
මේ සති අන්තයේ ප්‍රධාන මාතෘකාව ජාතික ජනබලවේග රජයේ දෙවැනි අයවැයයි. පුවත්පත්වල වැඩිම ඉඩ ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ ඒ පිළිබඳව කරුණු දැක්වීමටය. ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කරන 2025 නොවැම්බර් 7 වැනිදා වනවිට ලොව අංක එකේ ආර්ථික හා දේශපාලනික මෙන්ම යුදමය බලවතාද වන අමෙරිකා එක්සත් ජනපදය සිය ඉතිහාසයේ දීර්ඝතම අයවැය අර්බුදය හෙවත් “රාජ්‍ය වසා දැමීම” මුල්කරගනිමින් බරපතළ අභ්‍යන්තර අර්බුදයකට ගොදුරුවෙමින් පවතී. මේ වනවිට අර්බුදයේ ස්වභාවය කුමක්ද යන්න අවබෝධ කරගැනීම සඳහා පහත සඳහන් සිදුවීම් උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
අංක එක වශයෙන් සඳහන් කළ හැක්කේ රාජ්‍ය සේවකයන් හය ලක්ෂයකට දින 36ක් පුරා වැටුප් නොමැතිව සේවය කිරීමට සිදුවීමයි. ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පවා වැටුප් නොලැබීමේ තත්ත්වයක් උදාවූ අතර පසුව ආරක්ෂක දෙපාර්තමේන්තුව දන්වා සිටියේ ප්‍රශ්නය තාවකාලිකව සමථයකට පත්කරගත් බවයි. කෙසේ වෙතත් ලොව බලවත්ම හමුදාවේ සෙබළුන්ට වැටුප් රහිතව සේවය කිරීමට සිදුවීමේ තත්ත්වයක් උදාවීම දෛවෝපගත සිද්ධියක් සේ සැලකේ. මේ වනවිට රජයේ සියලු දිළිඳු සහන වැඩසටහන් අකර්මණ්‍ය වී ඇත. ගුවන් ගමන් පාලකයන් සේවයෙන් ඉවත් වන නිසා ගුවන් ගමන් දැනටමත් සීයට10කින් අඩුකර ඇති අතර මේ තත්ත්වය පැවතුණ හොත් ඉදිරි සතියේ සිට අමෙරිකාවේ ගුවන් තොටුපළ ගණනාවක් වසාදැමීමට සිදුවන බව එරට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය ට්‍රම්ප් පාලනයට දන්වා ඇත. ඊට අමතරව ශිෂ්‍යාධාර වැඩසටහන් අඩාළ වී ඇත. ශිෂ්‍යත්ව මත අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන සිසුහු මේ නිසා දැඩි අපහසුතාවකට ලක්වෙති. කෙසේ වෙතත් සිසුන් සඳහා මේ වසරේ මැද භාගයේදී වර්ෂය සඳහා වන සියලු සිසු ආධාර ගෙවා ඇති බැවින් ලබන වසර උදාව වන තෙක් සිසුන්ට වත්මන් අර්බුදයේ ඍජු බලපෑම නොලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
අර්බුදයේ ස්වභාවය
වරින් වර අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන අය-වැය අර්බුදය හෙවත් රාජ්‍ය වසාදැමීම යන තත්ත්වය කුමක්ද? මූලික වශයෙන්ම මෙහිදී සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මූල්‍ය ප්‍රතිපාදන නොලැබීමයි. ඒ අනුව “වසාදැමීම්” තත්ත්වයක් ඇතිවූ සෑම අවස්ථාවකදීම අමෙරිකා එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවා සියල්ල ක්‍රමානුකූලව අකර්මණ්‍ය වෙයි. මෙහිදී අමෙරිකාව පමණක් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත රටක අයවැය සම්මත වන්නේ පාර්ලිමේන්තුව මගිනි. යම් හෙයකින් අයවැය සම්මත කිරීමට නොහැකි වුව හොත් බොහෝ විට එය පදනම් කරගෙන රජය බිඳ වැටේ. අයවැය සම්මත කළ නොහැකි අවස්ථාවල රාජ්‍යය අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා කෙටිකාලීන අතුරු සම්මත ගිණුම් වැනි ක්‍රමවේද ඔස්සේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ ක්‍රමවේද විවිධ රටවල විවිධ පාලනයන්හි දක්නට ලැබෙන පොදු සාධක වෙයි. එහෙත් අමෙරිකාවේ තත්ත්වය මීට වෙනස්ය. 1990 දශකයෙන් පසුව මෙම රාජ්‍ය වසාදැමීම් ක්‍රියාවලිය වඩාත් බහුල ලෙස සිදුවන බවක් පෙනේ. මෙම සුවිශේෂ අර්බුදකාරී තත්ත්වය නිසා අමෙරිකානු රජය ලබන පාඩුව අතිමහත්ය. උදාහරණයක් වශයෙන් 2018-2019 ට්‍රම්ප් පළමු ධුරකාල සමයේ පැවති දින 35ක “වසාදැමීම්” තත්ත්වය නිසා අමෙරිකානු ආර්ථිකයට පියවාගත නොහැකි අන්දමින් අහිමි වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන තුනක් ලෙස වාර්තා ගත වී තිබේ. අන් කවර රටකටත් නොමැති අමෙරිකා එක්සත් ජනපදයට පමණක් බලපාන මෙම තත්ත්වයට ඍජු හේතු සාධක කවරේද යන්න සලකා බැලීම වටී.
