චීනය බලය පෙන්වයි


චීන මහජන විමුක්ති හමුදාව එසේ මෙසේ හමුදාවක් නොවන බව ලෝකය දැනගත්තේ පසුගිය 3 වැනිදා චීනයේ බෙයිජීං අගනුවර ටියැනමන් චත්‍රරස්‍රයේ පැවැති හමුදා පෙළපාළියෙනි. පෙළපාළිය පැවැත්වීමට නිමිත්ත වූයේ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපන් ආක්‍රමණ පරාජය කිරීමේ 80 වැනි සංවත්සරයයි. එසේ වුවත්, පසුගිය3 වැනිදා පැවැත්වූයේ යුද ජයග්‍රහණයේ සාමාන්‍ය සැමරුම් හමුදා පෙළපාළියක් නම් නොවේ. එය චීනය ඔවුන්ගේ හමුදා ශක්තිය ලොවට පෙන්වීමක් ලෙස දැක්වීම යථාර්ථයට වඩාත් සමීප විය හැක.

බටහිර රටවල් යම් පමණක තිගැස්මකට ලක් වූ මේ හමුදා පෙළපාළියේ ප්‍රධාන අමුත්තන් දෙදෙනා වූයේ - යුක්රේන යුද්ධය නිසා බටහිර උදහසට ලක්වූ රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන නිසා බටහිර උදහසට ලක්වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ය. 

චීනයේ අභිමානය කැටිවුණු එම හමුදා පෙළපාළිය අතිදැවැන්තය. සම්බන්ධීකරණය, නිරවද්‍යතාව සහ උත්සවශ්‍රීය ඉතා හොඳින් එකිනෙකට පෑහී තිබුණ. චීන සොල්දාදුවෝ 10,000 කට වැඩි පිරිසක් පෙළපාළියට එක් වී සිටියහ. බෙයිජීං අගනුවර ටියැනමන් චත්‍රරස්‍රයේ මෙවැනි ආකාරයේ හමුදා පෙළපාළියක් මීට පෙර පවත්වා තිබුණේ නැත. 

චීනය DF-61 යාවත්කාලීන කර ඇත්තේ ඇමෙරිකාවට අනතුරක් කිරීමට යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්, චීනය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. DF හෙවත් Dongfeng මිසයිල නිර්මාණය ආරම්භ වූයේ 1970 දශකයේය.

හමුදා පෙළපාළිය සේම රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ පැවැති හමුව ද සුවිශේෂ වෙයි. “එයාලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා” යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කනස්සල්ල පළ කළේ ද පුටින්, කිම් ජොන් උන් සහ ජින් පින් එකට සිටිනු දැකීමෙනි. රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, චීන ජනාධිපතිවරයා සමග එකට පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි. 

ආර්ථික බලවතකු වන චීනය, මෙම ගම්භීර හමුදා පෙළපාළිය පැවැත් වූයේ - ගොඩබිම, මුහුදේ, ගුවනේ සහ මුහුදු පතුලේ සටන් සඳහා තමන් සූදානම් බව ඇමෙරිකාව ඇතුළු බටහිර මිතුරන්ට පැහැදිලි පණිවුඩයක් ද දෙමිනි. චීනය වසර ගණනාවක් බටහිරින් ආයුධ මිලදී ගත් රාජ්‍යයකි. අද තමන්ට අවශ්‍ය සෑම ආකාරයකම යුධෝපකරණ චීනය විසින්ම නිපදවා ගැනීම සිදු කරයි. චීනය අද ආයුධ වෙළෙඳාම අතින් ද කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටී. 

පුටින්, ජින්පින් සහ කිම් ජොන් උන් හමුවෙමින් ...

