ඉන්දියාවට දැනෙන දකුණ ආසියාවේ හද ගැස්ම


නේපාලයේ හා ඉන්දුනීසියාවේ මෑතක සිදුවූ නැගිටීම් සහ බංග්ලාදේශයේ හා ශ්‍රී ලංකාවේ ඊට පෙර ඇති වූ කැලඹිලි, අහඹු පිපිරීම් නොවේ. අසමානතාව සහ ප්‍රභූ ග්‍රහණය හේතුකොටගෙන නොසන්සුන්ව සිටින තරුණ පරම්පරාවක ප්‍රතිචාර සේ සැලකිය හැකිය. අරාබි වසන්තයේ සිට මෙම විරෝධතා දක්වා, සිද්ධි සලකන පසු ලෝක දේශපාලනය නැවත හැඩගැසෙමින් පවතින බව පෙනේ. මෙම සිද්ධි ජන සමාජ නැවත හැඩගස්වන ගැඹුරු ගෝලීය සංසිද්ධියක ලක්ෂණ සේ සැලකිය හැකිය. 

කෝවිඩ් අධිවසංගත තත්ත්වය ජනතා කැලඹිලි ඇතිකරන උත්තේජකයක් විය. ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් පරතරය එයින් පුළුල් කරන ලද අතර රටවල්වල ආණ්ඩු කෙරෙහි විශ්වාසය බිඳදැමීය. ක්‍රමයෙන් බැහැර කර ඇතැයි හැඟීමක් දැනුණු තරුණයන් අතර කලකිරීම තියුණු කළේය. දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට පවතින තත්ත්වය අස්ථාවරත්වයක පවතින ගෝලීය ස්වභාවයේ එක පැතිකඩකි. 

අසමානතාවේ උගුල

ධනවාදය සහ විවෘත වෙළෙඳපොළ විසින් ඉකුත් දශක අටක කාලයෙහි අසාමාන්‍ය ආර්ථික වර්ධනයක් කර ඇත. ආසියාවේ මිලියන සිය ගණනක ජනකොටසක් දරිද්‍රතාවෙන් මිදී තිබේ. ගෝලීයකරණයේ ලක්ෂණ නවෝත්පාදනයට හා ආර්ථික වර්ධනයට හේතු විය. මෙම සිද්ධි සමග ධනවාදය හා එහි යුක්තියුක්තභාවය අර්බුදයකට පත්ව තිබේ. 

පොහොසත් සියයට එකක පිරිසක් බිහි වී ඇති අතර දියුණු ආර්ථික සහිත පමණක් නොව ලෝකයේ දකුණු කලාපයේ රටවල ද එම කොටස ගැන අවධානය වඩාත් තියුණු වී ඇත. ධනය සහ බලය ස්වල්ප දෙනෙකු අතට පත්ව ඇත. මධ්‍යම පන්තිය පීඩනයකට ද, දුප්පතුන් අවදානමට ද ලක්ව සිටිනු පෙනේ. මෙම අසමානතාව, හෙළිදරව් කරන ඩිජිටල් යුගයේ සමාජ මාධ්‍ය පාලකයන්ගේ වරප්‍රසාද සහ දූෂණ විශාලකරමින් එහි බරපතළභාවය තීව්රකරමින් සිටී. පැවැත්ම යුක්ති සහගත වන තුරු බලාසිටීමට සූදානමක් නැති තරුණයන් අතර නොඉවසිලිමත්කම වර්ධනය එහි ප්‍රතිඵලයකි.

දකුණු ආසියාව මෙම ප්‍රවණතා විචිත්‍රවත් ලෙස පිළිබිඹු කරන තැනකි. 2022 දී ශ්‍රී ලංකාවේ උද්ගත වූ ආර්ථික හා දේශපාලන අර්බුදය හුදෙක්  මූල්‍ය කළමනාකරණයට අදාළ කාරණයක් නොවේ. පාලකයන් සහ පාලිතයන් අතර විශ්වාසය බිඳවැටීම ද එයට හේතු විය. දේශපාලන කේන්ද්‍රීයත්වය සමඟ බංග්ලාදේශය පොරබදමින් සිටින අතර නේපාලයේ වීදිවල රැව් පිළිරැව් දෙන්නේ මහජනතාවගේ අතෘප්තියයි. ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අස්ථාවරත්වයේ පතුලටම කිඳී ඇත. මාලදිවයින සහ භූතානය වැනි කුඩා රාජ්‍ය පවා ගැටලුවලය. මේ අනුව සලකන විට කලාපයෙහි සිදුවන නැගිටීම් යනු හුදකලා සිදුවීම් නොවේ. ගැඹුරු ව්‍යාකූලත්වයක සංඥාවන්ය. රටවල්වල පැවැත්මෙහි යුක්තිභාවය බිඳදමන, ස්ථාවරත්වය යටපත් කරන සහ අස්ථාවරත්වය පෝෂණය කරන අසමානතාවය පදනම් කරගත් උගුලකි.

