පහරට පහර නොනවතින යුද්ධය - සාකච්ඡා මැද සාමයෙන් දුරස්වන යුක්රේනය


මේ ගෙවී ගිය සතියේ අන්තර්ජාතික මාධ්‍ය තුළ වඩාත්ම පුළුල් ලෙස කතාබහට ලක්වූ මාතෘකාවට අදාළව පළවූ සිරස්තල කිහිපයකි. ඉන් කියැවෙන්නේ යුක්රේනය හා රුසියාව ඉකුත් සඳුදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ආරම්භ කළ සාම සාකච්ඡාවල ප්‍රගතිය මෙන්ම ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ද බරපතළ සැකයක් මතු කරන බව සනාථ කෙරෙන පණිවුඩයයි. 1990 දශකයේ මුල භාගයේ ද සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර සමාජවාදී බලකඳවුර බිඳී යාමෙන් අවසන් වූ නිරවි යුද්ධය - සිසිල් යුද්ධය (COLD WAR)  නමැති භූ දේශපාලනික හා ආරක්ෂක සංදර්භයෙන් නිමවීමෙන් පසු අවසන් වූ බළකඳවුරු ගැටුම නව මුහුණුවරකින් වත්මන් සියවසේ දී එළිදකින විට ඒ ආශ්‍රිතව නිර්මාණය වූ වඩාත්ම දුෂ්කර හා තීරණාත්මක මෙන්ම පුළුල් ස්වභාවයක් ගන්නා අවි ගැටුම ලෙස යුක්රේන යුද්ධය ඉතිහාසයට එක්වෙයි.  ඉකුත් සතිය තුළ හටගත් සිදුවීම් සැලකිල්ලට ගැනීමේ දී යුක්රේන යුද්ධය හුදෙක් බළ කඳවුරු අරගලයක් ම නොව ලෝකයේ යුද මෙහෙයුම් ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ගෙන දෙන, මෙතෙක් පැවති යුද කලාව වෙනත් මානයකට යොමු කරන අර්බුදයක් වී තිබේ. මෙය වඩාත් පැහැදිළි ලෙස විද්‍යමාන වන්නේ යුක්රේන යුද්ධය තුළිනි. එය දැනට වෙනත් කලාප වල පවතින ඊශ්‍රායල් පලස්තීන යුද්ධය හා ඉන්දු පකිස්ථාන අවි ගැටුම වැනි සීමිත ගැටුම්කාරි තත්ත්වයන්හි දී  දක්නට නොලැබෙන සුවිශේෂී තත්ත්වයකි. 

යුද කලාව නව මානයකට

ක්‍රිස්තු පූර්ව 544 - 496 යුගයේ ජීවත් වු චීනයේ සෙන්පති සුන් සූ විසින් රචිත “යුද කලාව“ (ART OF WAR)  නම් කෘතියේ ඇතුළත් වැදගත් සටහන් දෙකක් යුක්රේන යුද්ධය හා ඍජුව බැඳේ. ඉන් එක සටහනක් නම්  “යුද්ධයේ අතිශයින් වැදගත් වන්නේ සටනකින් තොරව සතුරා මෙල්ල කිරිමයි” මේ සටහන වඩාත් සමපාත වන්නේ ප්‍රති ප්‍රහාරයකින් තොරව යුක්රේනය රුසියාවේ අභ්‍යන්තරයට ඉකුත් ඉරිදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයයි. එම ඩ්‍රෝන ප්‍රහාරය මෑත ඉතිහාසයේ වඩාත්ම සූක්ෂම, බුද්ධි අංශ දායකත්වයෙන් සැදි ප්‍රහාරයක් ලෙස වාර්තා අතරට එක්වෙයි. එහි දී යුක්රේනය රුසියානු පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිව රුසියානු ගුවන් හමුදාවේ කොඳු නාරටිය බඳු “ක්‍රමෝපායයික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා බළමුළුව” ඉලක්ක කිරිමට සමත් විය. 

