බ්‍රිතාන්‍යයේ නව නීතිවලින් සුළු පරිමාණ ආසියාතික ව්‍යාපාරිකයන්ට දොර වැසේ


මහා බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීමත් සමගම දැනට බලපවත්වන ආගමන විගමන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බොරිස් ජොන්සන් රජය තීරණය කර ඇත. යුරෝපා හවුලට අයත්ව සිටියදී සාමූහික ගිවිසුම් මගින් හවුලේ සාමාජික රටවලට ලබාදී තිබුණු ආගමන විගමන පහසුකම් මෙම නව සංශෝධන හේතුවෙන් අහෝසි වී යනු ඇත. දැනට ලැබී ඇති විශ්වසනීය ආරංචිවලට අනුව, නව සංශෝධනයේ ඇතැම් වගන්තියක් යුරෝපා හවුලට අයත් නොවන රටවලට වාසියක් වෙනු ඇත. නව සංශෝධිත නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ දෙදහස් විසිඑක වසරේ ජනවාරි මස පළමුවැනිදා සිටය. 


දෙදහස් විසිඑක වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බ්‍රිතාන්‍ය නව ආගමන විගමන නීති රීතිවලට අනුව, වෘත්තීයමය හේතූන් මත 
බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සඳහා වීසා බලපත් ලැබෙන්නේ ඉහළම වෘත්තීයමය සුදුසුකම් ලද විදේශික පුරවැසියන්ට පමණි. විදේශික පුරවැසියා වෘත්තීයමය හේතූන් මත බ්‍රිතාන්‍ය වීසා බලපත ලබාගැනීම සඳහා බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය රැකියාවෙන් ලබාගැනීමට නියමිත වාර්ෂික දළ වැටුප අවම ස්ටර්ලින් පවුම් විසිදහස් හාරසිය අසූවක් (£. 20,480/-) බව සහතික කළ යුතුය. ඊට අමතරව වෘත්තියට අදාළ ලෙස ඉංග්‍රීසි භාෂාමය දැනුම ද මව්බිමේදී අධිකරණ දඬුවමකට (වසරකට වැඩි) යටත් වී නැති බව ද සහතික කළ යුතුය. 


වෘත්තීය හේතූන් මත බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමට වීසා බලපත්‍ර අයදුම්කරුගේ උක්ත සුදුසුකම් සියල්ල සලකා බලා, ලකුණු ක්‍රමයක් මත පිහිටවනු ඇත. රැකියාවේ ස්වභාවය, අයදුම්කරුගේ ඉංග්‍රීසි භාෂාමය දැනුම වැනි දේ ලකුණු ක්‍රමය සඳහා සැලකිල්ලට ගනු ඇත. උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු හැත්තෑවකි. ඉහළම වෘත්තීයමය සුදුසුකම් සඳහා ලකුණු විස්සකි. ඉංග්‍රීසි භාෂාමය දැනුම සඳහා උපරිම ලකුණු දහයකි. 


බොරිස් ජොන්සන් රජයේ ආගමන විගමන පනතේ යෝජිත නව සංශෝධනයට අනුව ස්ටර්ලින් පවුම් විසිදහස් හාරසිය අසූවකට අඩු දළ වාර්ෂික වැටුපක් ලැබීම සඳහා වෘත්තීයමය හේතූන් මත බ්‍රිතාන්‍ය වීසා නොලැබෙනු ඇත. 


