මළවුන්ගේ මාසය වෙනුවෙන් සයිප්‍රසයේ සිදුකළ දානමය පිංකම


 

 

​රෝමානු කතෝලික සභාවට අනුව වසරේ දින දර්ශනයේ සෑම දිනයක්ම කිසියම් සාන්තුවරයෙකු වෙනුවෙන් වෙන්කර ඇත. මේ අනුව ශුද්ධ ජුසේතුමාගේ දිනය, සාන්ත අන්තෝනි මුණිතුමන්ගේ දිනය ලෙස දින දර්ශනයේ ඒ ඒ දිනයන් අදාළ ශුද්ධවන්තයා සිහිකිරීම පිණිස යොදා ගැනේ. ශ්‍රී ලංකා කතෝලික සම්ප්‍රදායට අනුව නොවැම්බර් මස පළමු වැනිදා මළවුන්ගේ දිනය ලෙස නම්කර මළවුන් සිහි කිරීම, ඔවුන්ගේ ආත්මයන්ට සහනය උදෙසා දාන මාන දීම, පූජා පැවැත්වීම සිදු කෙරේ. එහෙත් වතිකාන සම්ප්‍රදායට අනුව නොවැම්බර් මස පළමු වැනිදා සියලු සාන්තුවරයන්ගේ දිනය ලෙස සලකන අතර මළවුන්ගේ දිනය ලෙස සැලකෙන්නේ නොවැම්බර් මස දෙවැනි දිනයයි.   


කෙසේ වෙතත් කතෝලික රටවල් මෙම මුළු මාසයම තම ඥාති මළගිය ආත්මයන් සිහි කිරීම පිණිස වෙන් කෙරුණ ද අද වෙනවිට මෙම සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ආසියාතික, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල පමණක් බව සමීක්ෂණවලින් හෙළි වී ඇත. මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව මුළු නොවැම්බර් මාසය පුරාම තම මළ ගිය අය වෙනුවෙන් පූජා පැවැත්වීම සිරිතක් කරගෙන සිටි අතර මේ කාලය තුළ කතෝලික කාන්තාවෝ කළු ඇඳුමින් සැරසී සිටිය බව අතීතය මතක ඇති අය දනී. එමෙන්ම තවත් කරුණක් වෙන්නේ යුරෝපයේ රටවල දෙසැම්බරයේ එළැඹෙන නත්තල වෙනුවෙන් නොවැම්බරයේ සිටම මංමාවත් සහ කඩසාප්පු සරසා තිබීම සදාචාරාත්මක නැති බව ඇතැමුන්ගේ මතයයි.   


​කොහොම නමුත් තම ඥාතීන් මියගිය පසු ඒ අය අමතක නොකොට සිහි කරමින් ඔවුන්ගේ නාමයෙන් පිං දහම් කිරීම කළගුණ දත් මිනිසුන් ලෙස ඉතාම යහපත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැක. එවන් මහඟු පිංකමක් සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිදු කරනු ලැබීය.   


සයිප්‍රසයේ කතෝලික සංඝය ප්‍රධානත්වයෙන් සදාසරණ කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොයුරියන් වන ගරු සුනීතා ප්‍රනාන්දු සහ ඇන්ජලා සජීවනී යන කන්‍යා සොයුරියන්ගේ මූලිකත්වයෙන් 2019-11-24 වැනි ඉරු දින නිකෝසියා සීතා උද්‍යානයේහිදී පැවැත්වූ මෙම මළවුන්ගේ දානමය පිංකමට විදේශිකයින් බොහෝදෙනෙක් ඇතුළු අතිවිශාල පිරිසක් සහභාගි වනු දක්නට ලැබිණ. පැමිණි සෑම දෙනාටම රසවත් ආහාර පානාදියෙන් සංග්‍රහ කෙරුණ අතර කිසිදු ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකික එකමුතුවෙන් හා විශේෂයෙන් මෙහි වෙසෙන ලාංකික තරුණ කැල විසින් මෙහි ප්‍රධාන කාර්යභාරය ඉටු කරන ලදී. අතහිත දුන් සෑම දෙනාටම කතෝලික සභාව ස්තූතිය පිරිනමයි.   

 

 

සටහන   
විමලා යාපා   
නිකෝසියා, සයිප්‍රස් සිට