දෙවැනි ලෝක යුද්ධයේ දී ජපන් ආක්‍රමණ පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයේ දී චීන ජනාධිපතිවරයා යුද්ධය නොව, සාමය වැදගත් බව ලොවට අවධාරණය කළේය. “අද මේ අවස්ථාව ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදුවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතුයි. මාගේ අදහස එයයි.” යැයි චීන ජනාධිපති ෂී ජින් පින් පෙන්වා දුන්නේය. දෙවනි ලෝක යුද්ධයේ දී ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයට සහභාගි වූ යුද විරුවන් අගය කරමින් ඔවුන්ට ඉහළම ගෞරවය පුද කළේය. එදා චීන ජනතාවට සහාය දුන් අනෙකුත් රටවලට සහ ජාත්‍යන්තර මිතුරන්ට හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට ද චීන ජනාධිපතිවරයා අමතක කළේ නැත.

හමුදා පෙළපාළියේ දී චීනය ගොඩබිම, මුහුදේ, ගුවනේ සහ මුහුදු පතුලේ සටන් සඳහා යොදා ගන්නා මිසයිල ලොවට පෙන්වීම කළේ පළමු වරටය. මෙම සියලු‍ම මිසයිලවලට යුද ශීර්ෂ සවි කළ හැකි වීම ද විශේෂත්වයකි. තම ස්වෛරීත්වය මෙන්ම ගෞරවය ද ආරක්ෂා කර ගැනීමට මෙම අවි උපාය මාර්ගික ශක්තියක් බව චීනය අවධාරණය කළේය. හමුදා පෙළපාළියේ දී චීනය සතු යුධෝපකරණ සහ අවි කීපයක් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

හමුදා පෙළපාළියේ දී චීනය ඔවුන් සතු DF-26D - Guam Killer  (ගුවාම් කිලර්) නමැති මිසයිල ප්‍රදර්ශනය කළේ මහත් ආඩම්බරයෙනි. DF-26D අලු‍ත් මිසයිලයක් නොවුණත්, පසුගිය 3 වැනිදා පැවැති හමුදා පෙළපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණේ DF-26D  මිසයිලයේ අලු‍ත්ම මාදිලියයි. මෙය මධ්‍ය දුර බැලැස්ටික මිසයිලයකි. බැලැස්ටික මිසයිලයක් යනු එක් මහාද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි ආකාරයේ මිසයිලයකි. DF-26D මිසයිලය Guam Killer (ගුවාම් කිලර්) යනුවෙන් චීන හමුදාව නම් කර නැත. මෙම නම මෙම මිසයිලයට යොදා ඇත්තේ ඇමෙරිකාවය. හේතුව මෙම මිසයිලයට කිලෝ මිටර් 4,000 ක දුරක් ගොස් අදාළ ඉලක්කයට පහර දිය හැකි නිසාය. ගුවාම් හි ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටා ඇත්තේ චීනයේ සිට කිලෝ මිටර් 4,000 ක දුරිනි. එම කඳවුරු පහසුවෙන් විනාශ කිරීමටDF-26D මිසයිලයට හැකියාව ඇත. ගුවාම් යනු ඇමෙරිකාවට අයත්, ඇමෙරිකන් හමුදා කඳවුරු ඇති ආසියාවට අයත්, පැසිෆික් සාගර කලාපයේ හුදෙකලා ව පිහිටි දූපතකි. DF-26D ප්‍රහාරයක් සඳහා පියසැරිය ආරම්භ කළ පසු එය හසු කරගෙන උඩු ගුවනේ දී විනාශ කිරීම පහසු නැත. 

බටහිර රටවල යුද විශ්ලේෂකයන් මවිතයට පත්වුණු බව පැවැසෙන්නේ, හමුදා පෙළපාළියේ දී, චීන හමුදාව සතු DF -61 දැවැන්ත මිසයිලය දැකීමෙනි. DF-61 එසේ මෙසේ මිසයිලයක්  නොවේ. 

