කංසා තහනමට එරෙහිව ඉතාලියේ විරෝධතා


 

ඉතාලියේ කංසා වගාවට, මොනයම් ස්වරූපයෙන් හෝ අලෙවිකරණයට සහ ළඟ තබාගැනීමට මෙන්ම භාවිතයට ද අවසර දෙමින් 2017 ජනවාරි මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ඉතාලි නීති සංග්‍රහයේ 2 දෙසැම්බර් 2016 වගන්ති අංක 242 නීතිය අහෝසි කර කංසා තහනමකට ඉතාලි වර්තමාන රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර පැවැත්වෙමින් ඇත. කංසා තහනමට විරෝධය පාමින් මැයි මස එකොළොස්වැනිදා රෝමයේ පැවති පා ගමන මේ අතර මුල් තැනක් ගත්තේය.   


රෝම නගරසභාවේ අවසරය මත වුවද නගරයේ ප්‍රධාන මාර්ග කීපයක් අවහිර කරමින් පැවති මෙම විරෝධතා පා ගමනට තිස්දහසක පමණ පිරිසක් සහභාගී වූ බව රෝම පොලිසිය කියයි. එහෙත් මෙම පා ගමන සංවිධායකයෝ කියන්නේ එම පිරිස මීට වඩා තෙගුණයක් පමණ වූ බවය.  


පසුගිය වසරේ වාර්තාවන්ට අනුව ඉතාලියේ නීත්‍යානුකූලව කංසා වගාකර ඇති භූමි ප්‍රමාණය අක්කර හාරදහසකි. කංසා නිෂ්පාදන අලෙවිය සඳහා රට පුරා බලය ලත් වෙළෙඳසල් හාරසියයක් පිහිටුවා ඇත. දැනට ඉතාලියේ පවතින නීතියට අනුව වයස අවුරුදු දහඅටට වැඩි එක් අයෙකුට වරකට ග්‍රෑම් පහකට නොවැඩි ගංජා ප්‍රමාණයක් මිලට ගැනීමට සහ ළඟ තබාගැනීමට ද බලය ඇත.   


කංසා තහනමට එරෙහිව රෝමයේ පැවති පා ගමනේ අවස්ථා කීපයක් සහ ඉතාලියේ කංසා නිෂ්පාදන අළෙවි සලක් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 

 


ගැස්කොන් ලාසරස්  
රෝමය, ඉතාලිය