බාලවයස්කාරියන් යොදාගත් අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිමින් ඇතැමෙකු විසින් කරගෙන යනු ලබන විද්‍යුත් මාර්ගික බාලාපචාරය හා පුද්ගල චරිත ඝාතනය වැළකීම සඳහා ජාත්‍යන්තරව වලංගු නීති මාලාවක් සැකසීමට යුනිසෙෆ් ආයතනයට හා සේව් ද චිල්ඩ්රන් සංවිධානයට උපදෙස් දීම පිණිස සමීක්ෂණයක යෙදෙන ඉතාලියේ රාජ්‍ය නොවෙන සංවිධානයක් (‘‘ඊසෆ්’’ කාන්තාව රැකගැනීමේ ආයතනය) පසුගිය දා මා ඇමතීය.
උක්ත ආයතනය විසින් තෝරාගෙන තිබුණු ශ්‍රී ලංකාවේ බාලවයස්කාරියන් යැයි පැහැදිළිවම හඳුනාගන්නා ලද දැරියන් පෙනී සිටින අසභ්‍ය දර්ශන සහිත වීඩියෝපට කීපයක අඩංගු සිංහල දෙබස් මා ලවා ඉතාලි භාෂාවට පරිවර්ථනය කරගැනීම ඔවුන්ගේ අවශ්‍යතාව විය. ගිවිසගත් දිනෙක එම ආයතනයේදී අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද එම වීඩියෝ පට දෙබස් පරිවර්තනය සඳහා වගකිව යුතු පිරිසක් සමඟ නැරඹීමට මට සිදුවිය.
නිල් වීඩියෝපටවල මෙන් දර්ශනයට සහභාගි වෙන දෙදෙනා හෝ පිරිසට අමතරව වෙනත් පිරිසක් විසින් දර්ශන රූගත කර ඇති බවක් මෙම වීඩියෝපටවලින් නොපෙනේ. ආයතනය විසින් විශේෂ හේතූන් මත තෝරාගෙන තිබුණු බොහෝ වීඩියෝපට ‘‘ඔහු’’ විසින් ම වීඩියෝ කැමරාවකින් හෝ ජංගම දුරකථනයකින් හෝ රූගත කරන ලද, ආධුනික හා ප්‍රාථමික රූගතකිරීම් ලෙස සැලකිය හැකිය. එක් දර්ශනයක් විනාඩි දහසකට දොළහකට වඩා දිග නැත.
ඇතැම් අසභ්‍ය වීඩියෝපටයක් සිද්ධියට සම්බන්ධ දෙදෙනාගේම අනුදැනුමෙන් තොරව තෙවැන්නකු විසින් හොර රහසේම රූගත කර ඇති බවට හෝඩුවාවල් ඇත. බොහෝ විට මේවා රූගත කර ඇත්තේ ඉතාම අපිරිසිදු කාමර තුළදීය. මෙම කාමර හෝටල් කාමර නොව අවස්ථාවට අනුව සූදානම් කරගන්නා ලද කුළී කාමර ලෙස පිළිගත හැකිය.
ඇගේ නිරුවත හා සියලු ක්‍රියාකාරකම් රූගත කර ඇතුවද, තම මුහුණ නොපෙන්වීමට තරම් ඔහු උපායශීලී වී ඇත. ඇගෙන් සියළු ප්‍රයෝජන ලබාගත් පසුව ඇතැම් වසලයකු ඇගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා කිසියම් හෝඩුවාවක් ඉතිරි කර තැබීමට ද අමතක කර නැත.
ඇය අත වරද නැතුවාම යැයි කිව නොහැකි වුවද, බොහෝ අසභ්‍ය වීඩියෝ දර්ශනවල දෙබස්වලින් සහතික කළ හැක්කේ ඇය ව්‍යාජ පෙම්වතෙකුගේ උගුලකට හසුවී ඇති බව ඇයටම ඒ මොහොතේ වැටහී ඇති බවය. උගුලකට හසුවූ බව දැනගත් පසුව ඇය අකමැත්ත හෝ බිය පෙන්වමින් එතැනින් ඉවත්වීමේ අසාර්ථක උත්සහයක යෙදෙයි. එහෙත් සිදුවෙන අනතුර පිළිබඳ නිසි තක්සේරුවෙන් තොරවීම නිසා දෝ ඒවා බොළඳ ආයාචනයන් මිස ප්‍රබල විරෝධතාවන් නොවේ.
