උත්තර ධ්‍රැවයට මායිම් ව අමෙරිකාවේ බටහිර අන්තයේ සති අග සීතල ඇලස්කාව උණුසුම් විය. එක් පැත්තකින් පරිසරය ද උණුසුම් වී මැන්ඩෙල් ග්ලැසියරය දියවී, එහි ජලකඳ ඇලස්කාවේ ජුනෙව් අගනුවරට ගංවතුර තර්ජනයක් ද ඇති කළේය.
එය හරියට“ගෝලීය උණුසුම ඉහළ යාම යනුවෙන් දෙයක් නැතැයි” කියමින්, පුළුවන් තරම් තෙල් හා ගල්අඟුරු භාවිත කිරිමට උපදෙස් දෙමින් ඇලස්කාවට පැමිණෙන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහා සොබාදහම පිළියෙළ කළ පිළිගැනිමේ උත්සවයක් බඳුය. දේශගුණික උණුසුම හා සමගාමීව දේශපාලනික උණුසුම ද ඉහළ ගියේය. ඒ ලොව බලවත්ම නායකයන් දෙදෙනා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉතිහාසයේ මුල් වරට ඇලස්කාවට පැමිණිම හේතුවෙනි. මෙය අතිශය උසස් රාජ්‍ය නායක හමුවක් සඳහා ඇලස්කාව තෝරා ගත් මුල් වතාවයි. ඇලස්කාවට පැමිණෙන පුටින්ට ’අනේ අපොයි’ කියා සිතුවිල්ලක් පහළ වීමට ඉඩ ඇත්තේ එහි අතීතය සිහිපත් වුවහොතිනි. ඇලස්කාව උතුරු අමෙරිකානු මහද්විපයේ පිහිටා තිබුණ ද, එය 19 වැනි සියවස දක්වා පැවතියේ රුසියාවේ යටත් බල ප්‍රදේශයක් ලෙසිනි .
මේ භූමිය අදටත් අමෙරිකා එක්සත් ජනපදයට කිසිසේත් භෞමිකව සම්බන්ධ නොවේ. එය උත්තර ධ්‍රැවයෙන්, නැගෙනහිරින් කැනඩාවෙන් හා දකුණෙන් ශාන්තිකර සාගරයෙන් වටවූ භූමියක් වන අතර - බටහිරින් බෙරිංග් සමුද්‍ර සන්ධියෙන් සීමා වන ඇලස්කාවේ සිට ආසන්නතම රුසියානු භූමිය වන බිග් ඩයොමෙඩේ දුපත වෙත ඇත්තේ , කිලෝමිටර් 3.8ක දුරකි. සීත ඍතුවට මුහුද මිදෙන නිසා රටවල් දෙක අතර පයින් ගමන් කළ හැකිවේ. ඇලස්කාව අද වනවිට අමෙරිකාවේ ප්‍රාන්තයක් වන අතර, අමෙරිකානු ප්‍රධාන භූමිය පිහිටා ඇත්තේ ඇලස්කාව ට කිලෝමිටර් 800ක් පමණ දුරිනි.
මේ සියලු සීමා මායිම් ගැන සඳහන් කළේ , අතීතයේ රුසියාවේ කොටසක් වූ ඇලස්කාව අද අමෙරිකාවේ කොටසක් වී ඇති බව කීමට යි. 19වැනි සියවසේ මැද භාගයේ දී ක්‍රිමියානු යුද්ධයෙන් පැරදී සිටි රුසියාවේ දෙවැනි ඇලෙක්සැන්ඩර් රජු - පාඩු පියවා ගැනිම සඳහා 1867 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන7.2කට, එනම් වර්ග කිලෝමිටර් 15,18800 ක විශාලත්වයෙන් යුත් ඇලස්කාව - අක්කරයක් ඩොලර් ශත 2 ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයට විකුණා දැමීමට පියවර ගත්තේ ය. රුසියාවට අයත්ව තිබු ඇලස්කාව අමෙරිකාවේ වූයේ ඒ අයුරිනි. අද මේ භූමිය තිබුණා නම් යන හැඟීම එහි පය තැබු ජනාධිපති පුටින්ට ඇති වන්නට ඉඩ නැතැයි කාටනම් කිව හැකිද? මේ පූර්විකාව තුළින් අපේ ප්‍රවිෂ්ටය යොමු වන්නේ, වර්තමානයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිවෙත් නිසා අපේ අසල්වැසි ඉන්දියාව මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය හා ඊට මුහුණ දීමට ඉන්දියාව පියවර ගන්නා ආකාරය ගැන සටහනක් තැබීමටයි.
