TIKTOK සමාජ මාධ්‍ය ජාලයේ අවිනිශ්චිත අනාගතයට විසඳුමක් හිමිව තිබේ. ඒ නිසා එම සමාජ මාධ්‍ය ජාලයේ පැවැත්ම ගැන මෙතෙක් පැවති බිය බොහෝ දුරට දුරුවී තිබේ. TIKTOK සැබැවින්ම අමෙරිකානු චීන දේශපාලනික අර්බුදයේ ගොදුරක්ව පැවතිණ. ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපති පදවිය දරන සමයේ, ඔහුගේ පාලනයේ අවසන් භාගය වෙන විට අමෙරිකාවෙන් ටික් ටොක් තහනම් කිරීමට නියෝග කොට තිබිණ. එහෙත් ව්‍යාපාරික ඥානය සහිත ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වර අමෙරිකානු ජනාධිපති පදවියට පත්වීමෙන් පසු සිදුකළ මුල්ම කටයුතුවලින් එකක් වෙන්නේ TIKTOK තහනම පිළිබඳ ජනාධිපති නියෝගය අත්හිටුවා චීනය සමග ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා පසුබිමක් සකස්කර ගැනීමයි. සාකච්ඡාවේ අරමුණ එම සමාජ මාධ්‍ය ජාලයේ අයිතිය චීනය වෙතින් අමෙරිකාවට පවරා ගැනීමය.
ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව ඇමෙරිකානු හා චීන පාර්ශ්ව එක විට නිවේදනය කළේය. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණු මේ නිවේදන දෙකෙන් චීන පාර්ශ්වයත් අමෙරිකානු පාර්ශ්වයත් පවසන්නේ ගනුදෙනුව තමන්ට වාසි සහගත බවය. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹීම පසුගිය සතියේ පැවති චීන අමෙරිකා රාජ්‍ය නායක දුරකථන සංවාදයේදී සිදුවුණු බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළේය. එපමණක් නොවේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට අදාළ ජනාධිපති නියෝගයට අත්සන් තැබුවේ ඉකුත් බ්‍රහස්පතින්දාය. ඒ උපජනාධිපති ජේ. ඩී. වෑන්ස් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරික හා ආයෝජකයන් සමුහයක් ඉදිරිපිටදීය. එහිදි ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිං TIKTOK ගනුදෙනුව සම්බන්ධයෙන් ඉටුකළ කාර්යභාරය පැසසුමට ලක් කළේය. තමා හා චීන නායකයා අතර හමුවක් ඉදිරියේ දී පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුව හා සමගාමීව පැවැත්වීමට අදහස් කරන බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙය එක්තරා ආකාරයක නව ප්‍රවණතාවකි.
ට්‍රම්ප් ෂී ගනුදෙනුවෙන් ලෝකයට ලැබෙන පණිවුඩය නම් චීනය සම්පූර්ණයෙන්ම අතහැර යන ගමනක් ගැන අමෙරිකාවට සිතිය නොහැකි බවයි.
සතුරා සමග සිනාසී මිතුරා සේ සිටීම
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරුබදු මගින් ලෝකයට පහරදීම ඇරඹීමෙන් පසු වැඩිපුරම දරුණු ප්‍රහාරයකට ලක් කළේ චීනයයි. එමෙන්ම තීරු බදු වෙළෙඳ යුද්ධයේදී පෙරළා බදු මගින් අමෙරිකාවට පහරදීමට එළැඹුණු ප්‍රධානතම රටද චීනයයි. සිය මතභේද බොහෝ දුරට සාකච්ඡා මේසයේදී විසඳාගෙන ඉදිරි වෙළෙඳ හා ආර්ථික සබඳතා මෙන්ම දේශපාලනික ගමන්මග ගැන අදහස් හුවමාරු කරගැනීම සහ ඒ පිළිබඳ ක්‍රමෝපායයන් සැකසීමට අවශ්‍ය ඉහළතම සංවාදය වන්නේ ට්‍රම්ප් - ෂී දුරකථන සංවාදයයි. ද්විපාර්ශ්වික සබඳතා සඳහා දොරටු සම්පූර්ණයෙන්ම වැසීම වෙනුවට දේශපාලනික පරස්පරතා හා