දැනට බ්‍රිතාන්‍ය හෝටල් ක්‍ෂේත්‍රයේ පහළ ශ්‍රේණිවල සේවය කරන සියයට හැත්තෑවක ප්‍රතිශතයක් වෙන යුරෝපා හවුලට අයත් රටවල පුරවැසි ශ්‍රම හමුදාව පවුම් විසිදහස් හාරසිය අසූවක වාර්ෂික දළ වැටුපක් ලබන්නෝ නොවෙති. පැනවීමට නියමිත නව ආගමන විගමන නීති රීතිවලට අනුව මෙම විදේශීය ශ්‍රම හමුදාව තවදුරටත් රට තුළ රඳවා ගැනීමට නම්, මොවුන්ගේ අවම දළ වාර්ෂික වැටුප අනුමත අවම වැටුප් සීමාව ඉක්මවන ලෙස වැඩි කළ යුතුය. එසේත් නැති නම් මේ සඳහා බොරිස් ජොන්සන් රජය වෙනත් විකල්පයක් ඉදිරිපත් කළ යුතුය. මේ විසඳුම් දෙකෙන්ම බැහැර වේ නම්, බ්‍රිතාන්‍ය හෝටල් ක්‍ෂේත්‍රයේ කඩාවැටීමකට ලබන වසර ආරම්භයේ සිට මුහුණ දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම්ව සිටිය යුතුය. 
වෘත්තීයමය හේතූන් මත විදේශික පුරවැසියන්ට බ්‍රිතාන්‍ය වීසා බලපත් නිකුත් කිරීමේ යෝජිත අවම වැටුප් සීමාව ක්‍රමවේදය, ගොවිපොළ ඵල නෙළීමේ තාවකාලික ඍතු රැකියා ශ්‍රම හමුදාව බඳවා ගැනීමේදී ද අහිතකර ලෙස බලපෑම වැළැකීම අපහසුය. 


ගොවිපොළ ඵල නෙළීමේ ඍතුවේදී තාවකාලික කොන්ත්‍රාත් ක්‍රමයක් යටතේ යුරෝපීය නොවෙන දසදහසක ශ්‍රම හමුදාවක් වාර්ෂිකව බඳවා ගැනීමට නීති රීති නව ආගමන විගමන සංශෝධනය යටතේ යෝජනා වී ඇත. (මෙය ඉංග්‍රීසි බස දෙවැනි බස ලෙස භාවිත කරනු ලබන ශ්‍රී ලංකාව වැනි රටවලට වාසිදායකය.) එහෙත් අවම හැත්තෑදහසක ශ්‍රම හමුදාවක් ඵල නෙළීමේ ඍතුවේදී බ්‍රිතාන්‍යයට අවශ්‍යව ඇත. 


අධ්‍යාපන හේතූන් මත බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සඳහා වීසා බලපත් අයදුම් කිරීමේදී අයදුම්කරු අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය රජය පිළිගත් අධ්‍යාපන ආයතනයක බඳවා ගැනීමේ සහතිකය, පාඨමාලා කාලය තුළ නඩත්තු මුදල පිළිබඳ සහතිකය මෙන්ම, පාඨමාලාවට සුදුසු පරිදි ඉංග්‍රීසි බස දැනුම පිළිබඳ සහතිකයක් ද ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. පාඨමාලාව සාර්ථකව නිමා කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ වසර දෙකකට නොවැඩි කාලයකට රැකියාවක් කිරීමේ සහතිකය ද අධ්‍යාපන හේතූන් මත නිකුත් කරනු ලබන වීසා බලපතෙහි අඩංගු වනු ඇත. මේ දෙවසර තුළ අනුමත අවම වාර්ෂික දළ වැටුප සහතික කළ හැකි රැකියාවකට අනුයුක්ත වීමේ අවස්ථාව උදා කරගැනීමට බැරි නැත. 


මහා පරිමාණ මුදල් ආයෝජකයින්ට හැරුණුවිට ලබන වසරේ ජනවාරි මාසයේ සිට විදේශික ව්‍යාපාරිකයන්ට බ්‍රිතාන්‍ය වීසා බලපත් නිකුත් නොකෙරෙනු ඇත. ආසියාතික රටවලින් පැමිණෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ අනුව බ්‍රිතාන්‍යයේ දොරටු වැසෙනු ඇත. 


එංගලන්තයට ඇතුළුවීම සඳහා යුරෝපා හවුලට අයත් රටවල පුරවැසියන්ට වලංගු පුරවැසි හැඳුනුම්පත පමණක් දැනට ප්‍රමාණවත් වුව ද දෙදහස් විස්ස වසරේ දෙසැම්බර් මස තිස්එක් වැනිදායින් පසුව ඔවුන්ට වලංගු ජාත්‍යන්තර ගමන් බලපත මත මුද්‍රා තැබූ බ්‍රිතාන්‍ය වීසා බලපතකින් තොරව එංගලන්තයට ඇතුළුවීමේ අවසරය නොලැබෙනු ඇත. 
යටියන ක්ලැරන්ස් කොස්තා 


ෂෙසානෝ, රෝමය, ඉතාලිය.