අමෙරිකාවට පමණක් ඇයි?
අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූල්‍ය බලය හිමිවන්නේ කොංග්‍රසයටය. ඒ අනුව වාර්ෂික අයවැය පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත වී සෙනෙට් මණ්ඩල අනුමතිය හිමිවීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අනුමතිය සඳහා යොමු කෙරේ. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එයයි. එසේ නම් අයවැය අනුමත නොවී මෙවැනි “වසාදැමීම් “ ඇතිවීමේ හේතුව කුමක්ද? එය බහුල වශයෙන්ම සිදුවන්නේ කොතැනින්ද? මූලික වශයෙන්ම “වසාදැමීම්” තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අතිමහත් බහුල වශයෙන් පවතින්නේ සෙනෙට් මණ්ඩලයේදීය. අමෙරිකා එක්සත් ජනපද දේශපාලන රටාවේදී ජනාධිපතිවරයා එක් පක්ෂයකිනුත්, නියෝජිත මන්ත්‍රීමණ්ඩලයේ බහුතර බලය ඇතැම් විට ජනාධිපතිවරයාගේ පක්ෂයට හෝ ප්‍රතිවිරුද්ධ පක්ෂයටත්, සෙනෙට් මණ්ඩලයේ බලය ජනාධිපතිවරයාගේ පක්ෂයට හෝ ප්‍රතිපක්ෂයටත් හිමිවීමේ අවස්ථාව පවතී. අමෙරිකානු දේශපාලනයේ ඇත්තේ ද්වීපක්ෂ පාලනයක් වන අතර තට්ටු මාරු ක්‍රමයට පාලනය හිමිකර ගන්නේ ඩිමොක්‍රටික් පක්ෂය හෝ රිපබ්ලිකන් පක්ෂයයි. තවත් පක්ෂ ගණනාවක් තිබුණද ඒවාට ප්‍රාදේශීය බලයක් හෝ නොමැති අතර බොහෝ විට ඒවා බෝඩ්ලෑලි පක්ෂ පමණක් වේ. මේ නිසා ඉතිහාසයේ විවිධ කාලවකවානුවල දී අප ඉහත සඳහන් කළ විධායක-ව්‍යවස්ථාදායක බල විභේදනය සිදුව තිබේ. මෙය සලකනු ලබන්නේ අමෙරිකානු පාලන රටාවේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක් ලෙසය.
ලොව බලවත්ම හමුදාවේ සෙබළුන්ට වැටුප් රහිතව සේවය කිරීමට සිදුවීමේ තත්ත්වයක් උදාවීම දෛවෝපගත සිද්ධියක් සේ සැලකේ. මේ වනවිට රජයේ සියලු දිළිඳු සහන වැඩසටහන් අකර්මණ්‍ය වී ඇත. ගුවන් ගමන් පාලකයන් සේවයෙන් ඉවත් වන නිසා ගුවන් ගමන් දැනටමත් සීයට10කින් අඩුකර ඇති අතර මේ තත්ත්වය පැවතුණ හොත් ඉදිරි සතියේ සිට අමෙරිකාවේ ගුවන් තොටුපළ ගණනාවක් වසාදැමීමට සිදුවන බව එරට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය ට්‍රම්ප් පාලනයට දන්වා ඇත. ඊට අමතරව ශිෂ්‍යාධාර වැඩසටහන් අඩාළ වී ඇත.