ඉන්දියාව දැන් තීරණාත්මක මං සන්ධියකට පැමිණ ඇත. ඊට පිවිසීමට ඉන්දියාව පාරට තල්ලු කළේ ට්‍රම්ප් ය. මෑත ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අමෙරිකාව ඉන්දියාවට අභියෝග එල්ල කරයි. රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා ඇරඹීමට පෙරාතුව, අමෙරිකානු ජනාධිපතිවරයා යළි තර්ජනාංගුලිය එසවුයේ, රුසියානු ජනාධිපති හා තමා අතර සාකච්ඡා අසාර්ථක වුව හොත්, ඉන්දියාවට පනවා ඇති දැඩි බදු ක්‍රියාත්මක වනු ඇති බවයි. ට්‍රම්ප් ගේ ඉන්දිය අරෝව කුමක්ද ?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය පෙබරවාරි මාසයේ වොෂිංටනයේ දී “මගේ මිතුරා” කියමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වැලඳ ගෙන සිටියේ ගහයි වැලයි පරිද්දෙනි. එහෙත් අගෝස්තු මාසය වනවිට ට්‍රම්ප් මිතුරා දුම්මල වරම ගෙන මෝදි මිතුරාට දවල් තරු පෙනෙන ආකාරයේ බදු පහරක් එල්ල කොට තිබේ . දැනට අමෙරිකානු බදු වැඩිම ප්‍රතිශතයකින් එනම් සියයට50 ක අගයකින් පනවා ඇත්තේ ඉන්දියාවට හා බ්‍රසීලයට පමණි. සියයට 25ක් තීරු බද්දක් දැනටමත් එනම් අගෝස්තු 7 වෙනිදා සිට ඉන්දියානු ආනයන සඳහා ක්‍රියාත්මක කිරිමට වොෂිංටනය පියවර ගෙන ඇත. ඒ සමගම ඊට තවත් සියයට 25 තවත් දින 20 ක කාලයක දී එකතු කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. තවදුරටත් මේ ගැන ඉන්දියාව සමග සාකච්ඡා නොකරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මෙය මාස 6 ක් තුළ ඉන්දීය අමෙරිකා සබඳතා ඇද වැටුණු පහතම අඩිය සේ සැලකේ. ට්‍රම්ප් පහර දී ඇත්තේ ඉන්දියාවේ වෙළෙඳාමට පමණක් නොවේ. එරට ක්‍රමෝපායයික අන්තර්ජාතික සබඳතා රටාව ට හා ඉන්දීය ආර්ථික පදනමට යි. ඉන්දියාව රුසියාව සමග පවත්නා වෙළෙඳාම නතර කිරීම, බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය දැරීම ගැන අභියෝගයක් එල්ල කිරීම හා ඉන්දියාව දැනට පවත්වා ගෙන යන භූ දේශපාලනික ප්‍රතිරූපය අමෙරිකාවට අවශ්‍ය පරිදි වෙනස් කිරිම යන අරමුණු ද ට්‍රම්ප් බදු පසුපස ඇත. මෙය නිදහසෙන් පසු ඉන්දියාව රටක් ලෙස අන්තර්ජාතික මහ බලවතෙකුගෙන් එල්ල වු දරුණුතම බලපෑමට මුහුණ දෙන අවස්ථාව ලෙස සැලකීමට පුළුවන. නිරවි යුද (COLD WAR) සමයේ සෝවියට කඳවුර සමග සිටි ඉන්දියාවට පවා එකළ ප්‍රතිවාදී මහ බලවතා වූ අමෙරිකාවෙන් මෙතරම් දැඩි අභියෝගයක් එල්ල වූයේ නැත. අමෙරිකාව දැන් එළව එළවා බැට දෙන්නේ, දකුණු ආසියානු කලාපය තුළ අමෙරිකාව සමග සමීපව කඳවුරුගතව සිටින ප්‍රබලතම රාජ්‍යයට වීම දෛවෝපගත සිද්ධියකි. ඉන්දියාව අගමැති