“රුසියාව යුක්රේන නගර කිහිපයකට ඩ්‍රෝන හා මිසයිල යොදා ගනිමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි”

යුක්රේනය පවසන ආකාරයට රුසියානු ගුවන් හමුදාවේ ඔලෙන්ගා, ඉවනොවෝ,  යාගෙලිවෝ හා බෙලායා දිගුදුර මෙහෙයුම් යානා වන තුපොලෙව් තු - 95, තුපොලෙව් තු 160 හා තුපොලෙව් තු 22 වර්ගවල යානා 13ක්ද  ඒ - 50 නිරික්ෂණ යානයක්ද විනාශයට පත්ව තිබේ. ඊට අදාළ වීඩියෝ දර්ශන හා බටහිර රටවල් විසින් මාධ්‍යයට නිකුත් කරන ලද ඔත්තු සේවා චන්ද්‍රිකා ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ගුවන් කඳවුරු වෙත ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව පිළිගන්නා අතර  ගුවන්යානාවලට විශාල හානියක්  සිදුවූ බවට සංසරණය වෙමින් පවතින පුවත සත්‍යයෙන් තොර බව අවධාරණය කරයි. එම ප්‍රහාරයට නිසි ප්‍රතිචාරයක් දක්වන බවද රුසියාව කියයි. කෙසේ වෙතත් මෙය සතුරා අනපේක්ෂිත ලෙස විපිළිසර කළ ප්‍රහාරයක් බව සියලු තොරතුරු සමාලෝචනය කර බැලීමේ දීපෙනී යයි. එය දිගුකාලීනව සැලසුම් කර ඇත. ඉතා සූක්ෂම පියවර අනුගමනය කර තිබේ. නවින තාක්ෂණය ඉතා ප්‍රශස්ත ලෙස භාවිත කර ඇති බවක් පෙන්ණුම් කරයි. බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාවලිය ඉතා සූක්ෂම ආකාරයක් පෙන්ණුම් කරන බවක් ප්‍රහාරක සැලසුම දෙස බැලීමේදී පෙනී යයි. එය හීන්සැරය බඳු ප්‍රහාරයකි. 2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියා යුක්රේන යුද්ධයේ දී යුක්රේනය මෙවැනි “හීන් සැරය” ප්‍රහාර කිහිපයක්ම සැලසුම් සහගත ලෙස සිදුකර තිබේ. එහෙත් අන්තර්ජාතික ආරක්ෂක හා විද්වත් විශ්ලේෂක ප්‍රජාව නගන ප්‍රශ්නය වන්නේ යුක්රේනය මෙවැනි මෙහෙයුම් තනිව සංවිධාන කරන්නේ ද යන්නයි. ප්‍රහාරයේ ස්වභාවය අනුව බලන කළ අනිවාර්යයෙන්ම මෙය ඉතා දියුණු බුද්ධි අංශයක් විසින් සැළසුම් කරන ලද්දක් බව සනාථ වේ. එසේත් නැත්නම් යුක්රේනයේ අනු දැනුම ඇතිව යුක්රේනය ගිණුමට බැර කරමින් යුක්රේනයට සියලු ගෞරව ලබාදෙමින් ඉතා පුළුල් මෙහෙයුම් හැකියාවක් ඇති දියුණු බුද්ධි අංශයක් විසින් සිදුකරන ලද්දක් බවටද උපකල්පනයක් ඇත. කෙසේ වෙතත් යුක්රේනය පවසන්නේ මෙය තම බුද්ධි අංශය විසින් මාස 18ක් පුරා සැලසුම් කරන ලද ප්‍රහාරයක් බවයි. 

