කොරෝනා වයිරසය යහපතට හරවාගත් ඉතාලියේ ’’SMART WORKING’’


කොරෝනා වයිරසයට ගොදුරුවූවන් අනාවරණය වීමත් සමගම රෝගය පැතිරයාම වැළැකීමේ ක්‍රමවේදයක් ලෙස උතුරු ඉතාලියේ ඇතැම් ප්‍රදේශ තහනම් කලාප ලෙස හුදෙකලා කර ඇති අතර, ඒ ප්‍රදේශ ඇතුළු තවත් නගර කීපයක රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල ද, පාසල් ද තාවකාලිකව වසා දමා ඇත. මෙහිදී මෙම ක්ෂේත්‍රවල කටයුතු පසුබෑමකට ලක්වීම වැළැකීම සඳහා නව ක්‍රමවේදයක් අනුගමන කිරීමට ඉතාලිය නැඹුරුවී සිටී.   


වෘත්තීයමය ක්ෂේත්‍රයේදී “ස්මාර්ට් වර්කින්” ලෙස ද, අධ්‍යාපන ක්ෂේත්‍රයේදී “ස්මාර්ට් ටීචින්” ලෙස ද මෙය හැඳින්වේ. මෙම ක්‍රමවේදය ගෙදර සිටම රැකියාව කිරීම සහ ගෙදර සිටම පාසල් අධ්‍යාපනය හැදැරීම ලෙස ද ඉතාම සරලව නිර්වචන කළ හැකිය.   


නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සේවා ස්ථානය සහ කාර්ය මණ්ඩලය අතර ඇතිකරගනු ලබන සම්බන්ධීකරණය මගින් එකිනෙකාට දුරස්ථව හිඳිමින් වුවද සමූහ රාජකාරිය (TEAM WORK) නිසියාකාරව කිරීම ස්මාර්ට් වර්කින් ක්‍රමවේදයයි. මෙය එංගලන්තය විසින් ෆ්ලෙක්සිබල් වර්කින් රෙගියුලේෂන් (FLEXIBLE WORKING REGULATION) නමින් 2014 වසරේදී හඳුන්වා දෙන ලද්දකි.   


සේව්‍ය සේවක දෙපාර්ශ්වය අතර ඇතිවෙන සම්මුතියකට අනුව, කාර්යාල කාමරයකට කොටු නොවී නිදහසේ රාජකාරිය කිරීමේ පහසුකම හේතුවෙන් මෙම ක්‍රමය යටතේ රාජකාරියේ කාර්යක්ෂම බව මෙන් ම ඉහළ ම ගුණාත්මක ප්‍රතිඵල ලබාගත හැකි බව ද මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලබන ආයතනවල විශ්වාසයයි. සියල්ල රඳා පවතින්නේ සේවකයා රාජකාරියේදී දක්වන අවංක බව මත ය. ජනාකීර්ණ නගරවල පවතින වාහන තදබදය හේතුවෙන් ගමනාගමනය සඳහා ගතවෙන කාලය ඉතිරිවීම ද, එමගින් සේවකයා මානසික ආතතියට ගොදුරු නොවීම ද හේතුවෙන්, මේ ක්‍රමය යටතේ මේ වෙන විට ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇති බව දැනටමත් කර ඇති නිරීක්ෂණවලින් හෙළිවී ඇත.   
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී උක්ත ක්‍රමවේදය යටතේ නිවසේ සිටම සිසුන් සහ විෂය භාර ගුරුවරයා අතර අන්තර්ජාලය ඔස්සේ ඇතිකරගන්නා සම්බන්ධීකරණය මගින් ඉගැන්වීම සිදුකෙරේ. මෙහිදී සිසුන්ගේ අවධානය පාඩමෙන් මිදීයාම පමණක් නොව, අභ්‍යාස පරීක්ෂාකර බැලීම ද සජීවී ලෙස ගුරුවරයාගේ නිරීක්ෂණය යටතේ පැවතීම විශේෂත්වයකි.   
දශක දෙකක පමණ කාලයක සිට ජනප්‍රිය වෙමින් පවතින හෝටල් කාර්යාල (HOTEL OFFICE) සංකල්පය ද මෙම ස්මාර්ට් වර්කින් සංකල්පයට සමාන වූවකි. හෝටල් කාර්යාල සංකල්පයට අනුව බටහිර සහ අනෙකුත් දියුණු රටවල නිදහස් මාධ්‍යවේදීන්, චිත්‍රපට, තිර රචකයින්, කවියන්, සිත්තරුන්, ලේඛකයින් වැනි නිර්මාණශීලී කාර්යයන්හි යෙදෙන්නවුන් තම නිර්මාණකරණය සඳහා, අඩු වියදම් රටවලට මධ්‍යකාලීනව ඇතැම් විටෙක දීර්ඝ කාලීනව ද සංක්‍රමණය වෙති. නිර්මාණකරණයට රුකුළක් වෙන අයුරින් මුහුදු වෙරළ හෝ වනගත මනස්කාන්ත පරිසරයක සොබාදහමට හානි නොවෙන අයුරින් කුඩා කුටි ලෙස ඉදිවෙන මෙම හෝටල් කාර්යාලවල තිබිය යුතුම අංගය වෙන්නේ අන්තර්ජාල පහසුකම ය. වියට්නාමය, තායිලන්තය සහ බාලි දූපත් ද මෙම හෝටල් කාර්යාල සංකල්පයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රටවල් ය.   

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, 
ඉතාලිය.