මිලානෝ පී.මේ. රංගශාලාව උණුසුම් කළ පෙම් සිහින ප්‍රසංගය


ඉතාලියේ මිලානෝ නගරය හරිම අපූරු නගරයකි. මෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් අපූරු මෙන්ම අසීරු දේ කිරීමට නිතරම උත්සහ කරති. පසුගියදා මිලානෝ ලොත්තො පී.මේ. රංගශාලාවේදී පැවැත්වුණු "පෙම් සිහින" ගීත ප්‍රසංගයද එවැනි අසීරු කර්තව්‍යයක් ලෙස හැඳින්විය හැකිය. 


උපන් බිම වටකර ඇති මහා සයුරෙන් එතෙර, ආගන්තුක දේශයකදී එවැනි ප්‍රසංගයක් වේදිකාගත කිරීම පහසු කටයුත්තක් නොවේ. එම අසීරු කර්තව්‍යය දෙවුර මත දරා ගෙන පෙම් සිහිනයේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට කරුණාසේන පට්ටියගේ සහ සමන්ත පෝරුතොට සංවිධායකයින් දෙපල සමත් වූහ. ගායනය සහ වාදනය උපතින්ම දායාදයක් ලෙස රැගෙන ආ ෂහී පෝරුතොට කලාකාරිණියගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පෙම් සිහින ලෙස නම් කර තිබුණි.

දිවයිනේ ජනප්‍රි පැරණි සහ නව පරපුරේ ගීත සමුච්චයක් පෙම් සිහින වේදිකාවේ ගැයීමට ෂහී පෝරුතොට විසින් තෝරා ගෙන තිබුණ අතර ඊට ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ කීපයක්ද එකතුකර ගැනීමට ඇය අමතක නොකළාය. 


ඇගේ ලගන්නා මියුරු හඬින් එම ගීත සමුච්චය ගැයෙන අතරතුර ප්‍රේක්ශකාගාරයේ සිටි ගීතලෝලීන් රසයෙන් රසවත් වූහ. කඨෝර සංගීතයෙන් තොර උසස් රසවින්දනාත්මක රිද්මයක් ප්‍රසංගය පුරාවටම පවත්වාගැනීමට මාර්කෝ ගොඩගන්දෙණිය ප්‍රමුඛ තරුණ වාද්‍ය වෘන්දය කළ මෙහෙය ඇගැයීමකට ලක්  කළ යුතුය. 


ෂහී පෝරුතොට සමඟ යුග ගී ගායනා සඳහා එක්වූ සහායකයින්ගේ තත්ත්වයද ඊට දෙවෙනි නොවන බවද සඳහන් කරමි. නර්තනයෙන් වේදිකාව හැඩකළ නර්තන ශිල්පිණියන් නර්තනයේ නවමු මංපෙත් සොයා යාමට වෙර දරා  තිබුණු බවක් දැනුණි.

 

සුරඟනන් තම පෙම්වතුන් සොයා වළාකුළු තුළට පියඹා යන අතිශයින්ම සුන්දර වූ සීතල සැන්දෑවක පෙම් සිහින රස පහසක උණුසුම ලබන්නට මිලානෝ රසික දනන්හට වරම් ලැබුණු බව අවසාන වශයෙන් සටහන් තබමි.

 

 

 


සුමිත් අරුණ 
ඉතාලියේ මිලානෝ නගරයේ සිට