පහර දුන් හැටි

යුක්රේන ප්‍රහාරය එල්ල වූයේ ප්‍රධාන වශයෙන් රුසියානු ගුවන් කඳවුරු හතරක් වෙතයි. ඒ ඔලෙන්ගා, ඉවනොවෝ, යාගෙලිවෝ හා බෙලායා නව කඳවුරුය. ඒ අතරින් ඉවානොවෝ හා යාගෙලිවෝ යන කඳවුරු යුක්රේන දේශසීමාවට කිලෝමිටර700- 1000 පමණ දුර සීමාවේ පිහිටා ඇත. එහෙත් ඔලෙන්ගා කඳවුර පිහිටා ඇත්තේ ෆින්ලන්තට ආසන්න රුසියානු ආක්ටික් කලාපය තුළ වන අතර, යුක්රේනයේ සිට කිලෝමිටර 1900කට අධික දුරකින් එය පිහිටා ඇත. අනෙක් අතට බෙලායා කඳවුර පිහිටා ඇත්තේ යුක්රේනයට කිලෝමිටර 4800 කට අධික දුරකින් පිහිටි ඈත රුසියාවේ සයිබිරියානු කලාපයට යාබදවයි. යුක්රේනයේ සිට මෙම දුරකින් පිහිටි ඉලක්ක වෙත පහර දීමට අවශ්‍ය දිගු දුර මිසයිල යුක්රේන හමුදාවට නැත. ප්‍රහාරක ඩ්‍රෝන යානා මෙතරම් දුරක් පියාසර කරවිය නොහැක. ඒ නිසා අප කවුරුත් දැන් දන්නා පරිදි ප්‍රහාරය සඳහා රුසියාවේම සම්පත් භාවිත කිරිමට එහි සැලසුම්කරුවන් උත්සුක වී ඇත. එහිදි ඔවුන් ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා ගෙන ඇත්තේ රුසියාවේ භාණඩ ප්‍රවාහන ජාලයයි. එනම් කන්ටේනර් ප්‍රවාහන සේවාවයි.  යුක්රේන දේශසීමා ප්‍රදේශයේ සිට ඔලෙන්ගා, ඉවනොවෝ, යාගෙලිවෝ හා බෙලායා වෙත කන්ටේනර - බහලු‍ම් කිහිපයක් ප්‍රවාහනය සදහා රුසියානු ව්‍යාපාරිකයෙකු විසින් බහාලු‍ම් ප්‍රවාහන සේවාවකට ඇණවුම් භාර දී තිබේ. ඒ එකම කාල රාමුවක එම කන්ටේනර රුසියානු ගුවන් කඳවුරු ආසන්නයට ගමන් කරන ආකාරයට කාල රාමු සකසමිනි.  ලොරි රථ රියැදුරන්ට දැනුම් දි ඇත්තේ එම කන්ටේනර රැගත් රථ ගුවන් කඳවුරු ආසන්න රථ ගාල්වල කාල් කරන ලෙසටයි. මෙහිදී පැනනගින ප්‍රශ්න කිහිපයක් ඇත. මුලික වශයෙන් මෙතරම් ප්‍රහාරක ඩ්‍රෝන සංඛ්‍යාවක් රුසියාව තුළට ප්‍රවාහනය කෙරුණෙ කෙසේද? එය රුසියානු ආරක්ෂක අංශ හා බුද්ධි අංශ වෙත වාර්තා නොවුයේ ඇයි.? එම අවි කිලෝමිටර 4000කට අධික දුරක් රට අභ්‍යන්තරයට ගමන් කරන තෙක් එය කිසිදු පාර්ශ්වයකට නිරීක්ෂණය නොවූයේ ඇයි.? අනෙක් අතට මේවා සාමාන්‍ය කන්ටේනර නොවේ. එහි ඉහළ කොටස සකසා තිබුණේ ලී වලිනි. ඉතා තුනි ලෑලි විශේෂයකින් බව කියනු ලැබේ. එම වහලයට පුපුරන ද්‍රව්‍ය සවිතර තිබු අතර ඩ්‍රෝන යානා ද අධි බලැති පුපුරන ද්‍රව්‍යවලින් සමන්විතය. මෙතරම් දුරක් රට අභ්‍යන්තරයට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන තෙක් රුසියානු ආරක්ෂක අංශ කිසිදු අතකින් එය නොදැන සිටීමට හේතුව කුමක්ද? මෙවැනි ප්‍රහාරයක් ගැන අතිශය දියුණු හා මෙහෙයුම් හැකියාවෙන් යුත් රුසියානු බුද්ධි අංශ වෙත වාර්තා නොවූයේ ඇයි? ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට අවාසිදායක  තත්ත්වයක් නිර්මාණය කිරිමට අවශ්‍ය සියළු සාධක එම යුද සැළසුම තුළ අන්තර්ගත කර තිබු බවට ඉතා පැහැදිළි සාධක සමස්ත සිද්ධිය තුළින් පැහැදිළි වෙයි.  ප්‍රහාරය සඳහා ඩ්‍රෝන රුසියානු ගුවන් කඳවුරු වෙත රැගෙන ගියේ සාමාන්‍ය රුසියානු ජාතික ලොරි රථ රියදුරන් බව සැබැවකි. එවැනි රියදුරන් කිසිසේත් තමන් රැගෙන යන බහලු‍ම තුළ ඇත්තේ කුමක්ද යන්න ගැන සොයන්නේ නැත. ඊට හේතුව එවැනි පරික්ෂාවකට නීතිමය වරම ඇති රේගු හා ආරක්ෂක අධිකාරිය විසින් එම පරීක්ෂාවන් සිදුකරනු ඇතැයි යන විශ්වාස හා එවැනි පරික්ෂාවක් තම රාජකාරියට අදාල නොවන බැවිනි. ප්‍රවාහන සේවාවේ අරමුණ ඉක්මනින් ප්‍රවාහනය සිදුකොට තවත් එවැනි මෙහෙයුමක් සඳහා කාලය ඉතිරි කර ගැනීමයි.

