ආසියාවේ සුන්දරම කඳු වැටියක් වන හින්දුකුෂ් කඳුවැටිය පාමුල ටොප්ඩාරා ගමේ අඩි 108ක් උස බෞද්ධ ස්තූපයක් ඇත. ක්‍රිස්තු වර්ෂ පළමු වැනි තුන්වැනි සියවස් අතර තිබූ කුෂාණ රාජවංශ සමයේ මෙම ස්තූපය ඉදිකරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම ස්තූපය හැඩයෙන් බරණැස ඉසිපතනයේ ධම්මේක ස්තූපයට මදක් සමානය.
මහා ඇලෙක්සැන්ඩර් රජුගෙන් පසු පෙරදිග විශාලම අධිරාජ්‍යයක් බිහි කළ කුෂාණ පාලකයන් ගේ අගනුවර වූයේ එදා පුරුෂ්පුර යනුවෙන් හැඳින්වූ අද පාකිස්ථානයේ පිහිටා ඇති පෙෂාවර් නගරයයි. ගිම්හාන සෘතුවේදී පෙෂාවර් නගරයේ උෂ්ණත්වය ඉහළ යන බැවින් කුෂාණ පාලකයන් ගිම්හාන සෘතුව ගත කළේ - අද අෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල් නගරයට කිලෝ මීටර් 60ක් පමණ උතුරින් පිහිටා ඇති බාග්‍රම් නගරයේය. හින්දු කුෂ් කඳුවැටිය පාමුල කුඩා සානුවක පිහිටා ඇති බාග්‍රම් හි එකල නම කපීසා ය. කපීසා නගරය පෙර – අපර දෙදිග යා කළ සේද මාවතේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, ක්‍රි.පූ. තුන්වැනි සියවසේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේ මෙන්ම, ක්‍රි.ව. පළමුවැනි සහ තුන්වැනි සියවස් අතර රජ කළ කුෂාණ රජවරුන්ගේ කාලයේදී ද එය විශාල බෞද්ධ මධ්‍යස්ථානයක් විය. විශේෂයෙන්ම හතරවැනි ධර්ම සංගායනාව සංවිධානය කළ කුෂාණ රජ පරපුරේ කණිෂ්ක රජුගේ කාලයේ කපීසා අතිශයින්ම සෞභාග්‍යවත් බෞද්ධ නගරයක්ව තිබී ඇත. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ සිට ක්‍රි.ව. හත්වැනි සියවස දක්වා වසර දහසක කාලයක් පමණ මෙම ප්‍රදේශය බොහෝ විට පාලනය කර ඇත්තේ බෞද්ධ අධිරාජ්‍යවරුන් හා බෞද්ධ ප්‍රාදේශීය රජවරුන්ය.
අදටත් නිරුපද්‍රිතව තිබෙන අඩි 108ක් උස ටොප්ඩාරා ගමේ ස්තූපය තිබෙන්නේ එදා කපීසා ලෙස හැඳින් වූ අද බාග්‍රම් ලෙස හඳුන්වන ප්‍රදේශ මායිමේ ය. කලින් කලට අලුත්වැඩියා කර ඇති මෙම ස්තූපය අද වනතෙක් මෙසේ නිරුපද්‍රිතව තිබීම එක අතකින් හාස්කමකි. ඒ දුරාතීතයේ සිට අද දක්වා එම භූමිය යුද කඳවුරක් ලෙස වරින් වර තිබී ඇති නිසාය.
ස්තූපය ඉදිවීමට සියවස් කීපයකට පෙර ක්‍රි.පූ. හතර වැනි සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් පෙරදිග රටවල් යටත් කර ගැනීමේ මහා මෙහෙයුමේ මූලස්ථානය වූයේ අද බාග්‍රම් නගරයයි. එම නිසාම ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ බාග්‍රම් ප්‍රදේශය හැඳින්වූයේ ඇලෙක්සැන්ඩ්‍රියා යන නමිනි.