මෝදි අමෙරිකාවෙන් මෙවැනි එදිරිවාදී ස්ථාවරයක් අපේක්ෂා කළේ නැත. අප්‍රේල් මස දෙවෙනි දා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “විමුක්තිකාමි දිනයේ දී” ඉන්දියාවට සියයට 27ක තීරු බදු ප්‍රකාශ කළ අවස්ථාවේ සිටම නවදිල්ලිය උත්සාහ කළේ වොෂිංටනය සමග ප්‍රශ්නය ගොඩින් බේරාගැනීමටයි. වහා වහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ මුත් ඉන් එතරම් ප්‍රගතියක් අත්වූ බවක් නොපෙනේ. ඉන්දියාව දැන් අවතිර්ණ වී ඇත්තේ තීරණාත්මක මං සන්ධියකටයි. එහි නතර වි කුමන මගක් ගන්නේ ද යන්න ගැන තීරණයක් ගැනීමට මෝදි පාලනයට සිදුව ඇත.
ඉන්දු අමෙරිකා වෙළෙදාම
ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාවට වැඩිම ලාභයක් ගෙන දෙන අපනයන වෙළෙඳ පොළ වන්නේ ද අමෙරිකාවයි. 2024 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ දෙරට අතර සිදුවු වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 130 ඉක්මවයි. ඉන්දියාව අමෙරිකාවට ඩොලර් බිලියන 88කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා අපනයනය කර තිබේ. ඉන්දියාව අමෙරිකාවේ මිලදී ගත් එනම් ආනයනය කළ භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියන 43 ඉක්මවයි. මේ අනුව අමෙරිකාව සමග වෙළෙඳ ගනුදෙනුවලින් ඉන්දියාව ඒම වසරේ ලැබු ලාභය දළ වශයෙන් ඩොලර් බිලියන 45 ඉක්මවයි. ඉන්දියාව වැඩිම විදෙස් වෙළෙඳ ලාභයක් අත්කර ගන්නේ අමෙරිකාව සමග කරනු ලබන වෙළෙදාමෙනි. දෙවැනුව යුරෝපා සංගමය සමග කරන වෙළෙඳ ගනුදෙනු වලිනි. ට්‍රම්ප් මූලික වශයෙන් පහර දෙන්නේ මේ වෙළෙඳ පරතරයටයි. එසේත් නැත්නම් ලාභයටයි.
මෝදි අගමැතිවරයාට“මගේ මිතුරා”යන ආදර වදනින් අමතන අතරම“බදු රජා” යනුවෙන් පිටුපසට අපහාස කිරීමට ට්‍රම්ප් අමතක කළේ නැත. ට්‍රම්ප් ඒසේ කීමට හේතුව වන්නේ ඉන්දියාව අමෙරිකාවෙන් මිළදී ගනු ලබන භාණ්ඩ සඳහා සියයට 39 හා ඇතැම් විට සියයට 50 දක්වා වූ තීරුබදු අය කරනු ලබයි. එහෙත් අමෙරිකාවෙන් ඉන්දියාවට බොහෝ බදු සහන හිමිව තිබු අතර දළ වශයෙන් සියයට 5 ක පමණ තීරු බද්දක් ඇතැම් භාණ්ඩ වලට පනවා තිබුණ ද එය බොහෝ ඉන්දීය අපනයනකරුවන්ට ප්‍රශ්නයක් ඇති නොකළේ ය. එහෙත් ට්‍රම්ප් ගේ තර්කය වූයේ මේ අසමතුලිත බදු ක්‍රමය වෙනස් කොට අමෙරිකාවට වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගත යුතුය යන්නයි. එසේ කරන විට ඉන්දිය නිෂ්පාදකයන් හා අපනයනකරුවන් වඩාත් වැඩිපුර පීඩාවට පත්වන අතර කෘෂි වෙළෙපොළ විවෘත කිරිම වැනි යෝජනා වලින් වැඩිපුර පිඩාවට පත්වන්නේ ඉන්දීය ගොවීන් ය.