“යුක්රේනය ඩ්‍රෝන යොදා ගනිමින් රුසියාවේ අභ්‍යන්තර ප්‍රදේශවලට  සිදුකළ ප්‍රහාරයකින් රුසියාවේ දිගුදුර මෙහෙයුම් ප්‍රහාරක යානා 40 කට පමණ හානි”

ඒ නිසා ලොරි රථ රියැදුරන් කිසිසේත් ප්‍රහාරයට සම්බන්ධ නැති සැළසුම් සහගත ලෙස ඊට ඈදාගනු ලැබු පිරිසක් බවට දැනට උපකල්පනය කළ හැක. එහෙත් ප්‍රවාහනය කිරීමෙන් අතතුරුව ඩ්‍රෝන දූරස්ථ පාලක මගින් ක්‍රියාකළේ කවුද? අනිවාර්යයෙන්ම එවැන්නක් සිදු කිරීමට භුමියේ බුද්ධි අංශ නිලධාරීන් සිටිය යුතුය. එය ඒ. අයි. තාක්ෂණය යොදාගෙන සිදුකළ බව ඇතැම් වාර්තා වල දැක්වෙතත් දූරස්ථව ඒ.අයි. තාක්ෂණය ක්‍රියාත්මක කිරිමට යොදාගත් තාක්ෂණය කුමක්ද? යන්න ගැන ගැටලුවක් ඇතිවේ. අනෙක් අතර මෙම කන්ටේනර ප්‍රහාරයට ඉතා සුදුසුම ස්ථානවල ස්ථාන ගත කර ඇති බවක් පෙනේ. ඇතැම් විට දූරස්ථ ස්ථාන ද විය. උදාහරණයක් ලෙස බෙලායා ගුවන් කඳවුරට කිලෝමීටර 7ක් දුරින් පිහිටි අධිවේගී මාර්ගයක් ආශ්‍රිතව ලොරි රථය නවත්වන්ට සලස්වා ප්‍රහාරය සිදුකර තිබේ.  ඩ්‍රෝන ඉලක්කය වෙත යොමුකර ඇති ආකාරය ද අධි තාක්ෂණිකය. එනම් පළමුව කන්ටේනර රථවල තුනී ලී පියස්ස  ඉක්මනින් පසෙකට ඉවත්ව යන ආකාරයට සැලසුම් කර තිබිණ. දෙවැනුව ලොරි රථ රියැදුරන් කිසිසේත් අපේක්ෂා නොකළ අවස්ථාවක ඩ්‍රෝන එම බහලු‍ම් තුළින් පියෑඹිමට සලස්වා ඇත. ඇතැම් රියැදුරන් පොලිසියට දුන් කටඋත්තරවල සඳහන්ව ඇත්තේ තමන් බියට පත්වී, එකවර ඉහළට නැඟෙන ඩ්‍රෝනවලට ගල්මුල් වලින් පහර දීමට උත්සුක වූ බවයි. සිද්ධියේ ව්‍යාකුල බව අවබෝධ කරගැනීමට එය කදිම අවස්ථාවකි. රුසියාව මීට ප්‍රතිචාර දැක්වුයේ ඩ්‍රෝන හා මිසයිල යොදාගනිමින් සිකුරාදා අළුයම් කාලයේ යුක්රේනයට පහරදීමෙනි. ඉන් කිව් අගනුවර ඇතුළු නගර 4 කට හානි සිදුවු බවත් 4 දෙනෙකු මියගොස් 20 අධික පිරිසක් තුවාල ලැබූ බවත් යුක්රේන ආරංචිමාර්ග පවසයි.

හානිය කොතරම් ද?