ඉතිහාසයේ අප කතා කළ “වසාදැමීම්” බොහොමයක් සිදුව ඇත්තේ විධායකය එක් පක්ෂයකට හා ව්‍යවස්ථාදායක හෙවත් කොංග්‍රසය වෙනත් පක්ෂයක බලයට නතුව තිබූ අවස්ථාවන්හිදීය. එහෙත් මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට විශේෂ වරමක් ලැබී තිබේ. එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය 219ට 213ක් වශයෙන් හා සෙනෙට් මණ්ඩලයේ බලය 53ට 47ක් වශයෙන් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබීමයි. මේ නිසා මෙවර ජනාධිපතිවරයා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය පත්ව ඇත්තේ එකම පක්ෂයක බලය යටතේය. එය තරමක් විරළ තත්ත්වයකි. ඒසේ නම් මෙවැනි අයවැය අර්බුදයක් හටගන්නේ කෙසේද? ඒ සෙනෙට් මණ්ඩලයේ පවතින විශේෂ තත්ත්වයක් නිසාය. අයවැය සම්මත කිරීම සෙනෙට් මණ්ඩලයේ සරල බහුතරයකින් නොව 5න් 3ක ඡන්දයකින් සිදුකළ යුතු වීම හා ප්‍රතිවාදීන්ට අවශ්‍ය නම් දිගින් දිගටම ප්‍රශ්න මතුකරමින් විවාදය පවත්වාගැනීම හෙවත් “ෆිල්බස්ටර්” තත්ත්වය ඉදිරියට ගෙනයාම වැනි ප්‍රතිපාදන ද පවතී. මෙවැනි සංශෝධන හා ක්‍රියාදාමයන් අමෙරිකානු ව්‍යවස්ථාවට මුල් යුගයේදී හඳුන්වා දී ඇත්තේ එරට ප්‍රජාතන්ත්‍රවාදය හා විනිවිද භාවය ආරක්ෂා කිරීමට එරට “නිර්මාතෘ පියවරුන්” කල්පනා කිරීම නිසාය. කෙසේ වෙතත් 1980 හා 1981 වසරවලදී එවකට සිටි නීතිපති බෙන්ජමින් සිවිලේටි අයවැය සඳහා බලපාන Ant deficiency Act පනත සඳහා ලබාදුන් නීතිමය අර්ථකථන මුල්කරගන්මින් වර්තමාන “වසාදැමීම්” ක්‍රියාවලිය කුළුගැන්වී ඇති බව අමෙරිකානු දේශපාලනය පිළිබඳ විද්වත්හු පවසති.
2025 අර්බුදයට හේතු
මූලික වශයෙන්ම මෙවර අර්බුදයට හේතුවක් වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හඳුන්වා දී ඇති රාජ්‍ය සේවයේ කප්පාදුව හා සහන කප්පාදුව මුල්කරගනිමින් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය අතර හටගෙන ඇති අර්බුදයයි. මේ නිසා සෙනෙට් මණ්ඩලය හරහා අයවැය සම්මත කරගැනීමේ ක්‍රියාවලිය අර්බුදයට ලක්ව ඇත. මූලික වශයෙන්ම ජනතාවට සෞඛ්‍ය සහන සලසන වැඩසටහන් සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා හඳුන්වා දුන් කප්පාදු යෝජනාවලට ඩිමොක්‍රටික් විරෝධය එල්ල වී ඇත. සෙනෙට් මණ්ඩලයේදී ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකුද එම ස්ථාවරයට පක්ෂ බව වාර්තා වේ. මේ කඹ ඇදීම නිසා ඔක්තෝබර් 1 වෙනිදා සිට මේ දක්වා අමෙරිකාවේ “රාජ්‍ය වසාදැමීම්” තත්ත්වයක් ක්‍රියාත්මක වේ. අමෙරිකානු ව්‍යවස්ථාව අනුව මේ අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාට සිය විධායක බලය භාවිත කළ නොහැක. ඒ වෙනුවට යම් යෝජනා පමණක් ඉදිරිපත් කළ හැක. ට්‍රම්ප් මේ සඳහා යෝජනා කර ඇත්තේ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය යොදා ගනිමින් අප කලින් සඳහන් කළ “ෆිල්බස්ටර්” තත්ත්වය අවසන් කිරීමට පියවර ගත යුතුය යන්නයි. එහෙත් එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විරෝධය දක්වා ඇත. මේ නිසා අර්බුදය ද්විපාර්ශ්වික එකඟතාවක් මත අවසන් කරගත යුතු වේ.