පෞද්ගලිකයි රහසිගතයි කියමින් හෝ මේ මොහොත සිහිවීම පිණිස පමණයි කියමින් හෝ තම අරමුණ කරා ඇය ස්වෙච්ඡාවෙන්ම කැඳවාගැනීමට තරම් ඔහු කපටිය. ජංගම දුරකථනය හෝ වීඩියෝ කැමරාව හෝ ක්‍රියාත්මක බව ඇයට තේරුම් ගොස් ඇති බව ඇතැම් දෙබස්වලින් පැහැදිළි වුවද, චාටුවෙන් එය අකාමකා දැමීමට ඔහු සමත්ය.
ඉහළ පෙළේ බාලිකා විද්‍යාලයක ශිෂ්‍ය නායිකාවකැයි සිතිය හැකි බාලවයස්කාරියකගෙන් සියලු අවශ්‍යතාවන් ඉටුකරගත් පසුව, ඇය හඳුනාගැනීම පහසුවෙන හෝඩුවාවක් ලෙස ඇගේ පාසල් නිලඇඳුමේ කිසියම් ලාංඡනයක් මධ්‍ය සමීප රූප රාමුවක් ලෙස රූගත කිරීමට තරම් ඔහු සැහැසි වී ඇත. (කුතුහලය නිසාම කියවා ගැනීමට පහසුවෙන ලෙස එම රූපරාමුව විශාල කරන ලෙස මා විසින් ඉල්ලා සිටියද, වගකිවයුත්තෝ එය ප්‍රතික්ෂේප කළහ)
බස්රියක අසුන්ගෙන සිටි මගියකු විසින් සිටගෙන ගමන්කරන පාසල් දැරියකගේ සාය යටින් නිරුවත පෙනෙන ලෙස ඡංගම දුරකථනයකින් රූගත කර ඇතැයි සිතිය හැකි රූප පෙළට ‘‘කටාන’’ යන වචනය ද ඇතුළත් කිරීමෙන්, ඇය කොයි ප්‍රදේශයේ ද යන්න කෙනෙකුට සොයාගැනීම පහසු කරයි.
අහිංසක පෙනුමක් ඇති ගැමි දැරියන් යයි සිතිය හැකි බාලවයස්කාරියන් ලඳු කැලෑවලදී හෝ පැල්පත් තුළදී හෝ චාටු බස් දොඩමින් නිරුවත්කර රූගත කිරීමෙන් පමණක් ඇතැමෙකු සෑහීමකට පත්ව ඇති බව පෙනුනද, එය කූඨ පෙම්වතෙකු විසින් ඇය කැඳවාගෙන යන දීර්ඝ ගමනක පළමු පියවර පමණක් යැයි විශ්වාස කළ හැකිය.
ඇය කෙතරම් අන්ධව ඔහු විශ්වාස කරන්නේ ද යන වග ඇගේ ආයාචනාත්මක වදන්වලින් පැහැදිළිවේ. මුල පටන්ම ඇය පාවාදීමේ කූඨ චේතනාව මිස සැබෑ ආදරයක් ව්‍යාජ පෙම්වතා තුළ නැති වග ඇයගේ පමණක් අනන්‍යතාව නොසැගවීමෙන් හා මෙවැනි දර්ශන සමාජ වෙබ් අඩවි හෝ වෙනත් මාර්ග ඔස්සේ ප්‍රචාරය කර හැරීමෙන් ම පෙනේ. ගැහැනියකගේ චරිතය පමණක් නොව ආත්මයම විනාශ කරනු ලබන මෙවැනි වසලයන් හට නිසි දඬුවම් ලබාදීම සඳහා දේශසීමාවකින් තොරව නීතිරීති සැකසීමට සේව් ද චිල්ඩ්රන් සංවිධානය යුනිසෙෆ් ආයතනය සමඟ අත්වැල් බැඳගන්නා දිනය වැඩි ඈතක නොවේ.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.