ආර්ථික මෙන්ම වෙළෙඳ විෂමතා මැද ක්‍රමෝපායික වශයෙන් සබඳතා පවත්වාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය වත්මන් චීන අමෙරිකා රාජ්‍ය නායක සාකච්ඡා සන්දර්භය තුළ වඩාත් පැහැදිලි ලෙස විද්‍යමාන වන්නකි. ට්‍රම්ප් ෂී ගනුදෙනුවෙන් ලෝකයට ලැබෙන පණිවුඩය නම් චීනය සම්පූර්ණයෙන්ම අතහැර යන ගමනක් ගැන අමෙරිකාවට සිතිය නොහැකි බවයි. ඊට එක් උදාහරණයක් වන්නේ ට්‍රම්ප් පැනවූ දැඩි බදු ගෙවමින් චීන නිෂ්පාදන හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ඇතැම් අමෙරිකානු සමාගම් ඉදිරිපත් වීමයි. විශේෂයෙන් අධිතාක්ෂණික චිප් උපකරණ නිෂ්පාදනය සඳහා වන දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අලෙවියෙහි ප්‍රමුඛස්ථානයක් අත්කරගෙන සිටින්නේ චීනයයි. ඒවා ප්‍රයෝජනයට ගන්නේ අමෙරිකානු සිලිකන් නිම්න සමාගම් විසිනි. ඇතැම් දුර්ලභ ඛනිජ ලබාගත හැක්කේ චීනයෙන්ම පමණි. මේ නිසා එම ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පිළිගැනීමට අකමැත්තෙන් හෝ අමෙරිකාවට සිදුවෙයි. චීනයට එරෙහිව කුමන පියවරක් ගත්තද අමෙරිකාවටද ඉන් රිදීමක් ඇත. ඒ ගැන තවත් උදාහරණයක් ගෙනහැර දැක්වීමට පුළුවන. 2017 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ප්‍රථම බදු යුද්ධය ඇරඹුවේ චීනයට එරෙහිවයි. ඒ අමෙරිකාව හා චීනය අතර ගනුදෙනුවලදී චීනයට වාසිදායක ලෙස පවතින ඩොලර් බිලියන 290කට අධික වෙළෙඳ පරතරය අඩු කර ගැනීමේ අපේක්ෂාව පෙන්නුම් කරමිනි. ඒ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනයද බදු ක්‍රියාත්මක කළ අතර ඇතැම් නිෂ්පාදන අමෙරිකාවෙන් මිලදී ගැනීම අත්හැරියේය. සෝයා බෝංචි ඒ අතරින් අමෙරිකාවට රිදවූ නිෂ්පාදනයයි. චීනය සිය සෝයා බෝංචි අවශ්‍යතා සපයා ගත්තේ අමෙරිකාවෙනි. ඉන් අමෙරිකානු ගොවීහු වාසි අත්කරගත්හ. එහෙත් ට්‍රම්ප්ගේ පළමූ ධුර කාලයේ බදු පැනවීමත් සමග චීනය අමෙරිකාවෙන් සෝයා බෝංචි මිලදී ගැනීම නතර කොට විකල්ප වෙළෙඳපොළ කරා යොමුවිය. ප්‍රතිඵලය අමෙරිකානු සෝයාබෝංචි ගොවීන් අසරණ වීමයි. මෙවරද බදු ප්‍රශ්නය නිසා සෝයා බෝංචි ප්‍රධාන සැපයුම්කරු බවට බ්‍රසීලය පත්කරගෙන තිබේ. මේ චීනයේ විකල්ප ක්‍රියාකාරි බලය පිළිබඳ කදිම උදාහරණයකි. මෙවර වෙළෙඳ අර්බුදයේදීද ට්‍රම්ප්ගේ බදුවලට හරි හරියට බදු පැනවීමට චීනය උත්සුක වූ බවක් පෙනිණ. අවසානයේදී ලෝකයේ අංක එක ආර්ථිකය හා දෙවැනි ආර්ථිකය අතර ගැටුම බොහෝ දුරට සමථයකට පත්වූයේ සාකච්ඡා මේසය මතිනි. අද වෙනවිට ට්‍රම්ප් චීනයට එරෙහිව ක්‍රියාත්මක කරන්නේ සීයට30ක බද්දක් පමණි. අමෙරිකාවේ සාම්ප්‍රදායික හිතවතා වූ ඉන්දියාවට එරෙහිව සීයට50කට අධික බද්දක් ක්‍රියාත්මක වේ. මේ අනුව චීනය හා අමෙරිකාව අතර දේශපාලනය කෙසේ වෙතත් වෙළෙඳ හා ආර්ථික සබඳතා තුලනාත්මක ස්වරූපයකින් පවතී. ටික් ටොක් අර්බුදයද එවැනිම අවසානයක් කරා යොමුවන ලකුණු පෙනේ.
දැනට චීනය පවසන්නේ TIKTOK සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාධනීය එකඟතාවකට පැමිණ ඇති බව පමණකි.
TIKTOK අර්බුදය කුමක්ද?