අර්බුදයේ බලපෑම
මේ වනවිට අයවැය අර්බුදයේ විවිධ අතුරු බලපෑම් රාජ්‍ය ක්ෂේත්‍රය දැඩි කැළඹීමකට පත්කර තිබේ. වැටුප් නොලැබුණු රාජ්‍ය සේවකයෝ කැළඹීමට හා කෝපයට පත්ව සිටිති. ඇතැම් සේවකයන් සේවයෙන් පහ කිරීමට රාජ්‍ය ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා සමාජමය නොසන්සුන්තාවක් පවතී. අමෙරිකානුවකුට රැකියාව අහිමි වීම යනු ඔහු බොහෝ දුරට මහමගට ඇද වැටීමකි. ඒ අමෙරිකානුවන්ගේ මූල්‍ය රටාව තනිකරම රැකියාව හා ආදායම් මාර්ගය මත පදනම්ව තිබීම හා ඊට බැඳුණු සුවිශේෂ තත්ත්වයකට ලක්ව තිබීම හේතුවෙනි. එමෙන්ම අමෙරිකාවේ සමස්ත ජනගහනය වන මිලියන 342න් මිලියන 42ක් SNAP හෙවත් දිළිඳු සහන ආහාර මුද්දර සහනය යටතේ මාසිකව පෝෂණ දීමනාවක් ලබති. “වසාදැමීම්” ක්‍රියාවලිය නිසා මෙවර දිළිඳු සහන වැඩපිළිවෙළ අකර්මණ්‍ය වන තත්ත්වයක් උදාවූ අතර වහා මැදිහත් වූ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විකල්ප පිරිවැයක් අනුව දිළිඳු සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කළේය. මේ වනවිට වඩාත්ම දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකානු ගුවන් ගමන් ක්ෂේත්‍රයයි.
“වසාදැමීම් ක්‍රියාවලිය යටතේ අමෙරිකානු සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් ගමන් පාලක වරුන් සඳහා වන වැටුප් ගෙවීම් ක්‍රියාවලිය ක්ෂණිකව අත්හිටුවනු ලබයි. 2018 වසරේදී ද “වසාදැමීම්” තත්ත්වය අවසන් කිරීමට මුල් වූයේ සිවිල් ගුවන්ගමන් පාලක වරුන්ගේ විරෝධතා ක්‍රියාවලියයි. මෙවරද සිවිල් ගුවන් ගමන් පාලකවරු තමන්ට වැටුප් නොලැබීමට විරෝධය දක්වමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති. ඒ නිසා දැනටමත් අමෙරිකාවේ සමස්ත දෛනික ගුවන් ගමන් සංඛ්‍යාවෙන් සීයට 10ක් කපා හැරීමට සිදුව තිබේ. එමෙන්ම ප්‍රාන්ත මට්ටමින් ගුවන්තොටුපළ වැසීයන තත්ත්වයක් උදාවී ඇත. ඉදිරි සතියේ සිට ගුවන් තොටුපළවල් වසාදැමීම ආරම්භ කිරීමට සිදුවන බව ෆෙඩරල් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. මේ අනුව අමෙරිකානු අර්බුදය දුරදිග ගොස් ඇති ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැක.
අයවැය අර්බුදය උග්‍රවීම මත වර්තමානයේ කඹ ඇදීමේ යෙදී සිටින ඩිමොක්‍රටික් - රිපබ්ලිකන් දෙපාර්ශ්වයට තම දැඩි ස්ථාවර පසෙක තබා කඩිනම් එකඟතාවකට පැමිණීමට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් අමෙරිකානු පද්ධතිය කඩාවැටීමේ අපරාධයට වගකිවයුත්තන් බවට පත්වීමට ඔවුනට සිදුවනු ඇත. දැනටමත් කඹ ඇදීමේ කණ්ඩායම් බිත්තියට හේත්තු වී ඇති බවක් කිව හැක.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

