
දිල්ලියේ රතු බළකොටුව අබියස බෝම්බ පිපිරවූයේ කවුද? දිල්ලි ප්‍රහාරයෙන් පැය 24ක් ගතවීමට මත්තෙන් පකිස්ථානයේ, ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ සංකීර්ණයක් අබියස බෝම්බ පිපිරවූයේ පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් කියන ආකාරයට ඉන්දියාවේ සහාය ලබන කණ්ඩායමක්ද? වෙනදා තම රටේ ප්‍රහාර සම්බන්ධයෙන් මුලින්ම පකිස්ථානයට චෝදනා කරන ඉන්දියාව මෙවර නිහඬ පිළිවෙතක සිට පරීක්ෂණ සඳහා මුල්තැන දෙන්නේ ඇයි? මේ ප්‍රශ්න සතියේ දකුණු ආසියාව කැළඹූ ත්‍රස්තවාදී ප්‍රහාර දෙකකින් පසු ශේෂ වූ පසුකම්පන තත්ත්වයන් මතින් ඉස්මතු වූ ඒවා වෙයි.
මේ සිද්ධි දෙකෙන් ඉන්දියාව පකිස්ථානයට පමණක් නොව සමස්ත දකුණු ආසියාවටම අවබෝධ කරගත යුතු, එමෙන්ම යථාර්ථයක් ව පවතින සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරයි. සරලවම කිවහොත් ඉන් කියැවෙන්නේ දකුණු ආසියාව තවමත් ලොව සෙසු කලාපවලට වඩා ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇතුවාක් මෙන්ම බරපතළ ගනයේ ආරක්ෂක අවදානමක සිටින බවයි. ප්‍රහාරවලට ලක්වූයේ කලාපයෙහි බලවත්ම රාජ්‍ය දෙකයි. දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාගේ අගනගරයි. ඒ නිසා මෙය තවත් එක් හුදෙකලා සිද්ධියක් නොවේ.
දිල්ලි ප්‍රහාරය
පසුගිය සඳුදා පස්වරු 6.52ට දිල්ලි නගරයේ සුප්‍රකට සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් වන රතු බළකොටුව අබියසදී වාහනයක් පුපුරා ගියේය. ඒ රතු බළකොටුවේ ලාහෝර් ගේට්ටුව හා දිල්ලියේ ජනප්‍රියතම වෙළෙඳ පොළක් වන චාන්දනි චෝක් සම්බන්ධ කෙරෙන චාන්දනී චෝක් මාර්ගයේ පිහිටි මාර්ග සංඥා විදුලිපහන් සහිත මංසන්ධියේදිය. එය ඉන්දියානු ජාතිකයන් අතරත් සංචාරකයන් අතරත් ජනප්‍රිය කලාපයකි. කෙසේ වෙතත් පිපිරීම සිදුවන අවස්ථාවේ මංසන්ධියේ වාහන විශාල ප්‍රමාණයක් නොතිබූ නිසා අතිවිශාල ජීවිත හානියක් සිදු නොවීය. එහෙත් ප්‍රහාරකයන්ද ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 20 දෙනෙක් පමණ තුවාල ලැබූහ. වාහන කිහිපයක් විනාශ විය. එහෙත් පිපිරීමටත් වඩා එහි දේශපාලනික හා ආරක්ෂක කම්පනය ප්‍රබල විය. ඊට හේතු කිහිපයකි. පළමුවැන්න එය 2011 වසරෙන් පසු දිල්ලියේ සිදුවූ පළමු ප්‍රහාරයයි. වසර 14 ක් පුරා ආරක්ෂිතව පැවති දිල්ලියේ ආරක්ෂක දැලේ සිදුරකින් රිංගා යාමට ත්‍රස්තවාදීන් සමත් වී ඇද්ද යන ප්‍රශ්නය මතුවෙයි. ආරක්ෂක අංශවල මතය වී ඇත්තේ මෙය හුදෙකලා ප්‍රහාරයක් නොවන බවයි.
මෙය ඉන්දියාව පුරා වාහන බෝම්බ වැලක් පිපිරවීමේ සැලසුම් දාමයක එක් පුරුකක් බව ඉන්දීය ආරක්ෂක අංශවල මතයයි. ඒ පිළිබද සැලැස්මක් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජය මේ පිළිබද විධිමත් පරීක්ෂණයක නිරත වීමට ආරක්ෂක අංශ යොමුකර ඇති බව පෙනේ. පරීක්ෂණ පිළිබද නිල තොරතුරු බහුල වශයෙන් මාධ්‍යයට එළිදැක්වීමක් සිදු නොවන බවක් දක්නට ඇත. පරීක්ෂණවල මූලික අවධානය යොමු වූයේ ප්‍රහාරයට යොදා ගත් රථය පිළිබඳවයි. ඒ සමිබන්ධයෙන් හර්යානා ප්‍රාන්ත වැසියෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු නිසාය. එහෙත් පසුව කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා වාහනය වෙනත් පුද්ගලයෙකුටත් පසුව ඔහු තවත් අයෙකුටත් විකුණා ඇති බවයි. නිල නොවන ආරක්ෂක ආරක්ෂක ආරංචිමාර්ග උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මේ වනවිට පොලිසිය සැකකටයුතු වාහන කිහිපයක්ම සොයාගෙන ඇති බවය.