TIKTOK අමෙරිකා චීන වෙළෙඳ ක්‍රමෝපාය වඩාත් පුළුල් ලිට්මස් පරික්ෂාවකට ලක් කිරීමට ප්‍රතිඋත්තර දුන් ෂී දෑත පිසදාගෙන අතපැන් වත්කොට TIKTOK අමෙරිකාවට,එසේත් නැත්නම් ට්‍රම්ප්ගේ අභිලාෂයට දන්දීමට සුදානම්ද? චීන අමෙරිකානු ගනුදෙනු සම්බන්ධයෙන් ලෝකය හමුවේ මේ වනවිට ඇති ප්‍රධාන ප්‍රශ්නය එයයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා තරුණ ප්‍රජාව අතරත් ඩිජිටල් නිර්මාණකරුවන් හා අලෙවිකරුවන් අතරත් ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් බව අපි සැම දනිමු. එහි නිජබිම චීනයයි. වීඩියෝ හා සංගීතය පදනම් කරගනිමින් 2016 වසරේදී එය බිහිවිය. එහි මුල් නම ඩොයුන් යන්නයි. පසුව බයිට්ඩාන්ස් නම් චීන සමාගම TIKTOK නමින් එය අන්තර්ජාතිකව ව්‍යාප්ත කළේය. 2018 වසරේදී මියුසික් ලි නම් යෙදවුමක් හා එක්ව එය වඩාත් ගෝලීය ජනප්‍රිය සමාජ ජාලයක් ලෙස ව්‍යාප්ත කෙරිණ. එය අද වනවිට හුදෙක් රසාස්වාදනය විනෝදය පමණක් නොව ව්‍යාපාරික අරමුණු සඳහා බහුලව යොදාගන්නා බව අපි සැම දනිමු. එහෙත් TIKTOK පදනම් කරගත් අර්බුදය අමෙරිකාවේ අභියෝගයට ලක්වෙන්නට පටන් ගත්තේ එය භාවිත කරන්නන්ගේ දත්ත චීනයට යන බවට අමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රයෙන් චෝදනාවක් එල්ල වීමත් සමගයි. චීනය හා බයිට්ඩාන්ස් සමාගම මේ චෝදනාව ප්‍රතික්ෂේප කළත් 2024 අප්‍රේල් මාසයේදී අමෙරිකානු කොංග්‍රසය යෝජනා දෙකකින් සමන්විත පනතක් සම්මත කළේය. ඉන් කියැවුණේ TIKTOK අමෙරිකානු සමාගමකට විකිණිය යුතුය යන්න හෝ එසේ නොකරන්නේ නම් එය අමෙරිකාවෙහි තහනම් කළ යුතුය යන්නයි. මේ වනවිට අමෙරිකාවේ TIKTOK භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 170 දක්වා ඉහළ ගොස් තිබිණ. ජනාධිපති ජෝ බයිඩන් එම පනත නීතියක් ලෙස සම්මත කළ අතර බයිට්ඩාන්ස් සමාගමට මාස 9 ක කාලයක් ලබාදුන්නේ අදාළ කොන්දේසි ඉටු කිරීමටයි. ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වෙන තෙක්ම එම කරුණු ඉටු නොවූ අතර TIKTOK අමෙරිකාවේදී දංගෙඩියට යාමට නියමිතව තිබිණ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි පසු අමෙරිකාවේ තරුණ ප්‍රජාව ගැන සලකා TIKTOK තහනම මාස 3 කට අත්හිටුවූ අතර චීනය සමග සාකච්ඡා ඇරඹුවේ සමාජ මාධ්‍ය ජාලය අමෙරිකානු ගැනුම් කරුවෙකුට පැවරීමටය. දැන් ට්‍රම්ප් හා ෂී ජින් පිං ජනාධිපතිවරු ඒ සඳහා එකඟ වී ඇති බව අපි සඳහන් කළෙමු.. ප්‍රශ්නය වන්නේ TIKTOK ජාලයේ ක්‍රියාකාරිත්වය පවත්වාගැනීම සම්බන්ධයෙන් චීන හා අමෙරිකානු සමාගම් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. දැනට වාර්තාගත කරුණු අනුව TIKTOK අමෙරිකානු මෙහෙයුම් පමණක් අමෙරිකානු සමාගමකට විකිණෙනු ඇත. එහෙත් එහි ඇල්ගොරිදමය සැබැවින්ම පාලනය කරන්නේ කවුද? මේ බෙදීම සඳහා චීනය පැත්තෙන් ඉදිරිපත් වී ඇති කොන්දේසි මොනවාද යන ප්‍රශ්න පවතී. දැනට චීනය පවසන්නේ TIKTOK සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාධනීය එකඟතාවකට පැමිණ ඇති බව පමණකි. ට්‍රම්ප්ගෙන් පවා වැඩිදුර විස්තර හෙළිවී නැත. කෙසේ වෙතත් මේ අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය අකර්මණ්‍ය වීමක් ගැන කිසි සේත් බියවිය යුතු නැත. අමෙරිකාවට අවශ්‍යව ඇත්තේ TIKTOK පාලනය සියතට ගැනීම මිස එය වසා දැමීම නොවන බව පැහැදිලිය.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