දැනට පළවන බටහිර මාධ්‍ය වාර්තා අනුව රුසියානු යානා 40කට පමණ හානි සිදුව ඇතැයි වාර්තා වේ. එහෙත් රුසියාව පවසන්නේ එය අතිශයෝක්ති වාර්තාකරණයක් බවයි. අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ යානා 20කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඉන් 10ක් පමණ ප්‍රයෝජනයට නොගත හැකි ආකාරයෙන් විනාශ වී ඇති බවයි.  තුපොලෙව් තු-95, තුපොලෙව් තු 160 හා තුපොලෙව් තු22 වර්ගවල යානා අයත් වන්නේ න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කළ හැකි අතිශයින් ක්‍රමෝපායික යුද උපාංග ලෙසයි. එමෙන්ම ඒවා සාම්ප්‍රදායකි අවි පද්ධති එනම් කෲස් මිසයිල වැනි යුද උපකරණ යොදා ගනිමින් ප්‍රහාර සිදුකිරීමේ හැකියාවන් ගෙන්ද යුක්ත වේ. මේ නිසා ප්‍රහාරය අතිශයින් තීරණාත්මක ඉලක්කයකට එල්ල වී ඇත. යුක්රේන යුද්ධයේදී රුසියානු නාවික හමුදාවේ ධජ නෞකාව ලෙස සලකුණු මොස්ක්වා යුද නැව ඇතුළු කළු මුහුදු නාවික බලඇණියට අයත් නැව් නාවික හා ගුවන් ඩ්‍රෝන මගින් විනාශ කිරිමේ සිද්ධීන් ද මෙහිදී සිහිපක් වේ. 

ප්‍රහාරයේ අතුරු බලපෑම

මෙතෙක් යුක්රේනය රුසියාව අභ්‍යන්තරයේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර අති මහත් බහුතරයක් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරිමට හැකිව තිබේ. එවැනි දියුණු අවි පද්ධති මගහැරීමට භාවිත කළ උපක්‍රමය රුසියාවට පමණක් තර්ජන එල්ල කරන්නක් නොවේ. අමෙරිකාව හා නේටෝ රටවල් මෙන්ම චීනය වැනි යුද බලවතුන්ගේ ගුවන්යානා ගාල් කඳවුරු ද දැන් මේ තර්ජනයටම ඉලක්ක වෙයි. ඉතා සමීප ස්ථානය සිට ඩ්‍රෝන යානා මුදාහැරීම හා ඒවා ඉතා පහතින් පියාසර කරමින් ඉලක්කවල වැදී පුපුරා යාමට සැලැස්වීම යන ක්‍රියාකාරකම් ගුවන් ආරක්ෂක පද්ධති අභියෝගයට ලක්කරයි. යුක්රේන යුද්ධය මා කලින් සදහන් කළ පරිදි මෙතෙක් පැවති යුද උපක්‍රම වල මානයන් වෙනස් කළ අවස්ථාවකි. උදාහරණයක් වශයෙන් ගොඩබිම් ප්‍රහාරක ක්‍රියාවලිය, නාවික මෙහෙයුම් හා ගුවන් මෙහෙයුම් සැලසුම් කිරීමේ රටාව ඉතා බහුල ලෙස සංශෝධනයකට ලක්කිරීමට සිදුව ඇත.  යුද ටැංකි හා සන්නද්ධ රථ අන් කවරදාකටත් වඩා ඉතා ලාභදායි අවි මගින් විනාශ කළ හැකි බව යුක්රේන යුද්ධයේ දී සනාථ විය. උදාහරණයක් ලෙස ජර්මනිය යුක්රෙන හමුදාවට ලබාදුන් ලෙෆර්ඩ් වර්ගයේ යුද ටැංකි යුද බිමේ දී ඉතා ආරක්ෂිත මෙන්ම අකාර්යක්ෂම බවද රුසියානු යුද ටැංකි නාශක ප්‍රහාර රටාව හමුවේ තහවුරු විය. රුසියාව සතු ටී - 72, ටී 90 හා අර්මාටා වැනි යුද ටැංකි අමෙරිකානු ජවලින් මිසයිල හමුවේ අනාරක්ෂිත බව ද යුක්රේන යුද්ධයේ දී තහවුරු විය. 