මෑත යුගයේ දී 1950 දශකයේ දී රුසියාව විසින් බාග්‍රම් ප්‍රදේශයේ ගුවන් පථයක් තැනීමේ කටයුතු ආරම්භ කරන ලදී. 1979 - 1989 කාලය තුළ රුසියාව විසින් කරන ලද ඇෆ්ගනිස්ථාන ආක්‍රමණයේ දී බාග්‍රම් ගුවන් පථය ඉතාමත් කාර්ය බහුල තැනක් විය. පසු කාලීනව 2001 -2021 දක්වා ඇෆ්ගනිස්ථානයේ සිටි ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදාව බාග්‍රම් ගුවන් පරිශ්‍රය අයත් භූමියේ ඇෆ්ගනිස්ථානයේ ඔවුන් ගේ විශාලතම හමුදා කඳවුර ඉදිකරගෙන ඇත. ගුවන් පථයට අමතරව රෝහලක්, හමුදා නිවාස මෙන්ම විශාල ආපණශාලා ද මෙම සංකීර්ණයට ඇතුළත් කර තිබිණ. මේ නිසා නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් හමුදාව ඉවත් කර ගන්නා විට කිලෝ මීටර් 3.6 සහ කිලෝ මීටර් 1.9 දිග ගුවන් පථ දෙකකට අමතරව බාග්‍රම් හි විශාල ගොඩනැගිලි සංකීර්ණ කීපයක්ම තිබී ඇත.
බාග්‍රම් අසළ ඇති කුෂාණ යුගයේ කළ ස්ථූපය
ඇෆ්ගනිස්ථානයේ විසි වසරක් කඳවුරු ලා සිටි ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාව 2020 සහ 2021 වසර දෙක තුළ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 පෙබරවාරි මාසයේ තලේබාන් සංවිධානය සමග අත්සන් කළ ගිවිසුමකට අනුවය. ඒ ගිවිසුම අත්සන් කළේ කටාර්හි අගනුවර ඩෝහා නගරයේය.
ගිවිසුම අත්සන් කර මාස නවයකට පසු පැවති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරදා ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළේය. ඡන්දයෙන් පැරදුණු පසුවත් ට්‍රම්ප් නව රජයට කිව්වේ ඇෆ්ගනිස්ථානයේ සිටින ඉතුරු ඇමෙරිකානු සොල්දාදුවන් පිරිසත් ඉක්මනින් ඇමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි. 2021 අගෝස්තු මාසයේ දී අවසාන ඇමෙරිකානු හමුදා ඛණ්ඩ ද ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් විය.
එදා එසේ කළ ජනාධිපති ට්‍රම්ප් අද කියන්නේ වෙනස් කතාවකි. ඔහු දැන් කියන්නේ - ඇමෙරිකානු හමුදාව විසින් දමා එන ලද බාග්‍රම් හමුදා කඳවුර තලේබාන් රජය විසින් ආපසු ඇමෙරිකාවට ලබාදිය යුතු බවයි. පසුගිය මාසයේ දෙවරක්ම ට්‍රම්ප් විසින් බාග්‍රම් ගුවන් තොටුපල ඇතුළු කඳවුර නැවත අත්පත් කර ගැනීම පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ කර ඇති අතර, සැප්තැම්බර් 20 වැනිදා ඔහු කීවේ බාග්‍රම් නැවත ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා නොදුනහොත් නරක දේවල් විය හැකි බවයි.
තලේබාන් රජය ට්‍රම්ප් ගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාග්‍රම් කඳවුර නැවත ඉල්ලන්නේ චීනය පිළිබඳව ඇස ගසා ගෙන සිටීමටය යන්න විචාරක මතයයි. බාග්‍රම් හි සිට චීන දේශ සීමාවට ඇති දුර කි.මී. 800ක් පමණ ය. චීනය දැනටමත් ඇෆ්ගනිස්ථානයේ ආයෝජන කීපයක්ම අරඹා ඇති අතර, බාග්‍රම් සිට කි.මී. 80ක් පමණ දකුණින් පිහිටා ඇති මෙස් අයිනාක් ප්‍රදේශයේ කරගෙන යන තඹ කැණීම් ඒ අතර ප්‍රධාන වේ. මෙස් අයිනාක් තඹ නිධිය වටේටම ඇත්තේ ක්‍රි.ව. 5 වැනි සහ7 වැනි සියවස් අතර කළ බෞද්ධ විහාරාරාම, විශාල බුදු පිළිම හා ස්තූපයි. තඹ ටොන් මිලියන 450ක් පමණ ඇති මෙස් අයිනාක් නිධියේ කැණීම් නිසා බෞද්ධ නටබුන්වලට හානි සිදු වීමට ඉඩ ඇතැයි ලොව පුරා පුරාවිද්‍යාඥයන් දැනටමත් අනතුරු හඟවා ඇත.
2001 වසරේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමත් සමගම ලෝක අපවාදයට ලක්වූ තලේබාන් සංවිධානය අද සිය රජය යටතේ බෞද්ධ පුරාවිද්‍යා සිද්ධස්ථාන නටබුන් රැකගැනීමට කැපවී ඇති බව අවස්ථා කීපයකම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. බොහෝ දෙනා පවසන්නේ ඔවුන් දැන් එසේ කරන්නේ බෞද්ධ සංචාරකයන් තම රටට ගෙන්වාගැනීමේ අරමුණින් බවයි.