ඉන්දියාවේ පළමු ප්‍රතිචාරය

ඉන්දියාව මෙහිදී නිසොල්මන්ව බලා සිට නැත. අර්බුදකාරී අවස්ථාවන්හිදී ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය හරහා, තීරණාත්මකව ක්‍රියාකර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටීම ආසන්නයට පැමිණි අවස්ථාවේදී, ඇමරිකානු ඩොලර් බිලියන හතරකට වඩා ආධාර ලබාදුන්නේය. දුෂ්කර අවස්ථාවන්හිදී එවැනි උපකාර කරන්නන් විරලය. භූතානය, නේපාලය සහ මාලදිවයින ද ඉන්දියාවේ සංවර්ධන ආධාරවලින්, යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින්  ප්‍රතිලාභ ලබා ඇත.

කොවිඩ් අධිවසංගතය අතරතුර ඉන්දියාව හඳුන්වා දුන් මෛත්‍රී එන්නත්කරණ වැඩසටහන හරහා තීරණාත්මක සහයෝගයක් ලබා දුන් අතර, අසල්වැසි ප්‍රදේශවලට සහ ඉන් ඔබ්බට සැපයූ එන්නත් මගින් මිලියන ගණනක් ජීවිත බේරාගත හැකි විය.

මෙම මැදිහත්වීම් හේතුවෙන් දකුණු ආසියාවේ බලවත් පාර්ශ්වය ලෙස ඉන්දියාවේ භූමිකාව ශක්තිමත් විය. කෙසේ වෙතත් මෙම බලවත්භාවයට ඇති සීමාව ද, ඒ අතරතුර සලකුණු විය. අර්බුද කළමනාකරණයෙන් පමණක් රටවල කල් පවතින ස්ථාවරත්වයක් සහතික කළ නොහැක. අසමානතාව, පාලනයේ දී තරුණයන් බැහැර කිරීම සහ බිඳෙනසුලු ආයතනික පද්ධති සම්බන්ධ ගැටලු තවමත් විසඳී නැත. රටවල අභ්‍යන්තරිකව ඇති මෙම ගැටලු දෙස වඩා පරීක්ෂාකාරී විය යුතුය. 

අසල්වැසියන්ට ප්‍රමුඛතාව දීමේ වැඩසටහන 2.0

මෙම සංදර්භය තුළ, ‘අසල්වැසියන්ට ප්‍රමුඛතාව’ ප්‍රතිපත්තියෙහි 2.0 වැඩසටහනක් සඳහා කාලය එළැඹ තිබේ. ඇවිළෙන ගිනි නිවාදැමීම පමණක් වැදගත් නැත. දිගුකාලීන ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීම අවශ්‍ය වේ. අභියෝගය ව්‍යුහාත්මක වන නිසා විසඳුම ද එබඳු රාමුවක් විය යුතුය. සියයට හතකට ආසන්න ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන ඉන්දියාවට ඊළඟ අදියර ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇත. කලාපීය ආර්ථික වර්ධනයට බලය සපයන එන්ජිම බවට පත්විය හැකිය. රටවල් අතර සියුම් ඒකාබද්ධතාව සහ බෙදාගත් අවස්ථා සමඟ අසල්වැසි රටවල් ඇදගෙන යා හැකිවේ.

ලෝක බලවතුන් ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ දොරටු අවහිර කරන අතරවාරයේ, ඉන්දියාවට තම දොරටු විවෘත කිරීම මෙහි දී වැදගත් පියවරකි. එක්සත් ජනපදය සහ ඇතැම් බටහිර රටවල් ආරක්ෂණවාදීන් බවට පරිවර්තනය වෙද්දී, තම අසල්වැසියන්ට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමෙන් නායකත්වයේ ආදර්ශයක් ලබාදීමට ඉන්දියාවට හැකිය. වෙළෙඳ ක්‍රම, භාණ්ඩ හා සේවා ප්‍රවාහනයේ පහසුව සහ කලාපීය සැපයුම් දාම සහිත වරාය සේවා අංශ වැනි ව්‍යුහ කුඩා ආර්ථික සහිත රටවල් ස්ථාවර කිරීමට උපකාරී වේ. එසේම, ඒවා ඉන්දියානු කර්මාන්තවලට ජවයක් ද සපයනු ඇත.