“යුක්රේනයට සැර උත්තරයක් දීමට පුටින් සූදානමින් - ට්‍රම්ප්”

 

ඒ නිසා වර්තමානයේ යුක්රේනයේ පවතින්නේ අධි තාක්ෂණික යුද්ධයකි. යුද තාක්ෂණයන් අතර තරගයකි. ආයුධ සංදර්ශණයකි. වෙළෙඳපොළ සඳහා ආයුධ හැකියාව ප්‍රායෝගිකව අත්හදා බලන්නකි, එමෙන්ම ආයුධ සඳහා නව වෙළෙඳපොළ බිහිකරන්නකි. යුක්රේන යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව රුසියාව හා අමෙරිකාව මහා පරිමාණ අවි නිෂ්පාදකයන් හා වෙළෙන්දන්ය. බ්‍රිතාන්‍යය ප්‍රංශය ජර්මනිය ආදි රටවල් ද අවි වෙළෙඳපොලේ දැවැන්තයන්ය. ඔවුන්ගේ නිෂ්පාදන උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය සිල්වර් ෂැඩෝ වැනි මිසයිල යුක්රේන යුද බිමේ අත්හදා බැලේ. යුක්රේනය පවා අවි වෙළෙන්දෙක් වන අතර අපේ උතුරේ යුද්ධය පැවති සමයේ මිග් යානා හා ඇන්ටනෝව් යානා මිලදි ගනු ලැබුවේ යුක්රේනය වෙතිනි. මේ අනුව බලන කළ යුක්රේන යුද්ධය මූලික වශයෙන් බටහිර හා රුසියානු බල අභිලාෂයන් පමණක් නොව ඉන් එහා ගිය බොහෝ අරමුණු සහිතව ක්‍රියාත්මක වන්නක් බව පෙනේ. විශේෂයෙන් යුරෝපා රටවල් රුසියාව ආරක්ෂක වශයෙන් දුර්වල කිරිමේ හා එරට යුද හැකියාවන් අඩාල කිරිමේ අරමුණු වලින් යුද්ධය දිගටම පවත්වාගෙන යාම ගැන අවධානය යොමු කර තිබෙන බව ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව පැහැදිළිය.

මන්දගාමි සාමය

යුක්රේනය හා රුසියාව ඉකුත් සඳුදා තුර්කියේ දී සාම සාකච්ඡා වලට එක්විය. එහෙත් ඉතා අල්ප ප්‍රතිඵල එනම් යුද සිරකරුවන් හා මියගිය සෙබළුන්ගේ සිරුරු හුවමාරු කරගැනීමේ එකඟතාවකින් පමණක් කතා බව අවසන් විය.  ඒ හැර සටන් විරාමයක් සඳහා අවශ්‍ය පසුබිමක් සකසාගත නොහැකි වූයේ  දෙපාර්ශ්වය අන්ත දෙකක පසුවූ බැවිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දැඩි බලපෑම යටතේ රුසියාවත් යුක්රේනයත් සාම කතා මේසයට පිවිසිය ද දෙපාර්ශ්වයම තම අභිලාෂයන් කිසිදු ආකාරයකින් වෙනස් කිරිමේ සූදානමක නැත. කෙසේ වෙතත් රුසියාව යුද්ධය නතර කිරිමට කැමති විය හැක්කේ ඔවුන් දැනටමත් යුක්රේනයෙන් 1/5ක් පමන අත්පත් කරගෙන ඇති බැවිනි. යුක්රේනයේ රුසියානු සම්භවයක් සහිත ජනයා වෙසෙන ප්‍රදේශ දිගටම තම පාලනයේ තබා ගැනීම රුසියාවේ අපේක්ෂාවයි.  යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි යුද්ධය නතර විමක් ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නේ තම යුරෝපා හා බටහිර මිතුරන් තවමත් අත දිගහැර යුද්ධයට මුදල් වියදම් කරන බැවිනි. අවි ආයුධ සපයන බැවිනි. අන්තර්ජාතික වේදිකාවේ දී යුක්රේනය වෙනුවෙන් පෙනි සිටින බැවිනි.  කෙසේ වෙතත් රුසියාව ලෙහෙසින් දුර්වල කළ හැකි රටක් නොවන බවට සාධක නැපෝලියානු යුද්ධ හා දෙවැනි ලෝක යුද්ධයේ නාසි ජර්මන් හමුදාව මුහුණ පෑ විනාශය ආදි සාධක තුළින් යුරෝපයට උදාහරණ ඇතත් තවමත් එය යථාර්ථයක් ලෙස පිළිගැනීමට ඔවුන් මැලිකමක් දක්වන අතර වර්තමානයේ ඇති භූ දේශපාලනික හා තාක්ෂණික සාධක මත තමන්ට වාසියක් අත්වේ යැයි බටහිර බලවතුන් විශ්වාස කරන බවක් පෙනී යයි.

ප්‍රසාද් කෞශල්‍ය    
දොඩන්ගොඩගේ