රුසියානු තෙල් ගනුදෙනු
බදු පැනවීම හා ඉදිරියේ දී ඇතැම් සම්බාධක ක්‍රියාත්මක කිරීමක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ, ඉන්දියාව රුසියාවෙන් ඛණිජතෙල් මිලදී ගැනීම නිසාය. ඉන්දියාව රුසියාවේ දෙවැනි ප්‍රධාන ඛණිජතෙල් ගැණුම්කරුවා ය. ඉන්දියානු තෙල් මිලදීගැනීම්වලින් සියයට 35ක් සිදු වන්නේ රුසියාව වෙතිනි. ඉන්දියාව මේ වසර තුළ සාමාන්‍යයෙන් දිනකට රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 1.75ක් බැගින් මිල දී ගෙන ඇත. යුක්රේන යුද්ධයට පෙරාතුව රුසියාවේ ප්‍රධාන තෙල් ගැණුම්කරුවා වූයේ යුරෝපා සංගමයයි. එහෙත් සම්බාධක නිසා බොහෝ යුරෝපා රටවල් රුසියානු තෙල් මිලදී ගැනිම් නතර කරද් දී චීනය හා ඉන්දියාව ඒම රික්තකය පිරවීය. ඊට හේතුව යුරෝපා හා අමෙරිකානු සම්බාධක නිසා එම තෙල් වෙළෙඳපොළ අහිමි වීම තුළ රුසියානු තෙල් මිල පහත වැටී ගැනුම්කරුවන්ට අන්තර්ජාතික වෙළෙඳපොළේ අගයට වඩා සැලකිය යුතු අඩු මුදලකට ය. එනම් බොරතෙල් බැරලයක මිල ලෝක වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර් 66ක් වෙද්දී රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 50- 60 අතර මුදලකට අලෙවි වෙයි. මේ වනවිට චීනය තම ඛණිජතෙල් අවශ්‍යතාවෙන් සියයට 13.5ක් සපුරා ගන්නේ රුසියානු තෙල්වලිනි. මේ නිසා චීනයට ද අමතර බදු පැනවීමට ඉඩ ඇති බවට ට්‍රම්ප් ඉඟිකර තිබේ.
