මුතුහර ළමා සමාජයක් ඩුබායි දේශයේ ඇරඹෙයි


මුතුහර ළමා සමාජය යනු වැඩිහිටි වියේ සිටින්නන්ට පවා සවනට හුරු වදනක් වෙන්නේ බොහෝ කලකට පෙර එය ආරම්භ කළේ රූපවාහිනි සංස්ථාව විසින් ලාංකික දරු පරපුර වෙනුවෙන් බැවිනි.


එහිම දිගුවක් ලෙස ඩුබායි රාජ්‍යයේ ආරම්භ කරන්නට යෙදුණු මෙම ළමා සමාජය ලාංකික දූ දරුවන් හට ශ්‍රී ලාංකික සංස්කෘතිය, සිරිත් විරිත් ආදීය ගැන වඩාත් පූර්ණ වැටහීමක් ලබාදීමට සේම මෙහි වෙසෙන දරුවන්ගේ කුසලතා තව තවත් ඔපනංවා ගැනීමේ අරමුණින්, ඩුබායි හි වෙසෙන සංගීත ශිල්පිණී උෂානි කරවිට මහත්මියගේ මූලිකත්වයෙන් හා මුතූ මහත්මියගේ අනුග්‍රහයෙන් මුතුහර ළමා සමාජයේ සමාරම්භක උළෙල පසුගියදා ඩුබායිහිදී පවත්වන්නට යෙදිණ.


මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ හරවත් ධර්ම දේශනාවක් තුළින් බුදු දහම ගැන සේම ළමා සමාජයේ සිරිත් විරිත්, ආකල්ප ගැන අදහසක් දරුවන්ට ලබාදීමට සංවිධායක පිරිස කටයුතු කළේ ළමා සමාජයක ළමයින්ගේ මනස ඉදිරියට මෙහෙයවීමට බුදු දහම ඉතාම යහපත් මග වෙන බැවිනි.


ලොව පුරා විවිධ රටවල ක්‍රියාත්මක වෙන මුතුහර ළමා සමාජ ජාලයට එකතුවෙමින් ඩුබායි හිද මෙම ළමා සමාජය ආරම්භ කිරීම තුළ මව් රටින් බැහැර වෙසෙන දරුවන්ගේ කලා කුසලතා හා සහජ හැකියාවන් දියුණු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සංවිධායකවරු අපේක්‍ෂා කරති.


ළමා සමාජයේ ළමා නිලධාරි මඩුල්ල තුළින්ම ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීමත් නායකත්ව පුහුණුව සඳහා ඔවුන් යොමුකිරීමත් සිදුකොට අදට වඩා යහපත් ලාංකික හෙට දවසක් සඳහා ඩුබායි දේශයේ ලාංකික දූ දරුවන්ද සම්බන්ධ කර ගැනීමට මෙම මුතුහර ළමා සමාජයෙන් පැසසිය යුතු මෙහෙවරක් ඉදිරියේදී ඉටුවනු දැක්ම, සැබෑ ශ්‍රී ලංකිකයකු සමාජයට භාරදීමේ මෙහෙවර මෙම ළමා සමාජයෙන්ද ඉටුවනු දැක්ම කාගේත් පැතුම වෙනු ඇත.

 



 

 

 

සුරංගි අතුකෝරල

සාජා සිට