බාග්‍රම් කඳවුර
ඇමෙරිකාව බාග්‍රම් කඳවුර නැවත අත්පත් කර ගැනීමේ ප්‍රශ්නයක් වනු ඇත්තේ චීනයට පමණක් නොවේ. පසුගිය මැයි මාසයේ ඉන්‍දු - පාකිස්ථාන් ගැටුම් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ගත් ස්ථාවරය පිළිබඳව ඉන්දියාව අදටත් සිටින්නේ තරහිනි. විශේෂයෙන් ජනාධිපති ට්‍රම්ප් එම දිනවල කාශ්මීරය පිළිබඳ කළ ප්‍රකාශ නිසා ඇමෙරිකාව පාකිස්ථානයට සහාය දේ යන මතය ඉන්දියාවේ නායකයෝ දරති. ආනයනික බදු, වීසා බදු නිසා ඇමෙරිකාව සමග උරණව සිටින ඉන්දියාව, තම දේශසීමාව හා සම්බන්ධ අසල්වැසි රටක් වන ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරක් ඇමෙරිකාව නැවත අත්පත් කර ගැනීම අනාගත ඉන්දු - පාකිස්ථාන ගැටුම්වල දී පාකිස්ථානයට වාසි සහගත වේ යැයි ඉන්දියාව සිතීම සාධාරණය. ඉන්දියාව ඇෆ්ගනිස්ථානය හා දේශ සීමා සම්බන්ධය ඇති වන්නේ වයඹ දිග ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තය හරහාය.
මේ අතර, ඇෆ්ගන් තලේබාන් රජය හා ඉන්දීය රජය අතර සබඳතා දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර 2024 - 2025 මුදල් වර්ෂයේ හුවමාරු වූ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියනයක් ද ඉක්මවා ඇත. මීට අමතරව ඉන්දීය රජය ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට ද අතහිත දීමට ඉදිරිපත්ව ඇත. ඇෆ්ගනිස්ථානයේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නොමැති නිසා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කරන්නේ විදේශ ක්‍රීඩාංගණවලය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි ක්‍රිකට් ක්‍රීඩාංගණය හැරුණු විට ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම පුහුණු වන අනෙක් ක්‍රීඩාංගණය ඇත්තේ උතුරු ඉන්දියාවේ ගෞතම් බුද්ධ නගරයේ නොයිඩා දිස්ත්‍රික්කයේය.
මේ අතර ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවට ද බලපාන සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා සිදුවිය. ඒ සෞදි අරාබිය පාකිස්ථානය සමග අත්සන් කළ ආරක්‍ෂක ගිවිසුමයි. පාකිස්ථානය ලෝකයේ ප්‍රබලම ඉස්ලාමීය රට වන සෞදි අරාබිය සමග අනාගත ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් මෙසේ අත්වැල් බැඳගැනීම ඉන්දියාව සලකන්නේ තම ආරක්‍ෂාවට එල්ල වූ විශාල තර්ජනයක් ලෙසයි.
ඇමෙරිකාවට සෞදි අරාබිය යනු තම අතේ නැටවෙන රූකඩයකි. ඊශ්‍රායලය මැදපෙරදිග බොහෝ රටවලට ප්‍රහාර එල්ල කර තිබුණත් සෞදි අරාබියට ප්‍රහාර එල්ල නොකරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සෞදියේ ආරක්ෂකයා නිසාය. ඊශ්‍රායලයේ මෙන් න්‍යෂ්ටික අවි ආයුධ නොමැති සෞදි අරාබිය වරින් වර ඊශ්‍රායලය අනෙකුත් මැදපෙරදිග රටවලට කරන ප්‍රහාර පිළිබඳව විවේචන එල්ල කර ඇත.