එහෙත් ට්‍රම්ප්ගේ අරමුණ වඩාත් ශක්තිමත් හා පහරට පහර දීමට සමත් චීනයට වඩා ප්‍රථමයෙන් ඉන්දියාවට පාඩමක් උගන්වා තිබීමටයි. ඒ නිසා වර්තමානයේ ට්‍රම්ප් ඉන්දියාව කෙරෙහි යොදන බලය (leverage) ඉහළ මට්ටමක පවතින බව අගමැති මෝදි හා රජයේ සෙසු සාමාජිකයන්ගේ කතා බහෙන් හා අභිනයන් ගෙන් (body language) තේරුම් ගත හැකියි. අනෙක් අතට රුසියාව යනු ගෝලීය වශයෙන් ප්‍රධානතම තෙල් නිපැයුම්කරුවෙකි. එබැවින් රුසියානු තෙල් වෙළෙඳාම එකවර නවතා දැමිමට ට්‍රම්ප් හිතන තරම් පහසු නොවේ. ඒ මන්ද යත් ඇතැම් රුසියානු ගැනුම්කරුවන් ට්‍රම්ප්ගේ බලපෑම් කලාපයට යටත් නොවන සාවියක ස්ථානගතව සිටීම නිසාය. අනෙක් අතට මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉන්දියාව උත්සාහ දරා ඇත්තේ අමෙරිකාවෙන් මිලදී ගන්නා තෙල් හා ගෑස් ප්‍රමාණය ඉහළ දැමීමෙනි. සමස්තයක් වශයෙන් එම ආනයන සියයට 51ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඉන්දියාව අමෙරිකාවෙන් මිලදී ගන්නා තෙල් හා ගෑස්වල වටිනාකම 2024දී ඩොලර් බිලියන15ක් වූ අතර, මේ වනවිට එම මිල ඩොලර් බිලියන25 දක්වා ඉහළ දමා ඇත්තේ ට්‍රම්ප් සතූටු කිරීමයි. එහෙත් ට්‍රම්ප් ඉන් සෑහිමකට පත්ව ඇති බවක් නොපෙනේ
තෙල් විතරම ද?
ට්‍රම්ප් ඉන්දියාව මට්ටු කිරිමේ මෙහෙයුමට හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉන්දියාව රුසියානු තෙල් මිල දී ගැනිමයි. එහෙත් එම ක්‍රියාවලිය පසුපස තවත් අරමුණු ඇති බව ගෝලීය සබඳතා විශ්ලේෂකයන්ගේ මතයයි. ද්විපාර්ශ්වික වෙළෙඳ කරුණු ඉන් ප්‍රමුඛත්වයක් ගනී.
විශේෂයෙන් කෘෂි වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ අමෙරිකානු නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළෙදපොළ විවෘත කර එම නිෂ්පාදන බදු රහිතව ඉන්දීය වෙළෙදපොළේ ස්ථානගත කිරිම ට්‍රම්ප් පාලනයේ අපේක්ෂාව වන අතර, එම ඉල්ලීම අමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් ඉන්දීය නියෝජිතයන්ට වෙළෙඳ සාකච්ඡාවේ දී දන්වා සිටි බව වාර්තාවේ. මූලික වශයෙන් තිරිඟු, සෝයාබෝංචි, කපු හා කිරි යන කෘෂි නිෂ්පාදන අමෙරිකානු ලැයිස්තුවේ වූ බව සඳහන්ය. එහෙත් ඉන්දිය පාර්ශවය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප්ගේ ඉල්ලිම පිළිගෙන අමෙරිකානු තිරිඟු සෝයා කපු හා කිරි ඉන්දීය වෙළෙඳපොළට තොග පිටින් බදු රහිතව ලඟා