සටන් බිමට යන රොබෝ වෘකයෝ

රොබෝ වෘක්කයන් සටන් බිමේ දී හමුදා සෙබළුන් සමග විවිධ ක්‍රියාවන් වෙනුවෙන් යොදා ගත හැකිය. සතුරන් සිටින ඉසව් නිරීක්ෂණය, සටන් බිමේදී උණ්ඩ හෝ ෂෙල් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමටද යොදා ගනී. 

මිසයිල ප්‍රදර්ශනය කෙරුණේ රෝද අටක් සහිත දැවැන්ත හමුදා ට්‍රක්වල රැගෙන යමිනි. වසර ගණනාවක් තිස්සේ DF-61 මිසයිල නිෂ්පාදනය චීනය විසින් තාවකාලිකව නවත්වා දමා තිබුණු නමුත්, දැන් එම කටයුතු යළි ආරම්භ කර ඇති බැව් හමුදා ප්‍රදර්ශනයේ දී අනාවරණය විය. DF-61 මිසයිල සඳහා අතීතයේ භාවිතයට ගැනුණේ ද්‍රව ඉන්ධන වර්ගය. වර්තමානයේ මිසයිල සඳහා භාවිතයට ගැනෙන්නේ ඝන ඉන්ධන වර්ගය. චීනය DF-61 යාවත්කාලීන කර ඇත්තේ ඇමෙරිකාවට අනතුරක් කිරීමට යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්, චීනය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. DF හෙවත් Dongfeng මිසයිල නිර්මාණය ආරම්භ වූයේ 1970 දශකයේය. 

හමුදා පෙළපාළියේ දී කැපී පෙනුණු JL1 මිසයිලයත්, JL3 මිසයිලයත් ප්‍රදර්ශනය කෙරුණේ චීන හමුදාවේ අභිමානය ද සමගිනි. JL1 ප්‍රහාරක ජෙට් යානාවලට සවිකරන මිසයිලයක් වන අතර, JL3 ය JL3 ප්‍රහාර එල්ල කිරීම සඳහා සබ්මැරීන භාවිතයට ගන්නා මිසයිලයකි. YJ17  මිසයිලය යනු යුද නැව් විනාශ කිරීමට යොදා ගන්නා මිසයිලයකි. මෙය ද හමුදා පෙළපාළියේ දී කාගේත් අවධානය දිනා ගත්තේය. මෙය DF-17 නමැති මිසයිලය වැඩිදියුණු කරමින් නිර්මාණය කරන ලද්දකි. මෙම හයිපර්සොනික් මිසයිලයකි. පහසුවෙන් විනාශ කළ නොහැකිය. YJ17 චීන නාවික හමුදාව සතු ප්‍රබලතම අවි වලින් එකකි. චීන යුද නෞකා සෑම එකක්ම මෙම මිසයිලවලින් සන්නද්ධය. YJ15, YJ19 සහ YJ20 ආදී වශයෙන් ද චීනය සතුව මිසයිල ඇත. ඒවා ද හමුදා පෙළපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණි. 

හමුදා පෙළපාළියේ දී, චීන හමුදාව සතු රොබෝ වෘකයන් ද ලොවට හඳුන්වා දීම සිදුවිය. මෙම රොබෝ යන්ත්‍ර දුරස්ථ පාලනයෙන් මෙහෙයවීම සිදුවෙයි. මේවා සිවු පා සතුන් වැනිය. රොබෝ වෘකයන් යනුවෙන් හැඳින්වෙන්නේ ද එබැවිනි.