සුදු කරපටි මෙහෙයුම
ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වන මාධ්‍ය සඳහන් කරන්නේ දිල්ලි පිපිරීම සුවිශේෂ මුහුණුවරකින් සැලසුම් කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවය. මෙය ඍජුවම මෙහෙයවා ඇත්තේ ඉහළ සමාජ තලවල වෙසෙන විශේෂයෙන්ම විද්වත් ගණයේ පිරිසක් බවය. ඔවුන් තම වෘත්තීයමය තත්ත්වයන් කඩතුරාවක් කරගනිමින් පුපුරන ද්‍රව්‍ය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගෙනයාමටත්. මිලදී ගන්නා වාහන මගින් ඒවා ප්‍රවාහණය කොට පසුව ඒවා වාහන බෝම්බ බවට පරිවර්තනය කිරීමටත් පියවර ගන්නා බව හෙළිවී ඇතැයි ඉන්දීය මාධ්‍යවල දැක්වේ. මේ වනවිට මතුවී ඇති වඩාත්ම බරපතළ ආරක්ෂක ගැටලුව වන්නේ මෙම ජාලය කොතරම් දුරට විහිදී ඇත්දැයි හඳුනාගැනීමය. ඉන්දීය ආරක්ෂක අංශවල පූර්ණ අවධානය යොමුව ඇත්තේ ඒ පිළිබඳවය.
ඉන්දියාව ඉකුත් අප්‍රේල් මාසයේ සිදුවූ පෙහෙල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මුහුණ දෙන බරපතළම සිද්ධිය මෙය වන අතර එය එක් පිපිරීමක් නොව ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක ආරම්භය බවට සලකුණු ලැබීම වඩාත්ම ප්‍රශ්නකාරී තත්ත්වයයි. ත්‍රස්තවාදී ප්‍රහාර ඉන්දියාවට අලුත් දෙයක් නොවේ. එහෙත් මෑතකාලීනව ඉන්දීය ආරක්ෂක අංශවල බුද්ධි හා ත්‍රස්තවාදී මර්දන මෙහෙයුම් නිසා ප්‍රධාන නගරවලට බරපතළ ආරක්ෂක තර්ජනයක් නොවීය. එහෙත් දිල්ලි රතු බළකොටු ප්‍රහාරය මගින් සංකේතවත් වන්නේ ආරක්ෂක දැලට යටින් ත්‍රස්ත ජාලය රහසිගතව ක්‍රියාත්මක වූ බවකි. ඉන්දීය රජය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කාශ්මීර බෙදුම්වාදීන් දෙසට යොමුවන බවය.
පිපිරීම සිදුවන අවස්ථාවේ මංසන්ධියේ වාහන විශාල ප්‍රමාණයක් නොතිබූ නිසා අතිවිශාල ජිවිත හානියක් සිදු නොවීය. එහෙත් ප්‍රහාරකයන්ද ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 20 දෙනෙක් පමණ තුවාල ලැබූහ. වාහන කිහිපයක් විනාශ විය. එහෙත් පිපිරීමටත් වඩා එහි දේශපාලනික හා ආරක්ෂක කම්පනය ප්‍රබල විය. ඊට හේතු කිහිපයකි. පළමුවැන්න එය 2011 වසරෙන් පසු දිල්ලියේ සිදුවූ පළමු ප්‍රහාරයයි. වසර 14 ක් පුරා ආරක්ෂිතව පැවති දිල්ලියේ ආරක්ෂක දැලේ සිදුරකින් රිංගා යාමට ත්‍රස්තවාදීන් සමත් වී ඇද්ද යන ප්‍රශ්නය මතුවෙයි.