වුවහෙත් ඉන් පහර වදින්නේ ඉන්දීය ගොවීන්ට ය. ඒ මන්ද යත් ඉහත නිෂ්පාදන ඉන්දියාවේ ප්‍රධාන ගොවි නිෂ්පාදන වන අතර, ඒවා අපනයන වෙළෙදපොළ තුළ ද ප්‍රබල භූමිකාවක් නිරූපණය කරයි. ඉන්දීය ඉරිඟු ලෝක වෙළෙඳපොළේ පකිස්ථාන ඉරිඟු නිසා දැඩි අභියෝගයකට මුහුණ දී ඇත්තේ ඉරිඟු ටොන් 1ක් ඉන්දියාව ඩොලර් 260 කට මිල කරද් දී පකිස්ථානය ඩොලර් 240කට මිල කිරිම නිසා වෙනි. මේ නිසා ඉන්දියාව අමෙරිකාවෙන් එරට ඉරිඟු මිල දී ගතහොත් එය එරට ට බරක් වනු ඇත. ට්‍රම්ප්ගේ බලපෑම් හමුවේ ඉන්දියාව“ජාතික අභිලාෂයන්” පාවා දීමට සූදානම් නැති බව පවසන්නේ ඒ බැවිනි. අනෙක් අතට ඉන්දියාව BRICS සංවිධානය තුළ ප්‍රබල සාමාජිකයෙකු වී සිටිම ට්‍රම්ප් නුරුස්සයි. සියලු බ්‍රික්ස් රටවලට දැඩි බදු පනවන බවට ට්‍රම්ප් තර්ජනය කරන අතර, ඉන්දියාව ඊට උදාරණයක් බවට පත් කිරිමට අමෙරිකානු නායකයා උත්සුක වන බවක් පෙනේ. ඇතැම් අවස්ථාවල ඉන්දියාව ට්‍රම්ප්ගේ සියලු ක්‍රියාකාරකම් එලෙසින්ම අනුමත කිරිමට උත්සුක නොවිම ද ට්‍රම්ප් ගේ නොමනාපයට හේතු වී ඇත . ඉන්දු පකිස්ථාන ගැටුම විසඳුම බව ට්‍රම්ප් කියද් දී ඉන්දියාව ඔහුගේ ප්‍රකාශයේ ඇතැම් කොටස් වලට විරෝධය පළ කලේය. මෙය ට්‍රම්ප් උරණ වූ තවත් අවස්ථාවකි. ඔහු අපේක්ෂා කරන පදිරි ඉන්දියාව අමෙරිකානු කඳවුර තුළම පමණක් රඳවා ගැනීමට ට්‍රම්ප්ට වුවමනා වී ඇති බවක් පෙනේ. ඉන්දියාව රුසියානු අවි මිල දී ගැනීම වැළැක්වීම ට්‍රම්ප් ගේ තවත් අභිලාෂයක් බව පෙනේ. පකිස්ථානය සමග ඇතිවූ ගැටුමේ දී ඉන්දීය රෆායල් ප්‍රහාරක යානා 5 විනාශ වූ බව ට්‍රම්ප් ද ප්‍රකාශ කළේය. ඉන්දියාව එය අභියෝගයට ලක් කළේය. එවිට ට්‍රම්ප් ඉන්දියාව වෙළෙඳ ගනුදෙනුවක් යෝජනා කළේ ප්‍රංශ රෆායල් ජෙට් වෙනුවට අමෙරිකානු F 35 ප්‍රහාරක යානා ඉන්දියානු ගුවන් හමුදාව සඳහා මිලදී ගන්නා ලෙසටයි. ඉන්දියාව ඒ අවස්ථාවේ රුසියානු SU 57 යානා මිලදී ගැනිම සඳහා ද අවධානය යොමු කර තිබුණි. එම වකවානුවේදිම බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් F35 යානයක් අකර්මණ්‍ය වී ඉන්දියාවට ගොඩ බස්වා පසුව සති කිහිපයක් යන තෙක් එය ඉවත් කර ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවීම ට්‍රම්ප් ගේ වෙළෙඳ ලංසුවට එල්ල වූ දෛවයේ සරදමකි. මේ නිසා ට්‍රම්ප් ගේ බදු සෙල්ලම පිටුපස රුසියානු තෙල් වලට වඩා යමක් ඇති බව කරුණු විමසා බැලීමේ දී පැහැදිළි වේ.