චීනය ඔවුන්ගේ යුධෝපකරණ සඳහා අති නවීන තාක්ෂණය භාවිතයට ගනී. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ඊට මුසුකර ඇත. හමුදා පෙළපාළියේ දී එකිනෙකට වෙනස් නියමුවන් රහිත ඩ්‍රෝන යානා, කුඩා ප්‍රහාරක යුද ටැංකි ආදිය ද ප්‍රදර්ශනය කෙරුණි. නියමුවන් රහිත ඩ්‍රෝන යානා බළඇණියක් ලොවට පෙන් වූ පළමු රට ලෙස චීනය ඉතිහාසගත විය. චීනය සතු එම ඩ්‍රෝන අතරින් බටහිර යුද විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වූයේ AJX-002  නමැති ඩ්‍රෝන මිසයිලය කෙරෙහිය. ප්‍රමාණය අතින් බලද්දී, AJX-002  දැවැන්ත මිසයිලයකි. මෙය සබ්මැරීන් ඩ්‍රෝන මිසයිලයකි. දිග මීටර් 20 කි. යුද ශීර්ෂයක් සවිකර (පුපුරන ද්‍රව්‍ය සහිත මිසයිල හිස) ප්‍රහාරක මිසයිලයක් ලෙසත්, ඔත්තු බැලීමින් බුද්ධි තොරතුරු රැස් කළ හැකි මිසයිලයක් ලෙසත්, මෙම මිසයිලය භාවිතයට ගත හැකිවීම විශේෂත්වයකි. රේඩාර් මගහැර යා හැකි GJ-11 ඩ්‍රෝන ගුවන් යානය ද හමුදා පෙළපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණි. චීන ගුවන් හමුදාවේ නියමුවන් සහිත ප්‍රහාරක යානා සමග මෙම ඩ්‍රෝන යානා ද පියාසර කරන අතර, නියමුවන් සහිත ප්‍රහාරක යානයෙන් ලැබෙන විධාන අනුව, GJ-11  යානය ක්‍රියා කරයි. නියමුවන් සහිත ප්‍රහාරක යානයට ප්‍රහාර එල්ල කිරීමේ දී විශ්වාසවන්ත සහායකයෙකු වන්නේ GJ-11 යැයි චීන ගුවන් හමුදාව පැහැදිලි කරයි. එක් චීන ප්‍රහාරක නියමුවකුට, GJ-11 ඩ්‍රෝන යානා පිරිවරා ගෙන සතියෙන් සතුරු ඉලක්ක විනාශ කළ හැකිය. මෙවැනි යානා මීට පෙර අපට දකින්න ලැබුණේ චිත්‍රපට වලිනි. GJ-11 ඩ්‍රෝන යානයත්, AJX-002 මිසයිලයත් කෘත්‍රිම බුද්ධියෙන් මෙහෙයවීම සිදුවෙයි.

GJ-11 ඩ්‍රෝන ගුවන් යානය

මෙම ඩ්‍රෝනය ගුවනේ ගමන් කරන මිනිසුන් රහිත යානා අතර ප්‍රමුඛයෙකි. 

චීනය ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාවක් ලෙස ලේසර් ආයුධ ද නිපදවා ඇති අතර, හමුදා පෙළපාළියේ දී ඒවා ද ප්‍රදර්ශනය කෙරුණි. සතුරු ඩ්‍රෝන පහසුවෙන් විනාශ කළ හැකි ලේසර් පද්ධති කීපයක් චීනය සතුව ඇත. අධි-ශක්ති ලේසර් ආයුධ සහ අධි-බලැති මයික්‍රෝවේව් ආයුධ ද චීන මහජන විමුක්ති හමුදාව සතු බව ලෝකය දැන ගත්තේ මෙම හමුදා පෙළපාළිය නරඹද්දී ය.

