුපිටක සිතුවම් ඇඳීමේදී එය මුලින්ම කඩදාසි මත සැබෑ ප්‍රමාණයෙන්ම සිතුවම් කිරීමේ සිරිතක් තිබී ඇත. ඉන්පසුව මෙම කටුසටහන ඒ ප්‍රමාණයේම වෙනත් කඩදාසියක් මත තබා, සිතුවමේ රේඛා ඔස්සේ යටින් තබා ඇති කඩදාසිය ද සිදුරු වෙන ආකාරයෙන් සියුම් කටුවකින් සිදුරු කර ඇත. ඉන්පසු කටුසටහන් කඩදාසිය ඉවත් කර එම සිතුවමේ රේඛා සිදුරු සහිත පිටපත් කඩදාසිය සිතුවම ඇඳීමට නියමිත පසුබිම මත තබා ඒ මත කළු මැදීම කර ඇත. මෙමගින් පසුබිම මත කළු තිත් ලෙස සටහන් වෙන වැටිසන (OUTLINE) ඔස්සේ සිතුවම අනුරේඛණය (TRACE) කරගෙන ඇත. මෙම උපක්‍රමය ලෙනාඩෝ ඩා වින්චි මෙන් ම මයිකල් ආංජෙලෝ ද, එවකට සිටි වෙනත් චිත්‍ර ශිල්පීන් ද අනුගමනය කර ඇත. මෙයට සාක්ෂි ලෙස ඇතැම් සුප්‍රසිද්ධ සිතුවම්වල සියුම් සිදුරු සහිත කටු සටහන් තවමත් කෞතුකාගාර තුළ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. 

 
දැනට ප්‍රංශයේ චන්ටිල්ලි කෞතුකාගාරයේ තබා ඇති නිරුවත් මොනාලීසා කටුසටහනට අනුව අනුරේඛණය කර, වර්ණ ගල්වා ඇතැයි පිළිගැනෙන නිමි සිතුවමක් ඉතාලියේ ෆිරෙන්සි නගරයේ කෞතුකාගාරයක ඇත.   


ප්‍රංශයේ ඇති නිරුවත් මොනාලීසා කටුසටහන මෙන්ම ඒ අනුව නිර්මාණය කැර ඇතැයි සැලකෙන ෆිරෙන්සියේ ඇති සිතුවම ද අධ්‍යයනය කරන සිතුවම් පිළිබඳව ඇතැම් විද්වතුන් පවසන්නේ මේ සිතුවම් දෙකම ලෙනාඩෝ ඩා වින්චිගේ නිර්මාණයන් බව ය. නිරුවත් මොනාලීසා රේඛා ශෛලිය සහ වර්ණ සංයෝජනය ලෙනාඩෝ ඩා වින්චිගේ රේඛාවලට සහ වර්ණ සංයෝජනයට ඉතාමත්ම සමීපය. 

 
පැරණි සිතුවම් පිළිබඳව තවත් විද්වතෙකු පවසන්නේ නිරුවත් මොනාලීසා ලෙනාඩෝ ඩා වින්චිගේ අධීක්ෂණය යටතේ ඔහුගේ ගෝලබාලයන් විසින් කරන ලද නිර්මාණයක් බව ය. ඒ අනුව මෙම සිතුවමේ ඇතැම් රේඛාවක් පමණක් ලෙනාඩෝ ඩා වින්චිගේ ය.   


උක්ත කාරණාවන්ට අමතරව සමකාලීන සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් අනුකරණය කිරීමේ නැඹුරුවක් ද එවකට ෆිරෙන්සියේ අවශේෂ චිත්‍ර ශිල්පීන් අතර නොතිබුණාම නොවේ. නිරුවත් මොනාලීසා කටුසටහන මෙන්ම නිමි සිතුවම ද පරීක්ෂණයේදී පැහැදිලි වෙන්නේ ඒ දෙකම වමත්කරුවකු විසින් නිර්මාණය කර ඇති බවය. ලෙනාඩෝ ඩා වින්චි ද වමත්කාරයෙකි.   

 


යටියන ක්ලැරන්ස් කොස්තා,   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.