කලාපීය බල තුළන යේ නව පෙරළිය
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට අලුත් බල චෙස් ක්‍රීඩාවක් දකුණු ආසියාව තුළ අරඹා ඇති බව පෙනේ. ඒ මිතුරා වන ඉන්දියාව අභියෝගයට ලක් කිරිම සඳහා ඉන්දියාවේ පසමිතුරා හා තම පැරණි මිතුරා වූ පාකිස්ථානය වෙත අවතීර්ණ වීමයි. අමෙරිකාව හා පාකිස්ථානය අතර පෙර නොවු විරූ ක්‍රියාකාරකම් මෑතකාලිනව දක්නට ලැබීම ඊට හේතුවකි. පසුගිය ජුනි මාසයේ පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරල් අසීෆ් මුනාර් වොෂිංටනයේ පස් දින නිල චාරිකාවකට සහභාගි විය. සාමාන්‍යයෙන් නොකෙරෙන පරිදි ඔහුට ධවල මන්දිරයට ඇරයුම් ලැබුණු අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි විය. මෙය ඉන්දියාවේ දැඩි අවධානය යොමුවු සිද්ධියකි. ජෙනරල් මුනාර් යලිත් වරක් වොෂිංටන් චාරිකාවකට සැරසෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. එමෙන්ම පාකිස්ථානය එරට ඉහළතම හමුදා ගෞරව සම්මානයක් වු නිෂාන්-ඊ-ඉම්තියාස් සම්මානය අමෙරිකානු ඒකාබද්ධ මධ්‍යම හමුදා ප්‍රධානි ජෙනරල් මයිකල් කුරියෙල්ලා වෙත පිරිනමා තිබේ. ජෙනරල් කුරියෙලා විශේෂ හමුදා ගෞරව සහිතව ඉස්ලාමාබාදයේ නොබෝදා චාරිකා කළේය. එය ද විශේෂ සිද්ධියකි. ඒ අතරම අමෙරිකාව ඉන්දියාවට සියයට25 ක තිරු බදු පනවද් දී පාකිස්ථානයට පැනවූයේ සියය20ක බද්දක් පමණි. මෙය ද ඉන්දියාවට ඍජුව කළ අභියෝගයකි. අමෙරිකානු උපාය තුළ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීමේ උපායක් ද දක්නට ලැබේ. ඒ පාකිස්ථානය හරහා චීනයට අභියෝග කිරිමයි. ඉන්දියාව අමෙරිකාව දෙසට යොමුව තිබෙන කළ නිරවි යුද සමයේ අමෙරිකාව සමග සිටි එහෙත් පසුව අමෙරිකාව විසින් අතහැර දමනු ලැබු පාකිස්ථානය ආසියානු බලවතා වන චීනය වෙතට යොමුවිය. දශක දෙකකට වැඩි කලක් තිස්සේ මෝරනු ලැබු මේ සබඳතාව දැන් ඉතා ශක්තිමත් අඩියක පවති. බලවත් යුද ශක්තියක් සහිත පාකිස්ථානය අද වනවිට වඩාත් ශක්තිමත්ව ඇත්තේ චීනයේ යුද තාක්ෂණය නිසාවෙනි. ඉන්දියාවේ නොබෝදා සිදු කෙරුණු “ඔපරේෂන් සින්ධුර්” අවස්ථාවේ මේ බව හොඳින් පැහැදිලි වි තිබිණ. පාකිස්ථාන හමුදා එල්ල කළ චීන PL 15 මිසයිල කොටස් ඉන්දු කාශ්මීරයෙන් හමුවීම ඊට එක් උදාහරණයකි. දැන් අමෙරිකාව පාකිස්ථානයට සමීප වීම තුළ පාකිස්ථානයේ ඇති චීන අවි පද්ධති හා චීන යුද තාක්ෂණය වෙත වඩාත් පහසුවෙන් අවතීර්ණ වීමේ ඉඩකඩක් අමෙරිකාව වෙත හිමිවේ. එය මේ වනවිට චීනයේ අවධානයට ලක්වූ තත්ත්වයක් බව අන්තර්ජාතික මාධ්‍ය සදහන් කරයි.