දැනට පවතින සැකය නම් ලෂ්කාර් හෝ ජායිෂ් ඊ මුහම්මද් වැනි කාශ්මිර ත්‍රස්තවාදී සංවිධානයක් තම සුවිශේෂ සාමාජික පිරිසක් යොදාගනිමින් මේ ප්‍රහාරය සිදුකරන්නට ඇති බවය. පුපුරාගිය වාහනය පදවා ඇත්තේ උමර් උන් නබි නම් වෛද්‍යවරයෙකි. ඔහු හර්යානා සරසවියක ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු හා සමීපව ක්‍රියාකළ තවත් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව ආරක්ෂක අංශ පවසයි. මෙය සුදු කරපටි ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඉන්දීය ආරක්ෂක අංශ හා මාධ්‍ය හදුන්වන්නේ ඊට සම්බන්ධ වෘත්තිකයන් නිසාවෙනි. කෙසේ වෙතත් මේ සැකකරුවන්ට පෙර අපරාධ චෝදනා නොමැති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. උමර් උන් නබි කාශ්මිරයේ උපත ලැබූ අයෙකි. සිකුරාදා දහවල් වනවිට ඔහුගේ කාශ්මිර නිවස ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමා ඇති අතර එහිදි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය හමුවු බවක්ද නිල නොවන වාර්තාවල දැක්වේ. වර්තමානයේ ආරක්ෂක අංශවලට ඇති මූලික සැකය වන්නේ තවත් ත්‍රස්තවාදී ප්‍රහාර කීයක් මේ ආකාරයට නුදුරු දිනවලදී සිදුවීමට සැලසුම් කර ඇත්ද යන්න ගැනයි. ඒ නිසා ඉන්දියාව පුරා දැවැන්ත ආරක්ෂක ජාලයක් දැන් ක්‍රියාත්මක වේ. මෙය මෑත කාලයේ ඉන්දියාවෙන් වාර්තා වූ වඩාත්ම පුළුල් ත්‍රස්ත විරෝධී මෙහෙයුමයි.
මාධ්‍ය පරීක්ෂණ
ඉන්දීය ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ල දැන් ජනතාවට යන්නේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේය. මේ වනවිට ඉන්දියාවේ සියලුම මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට රතු බළකොටු ප්‍රහාරය පත්ව තිබේ. ඉන්දීය රජය තොරතුරු සම්පාදනයේදී වඩාත් ප්‍රශස්ත හා සැලසුම්සහගත බවක් පෙන්වයි. සිකුරාදා දහවල් වන තෙක්ම ආරක්ෂක අංශ තමන් සැක කරන පාර්ශ්වය හෝ පුද්ගලයන් ගැන කරුණු සදහන් කර නැත. නිකුත් වන්නේද සංවේදී නොවන හුදෙක් මාධ්‍යයට හෙළිකළ හැකි කරුණු පමණක් පදනම් කරගත් මාධ්‍ය ප්‍රකාශනයක් පමණි.

අතුරු තොරතුරු සියල්ල ජනතාවට ලැබෙන්නේ ඉහත සදහන් කළ ප්‍රධාන ධාරාවේ හා සමාජ ධාරාවේ මාධ්‍යවලිනි. මේ නිසා දුන් තොරතුරු, අනුමාන, සැක සංකා හා තවත් බොහෝ අවරගනයේ දේ ඉන්දීය මාධ්‍ය තරගයෙන් බිහිවන දරුවන් විය හැක. මාධ්‍ය විසින් නඩු ඇසීමේ හා පොලිස් පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය ජයටම සිදුවන බවක් පෙනේ. මාධ්‍ය කුමක් කීවත් අවසානයේ නිල වශයෙන් නිකුත් වන්නේ හෙළිකළ යුතු යැයි රජය හා ආරක්ෂක අංශ තිරණය කරන තොරතුරු පමණි. මේ මාධ්‍ය මෙහෙයුම් පිළිබදව ඉන්දියාවේ සියලු අංශ වල දැඩි අවධානය යොමුව ඇත.
පකිස්ථාන ප්‍රහාරය
පකිස්ථාන තලෙබාන් කල්ලිය වගකීම භාරගත් පාකිස්ථාන ප්‍රහාරය හා එහි පසුබිම ගැන ඉන්දීය සිද්ධිය මෙන් පුළුල් මාධ්‍ය අවධානයකට ලක්ව තිබුණාද යන්න ප්‍රශ්නයකි. ඉන්දීය සිද්ධිය පිළිබඳ මාධ්‍ය වාර්තා හා පකිස්ථාන සිද්ධිය ගැන මාධ්‍ය වාර්තා සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ ඉන්දියාවේ විශාලත්වය, බලපෑම හා ක්‍රියාකාරිත්වය පදනම් කර ගනිමින් මේ වෙනස හටගෙන ඇති බවකි. ඉස්ලාමාබාද් ප්‍රහාරයෙන්ද දැඩි බලපෑමක් එල්ල වන්නේ අදාළ ජන සමාජයටය. ඒ නිසා ඉස්ලාමාබාද් ප්‍රහාරය යනු පකිස්ථාන හමුදාවට සිදුකළ ප්‍රධාන අභියෝගයක් වන්නේය. ඒ මන්ද යත් ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන පකිස්ථාන හමුදාවට අභියෝග කරන්නක් බදු තත්ත්වයක් උදාවීම නිසයි. පකිස්ථාන දේශපාලනයේද ප්‍රබල භූමිකාවක් නියෝජනය කරන ආරක්ෂක හමුදාව මේ තර්ජනය ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති බව පකිස්ථාන හා අන්තර්ජාතික මාධ්‍ය පෙන්වා දෙයි.
ප්‍රසාද් කෞෂල්‍ය දොඩංගොඩගේ

