පාප්තුමන් බැහැදැකීමට අත දරුවකු වඩාගෙන ප්‍රංශයේ සිට කි.මී. එක්දහස් පන්සීයක් පයින්


මුළු ගමනට මාස අටයි ඉතිරි දරු දෙදෙනා සහ ගමන් මලු බූරුවන් පිට 

 

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට බූරුවන් දෙදෙනකු සමග ගමන් ගන්නා මෙම පවුලේ ඡායාරූපය දුටු විට සිතෙන්නේ ජනවාරි මස හයවැනි දින වතිකානයේ පැවැත්වූණු රජතුන්කට්ටුවේ මංගල්‍ය මොහොතේ ගන්නා ලද ඡායාරූපයක් බව ය. එහෙත් එදින රජතුන්කට්ටුව වතිකාන නත්තල් ගවලෙනේ වැඩ සිටි ජේසු බිළිඳුන් බැහැදැකීමට පැමිණියේ බූරුවන් පිට නොව, ඔටුවන් පිට ය. එබැවින් මෙම ඡායාරූපය පිළිබඳ කතාව අනෙකකි. 


නීල්ස් සහ එලීස් අඹු-සැමි යුවල ප්‍රංශ ජාතික වෛද්‍යවරුන් වන අතර, වයස අවුරුදු හය හතර සහ අවුරුදු දෙකක දරු තිදෙනෙකුගේ මාපියෝ ය. මෙම වෛද්‍ය යුවලට අවශ්‍ය වූවේ සුපුරුදු දෛනික චර්යාවෙන් මිදී, තම දරුවන් ද සමගින් නවමු අත්දැකීමක් ලබාගැනීමට ය. 


වතිකානයට පැමිණ පාප්තුමන් බැහැදැකීම නීල්ස් සහ එලීස් යුවලගේ සිහිනයක්ව තිබුණේ බොහෝ කලක සිට ය. මෙම සිහිනය අමුතුම ආකාරයකින් සැබෑ කරගැනීම දෙදෙනාගේ ම එ්කමතික තීරණය විය. නීල්ස් අඹු-සැමි යුවල තම රැකියාවෙන් වසරක නිවාඩුවක් ලබාගත්හ. 


මීට මාස අටකට පෙර, එනම් පසුගිය වසරේ ජුනි මස නීල්ස් යුවල පාප්තුමන් බැහැදැකීම සඳහා වතිකානයට එන ගමන තමන් පදිංචිව සිටි ප්‍රංශයේ බොර්ඩෝ නගරයේ සිට ආරම්භ කළහ. ඔවුන් මෙම ගමන පිටත්වෙන විට අත දරුවාගේ වයස යන්තම් අවුරුදු එකයි මාස හතරක් පමණි. මෙම ගමන පා ගමණින් යාමට ඔවුන් දෙදෙන තීරණය කර තිබුණි. වැඩිමහළු දරු දෙදෙන සහ ගමන් මලු බූරුවන් දෙදෙනකු පිට විය. ඔවුන් ගමන පිටත්වෙන විට යුරෝපයේ වසන්ත සමය විය. 


ඉතාලියත් ප්‍රංශයත් වෙන්වෙන දේශ සීමාව ඇල්ප්ස් කඳු වැටියයි. එය සිසිරයේ ආරම්භයේ සිට ම හිමෙන් වැසුණු කපොල්ලකි. නීල්ස් යුවල තම දරු තිදෙනා ද සමගින් ප්‍රංශයේ සිට ඉතාලි දේශ සීමාව (වෙන්තිමීලියා) වෙත ළඟාවෙන විට වසන්තය නිමාවී සිසිරය උදාවී තිබුණි. ඔවුන් ගමන් කළ යුතුව තිබුණේ හිමෙන් වැසී ගිය මාවත් ඔස්සේ ය. එහෙත් වතිකාන ගමන පෙරට ම ඇදුණි. 


මිල අඩු ලැගුම්හල්වල ලගිමින් ගමන් කළ වෛද්‍ය යුවල පවසන්නේ ඒ ඒ ඍතුවට අවශ්‍ය ළමා ඇඳුම් පමණක් මෙම ගමනේදී මිලට ගත් බව ය. මෙම ගමනේදී වැඩිමහළු දරු දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ මහමග ය. සොබාදහමට ගරු කිරීමට සහ ආදරය කිරීමට ඔවුන් දෙදෙන එහිදී උගත් බව නීල්ස් මහතා කියයි. 


පසුගිය ජනවාරි විසිවැනි දින නීල්ස් යුවල තම දරු තිදෙනා ද බඩු පටවා ගත් බූරුවන් දෙදෙනා ද සමගින් වතිකානයට ළඟා වෙනවිට ගමන පිටත් වූ දින සිට මාස අටක් ගතවී තිබුණි. ගමන පිටත්වෙන විට එක් අවුරුදු හාරමස් වයස් වූ අත දරුවාගේ වයස දැන් වසර දෙකකි. ප්‍රංශයේ බොර්ඩෝ සිට වතිකානය දක්වා කි. මී. එක්දහස්පන්සීයක් මගගෙවා තිබුණි. පසුගිය මාස කීපය තුළ යුරෝපා කලාපයට ඇදහැළුණු මහා වැසි, ගංවතුර, ශීතල වැනි දේශගුණික විපර්යාස සියල්ලන්ටම ඔවුන් මුහුණ දී සිටියහ. 


ජනවාරි මස විසිදෙවැනි බදාදා වතිකානයේදී නීල්ස් යුවල තම දරුවන් ද සමගින් පාප්තුමන් බැහැදැක තිබුණි. නීල්ස් පවුල සමග ගමනට සහභාගී වූ බූරුවන් දෙදෙන කොහේ තබා ආවා දැයි සතුටු සාමිචියේදී පාප්තුමන් විසින් විමසන ලද බව ද වතිකාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.