ඉන්දියාවේ ප්‍රතිචාරය
ඉන්දියාව දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ඉන්දියාව එරට ජාතික අභිලාෂයන් ට මුල්තැන දෙන අතර බලපෑම් වලට යටත් විමට සූදානම් නැති බවයි. ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු අමෙරිකානු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක මේ බව දැක්වේ. අගමැති නරේන්ද්‍ර මෝදි ද ජනතාව අමතමින් ප්‍රකාශ කළේ බදු අර්බුදය තුළ දේශපාලනිකව තමන් ඍජු බලපෑමකට ලක්වන මුත් ඉන්දීය ගොවියන්ගේ හා කිරි ගොවියන් ගේ අයිතීන් පාවා දීමට හා බලපෑම්වලට නතු වීමට තම රජය කිසිසේත් සුදානම් නැති බවයි. සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා නොදීමෙන් ට්‍රම්ප් ඉන්දියාව බිත්තියට හේත්තු කර තිබේ. ඉන්දියාවට මෙහිදී අමෙරිකානු වෙළෙඳපොළ සම්පූර්ණයෙන් ම නොතකා හළ නොහැකිය. ඒ මන්ද යත් ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳපොළ අමෙරිකාව වන බැවිනි. අනෙක් අතට රුසියාව සමග ඇති තෙල් හා අනෙකුත් ගනුදෙනු අත්හැර දැමීමට ඉන්දියාවට නොහැකි වන්නේ ඉන් ඇතිවන පාඩුව හා ගැටලු ද බරපතළ වන බැවිනි. මේ නිසා දැන් ඉන්දියාව පත්ව ඇත්තේ “උණු හින්දා බොන්නත් බැරි - කිරි හින්දා අහක දමන්නත් බැරි” තත්ත්වයකට යි. මේ නිසා ඉන්දියාව මේ වනවිට ඉන්නේ අතිශයින් තිරණාත්මක තත්ත්වයකය. කෙසේ වෙතත් ඉන්දියාව දුර්වල තැනක නොසිටින බව ලෝකයට පසක් කරමින් සිටියි. උදාහරණයක් ලෙස ඉන්දියාව අමෙරිකාවෙන් අවි මිල දී ගැනීමට සකසා තිබු සැලසුම් අත්හිටු විය. ස්ට්‍රයිකර් සන්නද්ධ රථ හා ජැව්ලින් මිසයිල මිල දී ගැනිමේ ගිවිසුම් ඒ අතර වෙයි. අමෙරිකානු එෆ් 35 ප්‍රහාරක යානා ඉන්දියාවට විකිණීමේ ට්‍රම්ප් සැලසුම් තවදුරටත් අභියෝගාත්මක වනු ඇත. මේ අතර ඉන්දියාව තවදුරටත් ඩොලර් ගනුදෙනුවලින් ඈත් වන ලකුණු පෙන්නුම් කරයි. ඉන්දීය රුපියල යොදා ගනිමින් අන්තර්ජාතික ගනුදෙනු සඳහා බ්‍රික්ස් රටවල් වෙත පුළුල් පහසුකම් සැලසීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. මේ අතර ඉන්දීය ජන සමාජය අතිශයින් දේශප්‍රේමී බව අප සිහි තබාගත යුතුය. අතිශය දිළින්දා පවා භාරත මාතාව වෙනුවෙන් ළය තුළ කැක්කුම පෙන්වයි. ඒ දිළිඳුකම, සමාජ විෂමතා, ජාති ආගම් බේද, නිලධාරිවාදය හා අල්ලස දූෂණය වැනි විවිධ දේශපාලනිකමය හා සමාජමය ගැටලු තිබිය දීය. දැනටමත් ඉන්දියාව තුළ අමෙරිකානු විරෝධයක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ වර්ජනයක් ගැන පවා ඇතැම් ඉන්දියානුවන් තුළ අදහස් පහළ වෙමින් ඇති බව රොයිටර් පුවත් සේවය කළ සමාජ විශ්ලේෂණාත්මක මාධ්‍ය වාර්තාවක දැක්වේ. බදු හා වෙනත් අරමුණු මත ට්‍රම්ප් උගසට තබා ඇත්තේ බිලියන 1.4ක පාරිභෝගිකත්වයක් සහිත ලොව විශාලතම වෙළෙඳපොළ බව ද අමතක නොකළ යුතුය. මෙය අතිශයින් තීරණාත්මක ගෝලීය ආර්ථික හා දේශපාලනික සන්දර්භයකි.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