නව වසරට ආශිර්වාද පතා සයිප්‍රසයේ පිංකම් මාලාවක්


2019 වසර නිමා වී ලබන්නා වූ 2020 නව වසර වෙනුවෙන් ආශිර්වාද පිංකම් මාලාවක් අප සේවය කරන සයිප්‍රස් රාජ්‍යයෙහි ඇති එකම විහාරස්ථානය වන ශ්‍රී ලංකාරාම විහාරයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කර ඇති බව දැනුම් දෙනු ලබයි.   


 විහාරාධිපති කැලණිය වේවැල්දූව පුරාණ රජමහා විහාරය වන ශ්‍රී නාගරුක්ඛාරාමය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති ගරුතර මොරවක සෝරත හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පිංකම් මාලාවෙහි ප්‍රථම පිංකම දෙසැම්බර් මස 28 වැනි දින ලිමාසෝල් නගරයේ සදහම් මැදුරෙහි පැවැත් වේ. එදින රාත්‍රියෙහි මහා පිරිත් දේශනයකි. ඉන්පසු දෙසැම්බර් 31 වැනි දින රාත්‍රියෙහි නිකෝසියා සදහම් මැදුරේදී මල්, ගිලන්පස සහිත සම්බුද්ධ පූජාවකි. අනතුරුව මධ්‍යම රාත්‍රිය දක්වා පිරිත් දේශනයක් පැවැත්වෙන බැවින් ලබන්නා වූ නව වසරට තෙරුවණේ ආශිර්වාදය ලබා ගැනීමට ආගමික වතාවත්වල යෙදීමට සයිප්‍රසයේ සේවය කරන ඔබට ලැබෙන්නා වූ මහඟු අවස්ථාවකි.   


 2020 ජනවාරි 1 වැනි දින උදෑසන සිට ලිමසෝල් නගරයේ සදහම් මැදුරේ සහ නිකෝසියා සදහම් සෙවණේ කිරි ආහාර පූජාවන් ද දහවල බුද්ධ පූජාව සමග ආශිර්වාද පූජාවන් ද දවස පුරා පැවැත්වේ.   


විමලා යාපා   
නිකෝසියා,  සයිප්‍රස්