අසල්වැසියන්ට පළමු තැන දීමේ ප්‍රතිපත්තියේ 2.0 ප්‍රතිපත්තිය කුමක් විය හැකිද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇත. එහි දී පහත සාධක වැදගත්වේ.

කලාපීය සබඳතා-දකුණු ආසියාව තනි ආර්ථික පරිසර පද්ධතියකට සම්බන්ධ කරන්නට සමත්වන වරාය, ගුවන්තොටුපළ, මහාමාර්ග සහ දුම්රිය ජාලවල ආයෝජන මෙයට අයත් වේ. නවීකරණය කරන ලද දේශසීමා හරහා දුම්රිය සම්බන්ධතා මගින් පිරිවැය අඩු කිරීමටත්, වෙළඳපොළ පුළුල් කිරීමට සහ ජනතාව අතර සබඳතා වේගවත් කිරීමටත් හැකිය.

තරුණ කේන්ද්‍රකරගත් වර්ධනය - දකුණු ආසියාවේ තරුණ ජනගහනයේ ශක්තිය ඵලදායී ව්‍යවසාය වෙත යොමු කරන කුසලතා සංවර්ධන වැඩසටහන්, කලාපීය රැකියා වේදිකා සහ ඩිජිටල් ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය කිරීම මෙයට අයත් වේ.

කොළඹ සිට කත්මණ්ඩු දක්වා පැතිරෙන වහා ඇවිළෙන සංදර්භයක් තුළ කලාපය නැවත හැඩගස්වන දිල්ලියේ ඉදිරි පියවර

සියලු පැති ආවරණය වෙන වෙළෙඳ සහ සැපයුම් දාම- විශාල සමාගම්වලට පමණක් නොව කුඩා ව්‍යාපාර, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් සහ ග්‍රාමීය නිෂ්පාදකයන්ට ද සහාය වන වෙළෙඳ රාමු, වර්ධනය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වෙන බව සහතික කරයි.

ජාලගත බලශක්ති සැපයුම - විදුලිය, ගෑස් නළ මාර්ග, තෙල් සැපයුම් දේශසීමා හරහා සම්බන්ධකරන අතර බලශක්තිය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය පද්ධතියට සමාන්තරව කරගැනීමෙන් පිරිවැය අඩු කළ හැකිය. ඔරොත්තු දීමේ හැකියාව සහ අන්තර් රඳා පැවැත්ම ශක්තිමත් කළ හැකිය. සූර්ය, සුළං, හරිත හයිඩ්‍රජන් සහ ජල විදුලි බලශක්තිය සඳහා දැවැන්ත විභවයක් දකුණු ආසියාවේ ඇත. ඒකාබද්ධ ජාල හරහා මෙම සම්පත් සම්බන්ධ කිරීම පරිවර්තනීය යුගයක් විය හැකිය.

පොදු ආරක්ෂාව - ආහාර, බලශක්තිය, දේශගුණය සහ සෞඛ්‍යය පිළිබඳ සහයෝගී යාන්ත්‍රණ ගොඩනැගීම සහ එමගින් වහාම අර්බුද බවට පත්විය හැකි අවදානම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට හැකිවනු ඇත. 

සියලු දෙනාට අවස්ථා සහිත ධනවාදයක් නොසන්සුන්තාවට හේතු වූ ප්‍රභූ පැලැන්තිය විසින් මෙහෙයවනු ලබන පද්ධතිවලට වඩා විනිවිද පෙනෙන, සැමට සහභාගී සහ විය හැකි සහ අඩු සූරාකෑමක් සහිත ධනවාදයක ආදර්ශයක් ඉන්දියාවට නිර්මාණය කළ හැකිය. එමගින් ආර්ථික වර්ධනය සාධාරණත්වය සමඟ සමපාත කරනු ඇත.

බහුධ්‍රැවීය සන්දර්භය - බිඳ වැටෙන පැරණි ලෝක පිළිවෙළක පසුබිමක් තුළ මේ සියල්ල දිගහැරෙනු ඇත. බලය සම්බන්ධ බහු ධ්‍රැවීයතාව තවදුරටත් කල්පිතයක් නොව ජීවමාන යථාර්ථයකි. ගෝලීය බලය විසිරී ඇත. තරගකාරිත්වය තියුණු වී තිබේ. එහි දී කුඩා රාජ්‍ය නව අවිනිශ්චිතතාවන්ට නිරාවරණය වේ. මෙම පරිසරය තුළ, දකුණු ආසියාවට කැබලිවලට බිඳී හෝ වෙන්වී පැවතිය නොහැකිය.

ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා කොරිඩෝවේ සාධකයඳී අසල්වැසියන්ට ප්‍රමුඛතාව දෙන 2.0 ප්‍රතිපත්තිය, ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා කොරිඩෝවේතවත් වැදගත් කාරණයකි. ඉන්දියාවේ සහභාගීත්වය සමග වෙළෙඳාම, රටවල් අතර සම්බන්ධතාව, දුම්රිය, බලශක්තිය සහ ඩිජිටල් ඒකාබද්ධතාව හරහා දකුණු ආසියාව තවදුරටත් එක කේන්ද්‍රීය ස්ථානයක් ලෙස නොපවතිනු ඇත. එය මැදපෙරදිග හරහා ඉන්දියානු සාගරය සහ යුරෝපය අතර පාලමක් බවට පත්වනු ඇත. මෙමගින් ඉන්දියාවට සම්බන්ධවීම පමණක් නොව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් සඳහා, 21 වන සියවසේ වඩාත්ම අභිලාෂකාමී සබඳතා රාමුවකට ද ඇතුළුවීමට අවස්ථාව ලැබේ. 

නේපාලයේ, ඉන්දුනීසියාවේ, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ නැගිටීම් අභව්‍ය සිදුවීම් නොව අනතුරු ඇඟවීම් ලෙස සැලකිය යුතුය. සමාජ අසමානතා උග්‍ර වූ විට ප්‍රශ්න ඇතිවේ. අවස්ථා අහිමිවීම සහ විශ්වාසය බිඳවැටුණු පසු සිදුවන්නේ කුමක්ද යන්න පසුගිය සිද්ධි පෙන්නුම් කරයි. එසේම, විසඳුම් නිර්මාණය කෙරෙහි ද අවධානය යොමු කරවයි. සමාජ ස්ථාවරත්වයේ පදනම පොදුවේ ආර්ථික වර්ධනය යන පොදු කරුණ බව පැහැදිලි දක්වයි.

අර්බුදකාරී අවස්ථාවන්හිදී වහා ක්‍රියාත්මක විය හැකි බව ඉන්දියාව දැනටමත් ඔප්පු කර ඇත. එය අවස්ථානුකූල මට්ටමේ සිට ක්‍රියාශීලී මට්ටම වෙත උසස් විය යුතුය. මැදිහත්වීම්වල සිට පද්ධති නායකත්වය දක්වා ගමන් කළ යුතුවේ. කලාපයේ ආර්ථික බලය ලෙස ක්‍රියාකරන ඉන්දියාව අසල්වැසියන්ට ප්‍රමුඛතාව දෙන ප්‍රතිපත්තියේ 2.0 ඔස්සේ  වර්ධනය, ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ලබාගැනීමට රටවලට උපකාර කළ හැකිය.

මෙකී පද්ධතිය සාර්ථකවීම සඳහා, ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධව වඩාත් ආරක්ෂිත බවක් සහ භීතියක් රහිත තත්ත්ව ඇතිකිරීම අවශ්‍ය වේ. ආර්ථික බලයෙන් පමණක් කලාපීය සහයෝගීතාව පවත්වාගත නොහැකිය. විශ්වාසය, බැඳීම සහ රටවල් අතර පොදු සාධක හඳුනාගැනීම අවශ්‍ය වේ. පහසු නැති නමුත්, ඒ සඳහා උත්සාහ කළ යුතුය. දකුණු ආසියාවේ වර්ධනයේ කතාව ඉන්දියා - මැදපෙරදිග - යුරෝපා කොරිඩෝව වැනි විශාල රාමු සමඟ සම්බන්ධ කිරීමෙන් සහ දුම්රිය, බලශක්තිය, වෙළෙඳාම සහ ඩිජිටල් ජාල ගොඩනැගුම යන කරුණු ඔස්සේ, අසල්වැසියන් අතහැර නොදමන බව සහ ඒ වෙනුවට ඔවුන් පුළුල් පරිවර්තනයක හවුල්කරුවන් බවට පත්වෙන බව ඉන්දියාව සහතික කළ යුතුව ඇත. පුළුල් ඉන්දු-පැසිෆික් සන්දර්භය තුළ ඉන්දියාව විසින් ජපානය ද මෙම ආරම්භය සම්බන්ධ විභව හවුල්කරුවෙකු ලෙස සැලකීම ද වැදගත්ය. ඉන්දියාව සාර්ථක වුවහොත්, එය තම අසල්වැසි ප්‍රදේශය සුරක්ෂිත කරනවා පමණක් නොව, බලය සම්බන්ධ ස්ථාන බහුල ලෝකයක නායකත්වය කෙබඳු ද යන්න නිර්වචනය කරනු ඇත.