මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයෙකු ශීතලයෙන් මිය යයි


ඡායාරූපය: අන්තර්ජාලයෙනි

 

ජනවාරි මස දහතුන් වැනි සඳුදා අලුයම ශ්‍රී ලාංකික පුරවැසියකු මිලානෝ නගරයේ මාවතක් අද්දර බංකුවක් මත මියැදී සිටියදී සොයා ගන්නා ලද බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මෙම ශ්‍රී ලාංකික පුරවැසියා නමින් නිශාන්ත ජගත් හේමකීර්ති වැවලගේ වෙන අතර වයස අවුරුදු හතළිස් හතක් බව ද පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.   
හිංසනයක කිසිදු සලකුණක් මෘත ශරීරය මත නොවෙන අතර මේ දිනවල ඉතාලිය පුරා පවතින අධික ශීතල දේශගුණය හේතුවෙන් මෙම මරණය සිදු වෙන්නට ඇති බව දැනට පිළිගෙන ඇත. මේ සම්බන්ධව මීට අමතරව කිසිදු තොරතුරුක් මිලානෝ පොලිසිය තවමත් ප්‍රකාශ කර නැත. 


ආහාර සහ නවාතැන් පහසුකම් ලැබීම සඳහා නිර්දේශිත පුද්ගලයකු ලෙස උක්ත ශ්‍රී ලාංකිකයා මිලානෝ නගර සභා ස්වේච්ඡා ආයතනයේ 2017 වසරේ සිට ලැයිස්තුගතව සිටිය ද, උපදෙස් පරිදි ආධාර සඳහා එම ආයතනයේ පෙනී සිට නැති බව පොලිස් වාර්තාවට අමතරව කරන ලද සොයා බැලීමේ දී ​හෙළි විය. 


ඉතාලියේ මෙවර සිසිර සෘතුවේ පසුගිය මාස කීපය තුළ අධික ශීතල හේතුවෙන් මහමඟ මිය ගිය හත් වැන්නා ලෙස මෙම මරණය වාර්තා වේ. 


ස්ථිර වාසස්ථානයක් නොමැති මහමඟ නිදන ජනතාවට මේ දිනවල ඉතාලියේ පවතින අධික සීතලෙන් මිදීම සඳහා ස්වේච්ඡා ආයතන විසින් උණුසුම් ආහාර වේල් සහ පොදු නිදන ශාලා පහසුකම් සලසා ඇත. මෙම නවාතැන් පොළවල නිදා ගැනීමට ඇතැමෙකු කැමැත්තක් දක්වන්නේ නැත. මහ මඟ නිදන්නවුන් අතර ස්වේච්ඡා සේවකයන් විසින් උණුසුම් ආහාර පාන සහ පෝරෝණ බෙදා හැරිය ද පවතින අධික ශීතලයෙන් මිදීමට එය ප්‍රමාණවත් නැත. 


කල්ප ගුරුගේ - මිලානෝ.