සැප්තැම්බර් 17 අත්සන් කළ සෞදි - පාකිස්ථාන් ගිවිසුමෙන් පසු සෞදියට න්‍යෂ්ටික ආයුධ ඇති පාකිස්ථානයේ සහාය ලබාගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව සෞදි අරාබියට තවදුරටත් සිය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව මතම නැඹුරුවීමට අවශ්‍ය නැත. මෙතෙක් කල් පාකිස්ථානය ද කළේ තමන් ගේ හැම ප්‍රශ්නයක්ම ඇමෙරිකා එක්සත් ජනපදය ලවා විසඳා ගැනීමටයි. පාකිස්ථානය සෞදිය සමග ඇති කරගත් මෙම සබඳතාව සෞදිය හා පාකිස්ථානය තමන්ට අවශ්‍ය ආකාරයටම ඉදිරියේදී ද හැසිරවීමට ගැටලු ඇති කරතැයි ඇමෙරිකාව කල්පනා කරන්නට බොහෝ විට ඉඩ තිබුණි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්ථානයේ අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ බාග්‍රම් කඳවුර නැවත ඉල්ලීමට බොහෝ විට සෞදි - පාකිස්ථාන් ගිවිසුම බලපාන්නට ඇතැයි සිතිය හැක්කේ ට්‍රම්ප් මුලින්ම ඇෆ්ගනිස්ථානයට එම නියෝගය කළේ හරියටම ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළ දිනට පසු දින වීමයි. සැප්තැම්බර් 18 වැනිදා ට්‍රම්ප් කළ එම ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් දින දෙකකට පසුව නැවතත් ඔහු තලේබාන් රජයට එම නියෝගයම නිකුත් කළේ බාග්‍රම් කඳවුර ආපසු ඇමෙරිකාවට නොදුනහොත් ’‘නරක දේවල්’ (බෑඩ් තිංග්ස්) සිදුවීමට ඉඩ ඇති බවට අනතුරු ද හඟවමිනි.
ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කිට්ටු සබඳතා තිබුණත් ඇෆ්ගනිස්ථාන සාමාන්‍ය වැසියන් පාකිස්ථානය සලකන්නේ සතුරු රාජ්‍යයක් ලෙසයි. දශක ගණනාවක සිටම තම රටේ ජනතාව විඳිනා දුකට වගකිව යුත්තේ ඇෆ්ගන් රජයට විරුද්ධව ත්‍රස්තවාදී සංවිධාන පුහුණු කළ පාකිස්ථානය බව ඔවුන්ගේ මතයයි.
රුසියාව තමන්ට පක්‍ෂ රජයක් ඇෆ්ගනිස්ථානයේ ඇති කිරීමට1979 දී කළ ඇෆ්ගනිස්ථාන ආක්‍රමණයට විරුද්ධව ඇෆ්ගනිස්ථානයේ මුජහඩීන් නම් ත්‍රස්තවාදී සංවිධානය බිහිවූයේ ඇමෙරිකානු උදව්වෙනි. මුජහඩීන් කැරලිකරුවන්ට ආයුධ පුහුණුව දුන්නේ පාකිස්ථානයයි. මුජහඩීන් කැරලිකරුවන්ගේ සහායට විදේශ මුස්ලිම් තරුණයන් ගෙන්වා ගෙන තැනූ ඔසාමා බින් ලාඩන් ගේ නායකත්වයෙන් යුත් අල්කයිඩා සංවිධානයට ආයුධ දුන්නේ ඇමෙරිකාවයි.
අල්කයිඩා ත්‍රස්තවාදීන්ට යුධ පුහුණුව දුන්නේ පාකිස්ථානයයි. 1979 - 1989 කාලය තුළ සිදුවූ රුසියානු ආක්‍රමණ සමයේ රුසියාවට සහාය දුන් රජයේ හමුදාව හා කැරලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් ලක්‍ෂ 10ක් පමණ ජීවිතක්‍ෂයට පත්වූහ. ලක්‍ෂ 28ක් පාකිස්ථානයට සරණාගතයන් ලෙස ගිය අතර ලක්‍ෂ 15ක් පමණ ජනයා ඉරානය බලා පිටත් වූහ.
පාකිස්ථානයට ගිය ඇෆ්ගන් සරණාගතයන්ට පාකිස්ථානය සැලකුවේ ඉතාමත් පහත් ආකාරයටය. ඇෆ්ගන් වැසියන් පාකිස්ථානය කෙරෙහි දැඩි වෛරයකින් පසුවීමට මෙයද හේතුවක් විය. පාකිස්ථානය පිළිබඳව ඇෆ්ගන් සාමාන්‍ය වැසියන්ගේ වෛරය කොපමණ ද යන්න පැහැදිලි වන එක සිදුවීමක් 2022 ඕවර 20 ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහ තරගයත් සමග සිදුවිය. එම අවසාන මහා තරගයේ දී පාකිස්ථානය පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ සතුටට ඇෆ්ගන් වැසියන් වීදි බැස ජයඝෝෂා කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය. පාකිස්ථානය පිළිබඳව ඇෆ්ගන් ජනතාවට ඇත්තේ එතරම්ම තරහකි.