චීන මහජන විමුක්ති හමුදාව හෙවත් PLA (People’s Liberation Army)  ලෝකයේ විශාලතම ස්ථාවර හමුදාව වන අතර එහි සක්‍රිය සාමාජිකයන් ගණන මිලියන 2 කට වැඩිය. චීන හමුදාව ප්‍රධාන ශාඛා පහකින් සමන්විතය. ගොඩබිම් හමුදාව (PLAGF), නාවික හමුදාව (PLAN) , ගුවන් හමුදාව (PLAGF), රොකට් බළකාය (PLAGF) සහ උපායමාර්ගික සහාය බළකාය (PLASSF) යනු ඒවාය. චීන ගොඩබිම් හමුදාව යනු ලොව විශාලතම ගොඩබිම් හමුදාවය. එය සතුව නූතන ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු සහ මිසයිල පද්ධති විශාල ප්‍රමාණයක් පවතී. චීන නාවික හමුදාව ද ශීඝ්‍රයෙන් වර්ධනය වන බළඇණියකි. එය මෙම හමුදා පෙළපාළියේ දී පැහැදිලි විය. ගුවන් යානා ප්‍රවාහන නෞකා, නවීන යුද නැව් සහ සබ්මැරීන ඊට අයත් වෙයි. චීන ගුවන් හමුදාව ද ඉතා දියුණු තත්ත්වයක පවතී. එය සතුව ජෙට් යානා, බෝම්බ හෙළන යානා සහ ප්‍රවාහන යානා විශාල සංඛ්‍යාවක් ඇත. චීනය මෙම හමුදා පෙළපාළියේ දී ප්‍රදර්ශනය කළ ඇතැම් ජෙට් යානා පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා වන අතර මේවාට රේඩාර් මඟහැර යෑමේ හැකියාව තිබේ. 

කෘත්‍රිම බුද්ධි රොබෝවරුන් ගැන කතා කරද්දී, අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ චීනයයි. චීනය පසුගියදා කෘත්‍රිම බුද්ධි මානවරූපී රොබෝවරුන් (මනුෂ්‍ය අපට සමාන අතපය, සිරුරක් සහ හිසක් ඇති රොබෝවරුන්) යොදා ගනිමින් ඔලිම්පික් උළෙලක් පවා පැවැත්වීය. හමුදා පෙළපාළියේ දී, චීන හමුදාව සතු රොබෝ වෘකයන් ද ලොවට හඳුන්වා දීම සිදුවිය. මෙම රොබෝ යන්ත්‍ර දූරස්ථ පාලනයෙන් මෙහෙයවීම සිදුවෙයි. මේවා සිවු පා සතුන් වැනිය. රොබෝ වෘකයන් යනුවෙන් හැඳින්වෙන්නේ ද එබැවිනි. සටන් බිමට ගොස් බිම් බෝම්බ ඇති දැයි සොයා බලමින්, සතුරු ඉලක්ක පහර දී අඩපණ කිරීම ද මෙම රොබෝ වෘකයන් ට හැකියාව ඇත. අනාගතයේ, සියලු‍ම යුද්ධ සිදුවනු ඇත්තේ තාක්ෂණයේ පිහිටෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. චීනය ඔවුන් සතු තාක්ෂණය කොතරම් දැයි මෙම හමුදා පෙළපාළියේ දී ලොවට පෙන්නුවේ බටහිර බලවතුන් මොහොතකට හෝ තැති ගන්වමිනි. එය එසේ නොවුණේ නම්, එය පුදුමයට කරුණක් ද නොවෙයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කෘත්‍රිම බුද්ධිය ගැන බිය පළ කරයි. ඒ කෘත්‍රිම බුද්ධිය මිනිස් පාලනයෙන් තොර වී මිනිසාට සතුරුකම් කරාවි යන සිතුවිල්ල නිසාය. එසේ වුවත් චීනය කෘත්‍රිම බුද්ධිය සලකන්නේ සහායකයකු ලෙසය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා පිළිගන්නා දෙයක් නම් අද කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින්නේ චීනය බවයි.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.
ලු‍සිත ජයමාන්න

චීන හමුදා පෙළපාළියේ දසුනක්

සතුරු ඩ්‍රෝන බිම දමන ලේසර් අවි

මෙම ඩ්‍රෝන මිසයිලය අඩි 60 ක් (මීටර් 18) ගැඹුරු ජලයේ ගහන් කළ හැකි න්‍යෂ්ටික හැකියාව ඇති ඩ්‍රෝනයකි 

DF හෙවත් Dongfeng මිසයිල